‘කීර’ විකුණන අම්මලා


නාලනී

 

 

ජීවත්වීම සඳහා මිනිසුන් විවිධ ස්වයං රැකියාවල යෙදී සිටිති. ඉන් වට්ටි, පෙට්ටිවල ගමේ ගොඩේ කොස්, දෙල්, එළවළු, පලතුරු, පලාවර්ග විකුණා ජීවිකාව ගැට ගසා ගන්නා පිරිස් ද ඒ අතර වෙති.  


 කීර අම්මලා මෙන්ම අල, කොස්, දෙල් විකුණන කාන්තාවන් ලංකාව පුරා මේ වෙන විට හයදහසකටත් අධික සංඛ්‍යාවක් සිටිති. අපි මෙවර ඇය ගැන කතා කරන්නට සති පොළේ ජීවිකාව ගෙවන කීර අම්මලා සොයාගෙන ගියෙමු. කොළඹට හුරුපුරුදු ‘කීර අම්මලා’ කොළඹින් පිට පළාත්වලදී පලාකොළ අම්මා ලෙසට ද හඳුන්වනු ලබති. ඒ විවිධ පළාත් අනුව සැදුණු නාමයන්ය. කාලගුණ විපර්යාසත් සමඟ කීර වෙළෙඳ‌ාමේ නියැළෙන මේ අම්මලාට වැහි කාලයට අනේක දුක් ගැහැට විඳින්නට සිදුවෙයි. එමෙන්ම අධික නියඟය, අධික වර්ෂාව මේ අම්මලාගේ ජීවනෝපායට තදින්ම බලපාන කාරණාවන් ද වනු ඇත. කෙසේ වෙතත් ඒ සියල්ලටම මුහුණ දෙන මේ අම්මලාගේ මුහුණුවල තිබෙන්නේ ශක්තිමත් සිනහවකි.  


 කීර මිටක් විකුණා ජීවිතය ගැට ගසා ගන්නට දරන සටන දුටු විට පිරිමින්ට වඩා ගැහැනුන් ජීවන අරගලයක නිරත වෙන බව අමුතුවෙන් කිව යුතු වෙන්නේ නැත. මන්ද ඉන් කාන්තාවන් බහුතරය කීර වෙළෙඳ‌ාමෙන් සිය පවුල් නඩත්තු කරන නිසාවෙනි.  


උගුර ලේ රහ වෙනතෙක් කෑ ගසමින් අව්වට වෙළෙමින්, වැස්සට තෙමෙන ජීවන අරගලයේ සැබෑම අරගලයක නිතර වෙන කීර අම්මලා ජීවත්වෙන්නට දරන සටන ගැන ඔවුන් අදහස් දැක්වූවේ මෙලෙසිනි.  


ගුණවතී මහත්මිය:  


දැන් මම අවුරුදු දහයක් විතර තිස්සේ පොළේ කීර විකුණනවා. මම විවාහකයි. දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. දරුවෝ නම් පොළේ යන්න එපා කියලා මට බණිනවා. දරුවන්ට කරදරයක් වෙන්නේ නැතුව මම මගේ වියදම කීර විකුණලා සොයා ගන්නවා. දැන් මට 72 ක් වෙනවා. තාම මගේ අතේ පයේ හයි හත්තිය තියෙනවා. කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න තමයි මට ඕනැ. අපි කීර ටිකක් විකුණලා කීයක් හරි හොයාගෙන ජීවත්වෙන දුප්පත් මිනිස්සු. දේශපාලනයේ මොකා ආවත් අපේ බඩ පිරෙන්නේ කීර මිටියක් විකුණුනොත් තමයි.  


කරලැයින් මහත්මිය:  


මම ඉතින් කීර විතරක් නෙමෙයි ගමේ හැදෙන හැම එකම පොළට අරගෙන එනවා. මුකුණුවැන්න, ගොටුකොළ පලාවර්ග දෙක නම් මේ දවස් විකිණෙන්නෙම නෑ.  


දැන් මට අවුරුදු 83 ක් වෙනවා. අවුරුදු 30 ක් විතර තිස්සේ ඉඳලා මම පොළේ කීර වර්ග විකුණනවා. දැන් මගේ දරුවෝ විවාහ වෙලා. ඒත් මම පොළේ කීර විකුණන්නේ ඉඩම් නඩුවකට සල්ලි හොයාගන්න. දරුවන්ට මම කරදර කරන්නේ නෑ. මැරෙන්න කලින් මට ඕනැ ඒ නඩුවෙන් මගේ ඉඩම නිදහස් කරලා දරුවන්ට දීලා ද‌ාන්න. සමහරු කියනවා බණක් භාවනාවක් කරගෙන ඉන්න ඕනෑ කාලේ මොකටද මේවා කරන්නේ කියලා. ජීවත්වෙලා ඉන්න කාලේ මට පුළුවන් විදිහට මම මගේ දේවල් කරගන්නවා. මේක තමයි මට තියෙන එකම ආද‌ායම. මට කුඹුරු තියෙනවා. ඒ හැම එකක්ම පිට අය අල්ල ගත්ත නඩු ද‌ාලා. පොළේ ඇවිල්ලා හොයාගන්න මුදලින් තමයි නඩුවලට දෙන්නේ. මොනවා කරන්නද ඉතින් මේක තමයි දෛවය.  


