
(කේ. ඩී. දේවප්‍රිය)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ අවසන් මහා පෙරහර අතිඋත්කර්ෂවත් අයුරින් වීදි සංචාරය කර නිමාවට පත් විය.
දුටුගැමුණු රජ සමයේ සිට පැවත එන සාම්ප්‍රදායික චාරිත්‍රවලට අනුකූලව, අවසන් මහා පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය වෙත ගමන් කිරීමෙන් අනතුරුව පඬුරු පූජා කිරීමේ විශේෂ චාරිත්‍රය ඉටු කෙරිණි.
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංඛ මහතා සහ කපු මහතුන්ගේ සහභාගිත්වයෙන් මෙම චාරිත්‍රය සිදු කෙරුණු අතර, එහි ආගමික වතාවත් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති, ය කොබවක ධම්මින්ද නාහිමියෝ ො මෙහෙයවනු ලැබූහ.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කිරිවෙහෙර ධාතු කරඬුව 'හස්තිය' මත තැන්පත් කිරීම සිදු කරන ලදී.
අනතුරුව පැවැති සභාවේදී බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංඛ මහතා විසින් සම්ප්‍රදායික රාජාසන කතාව පවත්වමින්, මෙවර ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීම සඳහා සහාය දැක්වූ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම කැපවූ පිරිස් වෙත සිය ප්‍රණාමය පුද කළේය.
එහිදී විශේෂ කතාවක් සිදු කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, ජාතික සමගිය මනාව පිළිඹිබු කරන කතරගම ඓතිහාසික සංස්කෘතික මංගල්‍යය මුළු මහත් ලෝකයටම කදිම ආදර්ශයක් සපයන බවයි.
පෙරහර සංවිධාන කටයුතු භාර රාජ්‍ය නිලධාරියා වශයෙන් කටයුතු කළ මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඒ. ජී. නිශාන්ත මහතා ද පෙරහර සාර්ථක කර ගැනීමට උපකාර කළ සැමට රජය වෙනුවෙන් ස්තුතිය පළ කළේය.
කිරිවෙහෙර ආගමික වතාවත්වලින් අනතුරුව පෙරහර දේවාල මළුවෙන් වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කර, එහි චාරිත්‍ර ද ඉටු කිරීමෙන් පසු නැවත මහා දේවාලය වෙත ගෙවැදීමත් සමඟ 2026 වසරේ ඇසළ මංගල්‍යයේ කටයුතු නිල වශයෙන් නිමාවට පත් විය.
මෙම අවස්ථාව සඳහා ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර, මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් ඇතුළු පිරිසක් කිරිවෙහෙර ආගමික වැඩසටහනට එක්ව සිටියහ.
එසේම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පූජා භූමිය වෙත පැමිණ දෙවියන් වැඩමවන වතපුටුව වෙත මල්මාලයක් පළඳවා වන්දනාමාන කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමඟ කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය වෙත පැමිණ පෙරහැර නැරඹීමට එක් විය.
මෙම ආගමික වතාවත් සඳහා රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නාහිමියන් ද වැඩම කර සිටියහ. ඇසළ මංගල්‍යයේ අවසන් මහා පෙරහර නැරඹීම සඳහා දිවයිනේ නන්දෙසින් පැමිණි ලක්ෂ දෙකකට අධික බැතිමතුන් පිරිසකින් කතරගම පූජා භූමිය අතුරු සිදුරු නොමැතිව පිරී ඉතිරී ගොස් තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd