(අංජුල මහික වීරරත්න)

ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ කොරියා තානාපති මියොන් ලී (H.E. Miyon Lee) මහත්මිය  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය. 

තානාපතිනිය පිළිගත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සිය ධූර කාලය තුළ තානාපතිනිය ලබා දුන් සහයෝගය සහ දායකත්වය පිළිබඳව සිය  කෘතඥතාව පළ කළාය.

වාරිමාර්ග හා අධ්‍යාපන ක්ෂේත්‍ර ඇතුළුව කොරියානු ජනරජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන සහයෝගය පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී කොරියානු ජනරජයට සිය ස්තුතිය පළ කළාය.

දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ආරක්ෂා වන පරිදි ගුණාත්මක ආයෝජන ආකර්ෂණය කර ගැනීම, ද්විපාර්ශ්වික වෙළඳ හා ආර්ථික සහයෝගීතා තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කරන බවද අග්‍රාමාත්‍යවරිය  මෙහිදී අවධාරණය කළාය.