
(අංජුල මහික වීරරත්න)
දිවයින වටා පවතින රළු මුහුදු ස්වභාවය හේතුවෙන් අනතුරට පත් සහ අතුරුදන් වූ ධීවරයින් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය නිවේදනය කරයි.
පවතින තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ මුහුදු යාම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කිරීමට පෙර මුහුදු ගිය යාත්‍රා කිහිපයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
ඒ අනුව, හලාවතින් රැකියාවට ගිය OFRPA 8108 CHW දරන යාත්‍රාව ධීවරයින් දෙදෙනෙකු සමඟ මෙතෙක් අතුරුදන්ව පවතී. මීට අමතරව මීගමුවෙන් පිටත්ව ගිය යාත්‍රා දෙකක් ද අනතුරට පත්ව ඇති අතර, මීගමුවේ සිට OFRP-A-5277 NBO දරන යාත්‍රාවෙන් රැකියාවට ගිය කටුපිටිගේ ප්‍රසාද් මැක්මිලන් ප්‍රනාන්දු මහතා, යාත්‍රාව ගලක වැදී විනාශ වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ දේහය මේ වන විට වෙරළට ගොඩගසා තිබේ. එම යාත්‍රාවේ සිටි අනෙක් ධීවරයා සෙවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. අනතුරට පත් වූ අනෙක් මීගමු යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනා වෙනත් යාත්‍රාවක සහාය ඇතිව නිරුපද්‍රිතව සිටින බව වාර්තා වේ.
මෙම ආපදා තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් උපරිම අයුරින් තීව්ර කරන ලෙස ආරක්ෂක අංශවලට සහ අදාළ නිලධාරීන්ට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් විශේෂ නිරීක්ෂණ යානයක් සෝදිසි මෙහෙයුම් සඳහා යොදවා ඇති අතර, නාවික හමුදා යාත්‍රා ද එම කලාපයේ මෙහෙයුම් සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd