සාදයේ මිනීමැරුමට ජීවිතයෙන් වන්දියක්


පසුතැවිල්ල

‘‘මරණීය දණ්ඩනය නියම වෙලා මේ විදිහට දුක් විඳින මම, මේ මිනී මැරුමට සම්බන්ධ නෑ. මම නිර්දෝෂියි කියලා ඔප්පු කරන්න මට පුළුවන් කමක් නෑ. ඒක අධිකරණයට කියන්න ලෝයර් කෙනෙක් අල්ලගන්න මට සල්ලි නෑ. නීතිය ගැන කිසිම දැනුමක් මට නෑ. මම ඉගෙන ගත්තේ අට ශ්‍රේණියට විතරයි’’.   


මා, ඔහු ‘තුෂාර’ ලෙසින් හඳුන්වමි. ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තුෂාර මේ වනවිට තිස්පස් හැවිරිදි වියේ පසුවන තරුණයෙකි.   


මනුෂ්‍ය ඝාතනයක් වෙනුවෙන් වරදකරු වී වැලිකඩ මහ උළුගෙදර නිවහන කරගත් ඔහුගේ ජීවිත අන්දරය අද දින ‘පසුතැවිල්ලෙන්’ ඔබ වෙත ගෙන එමි.   


‘නූගත්කම’, ‘නොදන්නාකම’ නොහැකියාවට පාර කියා ඇද්දැයි තුෂාරගේ කතා පුවතින් හැඟෙන්නකි. තමන් වරදක් කළ බවට පිළිගන්නවුන් අල්ප වූ මේ සමාජය තුළ තමන් නිර්දෝෂි පුද්ගලයෙකු බවට කියා පාමින් හිඳින තුෂාර වැන්නවුන් ද ඉඳහිට අපට මුණ ගැසෙයි. කෙසේ වූවද නීතිය නොදැන සිටිම නිදහසට කරුණක් නොවන බව නැවත වතාවක් ඔබට මතක් කර දෙනු කැමැත්තෙමි.   


‘මුලින්ම වැලිකඩට ආපු දවසේ මට හිතුණා දුවලා දුවලා ගිහින් ගහක හරි එල්ලිලා මැරෙන්න. ඒත්, මගේ චූටි දූවට ඉන්නේ මම විතරයි. එයා ගැන හිතලා ඒ සිතුවිල්ල යටපත් කරගත්තා. මා ආ කාරණය පැහැදිලි කළ පසු ‘තුෂාර’ ගිරවකු විලාසයෙන් අතීතාවර්ජනයක නියුතු වූයේය.   


තුෂාර වරදකරුවකු වූයේ 2015 වර්ෂයේ ජනවාරි මස 23 වැනිදා දිනයේදීය. ඒ 2005 වර්ෂයේදී සිදුවූ සිද්ධියක් හේතුවෙනි. මේ වනවිට වසර තුනක් පුරා වැලිකඩ බන්ධනාගාරය තුළ පසුතැවිල්ලෙන් ජීවත් වන ඔහු, යන්තම් හෝ සැනසීමක් ලබන්නේ සිය ආදරණීය පුංචි දෝණිය නිසැවෙනි.   


‘මොකක්ද ඔයාට වුණේ‍?’   


‘කෑවා, බිව්වා, නැටුවා...... අන්තිමට හිරේ වැටුණා.’ 

 
දිගු සුසුමක් හෙළමින් තුෂාර කීවේය. එතරම්ම කලබල කාරයෙකු නොවුණු තුෂාර යන්තමින් තිගැස්සී සිටි බවක් පෙනෙන්නට තිබුණි.   


‘එහෙනම් හොඳට බොන්න ඇති. හිරේ වැටෙන්න තරම්?’   


තුෂාර, එවකට සේවය කරමින් සිට ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි තේ කර්මාන්ත ශාලාවක කොන්ත්‍රාත් සේවකයකු වශයෙනි. දෛනික වැටුපකට තම ශ්‍රමය දුන් ඔහු දවස අවසානයේ නිවසට යන්නේ හරි හම්බකරගත් මුදලින් යම් කොටසක් තැබෑරුමකට පුද කරමිනි. ‘ඇඟේ මහන්සියට පොඩ්ඩක් ගත්තා.’ යනුවෙන් කීවත්, තරුණ ජවය, තරුණ මදය හේතුවෙන් මිතුරන් කරට කර රංචු ගැසීම ඔහුගේ විනෝදාංශය වී තිබිණි.   
‘අපි ගොඩක් දුප්පත්. අපිට එදා වේල පිරිමහ ගන්නවා හැර වෙන විකල්ප තිබුණේ නෑ. මම ඉස්කෝලේ ගියේ නැත්තේ අම්මට අපි ඔක්කෝටම කන්න අඳින්න උගන්වන්න තරම් ශක්තියක් නොවුණ නිසයි.’   


පියා අහිමි පවුලක බර කරට ගෙන හුන් තුෂාරගේ මව, දරුවන් හතර දෙනෙකුගේ කුස පිරවීමට මහත් වෙහෙසක් ගත්තාය. තේ දලු නෙළා ලබාගන්නා සොච්චම් මුදල පස්දෙනෙකුගේ බඩගින්න නිවිම පිණිස මිස වෙනයම් දෙයක් වෙනුවෙන් වැය කිරීමට ඇයට නොහැකි විය.   


‘මං ඉස්කෝලේ අටේ පන්තියට විතරයි ගියේ. ඊට පස්සේ අම්මගේ පස්සේ වැටිලා තේ ෆැක්ටරියේ වැඩට ගියා. පොඩි පොඩි වැඩවලින් පස්සේ අවුරුදු දහහතක් විතර වෙද්දී තේ ෆැක්ටරියේ කොන්ත්‍රාත් පදනමට රස්සාවට ගියා.’   


කාලයත් සමග තම පුතණුවන් ලොකු මිනිසකු බවට පත් වූ බව ඔහුගේ මෑණියන්ට හැඟී ගියේ ගමේම කෙල්ලක හා හාද වී ඔහු ඇය නිවසට රැගෙන ආ දිනයේදීය.   


‘මං පවුලේ බාලයා. අයියලා අක්කලා බැඳලා පිට ගම්වලට ගියා. මමත් බැන්දා. ආදරය කරලා බැන්දා. මට දරුවෝ දෙන්නෙක් ලැබුණා. ඒත් අපේ පවුල් ජීවිතය හිතපු තරම් ලස්සන එකක් වුණේ නෑ.’   


ජීවිතයේ නොයෙක් හැල හැප්පීම් මැද තුෂාරත් ඔහුගේ බිරිඳත් දරු දෙදෙනා හදා වඩා ගෙන ජීවත්ව සිටියදී මේ මහා විනාශය සිදුවීමට ගතවූයේ තත්පර කිහිපයක් පමණි.   


‘අපේ ෆැක්ට්‍රියේ අයියාකෙනෙකුගේ දුව වැඩිවියට පැමිණියා. ඒ ප්‍රීතියට අපි ඔක්කෝටම එන්න කියලා රෑ ලොකු පාටි එකක් දැම්මා. එදා උදේ ඉඳලා වැඩකරලා රෑ 7.00ට විතර අපි විසිදෙනෙක් විතර ජයසිරි අයියලගේ ගෙදර ගියා’.   


උත්සවශ්‍රීයෙන් ඇලළී ගිය ඒ මොහොතේ දී මත්පැනින් හොඳින් සප්පායම් වී සිටි තුෂාර ඇතුළු පිරිස එකිනෙකා වැලඳ ගනිමින් නටන්නට පටන් ගත්හ. ඒ මොහොතේ දී අසල පුටුවක හිද ගෙන හුන් වයසක පුද්ගලයෙකුගේ අතින් ඇද නැටුමට ආරාධනා කිරීමට තුෂාර සූදානම් විය. එහිදී එම පුද්ගලයා පුටුවෙන් නැගිසිට ඇති අතර ඊට පිටුපසින් සිටි දෙදෙනක් රණ්ඩු සරුවල් වීමට පටන් ගත්හ.   


‘අනේ මාමා සමාවෙන්න මමයි අතින් ඇදල නටන්න කතා කළේ. මාමාට අමාරුනම් කමක් නෑ මාමා වාඩිවෙලා ඉන්න’ තුෂාර වයසක පුද්ගලයාට කීවේය. එහෙත් පිටුපසින් ඉතාමත් වේගවත් වාග් ප්‍රහාර හමුවේ විශාල රණ්ඩුවක් ඇසෙන්නට විය.’   


‘එතන ලොකු රණ්ඩුවක් වුණා. මට අදාළ නැති නිසා මම පැත්තකට වුණා. පැයකට විතර පස්සේ ඒක ඉවර වුණා. පිට ගමකින් ආපු දෙන්නෙක් ඒ මඟුල් ගෙදර දෙන්නෙක් එක්ක තමයි ඒ රණ්ඩුව වෙලා තියෙන්නේ. අපි පස්සේ බලාගමු කියලා ඒ දෙන්නා ගුටි කාගෙනම යන්න ගිහින්.   


එහෙත් ප්‍රශ්නය එතැනින් අවසන් වූයේ නැත. දින කිහිපයකට පසු එම නිවසින් අසන්නට ලැබුණු පුවත තුෂාරට සැලකර සිටියේ ඔහුගේ වැඩි මහලු සොහොයුරා විසිනි.   


‘මල්ලි පැතුම්ලගේ තාත්තව මරලලු. එදා වෙච්ච රණ්ඩුවේ ප්‍රතිඵලයක්ලු කියන්නේ?’   


‘අනේ ඇත්තද? පවු.’ මොනවා වුණත් පැතුම්ලා හොඳ කොල්ලෝ. දැන් උනුත් ඕකට පැටලෙයි. තුෂාර කීවේය. එදින සවස තුෂාරගේ නිවස අසල හුන් ඔහුගේ මිතුරෙකු පොලිසිය විසින් රැගෙන ගොස් තිබුණේ මෙම මිනීමැරුම සම්බන්ධයෙනි. පසුව එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.   


‘මගේ යාළුවා පොලිසියෙන් අල්ලගෙන ගිහිල්ලා දවස් හතරකට විතර පස්සේ අපේ ගෙදරටත් පොලිසියෙන් ආවා. ඒ හතර දෙනා සිවිල් ඇඳගෙන හිටියේ. මගේ නම මොකක්ද කියලා ඇහුවා. ඊට පස්සේ අපිත් එක්ක යමු කියලා මාව එක්කගෙන ආවා.’   


කෙසේ හෝ තුෂාර පොලිසියට රැගෙන ඒමෙන් පසු අදාළ මරණය සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබිණි.   


මම ජීවිතේට පොලිසියට ගිහිල්ලා නෑ. මට දණ ගහන්න කියලා බඩට පයින් ගැහුවා. ‘උඹ නේද ඒ මනුස්සයාව මැරුවේ?’ කියලා මගෙන් ඇහුවා. මම කිව්වා මැරිච්ච මාමාගේ දරුවෝ දෙන්නා මගේ හොඳ යාළුවෝ ඇයි මම ඒ මාමා මරන්නේ? කියලා’ ඒත් මගෙන් කටඋත්තර ඇරගෙන මාව අත්අඩංගුවට ගත්තා. මම කිව්වා මම මේකට සම්බන්ධ නෑ කියලා මගේ කට උත්තරයටත් මම අත්සන් කළේ මම මේකට සම්බන්ධ නෑ කියලා.   
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තුෂාර ද රක්ෂිත බන්ධනාගාර ගත කර මාස නවයට පසු ඇප මත මුදාහරිනු ලැබූ අතර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රථම හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී මියගිය පුද්ගලයාගේ දියණිය සහ බිරිඳ, තුෂාර හඳුනාගෙන තිබුණේ‍ එදා උත්සවයට පැමිණි පුද්ගලයෙකු යන්න බව තුෂාර කීවේය.   


‘අපි ගමේ අයනේ. ඉතිං ඒගොල්ලෝ මාව අඳුනගත්තා. පැමිණිල්ල දාද්දී ඒ අය මගේ නමක් දාලා. මම තාමත් දන්නේ නෑ ඒ අයව මැරුවේ කවුද කියලා. ගමේ මිනිස්සු ඔක්කෝම කියනවා මම මේ වගේ දෙයක් කරන කෙනෙක් නෙවෙයි කියලා. මානව හිමිකම් එකෙන් අපේ ගමට ගිහින් මා ගැන හොයලා තිබුණා. එතකොට ගමේ අය එහෙම කියලා තිබුණා.’   


‘ඔයාගේ කතාව හරි පුදුම එකක් නේ....’   


