කළුගල්, වැලි, පස්, බොරළු සහ මැටි ඇතුළු ඛනිජ සම්පත් කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම විධිමත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් මෑතකදී රැස් වූ අවස්ථාවේදී මේ බව පැවසීය.
ජනාධිපති කාර්ය සාධක බලකායක් විසින් 2021 වර්ෂයේදී නිකුත් කරන ලද කාර්ය සංග්‍රහයක් ද ඇතුළත් කරමින් මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය. එය ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි ප්‍රායෝගික ගැටලු විසඳීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
කළුගල්, වැලි, පස්, බොරළු සහ මැටි වැනි ඛනිජ සම්පත් සඳහා අය කෙරෙන ගාස්තු නියාමනය කර ඒකාකාරී ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට ද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව, අදාළ සියලු රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කර විවිධ ගාස්තු ඒකාබද්ධ කර පොදු ඒකාකාරී ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට යෝජනා වී තිබේ. දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් නොවන පොදු ගාස්තු ක්‍රමයක් සකස් කර එය ජනතාවට විවෘතව ප්‍රකාශයට පත් කිරීමට ද අපේක්ෂා කෙරේ.
මෙම ඒකාකාරී ගාස්තු ක්‍රමය 2026 සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති අතර, බලපත්‍ර ලබාගන්නා පුද්ගලයාට විවිධ ආයතන වෙත වෙන වෙනම ගාස්තු ගෙවීම වෙනුවට එක් ස්ථානයකදී සියලු ගාස්තු ගෙවීමට හැකි ක්‍රමයක් හඳුන්වාදීම මෙහි අරමුණයි. එමඟින් අදාළ ආයතන අතර ගාස්තු බෙදාහැරීමේ ක්‍රියාවලිය ද විධිමත් කිරීමට හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, පළාත් පාලන ආයතන විසින් අය කරනු ලබන ගාස්තු ඇතුළු ඇතැම් ගාස්තු මධ්‍යම රජය හරහා ඒකාබද්ධව අය කළ හැකිද යන්න සම්බන්ධයෙන් පවතින නීතිමය හා පරිපාලන සීමාවන් පිළිබඳව ද අවධානය යොමු කරමින් අදාළ ක්‍රමවේදය තවදුරටත් සමාලෝචනය කිරීමට නියමිත බව ද මෙහිදී සඳහන් විය. තවද, කාර්මික අංශයේ නියැලෙන්නන් මුහුණ දෙන විවිධ ගැටළු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd