සැතපෙන පිළිම වහන්සේ හෑරූ නිදන් හොරුන්ට අත් වූ ඉරණම


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් අවැසිය. 

මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

 

අලව්වේ, රාගල ජී.එම්. සේනාරත්න මහතා ලියා එවූ කතාවක් මෙසේය.


කඳුරටට ආසන්න ඇළ දොළ ගංඟා උතුරා ගලා බසින ජල දහරින් හා කල් යල් බලා කළ ගොවිතැනින් රන්වන් කරලින් පෝෂිත විසිතුරු පරිසරයකින් යුත් සශ්‍රීක ගම්මානයකි. නිල්වන් තණ පිටි තුළ සැරි සැරූ ගවරැලය. මෙම ගම්මානය වටා තවත් ගම්මාන ද එම ගම්මාන වටා ඈතින් දිස් වූ කඳු වළල්ලක් ද විය.


වැවයි දාගැබයි ගමයි පන්සලයි යන සංකල්පය සනාථ කළ පෞරාණික පන්සලක් මෙම ගම තුළ පිහිටි​ෙය්ය. වැලි මළුවේ උඩ මළුව බෝධිඝරය මත බෝධීන් වහන්සේ වැඩ සිටිසේක. එය වටා පරිවාර බෝධීන් වහන්සේලා වැඩ සිටියහ. බෝධීන් වහන්සේ ඉදිරියෙන් චෛත්‍ය රාජයාණන් වහන්සේ කුඩා පිළිමගෙය, සඳකඩ පහණ, ධර්ම ශාලාව, පොත්ගුල හා දාන ශාලව සහ බෝධීන් වහන්සේට දකුණු දෙසින් ඉපැරණි ප්‍රධාන පිළිමගෙය යන විහාරාංග වලින් සමන්විත මේ පන්සල කාගේත් ගෞරවයට ලක් වූවකි. මෙම පන්සලේ පුරාණයේ සිට සෑම වසරකම වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ රාත්‍රියේ පෙරහර පැවැත්වීම චාරිත්‍රයකි. එසේ නොකළහොත් රෝබිය ඇති වී කලට වැසි නොලබා කුඹුරු සරුසාර නොවේය යන මතය ගැමියන් අතර පැවතුණි.


​ෙබා් මළුවට දකුණු දෙසින් පිහිටි ඉපැරණි ප්‍රධාන (බුදු මැදුර) පිළිම ගෙයට ඇතුළු වීමට පඩි කීපයක් නැගිය යුතුය. මෙම පිළිම ගෙය තුළ නිතර සැදැහවතුන්ගේ වන්දනාමානයට ලක් වූ දහ අට රියන් වූ සැතපෙන පිළිම වහන්සේය.


සෑම වසරකම එළඹෙන වස්සාන කාලයේ මෙම පන්සලේ නායක ස්වාමීන් වන්සේ සිරිත් පරිදි දායක පින්වතුන් විසින් වස් සමාදන් කරවාගෙන සිව් පසයෙන් උපස්ථාන කළහ.


දැනට දසක තුන හතරකට පමණ පෙර නායක ස්වාමින් වහන්සේ තමන් වහන්සේට අයත් වෙනත් පන්සලක එම පන්සලේ දායක පින්වතුන්ගේ ඉල්ලීම මත වස්සාන කාලයේ වස් සමාදන් වූ සේක. නායක ස්වාමීන් වහන්සේ සිටි පන්සලේ වෙනත් හිමිනමක් වස් සමාදන් වූ සේක.


පන්සල් වල දේපළ සොරකම් කිරීමේ යෙදෙන පව්කාරයෝ පාපයේ බරපතළකම නොදැන පාපය පසෙක තබා යමක් හරි හම්බ කරගැනීමේ පාපී චේතනාවෙන් සොරකම් කිරීමට මෙවැනි අවස්ථා උපයෝගී කර ගනිති.
පන්සලේ නායක ස්වාමීන් වහන්සේ එහි වැඩ නොසිටින බව දැනගත් කීප දෙනෙක් පන්සල් පරිශ්‍ර​ෙය් නිතර ගැවසෙනු ඇතැමුන් දැක ඇත. එහෙත් කිසිවෙකු සැක පහළ නොකළේ පින් කර ගන්නා වකවානුව වූ හෙයිනි.
රන් රිදී මුතු මැණික් හා තවත් වටිනා වස්තු ඇතැයි සිතූ මොවුහු පැරණි බුඳු මැඳුරට බැල්ම හෙළූහ. එක්තරා රාත්‍රියක තිදෙනෙකු පැරණි බුදු මැදුරේ වහලයේ උළු ඉවත් කර සිවිලිම කඩා ඇතුළු වී සැතපෙන බුදු පිළිමය හාරන්නට වූහ. ඉතා පැරණි ශක්තිමත් බදාමයකින් නිමවා තිබූ බුදු සිරුර තැනින් තැන හාරා තිබෙනු දැක ගැනීමට ලැබී ඇත්තේ උදෑසන බුද්ධ පූජාව පිළිගැන්වීමට පැමිණි දායක පිරිසකටය. මෙම සිදුවීම දැන ගත් ධර්මයට ආලෝකයක් බඳු වූ නායක ස්වාමීන් වහන්සේ මහත් කම්පාවෙන් සංවේගයට පත්ව දායක පිරිස් කැඳවා බෝධි පූජා පවත්වා, දේව කන්නලව් පවත්වා ගත වූයේ දින දෙක තුනකි. තිදෙනෙක් නීතියේ රැහැනට අසු වූහ.
දිගු කලක් නීතියෙන් දඬුවම් විඳ කලකට පසු පැමිණි සැණින් නැවත කළකම් පළ දෙන්නට පටන් ගත්තේය. දැඩි සේ රෝගා තුර වී ප්‍රතිකාර කළත් සුවයක් නොලබමින් දිගු කලක් දුක් විඳිමින් සිට දෙදෙනෙකු මෙලොව හැර ගිය අතර තෙවැන්නාගේ මනස විකෘත වී මහ මඟ සැරි සරමින් දුක් විඳ ඔහු ද මෙලොව හැර ගිය බව ගැමියෝ කියති.



කිතුල්ගල දික්හේන එච්.පී. ගුණපාල මහතා ලියා එවු කතාවක් මෙසේය.

රන්බණ්ඩා කෝපයෙන් තමන්ටම වළ කපා ගනී.


පිටිසර ගමක සිටි ඔහු නමින් රන් බණ්ඩාය. උගත්කමක් එතරම් දුරට නොතිබූ ඔහු කුඩා කාලයේදීම ගමෙන් පිටව ලැබෙන ලැබෙන රැකියාවක් කරමින් විවිධ පළාත්වල සැරිසරමින් සිට ඔහුගේ මුල් ගමට පැමිණියේ ගැටවර වියේදීමය. ගමේද තැනින් තැන කුලී වැඩවල යෙදීම ගොවි පළවල වැඩට සහාය වීම් ආදිය කරමින් සිට වසර දෙක තුනකට පසුව නැවතත් ගමෙන් පිටව ගියේය. වරින් වර ගමට ආවත් දින කීපයක් සිට යළි ගියේය.


ගමේ අය සමග එතරම් ඇයි හොඳයියක් ද නොතිබුණු අතර නිතරම කේන්ති යන කෙනෙකුට වචනයකින් හෝ සමීප නොවූ චරිතයකි. අන් අය ගැන නොසැලකූ කෝපය හදිස්සිය. ඉවසීම මද බව නිසා ඔහු සමාජයෙන් ද දුරස්ව සිටියේය. මේ අතර නුහුරු සිදුවීමකින් ගම ඇවිස්සී ගියේය. ඒ ගමේ කෙළවර තිබූ නිවසක විසූ දැරිවියක් එම නිවෙ​ෙසහි වැඩිහිටියන් නොමැති අවස්ථාවකදී අපහරණය කිරීම නිසා සිදු වූ අපරාධයක් නිසාවෙනි. කෙසේ නමුදු එම වාතාවරණය මත මෙම සිදුවීම බැර වූයේ ද රන් බණ්ඩාර ගේ නමටය. එහෙත් ඒ වන විට මොහු ගමෙන් පිටව ගොස් සිටි නිසා මෙම සිදුවීම ළඟම පිහිටි පොලිස් ස්ථානයේ පැමිණිලි පොත තුළ සටහන් විය. කලක් ගතව ගියෙන් ඔහු රාත්‍රී කාලයේ දී විටින් විට ගමට ඇවිත් ගිය ලකුණු මතුවිය. මේ වන විට මෙම පැමිණිල්ලට වරෙන්තු ද නිකුත් කර තිබී ඇත. එක් දිනෙක දී මොහු පොලීසියට කොටු විය. පසුව වසර හයකට පමණ සිපිරි ගෙදර තපින්නට ඔහුට සිදු විය.


කලකට පසු ඔහු නිදහස්ව නැවතත් ගමට පැමිණ විවාහයක් ද කරගෙන කුඩා නිවසක් ද තනාගෙන කල් ගෙවූ අතර ඔහු පෙර කරන ලද රැකියාවේම නිරත වෙමින් ගමට එමින් යමින් සිටියේය. ඔහුගේ බිරිඳ ද අසල්වාසීන් සමග කේළාම් බස් නිසාවෙන්ම විරසක වෙමින් සිටියාය. රන්බණ්ඩාට ද කේළාම් කීමෙන් කීප විටකදීම බැණ අඬගැසීම් ද ඊට සම්බන්ධ කාන්තාවන්ට ද අතින් පයින් ගැසීම් ආදිය නිසාවෙන් නිරන්තරවම සැතපුම් ගණනක් දුර ගෙවා පොලිස් ස්ථානයට යාමට ද අසල්වාසීන්ටද සිදු විය.


මේ අතර එම නිවස අසල සිටි නිවසක කාන්තාවක් හා නිබඳවම ඇති වූ ආරවුල් ගැටීම් මත එම ගෙහිමියාද ඉවසා සිටීමෙන් බැරිමතැන රන්බණ්ඩාගෙන් මේ ගැන විමසීමට ගිය පසු එම නිවැසියාට බැණ වැදී පහරක් ගැසීම නිසා කෝපයට පත් ඔහු රන්බණ්ඩාට සෑහෙන්නට අතින් පයින් පහර දී දුවන තෙක්ම එළවාගෙන ගොස් නැවතුණේ ඔහු නොපෙනී ගිය පසුය. කාලය කෙමෙන් ගෙවිණ. මේ වන විට රන්බණ්ඩා දෙදරු පියෙකි. තරමක රණ්ඩුසරුවල් වල අඩුවක් තිබුණද අසල්වැසි නිවෙස් හිමි අය පිළිබඳව මොහු සිත වූයේ දැඩි වෛරයකි. මේ බැව් අන් අය සමගද කියා තිබුණි.


එදින ගමේ බණ ගෙදරකි. ගමේ අය බණ ඇසීමට යමින් සිටියෝය. වේලාව රාත්‍රී හතට පමණ ඇත. අසල්වැසි ගෙහිමි අයද බණ ගෙදරට යමින් සිටි අතර රන්බණ්ඩා ගසක් මුල සැඟවී සිට මන්නා පිහියකින් එල්ල කළ පහරින් ඔහුගේ බෙල්ලෙන් අඩක්ම කැපී අඩි පහක් හයක් දුර ගොස් ඇඳ වැටී එතැනම මිය ගියේය. මිය ගිය අයද එවකට දෙදරු පියෙකි. සැඟවී දින ගණනකට පසුව මොහු ද මෙම මරණයට විත්තිකරු විය. වසර විස්සකට සිපිරි ගෙට යැවුණි. මේ අතර ඔහුගේ බිරිඳ ද දරුවන් ද සමග මාපියන්ගේ ගම්වලට ගියහ.


වසර පහ හයක් ගෙවෙන්නට ඇත. සීල් කරන ලද පෙට්ටියකින් මළ සිරුර ගමට ගෙනෙන විට එය බාර ගැනීමට ද ඔහුගේ සහෝදරයෙකු ඉදිරිපත් වූයේ වෙනත් ඔහුගේ නෑ කෙනෙකුවත් ඉදිරිපත් නොවූ නිසාවෙනි. භයානක වසංගත රෝගයකින් මොහු මිය ගිය බව බන්ධනාගාරයෙන් සඳහන්ව තිබුණේලු. අවසන් අවස්ථාවට සහභාගී වූ සුළු පිරිස අතරින් කියැවුණේ පරපණ නසන හැමටම අත්වන ඉරණම කාගේත් නෙත්වලට දකින්නට සැලසුණේ ලොව දහ​ෙම් න්‍යාය මතම බවය.

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්