‘හොට් ඩෝග්’ බනිස් විකුණා ලෝකයම ඇල්ලූ මැක්ඩොනල්ඩ්ස් සොහොයුරෝ


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි


මිනිසුන් වඩාත් රුචිකත්වයක් දක්වන්නේ කඩචෝරු කෑමටය. ලෝකයේම හැටි එහෙමයි. ඇයි මිනිස්සු එච්චරටම කඩචෝරු කෑමට ප්‍රිය? ඔබ දන්නවාද? ලෝකයේ මිලියන හැත්තෑවකට එහා වූ පිරිසක්, බර්ගර් බනිස් බිලියනයක් පමණ දිනකදී අනුභව කරන බව? ඒ අනුව කඩචෝරුවලට මිනිස්සු කොච්චරනම්, ලොල්ද කියා මැනගත හැකිය.  


වෛද්‍ය හා පෝෂණවේදී විශේෂඥයින්ගේ මතය අනුව නම් කෙටි ආහාර හෙවත් කඩචෝරු කෑම සෞඛ්‍යයට එතරම් හිතකර දෙයක් නොවේ. මේවා හඳුන්වන්නේ ජන්ක් ෆුඩ් (Junk food) හෙවත් කලින් පිළියෙල කර තබා ඒ මොහොතේ පිළිගැන්වෙන ආහාර ලෙසය. මෙලෙසින් ජන්ක් ෆුඩ් හෙවත්, අපේ ජනවහරට අනුව කඩ​චෝරු ලෙස එය නම් කළ හැකිය. මේවායෙහි ඇත්​තේ අඩු පෝෂදායක බවක් යැයි සඳහන් වේ. 

 
ශරීරයට හිතකර ආහාර වේලක් ලබා ගැනීමේ අයිතිය පාඨක ඔබට බාර කරමින්, මේ සූදානම් වන්නේ, කඩචෝරු ගැන තව දුරටත් කතා කිරීමට නොවේ. ඉහත සඳහන් කළ පරිදි ලෝකයේ මිලියන හැත්තෑවකට එහා වූ පිරිසක් කෑමට පුරුදුව සිටින ‘‘බර්ගර් බනිස්’’ සංකල්පය ලෝකයට වඩාත් ප්‍රචලිත කළ ‘‘මැක්ඩොනල්ඩ්ස්’’ සමාගමේ කතාව පැවසීමටය. ප්‍රකට සමාගම් ලොව දිනූ විශේෂාංගය අද මැක්ඩොනල්ඩ්ස්ලාගේ කතාව වෙතින් රස ගැන්වෙන්නේ මෙලෙසිනි.  


ලෝකයේ ලොකුම අවන්හල් ජාලය.  


ගුණය - පෝෂණය කෙසේ වෙතත්, මැක්ඩොන්ල්ඩ්ස් යනු ලොව ලොකුම අවන්හල්ජාලය වේ. මෙය ඇරඹියේ අදින් වසර අසූවකට පමණ පෙරදීය. ඇමරිකාවේ කැලිෆෝර්නියාහි ශාන්ත බර්නාඩිනෝහිදී ඉක්මණින් ආහාර පිළියෙල කර දෙන අවන්හලක් ලෙස මෙය ආරම්භ විණ. අද ලෝකයම අල්ලා සිටියද, මැක්ඩොනල්ඩ්ස් අවන්හල එදා ඇරඹියේ පවුලකට අයත් කුඩා අවන්හලක් ලෙසය.  


කෑමක රස බැලීම වෙනුවෙන් අවන්හලකට ගිය පසු, කවුද කැමති වැඩි කාලයක් බලා සිටින්නට? ගිය සැණෙකින් තමුන්  ඕඩර කළ ආහාරය ළඟට එනවා නම්, කවුරුත් කැමතිය. මෙම මැක්ඩොනල්ඩ්ස්ලා එදා පුංචියට තම අවන්හල ශාන්ත බර්නාඩිනෝහිදී ස්ථාපිත කරමින් මුලින්ම අලෙවි කළේ ‘හැම්බර්ගර්ස්’’ය. මෙය කොතරම් නම් ජනප්‍රිය වීද යත්, පුංචියට පටන්ගත් අවන්හල වෙත ‘‘හැම්බර්ගර්ස්’’ රස බැලීමට ආ පිරිස බොහෝ විය. උණු උණුවේම රසවත්ම - රසවත් ‘‘හැම්බර්ගර්’’ කෑමට නම්, අහවල් තැනට යන්න යැයි කියා, මේ පුංචි අවන්හල වෙත පැමිණ බර්ගර්ස් රස විඳි බොහෝදෙනා තම හිතවතුන්ට කියන්නට පටන් ගත්තේය. මිනිසුන්ගේ කටින් - කට ගොස් මැක්ඩොනල්ඩ්ස්ලාහට ලැබුණේ ලොකු ප්‍රචාරයකි.  


ඒ අනුව මේ කියූ රසවත් බර්ගර් බනිසයේ රස බලන්නට ආ පිරිස දිනෙන් දින වැඩිවීම නිසා මැක්ඩොනල්ඩ්ස්ලා හට වේගවත් සේවාවක් ලබා දීමට නොහැකි විණි. එනිසා සමහර අවස්ථාවලදී ජනතාවට පෝලිම් ගැසී සිටීමට පවා සිදුවිය.  


1940 වසරේ මූලාරම්භයේදී ඇරඹි මැක්ඩොනල්ඩ්ස් එම දශකයේ අගභාගය වනවිට විශාල දියුණුවක් ලැබීය. එය ඔවුන් කිසි විටෙකත් අපේක්‍ෂා නොකළ දෙයක් විය.  


දෙවැනි ලෝක යුද්ධයද නිමාවට පත් වූ පසුව අලුත් වූ, නිදහසක් ලැබූ ලෝකය, හැඩකාර වෙත්ම, මැක්ඩොනල්ඩ්ස්ලා මුළු ඇමරිකාවම අල්ලා ගන්නට සමත් වූහ. ඇමරිකාවේ ප්‍රාන්තයෙන්- ප්‍රාන්තය ආක්‍රමණය කළ පසු මැක්ඩොනල්ඩ්ස්ලා ලෝකයට ව්‍යාප්ත වූයේ වෛරසයක් මෙනි. ලොව විශාලතම අවන්හල් ජාලය ලෙස රටවල් සියයකට එහා වූ ප්‍රමාණයක ව්‍යාප්ත විණි. එම රටවල් සියයකට එහා ඇති මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ප්‍රමාණය අද වනවිට හතළිස් දහසකට ආසන්නය.   


සමස්ත අවන්හල් ජාලය පුරා සේවයෙහි නිරතව සිටින පිරිස, මිලියන 1.8කට ආසන්නය. එනම් ලක්‍ෂ දහඅටකට ආසන්නය. එය දෙවැනි වන්නේ, ‘‘වෝල්මාට්’’ සුපර්මාකට් ජාලයේ සේවක පිරිසට පමණෙකි. ඔවුන්ගේ වරලත්භාවය හෙවත් හිමිකම් යටතේ පවත්වාගෙන යන අවන්හල් ප්‍රමාණයද ඇතුළුව ගත් කළ මෙම පිරිස මීටත් වඩා ඉහළය. 1940 දී සමාගමක් ලෙස ලියාපදිංචිය ලැබුවද ‘‘මැක්ඩොනල්ඩ්ස්’’ හරියටම ආරම්භ වූයේ ඊට වසර දෙකකට පමණ පෙරදී යැයි සඳහන් වේ.   


ශාන්ත බර්නාඩිනෝහි උතුරු වීදිය සහ 14 වෙනි පටුමගෙහි වූ පුංචි ස්ථානයක ප්‍රථමයෙන් මෙය ස්ථානගතව තිබූ බැව් සඳහන්ය. එලෙසින් ‘‘මැක්ඩොනල්ඩ්ස්’’ පටන් ගත්තේ කවුද?  


රිචඩ් සහ මොරිස් මැක්ඩොනල්ඩ් සහෝදරයින්.  


එදා මෙලෙසින් මැක්ඩොනල්ඩ්ස් අවන්හල ලෝකයට හඳුන්වා දුන්නේ රිචඩ් සහ මොරිස් යන සහෝදරයින් දෙදෙනා විසිනි. මේ දෙදෙනා ඇමතුවේ ‘‘මැක් සහ ඩික්’’ නමිනි. මැක්ඩොනල්ඩ් සහෝදරයින් දෙදෙනකු වූ බැවින්, පසුව අවන්හල නම් කරනු ලැබුවේ මැක්ඩොනල්ඩ්ස් නමිනි. මැක්ඩොනල්ඩ්ස් සහෝදරයින් දෙදෙනා උපත ලැබුවේ, මැන්චෙස්ටර්හි නිව් හැම්විෂයර්හිදීය. ඒ දුප්පත් පවුලකට අයත් දරුවන් ලෙසිනි.   


පැට්‍රික් සහ මාග්‍රට් යනු අයර්ලන්තයෙන් ඇමරිකාවට සංක්‍රමණය වී සිටි යුවළක් වූ අතර, මේ මැක්ඩොනල්ඩ් දරු දෙදෙනාගේ මව්පිය යුවළ වූයේ ඔවුන්ය. මෙම පිරිමි දරු දෙදෙනාට අමතරව තවත් කාන්තා දරුවන් තිදෙනෙකු මැක්ඩොනල්ඩ්ස් පවුල සතුවිණි. මොරිස් මැක් මැක්ඩොනල්ඩ් උපත ලැබුවේ 1902 වසරේදීය. ඔහුගේ මළණුවන් වූ රිචඩ් ජේම්ස් උපන්නේ 1909 දීය. මෙම අවන්හල් ජාලය බිහිකිරීම කෙසේ වෙතත්, ව්‍යවසායකයින් ලෙස වයස අවුරුදු 50ට පෙර ලෝකය ජයගැනීමට රිචඩ් අදිටන් කරගෙන සිටියේය. ඊට වැඩිමහල් සහෝදරයා වූ මොරිස්ද හවුල් කර ගත් අතර, ජීවිත ආර්ථික අතින් ශක්තිමත් කර ගැනීමේ ඒකායන අරමුණු ඇතිව ඔවුහු කැලි​ෆෝර්නියා වෙත ආහ.   


වයස 50ට පෙර ඩොලර් මිලියනයක් උපයා ගැනීම රිචඩ්ගේ ප්‍රධාන අභිප්‍රාය වූ බැවින්, 1930 වන විට කැලිෆෝර්නියා වෙත පැමිණ සිටි ඔහු සිනමා අංශයේ ව්‍යාපාරයක් ආරම්භ කළේය. එහෙත් එය අසාර්ථක වූ බැවින්, ඊළඟට කුමක් කරන්නේද යන්න, කල්පනාවේ නිමග්නව සිටියේය. කැලිෆෝර්නියාවේ ආකිඩියා සැන්ටා-ඇනිටාහි ධාවන පථය අසල පුංචි ස්ථානයක හොට්ඩෝග් බනිස් විකිණීමට අවස්ථාවක් උදාකරගත් අතර, ජීවනෝපාය සඳහා එය පවත්වාගෙන ගියේය. එවකට එය පදික වෙළෙඳාමක් කිව්වොත් වඩා නිවැරදිය.   


එවකට එම මොන්රෝවියා ටවුමේ තරමක් සාර්ථක වූ ස්වයං ව්‍යාපාරය වූයේ එයයි. කෙසේ වෙතත් ධාවන පථයේ තරග සහ පුහුණුවීම් සියල්ල වසර පුරා නොපැවැත්වුණි. එනිසා සෑමදාම එම ව්‍යාපාරය සරු වූයේ නැත. එනිසා ජනගහණය ලක්‍ෂයක් පමණ විසූ ශාන්ත බර්නාඩිනෝහිදී පෙරට වඩා, විශාල ස්ථානයක හොට්ඩෝග් ව්‍යාපාරය ආරම්භ කිරීමට රිචඩ් කල්පනා කළේය. ඒ වෙනුවෙන් බැංකු ණයක් ගැනීමට ගියද, ණය දීම බැංකු වෙතින් ප්‍රතික්ෂේප විණි.  


බලාපොරොත්තු අත්නොහළ, රිචඩ් අවසන බෑන්ක් ඔෆ් ඇමරිකා හෙවත්, ‘ඇමරිකා බැංකුව’ වෙතින් ණය මුදලක් ඉල්ලා සිටියේය. ඩොලර් 5000ක ණය මුදලක් 1940 වසර උද‌ාවෙද්දී. අනුමතවී තිබිණ. ප්‍රථමවරට රථවලින් පැමිණ ඕඩරය ලබාගෙන යා හැකි විදියට බර්ගර් බනිස් විකිණීම ඇරඹුවේ ඒ සමඟය. වාහනයේ එන අයට ඒ මොහොතේදීම බර්ගර් බනිසය ලබාගෙන ඉක්මණින් යා හැකි වුණි. එය බාබකියු අවන්හලක් ලෙස හැදින්වීමද වඩා උචිතය.   


මෙම අවන්හල වෙත බොහෝවිට පැමිණියේ නව යෞවන- යෞවනියන්ය. තාරුණ්‍ය අතර එලෙසින් මැක්ඩොනල් සහෝදරයින්ගේ බර්ගර් ප්‍රචලිත වූයේ, අඩු මුදලකට රසවත් කෙටි ආහාරයක් ඉක්මණින් ලබා ගත හැකි වූ නිසාය. අනාගතයේදී තමුන් සේවා සැපයිය යුත්තේ, කිනම් වයස් කාණ්ඩයේ පිරිසකටද යන්න සහෝදරයින් වටහා ගන්නේ එහිදීය.  


‘‘මීට වඩා අපි අපේ සේවාව වේගවත් හා ප්‍රමිතිගත කළ යුතුයි.’’ යන්න මැක්ඩොනල්ඩ් සහෝදරයින්ට ඒත්තු ගැන්විණි. ටික දිනකින් මෙම සේවාව තවත් දියුණු වෙද්දී, රථ වලින් පැමිණෙන ග්‍රාහකයින්හට මෝටර් රථය අසලටම ගොස් ආහාර ලබාදීම වෙනුවෙන්, ලස්සන යුවතියක් සේවයට බඳවා ගනු ලැබිණ. ඇයගේ පෙනුම ලස්සන වූවද, සහෝදරයින් අපේක්‍ෂා කළ තරමට සේවාව පහසු නොවුණි. ඒ නිසා 1948 වනවිට අවන්හල වසා දැමූ අතර, සේවයට බඳවා ගත් ලස්සන යුවතියට රැකියාවෙන් ඉවත් වන්නට කීවේය.  

 


අලුත් ගමනක්  


1948න් පසුව සියල්ල විධිමත් කළ අතර, ඉවුම්-පිහුම් සහ අවන්හලේ සියලු කටයුතු අතින්ම කරනවාට වඩා යන්ත්‍රානුසාරයෙන් කිරීමට සහෝදර දෙපළ කටයුතු සකස් කළහ. බර්ගර් බනිස් අලෙවියට සුදුසු පරිදි පිස ගැනීමට පෙර කල් ඇතිව සකස් කර තබා ගැනීම වෙනුවෙන් කටයුතු සම්පාදනය කළ අතර, වට්ටෝරුවද වෙනස් කළේය. මැක් සහ ඩික් අලුත් ගමන පටන් ගත්තේ එලෙසිනි. එම ගමනේදී හැම් බර්ගර් පමණක් නොවේ, මිල්ක්ෂේක්, සහ අල බැදුම හෙවත් ​ෆ්‍රෙන්ච්ෆ්‍රයිස්ද වට්ටෝරුවට ඇතුළත් කර තිබිණි. ඒ අනුව නැවතත් පෙර ස්ථානයේදීම සහෝදර දෙපළ තම අලුත්ගමන ආරම්භ කළෝය.  
1954 යනු ඔවුනගේ ගමනේ ස්වර්ණමය මාවතකට පිවිසි වසරයි. ව්‍යවසායකයකු වූ රේ ක්‍රොක් සහෝදරයින් දෙපෙළගේ ව්‍යාපාර නාමය සමඟ එක්වී සිටියේය. ඒ ඔවුනගේ ව්‍යාපාර සහකරුවකු ලෙසිනි. මෙවැනි ආහාර පාන අලෙවි ක්ෂේත්‍රයේ අත්දැකීම් සම්භාරයක් ලද පුද්ගලයකු වූ ක්‍රොක්හට අනාගතය දැකීමේ හොඳ ඉවක් තිබිණි.  


‘මැක්ඩොනල්’ නාමය යටතේ ශාඛා රටපුරා ව්‍යාප්ත කිරීමේ කර්තව්‍ය වරලත් බව ඇතිව නතුකරගෙන සිටි රේ ක්‍රොක් එම අලෙවි ශාඛාවලින් ලැබෙන ලාභාංශවලින් සියයට 0.5ක ප්‍රතිශතයක් පමණක් වරලත්භාවය උදෙසා ලබා දීමට පොරොන්දු විය. අවසන එම අලෙවි ශාඛා ක්‍රොක් මිලදී ගැනීම සිදු කළේය. සහෝදරයින් පසුව වෙනත් අයට ද තම මැක්ඩොනල්ඩ්හි වරලත් බව ලබා දී තිබුණද එය හිතපු තරම් සාර්ථක නොවූ බැවින් ඒ ගිවිසුම් සියල්ල අවලංගු කිරීමට තීරණය කළේය. කෙසේ වෙතත් අතිශය ශූර දැක්මක් තිබූ රේ ක්‍රොක් නිසා මැක්ඩොනල්ඩ්ස් ලෝක ව්‍යාප්ත කිරීම කළ හැකිවූ බව පැවසිය හැකිය.  
රේ ක්‍රොක් සමඟ ගමනක් යාමට පෙර රිචඩ් මැක්ඩොනල්ඩ්හට තමාගේ ඉලක්කය කරා යාමට හැකිව තිබිණි. එනම් වයස අවුරුදු 50 වන විට, බිලියනපතියකු වීමට සහෝදර දෙපළට හැකිව තිබිණි.  


1955 වසර වනවිට ඇමරිකාව පුරා ව්‍යාපත්ව තිබූ මැක්ඩොනල් 1956 දී පූර්ණ වරලත්භාවය සතු සංස්ථාවක් ලෙස ස්ථාපිත කර තිබිණ. 1961 පමණ වනවිට ‘‘සලකුණක් යටතේ මැක්ඩොනල්ඩ්ස් පවත්වාගෙන යා යුතුය’’ යන අදහස මතුකළේ රේ ක්‍රොක් විසිනි. එමෙන්ම එම් 'm' හෙවත් ආරොක්කු ද්විත්වයක හැඩයෙන් යුතු 'm' සළකුණ යොදා ගැනීමට ඔවුන් තීරණය කර තිබිණි.   


මැක් හෙවත් mc යන්නෙහි තේරුම Son (පුතු) යන්නය. ඩොනල්ඩ් යන්නෙහි තේරුම ලෝකයට අණ දෙන්නා යන්නය. එකතකට ‘රිචඩ් සහ මොරිස්’ ලෝකයට අණ දුන්නේ බර්ගර් බනිසයෙන් නොවේද?  


මේ අපූරු සහෝදරයින්ගේ සංකල්පය ලෝකයට ගෙන යමින් ලෝකය පුරා ප්‍රචලිත කිරීමට මෙන්ම නව සංකල්ප ක්‍රියාත්මක කරවීමට ඔවුනගේ ව්‍යාපාර සහකරුවා වූ රේ ක්‍රොක්, දැක්වූ දායකත්වය සුවිශේෂී වූවකි. කෙටියෙන් කිවහොත් මැක්ඩොනල්ඩ්ස්ලා ලෝකයට ගෙන ගිය මහා මිනිසා රේ ක්‍රොක්ය. 1970 දී ලෝක ආර්ථිකය කඩා වැටීම හමුවේ පවා මැක්ඩොනල්ඩ්ස් නැගී සිටියේ ක්‍රොක්ගේ නව සංකල්ප ක්‍රියාත්මකවීම නිසාවෙනි.  


