​අපේ වෙරළ අපවිත්‍ර කළ ඉන්දියාවේ කුණු


 

අප රටේ සුන්දරභාවය රැඳී පවතින ප්‍රධාන සාධකයක් වනුයේ දිවයින වටා ඇති වෙරළ තීරයයි. ලොව නන්දෙසින් පැමිණෙන දහස් සංඛ්‍යාත සංචාරකයන් අපගේ වෙරළ තීරයට දක්වන්නේ දැඩි උනන්දුවකි. විශේෂයෙන් දකුණු දිග මුහුදු තීරය සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත්වූයේ දීර්ඝ කාලයක සිටයි. නැගෙනහිර පළාතේ කාලයක සිට පැවැති යුද්ධය හේතුවෙන් එම වෙරළ තීරය භාවිතයට නොගැනුණ අතර මේ වනවිට නැගෙනහිර පළාතේ වෙරළ තීරය ද සංචාරක පාරාදිසයක් බවට පත්ව තිබේ.   


සුන්දර දිවයිනක් වන අපේ රට ‘මනාලියක’ ලෙස ගත් කල එම මනාලියට සරිලන වේල් පලඳනාව ලෙස වෙරළ තීරය හැඳින්විය හැක. එම මනාලියගේ වේල් පලඳනාව මේ වනවිට කිළිටිව ගැලවී යාමේ අවද‌ානමක් පවතියි. කෙටියෙන්ම කිවහොත් අප දිවයින වටා ඇති මුහුදු වෙරළට විවිධ ප්‍රදේශවලින් එකතු වන කැළිකසළ නිසා මේ වන විට එය අවලක්ෂණ වී තිබේ.   


 අවලක්ෂණ වූවා සේම වෙරළ තීරයට බැසීමට තරම් නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගියදා පුත්තලම හා මන්නාරම ප්‍රදේශයට විශාල වශයෙන් විදේශ රටවලින් පාවී පැමිණෙන කසළ තොග එක්රැස් වීමයි. දැනට හඳුනාගෙන ඇති පරිදි මෙම කසළ තොග වෙරළ තීරයට එක්​ෙරාක් වී ඇත්තේ ඉන්දියාවෙන් බව අනාවරණය වී ඇත. ඊට හේතුව එම කසළවල තිබූ රසායනික ද්‍රව්‍ය බො​ෙහා්මයක් ඉන්දියාවේ නම ඇතුළත් බෝතල හා ප්ලාස්ටික් බඳුන් වීමයි. මේ පිළිබඳ අප පරිසරවේදීන්ගෙන් මෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළෙමු.   


 පරිසර විද්‍යාඥ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය ඒ ගැන මෙසේ අදහස් දැක්වූවාය.   


 බොහෝ රටවල් කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය බොහොමයක් මුහුදට මුද‌ා හරිනවා. ඒවා තුරන් කළ හැකි එකම ක්‍රමය එය වුවත් එහි අනිසි පාරිසරික ප්‍රතිඵල රැසක් පැන නගිනවා.   


 අපද්‍රව්‍ය මුහුදු වෙරළට ගොඩ ගසා තිබෙන සිද්ධියේදී තහවුරු කරගෙන තිබෙන්නේ මේ අපද්‍රව්‍ය ඉන්දියාවෙන් පාවී ආ ඒවා බවටයි. ඉන්දියාවෙන් ඉවත දමන රසායනික ද්‍රව්‍යවල කල් ඉකුත් වූ පසු මුහුදට දමනවා. එවැනි බෝතල්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ලංකාවේ මුහුදු වෙරළට ගොඩ ගසා තිබෙනවා. ඒවායේ ඉන්දියාවේ නිෂ්පාදනය සඳහන් කියලා සටහන්​ වෙලා තිබෙන නිසයි එය නිගමනය කළ හැක්කේ.   


කල් ඉකුත් වූ, එසේත් නැතිනම් පාවිච්චි කිරීමට නොහැකි වළලා දමන්නටවත් නොහැකි අපද්‍රව්‍ය බොහෝ රටවල් මුහුදට මුදාහරිනවා. ඒ අතර රසායනික ද්‍රව්‍ය සහ පළිබෝධනාශක වගේ දේවල් තියෙනවා.   
මුහුදේ රළු ස්වභාවය නිසාත් සුළං හමන දිසාව නිසාත් යම්කිසි හේතුවකින් මේවා ලංකා මුහුදු තීරයට ගොඩ ගසා තිබෙනවා.   


මම දකින්නේ මේ සිද්ධිය හොඳ අවස්ථාවක් ,ජාත්‍යන්තර වශයෙන් අප අත්සන් කරලා තිබෙන ගිවිසුම්වලට මෙවැනි සිද්ධීන් සිදු නොවිය යුතු බවට වගබලා ගන්නා ලෙස කීමට. ශ්‍රී ලංකාවත් - ඉන්දියාවත් මේ ගිවිසුම්වලට අත්සන් තබා තිබෙනවා. පළමුව ඒ රටවල් දැනුම්වත් කරලා ඒ ගිවිසුම් කඩ කිරීමේදී ගත හැකි නීති පියවර කුමක්ද? කියන එකත් සොයා බැලිය යුතුයි. මෙය සුළු කොට තැකිය නොහැකියි. මේ අපද්‍රව්‍ය මුහුදට බැහැර කළේ රසායනික අපද්‍රව්‍ය සමග නම් මේ වනවිට ඒ රසායනික ද්‍රව්‍ය ඒ මුහුදු තීරයේ ජීවත්වන සතුන්ගේ ශරීර ගත වී ප්‍රතික්‍රියා කර අවසන්.   


විශේෂයෙන් අපි පරිභෝජනයට ගන්නා මත්ස්‍ය සම්පත ලබා ගන්නේ මුහුදින්. මේ වන විටත් ඒ විෂ මත්ස්‍යයන්ට ශරීර ගත වෙලා. මිනිස් පරිභෝජනයටත් එකතු වුණා දෝ කියන එක පිළිබඳ සැකයක් මතුවෙනවා. නමුත් සැබෑ තත්ත්වය තවම අනාවරණය වෙලා නැහැ.   


මේ සිද්ධිය ලෝකයේ බොහෝ රටවල සිදුවනවා. නමුත් අපට තිබෙන ගැටලුව තමයි ස්ථීර වශයෙන්ම එහි අඩංගු වූයේ මොනවද කියන එක තහවුරු කර ගන්න ක්‍රමයක් නැති එක. ඒ බව තහවුරු කරගැනීමට හැකියාවක් තිබෙනවා නම් ලංකාව මේ සඳහා කඩිනමින් නීතිමය පියවර ගත යුතුයි.   


අපේ රටයි, ඉන්දියාවයි අත්සන් කරලා තිබෙන ගිවිසුමකට කියන්නේ (U.N.C.L.O.S) කියලා. අප මේ ගිවිසුමට අත්සන් කළේ 1982 වසරේ ජමෙයිකාවලදියි. නමුත් රටවල් 60 ක් මේ ගිවිසුමට අත්සන් කරන්න අවශ්‍යයි ගිවිසුම ක්‍රියාත්මක වීමට. 60 වැනි රට ලෙස ඝානා රාජ්‍යය අත්සන් කළේ 1994 දියි.   


 ඒ අනුව 1994 වසරේ ඉඳලා මේ ගිවිසුම ක්‍රියාත්මකයි. මේ ගිවිසුමේ තිබෙනවා වගන්ති ගණනාවක්. 194, 195, 207, 231, 232, 216 වගේ. ඒ සෑම වගන්තියකින්ම සඳහන් වන්නේ එකම කාරණයයි. එනම් මුහුදට කිසිම අපද්‍රව්‍යයක් මුදාහැරීම සපුරා තහනම් කියන එක. එතකොට ඒ තහනම අතරතුර, පරිභෝජනයට නුසුදුසු මිනිස් ජීවිතවලට පමණක් නොවෙයි අනිකුත් ජීවින්ට පවා හානි සිදුවන ද්‍රව්‍ය තමන්ට අවශ්‍ය නැහැ කියලා මුහුදට මුද‌ා හැරීම සම්පූර්ණයෙන්ම තහනම්.   


යම්කිසි කෙනෙකු එය කඩ කළොත් එයට වන්දියක් ගෙවිය යුතුයි. අපි මේ සිද්ධිය සුළු කොට සලකළා ජාත්‍යන්තර වශයෙන් මෙයට අපි යම්කිසි පියවරක් නොගන්නවා නම් ඒක මම දකින්නේ ඉතා අවඥා සහගත ක්‍රියාවක් කියලා.   


ගිවිසුමක් අත්සන් කරන්නේ ගිවිසුම ක්‍රියාත්මක කරන්නයි. පසු විපරම් තිබෙනවා. ජාත්‍යන්තර ගිවිසුම්. ඒ රසායනික ද්‍රව්‍ය තුළින් ඒ මත්ස්‍යයින්ට සහ අනිකුත් සත්වයින්ට හානියක් සිද්ධ වුණා නම් ඒ සිදුවන හානිය අන්තිමට කෙළින්ම බලපාන්නේ මිනිස් ජිවිතවලට.  


ඒ නිසා අප මත්ස්‍ය සම්පත නෙළා ගන්නවා නම් අපි පාරිභෝගිකයින්ට පොරොන්දු වෙලා තිබෙනවා නම් හොඳ ආහාර වේලක් ලබාදෙනවා කියලා. අපි රටක් වශයෙන් මේ ගැන පසු විපරම් කරන්න ඉදිරිපත් විය යුතුයි. මේ අපරාධය සඳහා වන්දි මුදලක් ඉල්ලා සිටිය යුතුයි. ඒක තමා මේ මොහොතේ සිදුවිය යුත්තේ. ඒ මහත්මිය කීවාය.  


දැනට පුත්තලම හා මන්නාරම වෙරළ තීරයන් ඔස්සේ මෙම අපද්‍රව්‍ය ගොඩ ගසා ඇති අතර පරිසර සංවිධාන එක්ව ඒවා එකතු කර ඇත.  


මේ ගැන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති, පරිසර උප​ෙද්ශක සජීව චාමිකර මහතාගෙන් විමසුවෙමි.  


මේවා එකවර එකම ස්ථානයකින් බැහැර කළ අපද්‍රව්‍ය තොගයක් බව පේනවා.  


සාමාන්‍යයෙන් මෙම කසළ තොගය විටින්විට කිසියම් ස්ථානයකින් බැහැර කළ ඒවා බවට විශ්වාස කරන්න පුළුවන්. බැහැර කළ කසළ මුහුදට ඉබේ බැහැර කළ ඒවා නොවෙයි. එහෙම බැහැර කළා නම් එක වර විශාල කසළ තොගයක් රැ​ෙඳන්න බැහැ. ඔය බැහැර කරලා තිබෙන්නේ ඉන්දියාවේ කසළ බැහැර කරන ප්‍රධාන ස්ථානයකින් බැහැර කළ කසළ තොගයක් බවට අපට විශ්වාස කරන්න පුළුවන්. සැලසුම් සහගතව මුහුදට ගෙනැවිත් බැහැර කළ තොගයක් තමයි මෙලෙසින් දිවයිනේ මුහුදු තීරය වෙත ගොඩ ගසාගෙන විත් තිබෙන්නේ. ඒවා දියවැල් ඔස්සේ ගසාගෙන විත් මන්නාරම සහ පුත්තලම වෙරළට ඇවිත් තිබෙනවා. ඔවුන් කළේ පැහැදිලිව නීති විරෝධි ක්‍රියාවක්. සැරෙන් සැරේ බැහැර කළා නම් මේ ආකාරයට විශාල කසළ තොගයක් ගොඩගසන්න බැහැ.  


අපි ඒ ස්ථාන පරික්ෂා කරලා බැලුවිට පැහැදිලි වුණා නොගැඹුරු මුහුදු තීරයට නැව් මගින් හෝ බෝට්ටු මගින් රැගෙන විත් දැමු අපද්‍රව්‍ය තොගයක් බව. මෙතන බහුල ලෙස තිබෙන්නේ රෝහල් අපද්‍රව්‍ය. රෝහල් අපද්‍රව්‍ය වැනි දේවල් මේ ආකාරයට බැහැර කරන්නේ නිසි ක්‍රමවේදයකට යටත්වයි. එ්වා හරහා රෝග කාරක වගේ වෙනත් බාහිර බලපෑම් ඇතිවෙන්න පුළුවන්. මෙතන ඒ අපද්‍රව්‍ය බැහැර කරලා තිබෙන්නේ ඉතාමත් භයානක ආකාරයට.   


එ් වගේම මෙතන තිබෙන තවත් භයානකම තත්ත්වයක් තමයි මෙවැනි ද්‍රව්‍ය අතපත ගෑමෙන් තවත් භයානක රෝග කාරක ඇති වෙන්න පුළුවන්. සමහරුන් ඒවා අතින් අල්ලාගෙන සිටින ආකාරය තමයි මාධ්‍ය වාර්තාවල පළකෙරුණේ. ඒක ඉතා හානිකරයි.  


 අනික මෙවැනි රෝහල් අපද්‍රව්‍ය ක්‍රම වේදයකින් තොරව බැහැර කිරීම තුළින් පෙනී යන්නේ ඉන්දියාව ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර ඇති බවයි. පසුගිය කාලයේ අප දුටුව දෙයක් තමයි ඉන්දීය ධීවරයන් අපේ මුහුදු සීමාව උල්ලංඝනය කිරීම. මෙම අපද්‍රව්‍ය අපේ වෙරළ තීරයට ගොඩ ගසාගෙන ඒම නිසා පරිසර පද්ධතියට දැඩි ලෙස හානි සිදුවෙනවා. අපි තවම අධ්‍යයනයක නිරිත වෙලා නැහැ. මෙලෙස ගොඩ ගසා ආ අපද්‍රව්‍ය කොපමණ ප්‍රමාණයක් මුහුදු තීරයේ රැඳී තිබෙනවද කියලා. පුත්තලම වෙරළ තීරයේ මෙන්ම කළපු තීරයේ කඩොලාන පද්ධතියට මෙම අපද්‍රව්‍ය යොමු වෙලා ඇතිකරන බලපෑම් පිළිබඳව ද සොයා බැලිය යුතුයි.  
මන්නාරම හා ඒ ආශ්‍රිත වෙරළ තීරය කියලා කියන්නේ කැස්බෑ විශේෂ ගහන ප්‍රදේශයක්. ලංකාවට සංක්‍රමණය වන කැස්බෑ විශේෂ 5 ක් තිබෙනවා. ඒ 5 න් විශේෂ කිහිපයක්ම මේ මුහුදු තීරය භාවිත කරනවා බිත්තර දැමීම සඳහා. එතකොට ඒ වෙරළ තීරය දූෂණය වෙන්න වෙන්න කැස්බෑවුන් බිත්තර දමන ක්‍රියාවලියෙන් බැහැර වෙනවා. ඒ පරිසර පද්ධතිය ඔවුන්ට යෝග්‍ය නොවන නිසා ඔවුන් බිත්තර දැමීමෙන් වැළකී සිටිනවා.  
 ඊළඟ කාරණය තමයි රෝහල් අපද්‍රව්‍ය ඇතුළු කසළ ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් කේන්ද්‍ර ගතවන ස්ථානය. ඒ තමයි කොරල්පර පද්ධතිය. කොරල්පර පද්ධතිය ආශ්‍රිතව තමයි බොහෝ අපද්‍රව්‍ය දිය තරංග ඔස්සේ වෙරළට එන ඒවා වළක්වන්නේ. එතකොට කොරල් පර පරිසර පද්ධතිය තුළ ඒවා රැ​ෙඳනවා කියන්නේ ජෛව ප්‍රජාවට ලොකු බලපෑමක් ඇති වෙනවා. ඒකට හේතුව විශාල අපද්‍රව්‍ය තොගයක් තමයි මෙසේ ගසාගෙන ගොස් රැඳී තිබෙන්නේ. මේකත් ඉතා හානිකර තත්ත්වයක්.  


 අපේ රජය මෙයට මැදිහත් වන තත්ත්වයක් තවමත් දුටුවේ නෑ. මෙයට වඩා විශාල මැදිහත්වීමක් අවශ්‍යයි. ජාත්‍යන්තර වශයෙන්. මෙසේ සාගරයට අපද්‍රව්‍ය මුද‌ා හැරීම සම්බන්ධයෙන් අප විවිධ සම්මුතීන්වලට බැඳී සිටිනවා. එලෙස බැදිලා සිටින රටවල් ලෙස අපේ සාගරයට මෙලෙස අපද්‍රව්‍ය බැහැර කරන විට අපි සාමාජික රටවලට දැනුම් දිය යුතුයි. එසේ දැනුම් දීලා ඉදිරියේදී මේ වගේ තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගන්න ඕනෑ. නමුත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ මැදිහත් වීමක් අපි තවමත් දැක්කේ නෑ.  


මේ වන විට ලංකාව පසුවන්නේ සාගරයට අපද්‍රව්‍ය මුද‌ා හරින රටවල් අතරින් සිව්වන තැනයි. ඒ පොලිතින් හා ප්ලාස්ටික් බැහැර කෙරෙන රටවල් අතර. ඒ අනුව ඒ තත්ත්වය ඒ ආකාරයෙන් පවතිද්දීත්, මේ විදිහට සාගරික පරිසරය විනාශ වෙද්දීත්, අපේ සාගරය අපවිත්‍ර වීම පිළිබඳ අවධානය යොමු නොවීම කනගාටුවට කරුණක්.  


 මේ තුළින් අපේ පරිසර පද්ධතියට වගේම ජෛව ප්‍රජාව පද්ධතියට හානි සිදුවෙනවා කියන්නේ විශේෂයෙන් වෙරළා රක්ෂිත නොගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ සිටින ධීවර ප්‍රජාවටත් මෙහි බලපෑම් එල්ල වෙනවා කියන එකයි. වෙරළාරක්ෂක කටයුතු නිසි ආකාරව සිදුනොවන තත්ත්වයකුත් මෙයින් පැහැදිලි වෙනවා. ඒ නිසා රාජ්‍යතාන්ත්‍රික මට්ටමිනුත් සාකච්ඡා කරලා මින් ඉදිරියටත් මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට වග බලාගත යුතුයි.  
 අපි යළි විමසීමක් කළේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ගෙනි.  


 මේ පිළිබඳ කරුණු සැලවීමත් සමඟ තමන් ඒ ගැන අවධානය යොමුකළ බව ඔහු පැවැසීය.


වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා-  


ඇත්තටම අපේ වෙරළ තීරය ගතහොත් සාමාන්‍යයෙන් අපිරිසුදු වෙන්නේ රට මැද සිදුවන පරිසර දූෂණයන්ගෙන් තමයි. විශේෂයෙන් පොලිතින් සහ ප්ලාස්ටික් බෝතල් වැනි දෑ නිසා. වෙරළ පරිහරණය කරන සහ වෙරළ තීරය අවට සිටින අයගෙන් හැරෙන්නට බහුතරයක් වෙරළ අපිරිසුදු වෙන්නේ රට අභ්‍යන්තරයෙන් සිදුවන දූෂණ නිසායි. එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තා අනුව ද ලෝකයේ සෑම රටකම වාගේ මුහුදු වෙරළ අපිරිසුදු වන්නේ රට අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියා නිසයි.  


