සල්ලි කාරියක් කසාද බැඳගන්න වංචාවෙන් සල්ලි සෙවූ තරුණයකුගේ කතාව


පසුතැවිල්ල

(වැරදි කළ අයගේ පශ්චාත්තාපය)

 

මට හීනයක් තිබුණා. ඒ හීනේ හැබෑ කරගන්න මම නොකරපු දෙයක් නැහැ. අන්තිමට මම ඒ හීනය හැබෑ කරගත්තා. හැබැයි ඒ යහපත් ආකාරයෙන් නම් නෙමෙයි. අද මම ඒකේ ප්‍රතිඵලය අත්විඳිනවා. හිතට එකඟ නොව දේවල් කළාම අන්තිමට ජීවිතේ ඇති වන පසුතැවිල්ල කොච්චර ද කියලා කියන්න බැහැ.   


මින් වසර 20කට ඉහතදී මෙරට හෙල්ලූ කතාන්දරයක හිමිකරු වූ ප්‍රියන්ත, ඉකුත් දිනෙක මට හමුවූයේ වැලිකඩ බන්ධනාගාරය තුළදීය. ජීවිතාන්තය තෙක් සිරදඬුවම් විඳින ඔහු මේ වනවිට 65වැනි වියේ පසුවෙයි. වර්ෂ 2002දී මුදල් වංචා කිරීමේ සිද්ධීන් රාශියකට වරදකරු වී වසර 100කට අධික සිරදඬුවමක් සඳහා ප්‍රියන්ත වැලිකඩ බන්ධනාගාරය වෙත එන්නේය. ඒ වනවිට ඔහු අවුරුදු පනහක පිරිපුන් මිනිසකුව සිටියේය.   


මම නළුවෙක් වගේ හැඩට හිටියා. හිතේ ප්‍රශ්න කරදර නැති නිසා මං සැහැල්ලුවෙන් හිටියේ. මට ඕන වුණා සුපිරි ජීවිතයක් ගතකරන්න. ඒකට මාව පෙළඹුවේ ශ්‍රියාණිගේ තාත්තා. ප්‍රියන්ත තම ජීවිත කතාව මා වෙත දිගහරිමින් කීවේය.   


කවුද ශ්‍රියාණි ?   


මම ඉගෙන ගන්න ගියේ ලොකු ඉස්කෝලෙකට. ඒ දවස්වල අපේ පවුල තමයි පළාතෙන්ම පෝසත් පවුල. අපේ ගේ කැලණිය පැත්තේ තිබුණ විශාල වලව්වක්. මට ශ්‍රියා හමු වුණාට පස්සේ එයාව බඳින්න ලොකු වුවමනාවක් ඇති වුණා. මම ඒලෙවල් කරලා ඉවර වෙද්දිම වගේ මගේ අම්මට මේ කතාව කිව්වා. ශ්‍රියාණි කවුද කියලා මම එතකොට දැනගෙන හිටියේ නෑ. කොහොම හරි ශ්‍රියා මාව එයාලගේ ගෙදර එක්කගෙන ගියා එයාගේ තාත්තාගෙන් කැමැත්ත ගන්න කියලා. ඒත්?   


මුළු පළාතෙන්ම තම පවුල පොහොසත්කමින් ආඪ්‍ය අය ලෙස තමන් දුටුවද ශ්‍රියාණිගේ නිවස සහ ඇය​ෙග් වත්කම් අබියස ප්‍රියන්ත දැඩි අසරණභාවයකට පත් කළේය. නුවරඑළිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ එකම දියණිය වූ ශ්‍රියාණි ප්‍රියන්ත වැන්නකුට දීගතල දෙන්නට ඇගේ පියා එනහෙළාම විරුද්ධත්වය ප්‍රකාශ කළේය. 

 
“මම මගේ දරුවට දෙන උරුමයෙන් භාගයක් හරි හොයාගෙන ඇවිත් එයාව අරගෙන යන්න” ශ්‍රියාණිගේ කෝටිපති තාත්තා ප්‍රියන්තට පවසා තිබිණි.  


මට ඕනෑ වුණේ ශ්‍රියා පමණයි. මම පිස්සෙක් වගේ සල්ලි හොයන්න ගත්තා. මුලින්ම නූඩ්ල්ස් නිෂ්පාදනය කරනා ආයතනයක් පටන් ගත්තා. ඒ කාලේ මගේ ව්‍යාපාරයට හොඳ තැනක් ලැබුණා. මම මුලින්ම වෑන් එක්ක ගත්තා.   


ඉක්මනින් දියුණු වීමේ ආශාව පසුපස හඹා ගිය ප්‍රියන්තට ඉඩම් මිලදී ගැනීමේ ආශාවක් ද පහළ වූයේ මේ අවදියේය.   


මම එකතු කරගත්ත මුදලින් මුලින්ම ඉඩමක් ගත්තා. ඒක බැංකුවකට තියලා තම ඉඩමක් ගත්තා. ඔය විදියට සල්ලි අතට එද්දී මගේ මොළය අකටයුත්තකට හැරෙන්නත් ගත්තා. මට හිතුණා බැංකුවට ව්‍යාජ ලේඛන හදලා ඉදිරිපත් කරල ණය ගන්න. මම එහෙම කළා. එකම ඉඩම පෙන්නලා ව්‍යාජ ලේඛන හදලා රාජ්‍ය බැංකු ඔක්කෝගෙන්ම කෝටි ගණන් ණය ගත්තා. අදටත් බැංකුවලට හොයා ගන්න බෑ මම ඒ කරපු වංචාව. එදා තාක්ෂණය දියුණු නැහැ. ඉතිං මං අපරාධයක් කළා.   


ඔය දේවල් කරද්දි ශ්‍රියාණි කොහේද හිටියේ?   


ශ්‍රියාණිගේ ඇසුරින් මිදී වසර තුනක් පමණ නික්ම ගිය තැන ප්‍රියන්තට දැන ගත හැකි වූයේ තම ආදරණීය පෙම්වතිය ඇගේ පියා විසින් වෙනත් රටකට පදිංචියට යවා ඇති බවකි.   
මමයි ශ්‍රියාණි නීතියෙන් කසාද බැන්දා. ඒ එයාගේ ගෙදර ඇයට හොරෙන්. ශ්‍රියාණි අම්මා ​ෙකනෙක් වුණා. මම නිසා එයාට දරුවා ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තාම තමයි එයාගේ තාත්තා ශ්‍රියාණිව ඇමෙරිකාවේ පදිංචියට යවලා තිබුණේ. ඇමෙරිකාවට යනවා කියන එක මට හීනයක් වුණා. ශ්‍රියාණි නැතුව දුක් විඳ විඳ හිටිය මට එක දවසක් නුගේගොඩදී එයා වගේම ගෑනු ළමයෙක් මුණ ගැසුණා. දෛවයේ හාස්කමක් වගේ එයාගේ නමත් ශ්‍රියාණි.   


ඒ වනවිට ප්‍රියන්ත ව්‍යාපාරිකයකුව සිටි අතර, ශ්‍රියාණි නම් වූ නුගේගොඩ ප්‍රදේශයේ දී දැන හඳුනා ගත් තැනැත්තිය හා ප්‍රේමයෙන් වෙළීමට ඔහුට කිසිදු බාධාවක් ඇති නොවුණි. ඒ ප්‍රේමය විවාහයෙන් කෙළවර වූ අතර ප්‍රියන්ත සිය ජීවිතයේ සියලු සංසිද්ධියක්ම ඇය වෙත නොසඟවා පැවසීය.   


“කවදා හරි ශ්‍රියාණි දරුවත් අරගෙන ලංකාවට ආවොත් මම අසරණ වෙයි නේද”   


ප්‍රියන්ත ඇයගෙන් ඇසුවේය.   


“එහෙම වුණොත් එයත් අපේ ගෙදරටම අරගෙන එමු දරුවත් එක්ක. මොකද ඒ ඔයාගේ ආදරය ඔයා​ෙග් ලේ”.   


කිසිදා නොසිතූ අයුරින් එදා ඇය සඳහන් කළ ආකාරයටම වසර දහයකට පමණ පසු ජීවිතය සරදම් කරාවි යැයි ප්‍රියන්ත දැන නොසිටියේය.   


‘‘එක දවසක් මගේ වයිෆ් බත්තරමුල්ලේ සාප්පුවකට ගියා බඩු වගයක් ගන්න. මම හිටියේ කාර් එකේ. මට හිටියා අවුරුදු 10ක පුතෙක්. ශ්‍රියාණි බඩු ගන්න ගියේ පුතා එක්ක. පැයක් විතර ගියාට පස්සේ ශ්‍රියාණි කාර් එක ළඟට ආවේ. ශ්‍රියාණි ඒ කියන්නේ මගේ පළමු නීත්‍යනුකූල බිරිඳවත් අතින් අල්ලාගෙන එයාගේ අතේ එල්ලිලා හිටිය පුංචි දූ පැටියෙක්. අවුරුදු දොළහක් වෙච්චි ඒ දූ පැටියා මගේ දරුවා’’ ප්‍රියන්ත විස්මයෙන් යුතුව කීවේය.  


“හරියට චිත්‍රපටයක් වගේ නේද?” මම ඇසීමී.  


“නෑ එතැනින් එහා ටික තමයි චිත්‍රපටය වගේ. මම නිසයි ඒ ශ්‍රියාණිට ලංකාව දාලා යන්න වුණේ. එයා ලංකාවට ආවේ එයාගේ තාත්තාගේ මළගෙදරට. ඊට පස්සේ ආයෙත් එයා රට යන්න හැදුවා. මගේ දෙවැනි බිරිඳ ඒකට කොහොමත් කැමති වුණේ නෑ. මගේ අම්මා ඒ වෙන කොට මහගෙදර තනියම ජීවත් වුණේ. ඒ නිසා එයා කිව්වා ශ්‍රියාණිටයි දුවටයි එහේ නතරවෙන්න කියලා. මම පවුල් දෙකක් නඩත්තු කළේ ඒ විදිහට. ඒ දෙන්න පුදුම සමගියෙන් හිටියේ. මට ඒ පවුල් දෙකටම දරුවෝ හය දෙනෙක් හිටියා”.   


ජීවිත අන්දර තුළ මෙවැනි සිදුවීම් ද සිදුවීම විස්මයජනක නොවන්නේද? ප්‍රියන්ත නම් වූ ඔහු ඉක්මන් ප්‍රකෝටිපතියෙකු වූයේ කෙ​ෙස් ද යන්න මුලින්ම සැකයට භාජනය වූයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ උකුසු ඇසටය.   


ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙසට ප්‍රියන්තට මුලින්ම අණක් ලැබුණේ 2000 වසරේදීය.   


තමන් බැංකු ණය ලබාගැනීමෙන් ව්‍යාපාර දියුණු කර ගත් අයෙකු බවට ඔප්පු කර පෙන්වීමට තරම් ලියකියවිලි එදින ඔහු සතුව තිබිණි. එම ප්‍රශ්න කිරීම් නිම වී ප්‍රියන්ත නැවත තම මෝටර්රථය වෙත ආවේ නිවසට යෑමේ බලාපොරොත්තුවෙනි. එහෙත් ඔහුට මෝටර් රථයට ගොඩවීමටවත් නොලැබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු ඔහුගේ බෙල්ලෙන් අල්ලාගෙන එම දෙපාර්තමේන්තු වෙත කුදලා ගෙන ගියහ.   


මගෙන් ප්‍රශ්න කළා. අන්තිමට මට කියන්න වුණා ඒ වෙන කොට රුපියල් කෝටි 100කට වැඩි මුදල් ප්‍රමාණයක් මා ළඟ තිබුණා. මගේ මැනේජර් තමයි ඔත්තුව දීලා තිබුණේ. අන්තිමට මට නඩු 60කට වැඩිය වැටුණා. ඔක්කෝම මුදල් වංචා දඬුවම වුණේ අවුරුදු 100ක සිර දඬුවම්.   


ප්‍රියන්ත එක හුස්මට තම ජීවිත කතාව පෙළ ගස්වමින් සිටියේය.   


අත්අඩංගුවට පත්වෙද්දී මම කරගෙන ගියේ ඉඩම් මිලදී ගැනීමේ ව්‍යාපාරයක්. ඒක ගොඩක් සරු ව්‍යාපාරයක් වුණා. ඒකට මට උදව් කළේ මගේ පළමු බිරිඳ. ඒත් මම හිරගෙදරට ඇවිල්ලා අවුරුදු හතරක් යද්දී එයාට ඒක දරාගන්න බැරිව හෘද රෝගයකින් මියගියා.

   
දෛවය ප්‍රියන්තට තවත් සරදමක් කර තිබිණි.   


මගේ ව්‍යෘපාරය භාරගත්තේ පුතා. එයාට දැන් වයස අවුරුදු 23යි. කොහොම හරි මුදල් වංචා කළා කියලා මගේ රත්තරං පුතාටත් අවුරුදු තුනක් අච්චුවක් ලැබුණා. මම වැලිකඩ හිරබත් කද්දී මගේ පුතත් හිරේට ආවා. ප්‍රියන්තගේ දෙනෙත් තෙත් වී කඳුළු කැට කඩා වැටෙනු මම දුටිමි.  


මිස් දන්නවද? අද මගේ පුතා ඒ අච්චුව ගෙවලා එළියට යනවා. එයා දක්ෂ දරුවෙක්. මොනවා කරන්නද මගේ පවු එයාටත් පල දුන්නා. නමුත් ආයෙත් මම වගේ නම් වෙන්න එපා කියලයි මම එයාට දුන්නු අවවාදය. ම​ෙග් පුතා කළේ මුදල් තැන්පත් කිරීමේ ව්‍යාපාරයක්. එයා ළඟ සල්ලි තැන්පත් කළාම එයා වැඩි පොලියක් දුන්නා. අන්තිමට ඉන් එක් කෙනෙක් තමයි ගිහින් පැමිණිල්ලක් දාලා තියෙන්නේ. රජයේ ලියාපදිංචි නොවූ මූල්‍යායතනයක් මගේ පුතා පවත්වාගෙන යනවා කියලා. එයලා පොලිය ගන්න කොට හොඳයි. මොනව කරන්නද ආයෙත් මගේ පුතා ඒ බිස්නස් එක කරන්නේ නෑ.   


කෙතරම් සුර සැප විඳිමින් සිටියද අයහපත් ක්‍රියාවන්වල ප්‍රතිඵලය ජීවිතයේ මෙලොවේදීම පඩිසන් දෙන බව ප්‍රියන්ත කීවේය.   


අනුන්ගේ ගිනි අනුන්ගේම තමයි. අපි කරන කියන දේවල ප්‍රතිඵල අපිට ඉක්මනින් විඳින්න ලැබෙනවා. ඒකට ආත්මයක් ඉවර වෙන කල් ඉන්න ඕනෑ නෑ. මට අද වෙලා තියෙන්නේ ඒකයි. මම ප්‍රකෝටිපතියෙක්. ඒත් ඒ සල්ලි කන්නද? හීන තිබුණාම ඒ පසුපස හඹා යෑමත් ඒවා අනවශ්‍ය ලෙස සැබෑ කරගැනීමට යෑමත් අපායේ දොරටුව අපි විසින්ම විවර කරගැනීමක් මගේ අදහස ඒකයි.   


අද මම පසුතැවිලි වෙනවා. එදා මම අනවශ්‍ය විදියට හීනමත්තේ හැපුණේ නැත්නම් අද මම ලස්සන ජීවිතයක් ගත කරයි. අරමුණක් නැති කෙළවරක් නැති ජීවිතය දිහා බලාගෙන අද මම ළතැවෙනවා. ප්‍රියන්ත කීවේය.  


මේ කතාන්දරයෙන් ජීවිතය ගැන තවත් කරුණු අමුතුවෙන් ඔබට ලියන්නට අවශ්‍ය නැතැයි මම සිතමි.   


ආශාව කෙළවර වෙන්නේ කෙසේ දැයි බුදුහිමියන්ද අපට දේශනා කර ඇත. සැබැවින්ම එය වේදනාවක්ම පමණක් නොවන්නේද?   

 


(මෙහි එන නම්ගම් සියල්ල මනඃකල්පිත ඒවාය. එහෙත් සිද්ධිදාමය පමණක් සත්‍ය වූ එකකි.)   


විශේෂ ස්තූතිය   


බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන්ත ධනසිංහ, ජ්‍යෙෂ්‍ඨ බන්ධනාගාර අධිකාරී ටී.අයි. උඩුවර, ප්‍රධාන ජේලර් ප්‍රසාද් ප්‍රේ‍මතිලක,    
පුනරුත්ථාපන අංශ භාර ප්‍රධාන නිලධාරී පියසිරි වටගොඩ යන මහත්වරුන්ට.   

 

 

නිමන්ති රණසිංහ