එදා සහෝදරයින් දෙදෙන 1940 දී ආරම්භ කළ අවන්හලේදී 1948 වනවිට හැම්බර්ගර් එකක් අලෙවි කර ඇත්තේ, ශත 15කට වැනි මුදලකටය. චීස් බර්ගර් එකක් ශත 15ක මුදලකට අලෙවි කළ අතර, අල බැදුම ශත 10 පමණ විය. පසුව මුදලට සහ විනිමය අනුපාතයට සාපේක්‍ෂව එක් එක් මිල ගණන් යටතේ වුවද, බොහෝ දෙනා විශ්වාස කරන්නේ, පවතින ආර්ථික ස්වභාවයට අනුව ඔවුන් ආහාර-පාන අලෙවි කරන බවය. තත්ත්පර 30ක් වැනි කාලයකදී වේගවත්ව සේවාව ලබාදීම නිසා මැක්ඩොනල්ඩ්ස්ලා ලොව පුරා ප්‍රකටවී තිබේ.  


ලෝකය හෙටටත් මැක්ඩොනල්ස් පිළිගනීවිද?  


වෛද්‍ය හා පෝෂණවේදී විශේෂඥයින්ගේ මතය කුමක් වූවද, මැක්ඩොනල්ඩ්ස් තවමත් ලෝකය ආක්‍රමණය කරමින් සිටී. එනමුත් බටහිර රටවල දැන් දැන් මෙම කඩචෝරු කෑම එතරම් හොඳක් ලෙස නොදකින නිසා, වැඩිහිටි පරම්පරාව එයින් ඈත්ව සිටින වග දක්නට ලැබේ. එහෙත් තාරුණ්‍යයට තිරිංග නැතිවා සේ, තාරුණ්‍ය අතර සහ ළමුන් අතර, මැක්ඩොනල්ඩ්ස්ලා වඩා ප්‍රකටය.  


මේ සෑම අවන්හලකදීම දුම්පානය කිරීම තහනම්වීම නිසා පවුල් වශයෙන් පැමිණීමද නිරන්තරව සිදුවේ. මෙහිදී මැක්ඩොනල්ඩ්ස් ආහාර පානවල ගුණ අගුණ සොයා යාමට වඩා අප ගත යුත්තේ අරමුණක් සඵල කරගත් අපූරු මිනිසුන් දෙදෙනෙකුගේ ජීවිතවලින් ගත හැකි හොඳ දේය. ඒ අනුව රිචඩ් සහ මොරිස් සහෝදර දෙපෙළගෙන් ගත හැකි ජීවන ආදර්ශය ඉතා අගනේය. දුප්පතුන් ලෙස ඉපිද ඔවුන් මිය ගියේ, පොහොසතුන් ලෙසය. මේ දෙදෙනා විවාහවී සිටි බිරින්දෑවරු දෙදෙනාගේ නම ඩොරති වීම එක් අතකට තවත් පුදුමයකි. මොරිස් ඩොරති කාටර් සමඟ විවාහවී සිටි අතර, රිචඩ් ඩොරති මැක්ඩොනල් සමඟ විවාහවී සිටි බව සඳහන්ය.  


ලොව පුරා බිලියන ගණනක ජනතාව අතර ක්‍ෂණික ආහාර ගැනීමේ ක්‍රමයේ විප්ලවීය වෙනසක් කළ රිචඩ් මැක්ඩොනල්ඩ්ස් වයස අවුරුදු 89ක් ආයු වළඳා මියගියේය. ඔහුගේ සහෝදරයා වූ මොරිස් මියගියේ වයස අවුරුදු 69දීය.

 

 

සඳුන් ගමගේ