(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ජනාධිපති මන්දිර හත නඩත්තු කිරීම සඳහා පසුගිය වසර නවයක කාලයේදී රුපියල් කෝටි 35 කට ආසන්න මුදලක් වැය කර ඇතැයි අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී  පැවසුවාය.

කොළඹ කොටුව, මහනුවර, නුවරඑළිය, කතරගම, අනුරාධපුර, මහියංගනය සහ බෙන්තොට යන ප්‍රදේශවල මෙම ජනාධිපති මන්දිර පිහිටා ඇති බව කී අගමැතිවරිය ජනාධිපති මන්දිර නඩත්තු, උද්‍යාන කටයුතු නඩත්තු, ජනාධිපති නිල නිවාස නඩත්තු සහ ආරක්ෂක නිලධාරීන්ගේ නවාතැන් ගොඩනැගිලි නඩත්තු යනාදී වශයෙන් මෙලෙස මුදල් වැය කර අැති බව සඳහන් කළාය.

ජනාධිපති මන්දිර 2018 දී නඩත්තු කිරීමට රුපියල් මිලියන 15 ක්ද ගොඩනැගිලි අලුත්වැඩියා වියදම් ලෙස රුපියල් මිලියන 110 ක්ද වැය කර ඇති බව අගමැතිවරිය කීවාය.

එසේම 2019 වර්ෂයේදී ගොඩනැගිලි නඩත්තු වියදම ලෙස රුපියල් මිලියන 15ක්ද අලුත් වැඩියා වියදම ලෙස රුපියල් මිලියන 62 ක්ද වැය කර අැති බව අැය පැවසුවාය

ඉකුත් 2020 වර්ෂයේදී ගොඩනැගිලි නඩත්තු වියදම මිලියන 12ක් බවත් අලුත්වැඩියා වියදම රුපියල් මිලියන 22.7 ක් බවත් කීවාය.

ඉකුත් 2021 වර්ෂයේදී ගොඩනැගිලි නඩත්තු වියදම රුපියල් මිලියන දහයක් සහ අලුත්වැඩියා වියදම රුපියල් 18.8ක් බව පැවසු අගමැතිවරිය 2022 වසරේදී නඩත්තු වියදම ලෙස රුපියල් මිලියන 12ක්ද අලුත්වැඩියා වියදම රුපියල් මිලියන 13ක්ද වැය කර අැති බව සදහන් කළාය

ඉකුත් 2023 වර්ෂයේදී නඩත්තු වියදම රුපියල් මිලියන 26 .04ක්ද අලුත්වැඩියා වියදම රුපියල් මිලියන 11ක්ද වශයේන් පැවැති බව අගමැතිවරිය කීවාය.

ඉකුත් 2024 වර්ෂයේදී නඩත්තු වියදම රුපියල් මිලියන 13.09ක්ද අලුත් වැඩියා වියදම රුපියල් මිලියන 10.05 ක්ද 2025 වසරේදී නඩත්තු වියදම මිලියන 7.05 ක්ද අලුත් වැඩියා වියදම රුපියල් මිලියන තුනක්ද ලෙස සටහන්ව අැත

මෙම වසරේ ජනවාරි සිට ජුනි මස දක්වා නඩත්තු වියදම ලෙස රුපියල් මිලියන තුනක්ද අලුත්වැඩියා වියදම ලෙස රුපියල් මිලියන 0.4 ක්ද වැය කර ඇතැයි අගමැතිවරිය කීවාය.