සුද්දාගේ අශ්ව ඉස්තාලයේ අදත් ක්‍රියාත්මක කුරුණෑගල පොලීසිය


 

සම්මන්ත්‍රණ පවත්වන ශාලාව

 

  • සමහර ගොඩනැගිලි වසර 105ක් පැරණියි
  • කුරුණෑගල නගර සංවර්ධනයේදී සමහර ගොඩනැගිලි කඩාදැමීමට නියමිතය

 

අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැහුවා සේ, යනුවෙන් කියමනක් තිබුණද, අශ්වයන් බඳින ලද ස්ථානයක් පොලිස් කාර්යාලයක් ලෙස පවත්වාගෙන යන්නට වසර එකසිය පහක පමණ කාලයක් තිස්සේ පොලිස් දෙපාර්තමේන්තුවට හැකි වී තිබේ. මහජනතාවට වසර 105 ක් තිස්සේ මහත් සේවාවක් සපයමින් මෙම ස්ථානය සුරක්ෂිත කරන්නට කුරුණෑගල මූලස්ථාන පොලිසියට හැකියාව ලැබී ඇත. 


කුරුණෑගල මූලික පොලිස් ස්ථානයේ තිබෙන ගොඩනැඟිලි පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ගොඩනැගිලි බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයට ලක්ව තිබේ. 
වසර එකසිය පනහක් පමණ ඉපැරණි ගොඩනැගිලිවල කාර්යාල පවත්වාගෙන යන අතරතුර එහි යටගියාව සොයා ඉරිදා ලංකාදීප අපි එහි ගියෙමු. 


මෙරට ප්‍රවාහනය නොදියුණු කරත්ත යුගයක, අධිරාජ්‍යවාදීන්, සහ එකල ප්‍රභූ පිරිස ගමනාගමනය සඳහා වැඩි වශයෙන් අශ්වයන් සහ අශ්ව කරත්ත යොදාගෙන ඇත. එලෙස අගනුවර සිට කඳුකරය දක්වා ගමන් කළ අවස්ථාවන් හිදී අතර මග නවාතැන් පළක් ලෙස කුරුණෑගල වර්තමාන පොලිස් ස්ථාන භූමිය යොදාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වෙයි. අශ්වයන් බැඳ දැමීමට යොදාගත් ඉස්තාලය කාර්යාලය ලෙස අදට ද පවත්වා ගෙන යනු ලබයි. 


එකල නිලධාරීන් සහ ප්‍රභූ පන්තිය සඳහා නවාතැන් සැපයූ ගොඩනැගිල්ල වර්තමානයේ දී කුරුණෑගල පොලිස් ස්ථානයේ ප්‍රධාන මෙහෙයුම් ගොඩනැගිල්ල ලෙස භාවිත කෙරේ. 
හෙක්ටයාර 1.62 වපසරියක පිහිටි කුරුණෑගල පොලිස් ස්ථානය 1905 දී ආරම්භ කර ඇත. ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලෙහි අංශ හතරක් ම වර්තමානයේ ද පවත්වාගෙන යනු ලබයි. 

 

ඉහළ මාලයට නගින ඉපැරණි තරප්පුව

 


එම ගොඩනැගිල්ලෙහි ඉහළ මාලය වර්තමානයේ දී අපරාධ විමර්ශන ඒකකය පවත්වාගෙන යන අතර, පොලිස් නිලධාරීන්ගේ සම්මන්ත්‍රණ පවත්වන සම්මන්ත්‍රණ ශාලාවක් ලෙස පවත්වාගෙන යනු ලබයි. ඉහළ මාලයේ බිත්ති සවිමත් ව තිබුණ ද පන්ති පවත්වන සොල්දරයෙහි ලෑලි දිරාපත් වී තිබීම නිසා, එකවර නිලධාරීන් විශාල ප්‍රමාණයකට පන්ති පැවැත්වීමේදී කඩාගෙන යා හැකි බවට බියක් නිලධාරීන් වෙත පවතී. වර්තමානය වන විට සිවිලිම සහ වහලයේ ලෑලි දිරාපත් වෙමින් පවතින නිසා අධික වර්ෂාවට කාර්යාල තුළට වතුර ගලා ගෙන එයි. එහෙත් මෙම ගොඩනැගිල්ල සංවර්ධනය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට තනිව තීරණය කළ නොහැකිව ඇත්තේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ගොඩනැඟිල්ලක් බවට පත්ව ඇති බැවිනි. 


ගොඩනැගිල්ලෙහි බිත්ති වල අඩුපාඩු නොමැති බැවින් එය කඩා දැමීම අපරාධයක් බවත් පුරාවිද්‍යා නිලධාරීහු පෙන්වා දෙති. 


ගොඩනැගිල්ලේ පහළ මාලය මූලස්ථාන පොලිස් පරීක්ෂක තුමා ගේ කාර්යාලය සහ පාලන කාර්යාලය සිරමැදිරි ඇතුළු කාර්යාලය පවත්වා ගෙන යනු ලබයි. මෙම ගොඩනැගිල්ලෙහි බිත්ති අඩි දෙක හමාරක් පමණ පළලකින් යුක්ත වන අතර, අසුන් පිට ගිය නිලධාරීන්ගේ කාර්යාල සඳහා මෙම ස්ථානය පවත්වාගෙන ගිය බවට තොරතුරු අනාවරණය වෙයි. එම ස්ථාන අද සිර මැදිරි වෙනුවෙන් ද වෙන් කර පවත්වාගෙන යනු ලබයි. 


කුරුණෑගල නගර සංවර්ධනයේ දී ගොඩනැගිලි කඩා ඉවත් කිරීමට නියමිතව ඇති ගොඩනැගිලි අතර කුරුණෑගල පොලිස් ස්ථානයේ මෙම ගොඩනැඟිලි ද, හදුනාගෙන තිබේ. 
කුරුණෑගල නගරයේ වසර සීයකට අධික ඉපැරැණි ගොඩනැඟිලි පිළිබඳව පුරාවිද්‍යා ගවේෂණ නිලධාරීහු නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. 

 

අඩි දෙක හමාරක් පළල බිත්ති

 


කුරුණෑගල පොලිස් මූලස්ථානය ට දෛනිකව පැමිණෙන ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම සඳහා කාර්යාල අතර දූෂණ විමර්ශන ඒකකය, වරෙන්තු අංශය, ඇතුළු කාර්යාල කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිලි අවුරුදු සියයකට වඩා පැරණි අශ්වයන් බඳින ලද ස්ථාන ලෙස හඳුනා ගෙන තිබේ. එමෙන්ම මෙම ගොඩනැගිලි වල බිත්තිය අඩි දෙකහමාරක් වැනි පළලකින් යුක්ත අතර, පොලිස් නිලධාරීන් සඳහා නිල නිවාස හතළිස් දෙකක් පමණ පවත්වා ගෙන යයි. 


අශ්වයන් බඳින ලද ස්ථානයක් ප්‍රිය මනාප වූ පොලිසියක් බවට පත් කරමින් වසර ගණනාවක් ජනතාව වෙනුවෙන් පවත්වා ගෙන යන්නට සියලුම පොලිස් නිලධාරීන් කටයුතු කර තිබීම පිළිබඳව පුරාවිද්‍යා නිලධාරීන්ගේ පැසසුමට ලක්ව තිබේ. 


කුරුණෑගල නගර මධ්‍යයේ ඉතාමත්ම වටිනා භූමිභාගයෙහි හිමිකාරත්වය පිළිබඳව කුරුණෑගල පුරාවිද්‍යා සහකාර අධ්‍යයක්ෂ එච්.එම්. ගුණතිලක බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ, පනතට අනුව වසර සියයකට වැඩි ගොඩනැගිලි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයිති වුවත්, මේ පිළිබඳව අදාළ ආයතනය විසින් දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසුව ගැසට් කිරීමෙන් පමණක් දෙපාර්තමේන්තුව සතුවන බව ය. නමුත් මෙතෙක් ඒ පිළිබඳව අපට දැනුම් දීමක් කර නැති නිසා සංවර්ධන කටයුතු වෙනුවෙන් යමක් සිදු කිරීමට අපහසුවී ඇති බවය. 


එහෙත්, අශ්වයන් බැඳි ස්ථානයක පවත්වාගෙන ගිය ගොඩනැගිලි ලෙස ඒ පිළිබඳව නැවත නිරීක්ෂණ කටයුතු කළ යුතුව ඇති බව ය.  

 


සටහන හා ඡායාරූප   
චාන්දනී දිසානායක