’’SBK’’ නිර්මාණය කළ සත්‍යජිත් සමරතුංග


අභියෝග ජයගත් මිනිස්සු   

 

 

 

 

‘‘පුතේ මම ඔයාට කතාවක් කියන්නම්. ඒක සුරංගනා කතාවක් නම් නෙමෙයි. අවංකවම විප්ලවය කළ මිනිසෙකුගේ කතාවක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි, ඔයාගේ තාත්තා. එයා හරි පුදුම මනුස්සයෙක් පුතේ. ගම්පහ තමයි එයාගේ නිජබිම වුණේ. වත් පොහොසත්කම් හොඳට තිබුණු ඉහළ පැළැන්තියේ පවුලක කෙනෙක්. කාටවත් අතනොපා ජීවත් වෙන්න ඒ දේපොළ ටිකම ඇති. තාත්තා සතොස ගබඩා පාලක ලෙසත් වැඩ කළා. හැබැයි පුතේ, මේ ඔක්කෝටමත් වඩා එයා අවංකවම කැපවුනේ. විප්ලවවාදී ව්‍යාපාරය වෙනුවෙන්. ඒ වෙනුවෙන් දිවා - රෑ නොබලා එයා බොහෝ දේ කළා.  


අක්කයි - ඔයයි පුංචි දරුවෝ. තාත්තා හැටියට එයා යුතුකම් දැනගෙන හිටියා. ඒත්, දරුවන්ටත් වඩා එයා ආදරය කළේ විප්ලවයටයි. මේ නිසාම විටෙක එයාට සිරබත් කන්නත් සිදු වුණා. හිරෙන් නිදහස්වෙලා ආව එයාව අපේ සනුහරේ සමහර අය වගේම ගමේ කවුරුවත් වැඩිය පිළිගත්තෙ නැහැ. ඒ කාලයේ හැටි එහෙමයි. ඒත් තාත්තා කාටවත් වෛර කළේ නැහැ. ඒ වන විට දේපොළත් සෑහෙන්න අහිමි වෙලා තිබුණෙ. ඒත් තවදුරටත් එයා නොසැලී කටයුතු කළා.  


සුවඳැති මල් ඉක්මනට පරව යනවා කියලා පුතා අහලා ඇතිනෙ. තමාට වඩා සමාජයට යහපත ප්‍රාර්ථනා කළ තාත්තා අකාලයේ මිය ගියේ ඒ හින්දාම වෙන්නැති.’’  


තාත්තා අහිමි වන විට සත්‍යජිත්ගේ වයස අවුරුදු 13කි. තාත්තා විමුක්තිකාමී අරගලය උදෙසා කැප වූ චරිතයක් ලෙස කටයුතු කළේ සත්‍යජිත් ඉපදීමටත් පෙර සිටය. එනිසා ඔහු තාත්තා ගැන නොදැන සිටි බොහෝ දේ පසු කලෙක අම්මා එලෙසින් කියමින් සිටියාය.  


‘‘ආදරයේ උල්පත වූ අම්මා,  


‘‘තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා නිදි ගන්වා මා යහන් ගැබේ දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන් මතකයි මා නැළවූවා’’  


වික්ටර් රත්නායකයන් ගැයූ ගීය ගුවන් විදුලියෙන් ඇසෙන්නට විය. අම්මාගේ දෙනෙතින් කඳුළු බිඳු ගලා ගියේ නිරායාසයෙනි.  


තාත්තා ගැන වූ බොහෝ දේ අම්මාගේ වදනින් අසා සිටි සත්‍යජිත් අලුත් හුස්මක් ගත්තේය. ජීවිතයේ හැටි කොහොමත් එහෙමය. ජීවත්වීමට නම් අලුත් හුස්මක් ගත යුතුමය. ඒත් සුසුම විතරක් අලුත්වී ඵලක් නොවේ. අලුත් ගමනක් යා යුතුය.  


තමා යා යුතු ඒ අලුත් ගමන කුමක්දැයි සත්‍යජිත් හට නොතේරිණි. ඓහෙත් එන විදියට - හරි විදියට ජීවිතයට මුහුණදීම ඔහුගේ අරමුණ වීය. අවංකව දේශපාලනය කළ පියෙකු නිසා කඩා වැටුණු පවුලක චරිතයක් ලෙස සත්‍යජිත්හට වයස අවුරුදු 13න් පසුව අලුත් ජීවිතයක් ගතකිරීමට සිදුවිණි.  


ගම්පහදී උපත ලබා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් තුන වසර දක්වා අධ්‍යාපනය කළ සත්‍යජිත්හට ඉනික්බිතිව ජීවිතය ගෙවා දැමීමට සිදුවූයේ නැන්දා ළඟය. නැන්දාට දරුවන් නොසිටි නිසාත්, සත්‍යජිත්හට තාත්තා අහිමිව සිටි නිසාත් නැන්දා වගකීම බාරගෙන සිටියාය.  


එලෙසින් තාත්තාගේ සනුහරේ මෙන්ම අම්මාගේ සනුහරේ නෑදෑයින්ගේ උදව් ලැබ ගනිමින් ජීවිතයේ ඒ අලුත් ගමන ඔහු යමින් සිටියේය. නැන්දා ඔහුට ඉගැන්වීමේ සද්භාවයෙන් රැගෙන ගිය ද ඇය විවාහවී සිටි පාර්ශ්වයේ අයගෙන් ඔහුට විවිධ කෙනෙහිලිකම්වලට මුහුණදීමට සිදුවිණි.  


ඒ වනවිට මම ඉගෙන ගත්තෙ කෑගල්ල වලගම මහා විද්‍යාලයේ. නැන්දා විවාහ වී සිටි පාර්ශ්වයේ අයගෙන් ඇති වූ බලපෑම්, කෙනෙහිලිකම් නිසා, එතැනත් තිබුණෙ ප්‍රශ්න. ඒ අවස්ථාවෙදී වලගම මහා විද්‍යාලයේ එවකට විදුහල්පතිව සිටි යූ.බී. ඉඩම්පිටිය සර් මට ගොඩාක් උදව් කළා. සර් මාව ඉස්කෝලේ ගෘහ විද්‍යාගාරයේ නවාතැන් දීලා මට රැකවරණය ලබා දුන්නා.  


සර් හිටියෙ ගුරු නිවාසයේ. එයාට දූලා තුන්දෙනයි. එක්කෙනෙක් හිටියෙ මගෙ පංතියේ. සර්ගෙ දූවරු දෙදෙනෙක් අද රටේ ප්‍රකට වෛද්‍යවරියන් ලෙස සේවය කරනවා. ඇත්තටම ගුරුවරු තමයි අපේ සැඟවුණු දක්ෂතා එළියට ගන්න උදව් කෙළේ’’.  


සත්‍යජිත් අද එලෙසින් අතීතය ආවර්ජනය කරයි. නේක විධ දුෂ්කරතා, අපහසුතාවලට මෙන්ම කඨෝර රළු ජීවිතයකට මුහුණ දී පසුව ජීවිතය ජයගත් මිනිසුන් ගැන ඔබ නොයෙක් විට අසා තිබිය හැකිය. මේ සත්‍යජිත් නමැති අපූරු මිනිසාගේ කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස් වූවකි.  


කලෙක ඔහුට උරුමව තිබුණේ දිනෙන් දින මරණයට ඇද දමා තිබූ ජීවිතයකි. එහෙත් මරණය ගැන නොසිතා ඔහු ජීවිතය අරුත්බර කර ගන්නට නිතර ප්‍රයත්න දැරීය. අවසන මාරයා පරදවා ජීවිතයේ නැගී සිටීමට ඔහුට හැකිවිණි.  


ඒ ඔහු සතු වූ විශ්වසනීයත්වය නිසාය. කළ යුතු දේ, කළ හැකි දේ ගැන විශ්වාසය තැබූ හෙයින් ඔහුට එලෙසින් ජීවිතය ජයගන්නට හැකි වීය.  


අප මේ අද කතා කරන්නේ සමරතුංග අප්පුහාමිලාගේ සත්‍යජිත් සමරතුංග නමැති මහ පොළොවට බර නැති මිනිසා ගැනය. එස්.බී.කේ. (SBK) ඉන්ඩස්ට්‍රීස් යනු මේ මිනිසා මිහිපිට මැවූ ආයතනයකි. එය අද සීමාවී ඇත්තේ ශ්‍රී ලංකාවට පමණක් නොවේ. ලොව පුදුම අතරින් එකක් වූ චීන මහා ප්‍රාකාරය මැවූ මහා චීන රාජ්‍යයේ ද ඔහු ව්‍යවසායකයකු වී සිටී.  


SBK (එස්.බී.කේ.) යනු කෘත්‍රිම දැව භාණ්ඩ හා ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්‍පාදනය කරන හා ආනයනය කර බෙදාහරින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයකි. ඒ නාමය යටතේ කර්මාන්තශාලා දෙකක් සහ යකඩ හෙවත් ලෝහමය ද්‍රව්‍ය නිෂ්පාදනය කරන (ගොඩනැගිලි ඉදිකිරීම් අංශය සඳහා) කර්මාන්ත ශාලාවක් ද, භාණ්ඩ ගබඩා කර තැබීමේ අංගණ ගණනාවකින්ද යුතු සමාගමකි. චීනයේ ස්ථාපිත ඔවුනගේ සමාගම වෙතින් රටවල් හතකට පමණ භාණ්ඩ සේවා ප්‍රවාහනය කෙරේ. ඊටත් අමතරව ගොඩනැගිලි ද්‍රව්‍ය බෙදාහරින ජාලයක් දිවයින පුරා ක්‍රියාත්මක වේ.  


ගොඩනැගිලි අංශයේ ඉදිකිරීම් වෙනුවෙන් ඇණයේ සිට සියලුම ද්‍රව්‍ය ගෙන්වා බෙදාහරින සහ මෙරටදී නිෂ්පාදනය කරන මේ SBK (එස්.බී.කේ.) සමාගම් ජාලය මැවූ ඒ මිනිසාගේ ජීවිතයේ දෙවැනි දිග හැරුම ගැන කියන්නට ඊළඟට අපි අවකාශය ලබා දුනිමු.  


‘‘කතාවක් තියෙනවනෙ තාත්තා කළ දේ පුතා නොකළා නම්, ඌ නොට්ටිගෙ පුතා කියලා. ඒ කතාව ප්‍රායෝගික කරන්න නෙවෙයි මට ඕනෑ වුණේ. 89 දී A/L (උසස් පෙළ) කරන්න තිබියදී මාත් ජේ.වී.පී. කළා. තාත්තා වගේ එදා මාත් ඇදහුවේ ඒක සැබෑ විමුක්තිය කියලයි. නමුත් මට උසස් පෙළ කරන්න ලැබුණෙ නැහැ. 89 නොවැම්බර් 13දා විජේවීර ඝාතනය කෙරුණා. ආරක්ෂාවට තැනින් තැන යමින් සිටි මම අන්තිමේදී මාතලේ පොලිස් බැරියර් එකකදී කොටු වුණා.’’  


එසේ ජීවිතය දිග හරිමින් සිටි සත්‍යජිත් දිගු සුසුමක් ඉහළට ඇද ගත්තේ, ඉතා ආසාවෙන් සිගරැට්ටුවක් උරන්නෙකු සේය. එහෙත් ඔහු මතට ඇබ්බැහි වූවකු නොවේ. ඒ ඉහළට ගත් සුසුම වෙතින් බොහෝ දේ ප්‍රකාශ විනි. මරණය, මරණය, මරණය. ඒ සේයාව දරාගෙන ඔහු රැඳවුම් බාරයට පත්විණි. රැඳවුම් කඳවුරුවලදී අත් විඳින්නට වූ කෲරත්වය ගැන දන්නේ එය අත්විඳි අයම මිස අන් අය නොවේ. ඒනිසා ඒ ගැන පපුවෙන් හිතා විශේෂිතව සඳහන් කළ යුතුද නොවේ.  


මැරී නෙමැරී පණ නල රැකගත් සත්‍යජිත්හට මැරි මැරී උපන්න ජීවිතයක් වසර ගණනාවක් අත්විඳීමට සිදුවිණි. අවසන සාක්ෂි නොමැති වූ රැඳවියකු ලෙස නිදහස ලබා යළිත් සිවිල් සමාජයේ ජනගතවීමට ඔහුට හැකිවිණි. එදා රැඳවුම්භාරයට පත්වීමට පෙර ඔහු උසස් පෙළට සූදානම් වෙමින් සිටියේ පොල්ගහවෙල පරාක්‍රම මහා විද්‍යාලයෙනි. එහෙත් පාසලේ දී උසස් පෙළට ලිවීමට අවකාශය නොලැබිණි.  


‘‘හිර කඳවුරේදී මට ජ’පුරෙ අයියලා ටිකක් හමුවුණා. ‘‘මල්ලි උඹ කොමර්ස් කරපං ගොඩදාගත්ත හැකියි කියලා එයාලා මාව උනන්දු කළා. උසස් පෙළට එදා මම තෝරාගෙන තිබුණෙ ගණිත විෂයයන් වූවත්, ඊළඟට මම වාණිජ විෂයයන් වෙත මාරු වුණේ එහෙමයි. මාස 9න් කොමර්ස් සිලබස් එක ජ’පුරේ කොල්ලො ටික මට කවර් කරලා දුන්නා. පුද්ගලික අයැදුම්කරුවකු ලෙස එවර උසස් පෙළට ලිව්වා. බී-2, සී-1, එස්-1 විදියට ප්‍රතිඵල ලබා ගත්තා. ඒත් සරසවි තේරුණේ නැහැ. දෙවැනි පාර ලියලා තමයි සරසවියට තේරුණේ. එවර ඒ (2) බී (2) ලෙස සමත් වුණා.  


මේ අතරවාරයේදී අපි මානව හිමිකම් නඩුදාලා තිබුණේ. අපට එරෙහිව මොනවත් සාක්ෂි තිබුණේ නැහැ. අපි නිදහස් වුණා. හැබැයි කඳවුරු භාරයේ සිටියදී විඳි ගැහැට, දුක්, පීඩන සහ අනෙකුත් සියල්ල වෙතින් මා ලැබුවේ ලොකු පන්නරයක්.  


රැඳවියකු ලෙස එකී ගෙවීගිය කාලයේදී සත්‍යජිත් දිවයිනේ ස්ථාන දහයකට විතර මාරු කර තිබිණි. එහිදී අත්විඳි සියලු දේ වෙතින් ශක්තිමත්වී, පන්නර ලබා ඊළඟට ඔහු සමාජගත වූයේ සමාජයට වෛර කරන්නෙකු ලෙස නොවේ.  


‘‘ඒ අතීතය සිහිපත් කළ නොහැකි තරමට කටුකයි. අමිහිරියි. ඒත් මම ඒ අතීතයට කවදාවත් වෛර කරන්නෙ නැහැ. ජවිපෙ අරගලය යනු කුමක්ද, දේශපාලනය කියන්නෙ මොකක්ද? හමුදාව කියන්නෙ මොකක්ද?’’ ඒ සියල්ල ගැන අවබෝධයක් සහ අත්දැකීම් ලබාගන්න පුළුවන්වීම ගැන අද මා සතුටු වෙනවා.’’  


සත්‍යජිත් වෙනස් මිනිසකු වන්නේ එනිසාය. අතීතය කටුක වූ තරමට, අතීතයේදී විඳි සියල්ල කෲර වූ තරමට, ඒවා අත්විඳි මිනිස්සු අතීතයට වෛර කරති. නමුත් එදා සියලු දුක් පැණි රසසේ වැලඳගත්, සත්‍යජිත් ඒ අතීතයට වෛර නොකරයි.  


‘‘අද වෙලාවකට ඒ ගැන හිතද්දී ඒවා සුන්දරව භාර ගන්නවා’’.  


එදා එතරම් කටුක වූ දේ සුන්දරව දකින ඒ මිනිසා අලුත් වූවේ ඒ සිතිවිලි නිසා නොවේද? සමාජයට වෛර නොකරන මිනිසකු ස්වභාව ධර්මය විසින් රකිනු ලබන බව සාක්ෂාත් කළ චරිතයක් ලෙස මේ සත්‍යජිත් හැඳින්විය හැකිය. සැමදා දුක නොමැති ලෝකයේ, සැපවත් ජීවිතයක් උදෙසා ඔහුගේ ව්‍යවසායකත්වයේ ගමන ආරම්භ වූයේ කෙසේද?  


‘‘එදා සරසවියට තේරුණාම වසර තුනක් විතර ප්‍රවේශය ලබන තෙක් එළියේ ඉන්න සිද්ධ වුණා. මෙකී කාලයේදී මම නිකම් හිටියේ නැහැ. සිර කඳවුරේදී හඳුනා ගත්ත යාළුවෙක් හිටියා. එයාගෙ ගම සීගිරිය. එහේ ගිහිල්ලා එයා එක්ක එකතුවෙලා වගා කටයුතු කළා. අල, ලූනු, මිරිස් වගාව වගේම කුඹුරුත් වගා කළා. පළමු අක්කරයෙන් එක් ලක්ෂ විසිදහසක පමණ ආදායමක් උපයා ගත්තා.  


ඉන් පස්සෙ ලෑන්ඩ් මාස්ටර් එකක් සහ තවත් යන්ත්‍රයක් මිලදී ගත්තා. ඊටත් අමතරව ඉඩමක් අරගෙන, පොඩි ගෙයකුත් හදලා වගාව තවදුරටත් දියුණු කර ගත්තා. කොළඹ සරසවියට එනවිට මගේ ළඟ ලක්ෂ හතරක පහක මුදලක් තිබුණා. ඊට අමතරව මහපොල ශිෂ්‍යත්වලාභියකු වුණා. සරසවි ඒමට පෙර සීගිරියේදී වගා කරන කාලයේදී, ඉංග්‍රීසි පාඨමාලාවකුත් හැදෑරුවා.’’  


කොහොමටත් සත්‍යජිත්හට කුඩා කාලයේ සිටම තිබී ඇත්තේ ව්‍යවසායකත්වයේ සලකුණුය. එදා කෑගල්ලෙ නැන්දා ළඟ සිටියදී ‘‘ගෝල්ඩ්ෆිෂ්’’ මාළු බෝ කර අනෙක් ළමුනට විකිණීම කළ බව සඳහන් කරයි. සීගිරියේ සිට ගම්පහට අම්මා, අක්කා බැලීමට එන ගමනේදී මෙන්ම පෙම්වතිය බලන්නට එන ගමනේදී පවා ඔහු හිස් අතින් නොආවේය. පොල්, බිස්නස් එකක් ද කළ අතර, තැනින් තැන කඩවලට එළවළු දැමීමේ කටයුත්තේද නිරත විය.  


‘‘දියුණු වෙන්න ඕනෑය කියන ජවයක් මට තිබුණෙ. ඒ නිසා පොල් විකිණීම, කඩපලවලට එළවළු දැමීම, මේවා කිරීමට ලැජ්ජා වුණේ නැහැ. දියුණුවීමට තිබූ ආසාව සහ උනන්දුව නිසා අතට අහුවෙන දේ හරි විදියට කළා’’.  
මහන්සිවීම යනු අසීරුතාවක් ලෙස සත්‍යජිත් එදා නොසැලකීය. සරසවි ජීවිතයට ඇතුළු වූ පසු ඔහු දිවි ගෙව්වේ නේවාසිකාගාරයේය. පිටකොටුවෙන් බැනියම් සහ පිරිමි ඇඳුම් ගෙනැවිත් සුළු ලාභයක් තබාගෙන මිතුරන්හට ඒවා අලෙවි කළේය. විටෙක මිතුරන් අග හිඟකම් ඇති වූ විට අතමාරුවක් ලබා ගත්තේද සත්‍යජිත් ගෙනි.  


ස්වාධීනව කාටවත් කරදරයක් නොවූ චරිතයක් ලෙස ඔහු දිනෙන් දින සමාජගත වූයේ එලෙසිනි. මේ වනවිට සත්‍යජිත්ගේ අක්කා විවාහව සිටියාය. ගම්පහ ඔවුනට අයත්ව තිබූ ඉඩකඩම්වලින් සෑහෙන කොටසක් එකිනෙකා ඩැහැගෙන තිබිණි. ඒවා නැවත ගැනීමට ඕනෑනම් සත්‍යජිත්හට නඩු කීමට පුළුවන්කම තිබිණි. එහෙත් අද දක්වා ඔහු එලෙසින් කටයුතු නොකළේ ඔහු සතු මනුස්සකම නිසාමය. අම්මා සහ අක්කාගේ සුබ සිද්ධිය ගැනද සිතා කටයුතු කළ සත්‍යජිත් ඔහුට විවාහවීමට සිදු වූ නිසා තමා සන්තකයේ තිබූ පර්චස් 40ක පමණ ගම්පහ ඉඩම විකුණා දැමීය. මේ වනවිට ඔහුගේ සහකාරිය කැලණි සරසවියේ සිසුවියක වූවාය. එහෙත් එය සරසවියේදී බැඳි ප්‍රේමයක් නොවීය. ඒ ප්‍රේම කතාවට වෙනම පරිච්ජේදයක් තිබේ.  


අපි දෙන්නා අතර ප්‍රේමයක් ඇති වුණේ සාමාන්‍ය පෙළ කරන සමයේදීයි. එවිට එයාගෙ වයස අවුරුදු 14ක් විතර ඇති. මට වයස 16යි. අපි දෙන්නා යාළු වෙච්ච දවසෙම මම කිව්වා ඔයාවම තමයි විවාහ කර ගන්නෙ කියලා. ඇයගෙ අම්මගෙන් ​ෙම් ගැන ඇහුවාම ‘‘හා’’ කියලා කිව්වා. හැබැයි දුවව සෙල්ලම් බඩුවක් විදියට පාවිච්චි කරන්න එපා කිව්වා.  


මගෙත් අධිෂ්ඨානය වුණේ කවදාහරි රස්සාවක් හොයාගෙන හරි විදියට ඇයව කැන්දන් යනවා කියන එකයි. ඒ කාලයේ එයාගේ තාත්තා හිටියෙත් රට. බාහිර බලපෑම් නැති නිසා ඔය දෙන්නා ඔයාලගෙ ගමන හදාගෙන යන්න කියලා එයා කීවා.  


සත්‍යජිත් ප්‍රේමයේදීත් කෙතරම් ගෞරවාන්විතවීද යත්, හැඟීම්වලට වහල් නොවූ වෙක් වීය. එමෙන්ම කෙටි මාර්ග සොයා ජීවිතයේ ඉදිරියට ගිය අයෙකු ද නොවීය. බිරිඳ කුමාරි යනු ඔහුට කුමරියකට වඩා ඔහුගේ ජීවිතය පිටුපස සිටින රැජිනකි.  


ඇය හරි පුදුම චරිතයක්. අද අපට සැප සම්පත්වලින් අඩුවක් නැති බව ඇත්ත. නමුත් ඇය අතිශය සරල ජීවිතයකට කැමති කෙනෙක්. ඇයට පින් සිද්ධ වෙන්න තමයි මට මේ විදියේ ගමනක් ඒමට ධෛර්යයක් ලැබුණේ. මා දුටු වචනයේ පරිසමාප්ත අයුරින්ම සරල වූත්, අල්පේච්ඡ වූත්, අර්ථාන්විත වූත් බිරිඳ ඇයයි. අප දෙදෙනාට දියණියන් දෙදෙනෙක් සිටිනවා. අපි දරුවන් හදලා තියෙන්නෙත් මේ සරලකම එක්කයි.  
2007දී සත්‍යජිත් තම ව්‍යවසායකත්වයේ අර්ථාන්විත ගමන ආරම්කෙළේ SBK (එස්.බී.කේ.) යන අකුරු ත්‍රිත්වයෙනි. S - සත්‍යජිත්, B - භානුජී (ලොකු දුව) ඒ වනවිට පොඩි දියණිය ඉපදී නැත. K - කුමාරි යන අකුරු තුන යොදාගෙන ඒ නාමය යෙදීය.  


පරක් තෙරක් ඉමක් කොනක් නැති සංසාරේ සත්‍යජිත්ගේ කතාවේ ඒ ස්වර්ණමය දිගහැරුමට ඊළඟට අපි ප්‍රවේශ වෙමු.  


සරසවියේදී මම දේශපාලනය කළේ නැහැ. නමුත් හැමෝම එක්ක සුහදව කටයුතු කරන්න මට පුළුවන් වුණා. සමන් දසනායක සර් තමයි ඊළඟට මගේ ජීවිතය හැරවුමට වෙනසක් කළේ. සර්ගෙ අංශය වුණේ මානව සම්පත් කළමනාකරණයයි. මගේ ජීවිත කතාව මම සර්ට කිව්වා. ඒ වගේ කතාවක් ඊට පෙර එතුමා අහලා තිබුණෙ නැහැ කියලා වික්ෂිප්තව මගෙ කතාව අහගෙන හිටියා. 2000 දී තමයි උපාධිය අරගෙන සරසවියට සමුදුන්නෙ.   
ඉනික්බිතිව මට වුවමනා වුණේ රස්සාවක් සොයා ගැනීමටයි.  


සමන් දසනායක සර් නිසා, මේ ජීවිතේ මට හමු වූ විශිෂ්ට මානවයෙක් හඳුනා ගන්න ලැබුණා. ඒ තමයි නිමල් ජයවර්ධන මහත්මයා. නිමල් සර් ළඟ තමයි මුලින්ම සහ අවසානය දක්වා රස්සාවක් කළේ.   


එතුමා දැනුම් සාගරයක්. ඒ වගේම උතුරා ගිය මනුෂ්‍යත්වයෙන් සපිරි පිරිපුන් චරිතයක්. දෙදහස් පන්සීයයේ වැටුපකට පොරොන්දුවී රස්සාව පටන් ගත්ත මට නිමල් සර් රු. 4000ක් ගෙව්වා. පසුව 2000 දී විවාහ වන විට මගේ වැටුප රු. 8500 දක්වා දීර්ඝ කරලා තිබුණා.  


‘‘සත්‍යජිත්’’ ඔයාට කවදාහරි මේ දේවල් දාලා යන්න වේවි. ඒ නිසා ඔයාගේම ව්‍යාපාරයක් ගොඩ නගා ගන්න උත්සාහ කරන්න’’ කියලා දිනෙක නිමල් සර් මට කිව්වා. පසුව මම ව්‍යාපාර ව්‍යාපෘති යෝජනාවක් හදලා නිමල් සර්ට දුන්නා. ගොඩනැගිලි ද්‍රව්‍ය අංශයේ ව්‍යාපාරය සර් ආරම්භ කළේ ඒ විදියටයි. එම ව්‍යාපාරය නිසිලෙස කළමනාකරණය කළ නිසා එතුමා මට ලොකු වැටුපක් සමග වාහනයකුත් ලබා දුන්නා. එහි සිටියදීම තමයි මගේම ගමනක් යන්න එතුමා අවකාශය ලබා දුන්නෙ. එතුමාගේ ඒ ව්‍යාපාරය දිනෙන් දින දියුණු කිරීමට මට පුළුවන් වුණා. පසුව මගේම ව්‍යාපාරය ඇරඹීමට එතුමා ලක්ෂ 100ක මුදලක් ලබා දුන්නා.  