‘ඔව් මිස්, මම මේකට සම්බන්ධ නෑ. මම නිර්දෝෂයි. මම ඇපිල් එකක් (අභියාචනයක්) දාලා තියෙනවා. මගේ නිවැරදිකම අධිකරණයට කියන්න නීතිඥ මහත්තයෙක් අල්ලගන්න මට සල්ලි නැහැ. කොතනක හරි වැරදීමක් වෙලා තියෙනවා. මගේ බිරිඳත් මගෙන් වෙන්වුණා. ඊට පස්සේ මම කොළඹ ආවා. කොළඹදී මම ආයෙක් කසාද බැන්දා. ජීවිතේ කොච්චර අපිව අසරණ කරනවද? මට පුංචි දුවෙක් ඉන්නවා. ඒත්..... මට මගේ දෙවැනි බිරිඳ එයත් අහිමි වෙලා යයි කියලා දැන් හිතෙනවා.....’   


මෙම සිද්ධියට අදාළව තුෂාර සැකපිට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අවස්ථාවේදී ඔහුගේ බිරිඳ ඔහු දමා ගොස් තිබිණි. එපරිද්දෙන්ම නැවතත් තම ජීවිතය කෙසේ විසඳේදැයි තුෂාර බියෙන් පසුවෙයි.   
මේ නඩුවට මරණීය දණ්ඩනය නියම වෙච්චි තුන්දෙනෙක් ඉන්නවා. අපි තුන්දෙනාම දන්නෙ නෑ මැරුවේ කවුද කියලා. එක්කෙනෙක් තුවක්කුවක් අරගෙන ගේ දොරකොඩ හිටියා කියනවා. අනිත් දෙන්නා පිහියෙන් ඇන්නා කියනවා. ඒ වෙලාවේ ගෙදර ලයිට් ගිහිල්ලා තිබුණා කියලත් කියනවා. ඒත් අපි අහුවුණා.   


නීතියේ සාධාරණත්වය ගැන කිසිදු තර්කයක් නැත. ඉදිරිපත් වූ සාක්ෂි මතින් අධිකරණය මොවුන් වරදකරුවන්කොට ඇත. අධිකරණ නඩු තීන්දුව ගැන කිසිත් නොකියමි. එහෙත් තමන් නිර්දෝෂී බව තුෂාර පුන පුනා කියන්නේය. ඒ තුෂාරගේ මතයයි.   


මට හැමදේම නැති වුණා. එල්ලිලා මැරෙන්න හිතුණ වාර අනන්තයි. මගේ හිත කියනවා මම නිර්දෝෂී නිසා මට එළියට යන්න ලැබෙයි කියලා. ඒ බලාපොරොත්තුවෙන් අද ජීවත් වෙනවා. කවදා හරි සත්‍ය ජයගනී. මොනවා වුණත් අද මම පසුතැවිලි වෙනවා. එදා මම අනවශ්‍ය විදිහට බිව්වේ නැත්නම් මම එතැන රැඳෙන්නේ නෑ. කොහොම වුණත් අද මගේ ජීවිතේ අඳුරේ වැටිලා ඉවරයි. පුංචිම පුංචි එළියක් බලාපොරොත්තුව ජීවත් වෙනවා.   
තුෂාර සුසුම් හෙළයි. දෙනෙතට නැඟුණු කඳුළු බිංදු පිටිඅත්ලෙන් විසඳාගත් ඔහු මවාගත් සිනහවකින් මට සමු දුන්නේ ‘මම ජීවත් වෙනවා මිස්. මගේ දෝණි වෙනුවෙන්’’ යැයි නැවතත් පවසමිනි. සැබැවින්ම ඔහුගේ ‘‘දරු සෙනෙහස’’ ඔහු ජීවත් කරවයි. ලොව දහම එය නොවන්නේද?   


(නම් ගම් මනඃකල්පිතයි)   


විශේෂ ස්තුතිය - බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන්ත ධනසිංහ, ජ්‍යෙෂ්‍ඨ බන්ධනාගාර අධිකාරී ටී.අයි. උඩුවර, ප්‍රධාන ජේලර් ප්‍රසාද් ප්‍රේමතිලක පුනරුත්ථාපන අංශ භාර ප්‍රධාන නිලධාරී පියසිරි වටගොඩ ඇතුළු නිලධාරීන්ට.  

 

නිමන්ති රණසිංහ