ඉස්සර මම හරි හරියට වැඩ කරපු කෙනෙක්. කොළඹ ඉහුම් පිහුම් වැඩමුළුවල මම කොණ්ඩ කැවුම් එහෙමත් හදලා තියෙනවා. අපේ නම් දැන් කාලේ ඉවරයි. අපි අද ඉඳලා හෙට මැරිලා යාවි. එහෙන් බෝම්බ ගහනවා. එහෙන් උද්ඝෝෂණ කියනවා. එහෙන් උපවාස කියනවා. අනේ මන්ද‌ා රටට වෙන වින්නැහිය ගැන හිතාගන්න බෑ. කොහොම වුණත් අපේ බඩ වියත රැකෙන්නේ අපි හම්බකර ගත්තොත් තමයි.  


බස්වල, ත්‍රීවීල් වල තමයි බඩු ටික පොළට අරගෙන එන්නේ. සමහර රියැදුරු මහත්තුරු, කොන්දොස්තරලා නම් හරි හොඳයි. බඩු බාගන්න, උස්සලා බස් එකට ද‌ාගන්න උදව් කරනවා. සමහරු නම් යටකරගෙන යන්න තරම් වේගයෙන් දැක්කේ නෑ වගේ යනවා.  


සුන්රාණි වික්‍රමාරච්චි (හොරණ ප්‍රදේශය)-   


මමත් කීර (පලා වර්ග) තමයි පොළේ විකුණන්නේ. කොළ වර්ග අඩු කාලෙට කෙසෙල්, ගස්ලබු, නාරං වගේ ගමෙන් පලතුරු ගෙනල්ලා විකුණනවා. මේ දවස්වල පලා වර්ග විකිණෙන්නෙම නෑ. වැස්ස නිසා මිනිස්සු කීර ගන්නේ නෑ. දවසට පලා මිටි විස්සක් තිහක් හවසට වීසි කරනවා.  


 මම දැන් අවුරුදු 25 ක් තිස්සේ පොළේ කීර විකුණනවා. පොළේ කීර විකුණලා තමයි දරුවන්ට ඉගැන්නුවේ. හැමදේම කළේ. දැන් මගේ මහත්තයාට සනීප නෑ. එයාට බෙහෙත් කරන්න, ගෙදර කෑම බීම ටික සොයාගන්න ඕනෑ නිසයි මම කීර විකුණන්නේ. දැන් තියෙන ආර්ථිකයත් එක්ක ජීවත්වෙන්න හරිම අමාරුයි. දරුවෝ ඉගෙන ගත්තට හරියට රස්සාවක් නෑ. ගොඩක් ඉස්සර අපිට හොඳට බිස්නස් තිබුණා. අවුරුදු තුන, හතරක වෙලේ ඉඳලා අපිට හොඳ බිස්නස් එකක් නෑ. සමහර දවසට රුපියල් දෙසීයයි. සමහර දවසට ද‌ාහක් පන්සීයක් හොයාගන්න පුළුවන්. යහමින් කීර විකුණපු දවසට ගෙදරට වැඩියෙන් බඩු ටිකක් ගෙනිහින් ද‌ානවා. දැන් පලා මිටියක් 50 යි. අපි කොරටු හිමියගෙන් ගන්නේ හතළිහට, හතළිස් පහට වගේ රුපියල් පහක් අටක් වගේ පොඩි ලාබයක් තමයි අපට තියෙන්නේ.  


වැස්සට තෙමෙන අව්වට කරවෙන පොඩි මිනිහාගේ දුක ගැන රටේ ආණ්ඩු පාලනය කරන ලොකු ලොක්කන්ට තේරෙන්නේ නැහැ.  


ඉන්ද්‍රාණි (පොල්ගස්ඕවිට)-  


හිතන තරමටම මේ දවස්වල කීර විකිණෙන්නේ නෑ. වැස්ස වැඩිවීම එකක්. අනිත් එක මිනිස්සුන්ට සල්ලි නෑ. අවුරුදු හතළිහක් තිස්සේම මම කරන්නේ පොළේ කීර විකුණන එක තමයි. ඉස්සර වගේ මිනිස්සු දැන් ගුණ දේවල් කන්නේ නෑ. ඒකනේ මිනිස්සුන්ට ලෙඩ වැඩි. විශේෂයෙන් තරුණ ළමයි පලා ටිකක් කන්න, කොළ කැඳ ටිකක් බොන්න කැමැති නෑ. පලා මිටියක් කියන්නේ ලෙඩ ගොඩක් නසන ඖෂධයක්. වටිනාකම, ගුණය, දන්නකෙනා අරගෙන යනවා. මම කියන්​නේ පොළෙන්ම කීර ගන්න ඕනැ නෑ. තමන්ට වත්තෙන්ම මැල්ලුමකට කොළ ටිකක් හොයාන්න පුළුවන්. අලයි පරිප්පුයි කනවට වඩා ගෙදරින් සොයාගන්න පලා කොළ ටිකෙන් ඇඟටත් හොඳයි. පර්ස් එකටත් හොඳයි. ලොකු ලොකු අය එනවා. පලා කොළයක්වත් හරියට අඳුරන්නේ නෑ. සමහර නෝනලාට හදන හැටිත් කියලා දීලයි යවන්න ඕන. මේක ලෝබ කමක් නැතුව හරිම සතුටින් කරන රස්සාවක් අපි. පුංචි ගාණකට කීර මිටියක් දෙන්නේ, අපි රජවෙන්න නෙමෙයි අපෙත් බඩ පුරවගන්න ඕනැ නිසා.  


ඉස්සර මම කීර කොටුවක් වැව්වා. මහත්තයා නැති වුණාට පස්සේ ඒ හැමදේම අත්හරින්න වුණා. මට ඉන්නේ දුවලා දෙන්නෙක්. ඒ දෙන්නව හදාගන්නේ මම මේ රස්සාවෙන් තමයි. දැන් මේ දවස්වල කොළ විකිණෙන්නේ නැති නිසා කොළ වීසිකරන්න වෙනවා. ගොඩක්ම පාඩුයි. ඒත් ඉතින් මොනවා කරන්න ද? වැස්සත් හානිකරන්නේ පොඩි මිනිහටම තමයි. ඉස්සර වගේ නෙමෙයි දැන් තියෙන ආර්ථිකයත් එක්ක කීර විකුණලා ජීවත්වෙන්න අමාරුයි. ඒ වුණත් අපේ බඩ දැන් ඒ ප්‍රමාණයට හැදිලා තියෙන්නේ. ප්‍රශ්න නම් අපට කෝටියක් තියෙනවා. කවුරු දිනුවත් කවුරු රට පාලනය කළත් අපි හැමද‌ාම මේ කීර ගොඩේ තමයි. රටේ පොඩි මිනිහට ආදරේ කරන පාලකයෙක් මම හිතන්නේ නෑ මේ රටේ පහළ වේවි කියලා.  


සීලවතී මහත්මිය (මඩපාත ප්‍රදේශය)-  


දැන් අවුරුදු අටක නවයක ඉඳලා තමයි මම මේ කීර විකුණන රස්සාව කරන්නේ මේ දවස්වල කීර කොරටුවලත් පලා කොළ හැදෙන්නේ නැහැ. ඒකෙන් අපේ ආර්ථිකේ හොඳටම වැටිලා තියෙන්නේ. පලා කොළ අඩු කාලවලට අපි වෙන දෙයක් පොළේ විකුණනවා. ඒත් අපිට වෙන දෙයක් මිලදී ගෙන පොළේ වෙ​ෙළඳ‌ාම් කරන්නවත් අතේ මුදල් නෑ.  


 දරුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් තවම ඉගෙන ගන්නවා. දරුවාගේ උසස් අධ්‍යාපන වෙනුවෙන් මුදල් අවශ්‍ය නිසා තමයි මම මේ රස්සාව කරන්නේ. හැමද‌ාම කීර විකුණන්න මම පොළට එනවා. එක දවසක්වත් ගෙදර ඉන්න බෑ. දැන් තියෙන ආර්ථිකයත් එක්ක හැමද‌ාම පොළේ නෑවිත් ජීවත්වෙන්න අමාරුයි. උදේ පහට හයට එනවා. රෑ වෙනකම් ඉඳලා හරි කොළ මිටි ටික විකුණාගෙන තමයි ගෙදර යන්නේ. බඩු මිල අහස උසට. පලා මිටියක් විකුණලා හොයාගන්න සොච්චමෙන් හරි අමාරුයි ජීවත්වෙන්න. දේශපාලනඥයෝ එනවා යනවා. ඡන්ද තියනවා උන් උන්ම මරාගන්නවා. මොකා ආවත් උන් උන්ගෙම මඩිය තරකර ගන්නවා. උන් සැප විඳිනවා. අපි මහ පාරවල්වල දුක් විඳිනවා.  


නාලනී මහත්මිය-  


 මේ දවස් වල කීර වෙළෙඳ‌ාම නම් හොඳටම බැහැලා තියෙන්නේ. හේතුව වැස්ස. වැස්ස කාලෙට මිනිස්සු පලා කොළ කන්න බයයි. හැම අවුරුද්දෙම අපි මේ දුෂ්කරතාවලට මූණදෙනවා. ඒත් දැන් දේශගුණය වෙනස්. වෙන අවුරුදුවල මේ විදිහට මාස ගණන් වැස්සේ නෑ. මුකුණුවැන්න, කංකුං වැස්ස වැඩි නිසා හැදෙන්නෙම නැහැ. අපිට මේවායින් ලාභය තියෙන්නේ රුපියල් පහක් දහයක් වගේ. දුක් විඳගෙන මේක කරන්නේ ජීවත්වෙන්න වෙන මාර්ගයක් නැති නිසා.  


මේ කාලෙට බණ්ඩාරගම, හිරණ පැතිවල පලා කොරටුවල පලා නැහැ. ඒ නිසා අපි ගෙන්වන්නේ දුර පළාත් වලින්. දුර පළාත් වලින් ගේනකොට අපිට ගන්න වෙන්නේ ලොකු මුදලක් දීලා. එහෙමයි කියලා කොළ මිටියක් රුපියල් සීයට, දෙසීයට දෙන්න බෑනේ. වෙන කරන්න දෙයක් නැති නිසා පාඩු විඳගෙන පලා විකුණනවා.  


 මගේ අම්මා අවුරුදු තිහක් තිස්​සේ කළේ කීර විකුණපු රස්සාව. දැන් අම්මා අසනීපයි. අපි මේ අඩි තුනක කෑල්ලට නගර සභාවට 1200 ගෙවන්න ඕනෑ.   


මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. සාමාන්‍ය පෙළ කරන දෙන්නෙක් ඉන්නවා. ශිෂ්‍යත්වය ලියන එක්කෙනෙක් ඉන්නවා. එයාලගේ ටියුෂන් සල්ලි එයාලට අවශ්‍ය කරන දේවල් අරගෙන දෙන්න මාසෙට ලොකු මුදලක් යනවා. මම ඒ ඔක්කොම කරන්නේ කීර විකුණලා. වෙනදට මම දවසට රුපියල් ද‌ාහක්, එක්දහස් පන්සීයක් විතර හොයා ගන්නවා. මේ දවස්වල නම් සමහර දවසට රුපියල් 500 ක් වත් නැති දවස් තියෙනවා.  


ම​ගේ ළඟ හැම කොළ වර්ගයම තියෙනවා. වර්ග 12 ක් විතර. ඔක්කොම මම ගන්නේ පිට කොරටු වලින්. හවසට වැස්ස දවසට ඉතුරු වෙන කොළ ඔක්කොම වීසි කරන්න ඕනෑ. පහුගිය දවස්වල හැමද‌ාම හවසට කීර මිටි පෝර බෑග් එක ගානේ වීසි කළා. අද ඒවා හෙට විකුණන්න බෑ. කොළ හොඳට ​​ප්‍රෙෂ් එකට තියෙන්න ඕනෑ. කොළ වේළුනාම මැළවුණාට පස්​නේ විකුණන්න බෑ.  


අද ළුෑනු 250 ක් රුපියල් 100 ක්. ඉතින් කොහොමද ජීවත් වෙන්නේ? ඡන්දෙ ගන්න කම් එනවා අපේ පස්සෙන් උඹලට අරවා දෙන්නම්, මේවා දෙන්නම් කියලා. ඊට පස්​සෙ උන්ට අපි ජීවත් වුණත් එකයි මැරුණත් එකයි.  


 උදේ 5 ට පොළට එන්නේ. රෑ කීය වෙනකම් හරි ඉඳලා කොළ ටික විකුණගන්න උගුර ලේ රහ වෙනකම් කෑගහනවා. මිනිස්සුන්ට ගුණ දේවල් දෙන්න වගේම කීර විකුණලා ජීවත්වෙන්න දුක් විඳින අපේ දුක දැනෙන්න නම් මේ රටට අහිංසක මිනිහගේ දුක​ තේරෙන පාලකයෙක් එන්නම ඕනෑ.  

 

 

 

 නදීශා අතුකෝරළ  
ඡායාරූප චානුක කුලසේකර