දැන් පුත්තලම සහ මන්නාරම් මුහුදු තීරයන් ඉන්දියාවේ සිට ගසා ගෙන ආ අපද්‍රව්‍යයන් නිසා අපවිත්‍ර වෙලා තිබෙනවා. පුත්තලම මුහුදු තීරය අපි දැන් පවිත්‍ර කළා. මන්නාරම මුහුදු තීරය අපි පවිත්‍ර කරන්න කටයුතු කරනවා.  
 ලංකාවේ ඇති ගංඟා 103 ක් පමණ ගලා බැස අවසන් වන්නේ මුහුදෙන්. පසුගිය පරිසර දිනයේදී අපි කාක දූපතේ කළ පිරිසිදු කිරීමේදී අපි දුටුව කාරණයක් තමයි එහිදී හමුවූ ප්ලාස්ටික් බෝතල් කරවනැල්ල, රත්නපුර වැනි ප්‍රදේශවලින් ගසාගෙන ආ ඒවා බව. 80% ක් 85% ක් පමණ රට අභ්‍යන්තයෙන් ගසා එන අපද්‍රව්‍ය නිසා තමයි මුහුදු වෙරළ අපිරිසිදු වෙන්නේ.  


 දැන් පුත්තලම, මන්නාරමේ ඇතිවූ සිද්ධිය පිළිබඳව ගනිමු. අපේ මුහුදු තීරය හරහා බොහෝ නෞකා ගමන් කරනවා. එතකොට ඒවායින් මුද‌ාහරින අපද්‍රව්‍ය ද මෙයට එකතු වෙනවා. සමහර විට මේ අපද්‍රව්‍ය නෞකාවලින් බැහැර කරපුවා වෙන්නත් පුළුවන්. නැතිනම් බෙංගාල බොක්කේ එකතු වන විශාල අපද්‍රව්‍ය තොගය නිසා කාලගුණ හා දේශගුණ විපර්යාස අනුව ඒ අපද්‍රව්‍ය අපේ මුහුදු තීරයට ​ෙගාඩ ගසා එන්න පුළුවන්. ඒක වළක්වා ගන්න නම් ද්වි පාර්ශිකව සාකච්ඡා කර මෙයට විසඳුමක් අපේක්ෂා කළ යුතුයි. ඒ වගේම අපිට දැනුම් දෙන්න පුළුවන්. සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය මගිනුත් ඒ වෙරළ තීරය භාවිත කරන්න එපා කියලා. මොකද අපි හරියට දන්නේ නැහැ මොන වගේ විෂ රසායන ද්‍රව්‍යයක්ද එහි රැඳී තිබෙන්නේ කියලා.  


 ජනතාව දැනුම්වත් කරලා ඒ අපද්‍රව්‍ය ඉවත් කරලා තමයි ජනතාවට වෙරළ පරිහරණය කරන්න දිය යුත්තේ. පුත්තලමෙත් අපි එහෙමයි කළේ. මන්නාරමෙත් අපි ඒ ආකාරයට කරන්න බලාපොරොත්තු වෙනවා.  
මේ අපද්‍රව්‍ය එන එක තමයි අපි වළක්වන්න කටයුතු කරන්නේ. දැන් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් බෙංගාල බොක්ක ආශ්‍රිතව විශාල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් සකස් කරලා තිබෙනවා. අපේ රටත් එහි සාමාජිකයෙක්. ඒ හරහාත් අපට පුළුවන් මෙයට මැදිහත් වෙලා ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගන්න.  


 කෙසේ වෙතත් සුන්දර ලංකා වෙරළ පරිසරයට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා  රජය හා ජනතාව හැටියට මීට වඩා අවධානය යොමුකළ යුතු නොවේද?

 

 

සටහන
නිශාන්ත කුමාර බණ්ඩාර