සත්‍යජිත් සැබෑ සත්‍යගරුක චරිතයක් වන්නේ අතීතය කැඩපතක්සේ පැහැදිලිව දකින නිසයි. තමා නිර්මාණය කිරීමට දායක වූ සියල්ලගේ නම්, ගම් පැවසීමට ඔහු මැළි නොවෙයි. නිමල් ජයවර්ධන යනු විශිෂ්ට නිර්මාණ කුසලතාවක් සහ ව්‍යවසායකත්ව ඥානයකින් හෙබි මිනිසෙකි. ඔහු ගැන සහ ගුණසේකරන් නමැති මිනිසා ගැනත් සත්‍යජිත් නිරන්තරයෙන් මුමුනයි. වත්මනෙහි ගුණසේකරන් සත්‍යජිත්ගේ ව්‍යාපාර ගමනේ සහකරුවෙකුද වෙයි.  


මෙලෙසින් අද ව්‍යවසායකත්වයේ බොහෝදුරක් ගිය, මේ අපූරු මිනිසා නිසා, සෑහෙන පිරිසකට (300කට පමණ) රැකියා අවස්ථා ලැබී තිබේ. ව්‍යවසායකත්වයේ ගමන දියුණු කර ගැනීමට නම්? ‘‘හොඳ කණ්ඩායමක් තෝරා ගන්න. ඔවුන් ගැන විශ්වාසය තබන්න’’ එසේ පවසන සත්‍යජිත් ඇතුළු ඔහුගේ කණ්ඩායමේ ඊළඟ අභිප්‍රාය වන්නේ ‘‘දේශීය’’ නිෂ්‍පාදන අරඹා ලෝකය ජය ගැනීමටය.  


ඒ අරමුණ ඇතිව අද දවසේ කටයුතු කරන සත්‍යජිත්, ලෝකෙට ප්‍රකාශයක් වූ ගෙදරට ප්‍රායෝගික නොවූ චරිතයක් නොවේ. නියමිත වෙලාවට ආණ්‍ඩුවට බදු ගෙවන සහ අනෙකුත් ටැක්ස් ගෙවන බව කියයි. ලබන ලාභාංශවලින් පහෙන් එකක් සේවකයින්ට ලබා දිය යුතු බවද ඔහු දැඩිව විශ්වාස කරයි. ඔහු සමාජ සේවයෙහි නිරත වන්නේ ප්‍රචාරණය ලබාගැනීමට ද නොවේ.  


‘‘මට ආපස්සට හැරී බලද්දී ලොකු සතුටක් තියෙන්නෙ. මුදල් සහ ​අනෙකුත් භෞතික පරිසරයේ සුව පහසුව නිසා මගේ ජීවිතය සුවිශේෂී වෙලා නැහැ. මගේ තරගකාරයා කරන දේට වඩා අප කරන දේ ගැන චින්තනයක් තිබිය යුතුයි.’’ මගේ ළඟ සිටින අයගෙ අවශ්‍යතාව වෙනුවෙන් මේ වනවිට ගෙවල් හතක් හදලා දීලා තියෙනවා. මම දකින, මම හදන, සමාජවාදය සහ මගේ දේශපාලනය වන්නේ මේ විදියට කටයුතු කිරීමයි’’.  

 

 

 

සටහන - සඳුන් ගමගේ