
(නිමල කොඩිතුවක්කු සහ අංජුල මහික වීරරත්න)
මෙරට ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය රජය විසින් තාක්ෂණික ශ්‍රේණියේ මැලතියන් (Technical Grade Malathion) කෘමිනාශක ලීටර් 500ක තොගයක් පරිත්‍යාග කර ඇත. එම පරිත්‍යාගය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද (04) පෙරවරුවේ නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ ඩෙංගු පාලන වැඩසටහන් සඳහා අත්‍යවශ්‍ය තාක්ෂණික සහායක් සැපයීම මෙන්ම, මහජන සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දශක ගණනාවක් පුරා පවතින සමීප සහ විශ්වාසනීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
මෙරට ඇතැම් ප්‍රදේශවල ඩෙංගු වාහක මදුරුවන්, දැනට භාවිත කරන ඇතැම් කෘමිනාශක වර්ගවලට ප්‍රතිරෝධීතාව වර්ධනය කරගෙන ඇති බව විද්‍යාත්මක අධ්‍යයනවලින් තහවුරු වී ඇති හෙයින් කෘමිනාශක කළමනාකරණය සහ විකල්ප කෘමිනාශක භාවිතය ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත.
ඒ අනුව, ඉන්දීය රජයෙන් පරිත්‍යාග කරන ලද තාක්ෂණික ශ්‍රේණියේ මැලතියන් තොගය, අවදානම් ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන ධූමායන (Fogging) වැඩසටහන් සඳහා භාවිත කිරීමට නියමිත අතර, එය විශේෂයෙන්ම වැඩිහිටි ඩෙංගු වාහක මදුරුවන්ගේ ඝනත්වය කඩිනමින් අඩු කිරීම සඳහා යොදා ගැනීමට අපේක්ෂිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd