සයිනේරිස්ට කොකාපෙන්වූ කොක් වෙසින් ආ නයි හාමි


ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


කඩවත, මහර, නුගේගොඩ ජයසේන හේවාපාත මහතා ලියා එවූ කතාවකි. 


විමලදාස අතුරුදන්   


සෝමදාස බාප්පාගේ හදිසි මරණයෙන් පසු දරු හතරදෙනා සමඟ බිසෝ කුඩම්මා තනි විය. ළඟපාත අය නෑ හිතවතුන් මුලින් මුලින් අඩුපාඩු සොයා බැලුවද එය ටික දිනකට පමණක් සීමාවිය. බිසෝ කුඩම්මා හතිය රෝගයෙන් පෙළෙන බැවින් බර වැඩක් කළ නොහැකිය. ලණු අඹරා, පැදුරු පොල්අතු, වියා සොච්චම් මුදලක් සොයා ගත්තාය. ගෙදර අඩු පාඩු වැඩිවී, කෑම බීම, හිඟ වෙනවිට ලොකු පුතා සෝමදාස පන්සලේ හාමුදුරුවන් සමඟ කුළුපගවී පන්සලේම නතර විය. බාල ගැහැනු ළමුන් දෙදෙනා ගම පුරා කජු ගස්, කොස් ගස්, දිවුල් ගස් යට වැටී ඇති කජු ඇට, කොස් ඇට හා දිවුල් අහුලා එළවළු අම්මාට දී එළවළු හා පළා ගත්හ.   


මද්දුම පුතා විමලදාසට යන්තම් දහතුන ලැබුවා පමණි. ගම පුරා ඇවිද ගස් නගින්නට පටන් ගත්තේය. පුවක් ගසකට ශත තුනකි. පොල් ගසකට ශත පහකි. ශත පනහක් පමණ සොයාගත් විගස නගරයට දිව්වේය. හරක් මස් රාත්තලක් හා වෙනත් ගෙදරට අවශ්‍ය දෙයක් රැගෙන වහාම ගෙදර ආවේය. අම්මා මස් උයා විමලදාසට වැඩිපුර මස් බෙදා, දියණියන් දෙදෙනාටත් බෙදාදී එම වළඳටම බත් හෝ කොස් ටිකක් බෙදාගෙන කෑවාය. දියණියන් දෙදෙනා නිතරම මස් මදි බව පවසා අම්මා සමග සණ්ඩු වෙති. මෙනිසා විමලදාස වැඩිපුර මුදලක් සොයා ගත්දාට මස් රාත්තල් දෙකක්ම ගෙන ආවේය.   


කාලය මේ ආකාරයට ගෙවී යද්දී, විමලදාස හොඳ පෙනුම ඇති තරුණයෙක් විය. මස් කඩයට නිතරම යාම නිසාද, මුදලාලිගේ හොර හිතක් නිසාද, මුදලාලි ටික ටික විමලදාසට ළංවීය. විමලදාස කඩයට පැමිණිවිට, ආගිය තොරතුරු කථා කිරීමටත්, තේ කෝප්පයක්, බීඩියක් දීමටත්, වැඩිපුර මස් කෑල්ලක් නොමිලේ දීමට තරම් යාළුකම දුරදිග ගියේය.   
වැස්ස කාලය පැමිණිවිට ගස් නැගීම කළ නොහැකිය. විමලදාසට වෙන කළ හැකි දෙයක්ද නොමැත. අතේ මුදලක් නොමැතිමුත්, අම්මා නිතරම ගෙදර අඩුපාඩු කියයි. ඒ සැමටත් වඩා මස් කෑල්ලක් නොමැතිව කෑම කන්ටද පිරියක් නොමැත. විමලදාස වැස්සේම පුරුද්දට මෙන් මස් කඩේට ගියේය.   


මොනවා කරන්නද විමලදාස, මේ වැස්ස නිසා උඹටත් දැන් දවස් ගණනකින් වැඩක් නැහැ නේද? හාල් තුනපහ ගන්නෙවත් කොහොමද? වැස්ස නිසා අපටත් බිස්නස් අඩුයි. මේ රුපියල් දෙකේ අඩුපාඩු අරන් පලයන්, සල්ලි පස්සෙ මට දීපන්, ආ මේ මස් ටිකත් අරන් පලයන්, මස්වලට සල්ලි එපා. කියා මස් පාර්සලයක්ද දුන්නේය. විමලදාස මුදල හා පාර්සලය අතට ගත්තේ මුදලාලිට බොහෝ ස්තුති කිරීමෙන් අනතුරුවය.   


ආ විමලදාස, උඹ දැන් නිකම්ම ඉන්න එකේ මට වැඩක් කරදීපන්, මම උඹට රුපියල් සීයක් දෙනවා.   


රුපියල් සීයක් ඇසුණු විගස විමලදාසගේ ඇස් උඩ ගියේය, සීයේ පටි දැක ඇතිමුත් අතින් නම් අල්ලලාවත් නැත.   


මොනවද මුදලාලි මම කරන්න ඕනෑ. බොහොම සතුටු සිතින් ඇසුවේය.   


විමලදාස උඹ දන්නවද, උඹලගේ පන්සලට උඩහින් තියන කැලේ මැද තියන ගල් තලාව, අර නුග ගහක් එහෙම තියෙන්නේ.   


මම දන්නවා මුදලාලි මම එතෙන්ට ගිහිල්ලත් තියනවා, හැබැයි රූස්ස කැලේ.   


කැලේ තමයි යෝධයෝ අපට ඕනෑ කරන්නේ, උඹලගේ වෙල් යායේ දවල් රෑ දෙකේම ඕනෑ තරම් හරක් ගැටගහලා ඉන්නවා නේද, උඹට තියෙන්නේ පාන්දරින් නැගිටලා කාටත් නොපෙනෙන්න ගිහිල්ලා, ඔය සතෙකුගේ ලණුව ලිහල ඌ දක්කගෙන ගිහින් මම කියපු තැන ගහක ගැට ගහලා මට ඇවිත් පණිවිඩේ දෙන එක විතරයි. මම උඹට සීයක් දෙනවා මුදලාලි බොහොම සැහැල්ලුවෙන් කීවේය.   


විමලදාස දින දෙකක්ම කල්පනා කරමින් සිටියේය. වැස්ස තුරල් කිරීමක්ද නැත. පසුදා පාන්දරින්ම නැගිට වෙල්යායට ගොස් කිසිම කරදරයක් නොමැතිව සතෙක් ගෙනගොස් ගසේ ගැට ගසා තබා මුදලාලිට පණිවිඩයද දුන්නේය. මුදලාලි සතුට වැඩි කමට තේ එකක් දී සිගරට් දෙකක්ම දුන්නේය. උඹ ගිහින් එතන හිටපන් මගේ මිනිස්සු ඒවි.   


විමලදාස පැමිණ විනාඩි දහයක් යාමට මත්තෙන් හැඩිදැඩි මිනිස්සු තිදෙනෙක් පාපැදිවල ලොකු පෙට්ටිද බැඳගෙන පැමිණියෝය.   


උඹ මරු බඩුවක්නේ ගෙනත් තියෙන්​නේ, වරෙන් වරෙන් කියා විමලදාසට අඬගැසීය.   


ගල්තලාවේ පසෙක වාඩිවී සීල් අරක්කු බෝතලයක් විවෘත කර විමලදාසටද දුන්නේය. විමලදාස කවදාවත් අරක්කු බී නොමැත. නමුත් බලකිරීම නිසා බොන්නට සිදුවිය. බෝතලය හිස්වෙත්ම වෙරිවූ එක් අයෙක් නැගිට විමලදාස ළඟට ආවේය.   


මල්ලි හරක් දැක්කුවට මදි උන් මරන්නත් ඉගෙන ගන්න ඕන. පුරුදු වෙන්නත් එක්ක මූ මරාපන් අතක් අමෝරා ගෙන කීය.   


අනේ බුදු අයියේ මම ඕවා දන්නෙ නැහැ. මගේ සල්ලි දෙන්න මට යන්න. විමලදාස බැගෑපත් විය.   


යකෝ ගෑනියෙක් වෙන්න එපා, මුගේ ලණුව ලිහල අරගෙන, ඔළුව හොඳට ගහට තියලා තද වෙන්න බැඳපන්, ඊට පස්සේ මේ කුළු ගෙඩිය අරගෙන හරියටම නළල මැදට දෑත බැඳලා එක පාරක් දීපන්, එච්චරයි.   


වෙරි පිට හිටපු විමලදාස කියපු විදියටම කළේය. සතා මැරුණද සිහි නැති උනාද, හරි හැටි නොදනිතත්, හෝරාවක් ගත වෙන්නටත් පෙර, මස් පෙට්ටිවලටත් පුරවා අවසන්විය. විමලදාසටත් මස් ගොඩක් හා රුපියල් සීයක් දී ඔය සුන් බුන් පල්ලෙහා පාළු ළිඳට දාලා පලයන් කියා උන් යන්ට ගියෝය.   


මස්ගොඩ දුටු නංගිලාත්, අම්මාත් බොහෝ සතුටු වූහ. භාගයක් හෙට ගන්න තම්බා තියන්න කියා, විමලදාස නාගෙන නගරයට ගියේය. සියළු දෙනාටම රෙදිපිළිද, ගෙදරට අවශ්‍ය අඩු වැඩියද රැගෙනවිත් අම්මටද රුපියල් විස්සක් දුන්නේය.   


ටික දිනක් මෙම රාජකාරිය කරදරයකින්, බාධාවකින් තොරව කෙරීගෙන ගියේය. විමලදාස දැන් ගස් නගින්නේද නැත. ගෙදර අඩුපාඩුද නැත. නමුත් යායේ හරක් දිනෙන් දින අඩුවන බව දැනගත් ගව හිමියෝ රෑට රෑට රැකවල් ලන්නට පටන් ගත්හ. එක් අවාසනාවන්ත දිනයක පාන්දර විමලදාස සතෙකු රැගෙන යනු රැකවල්ලා සිටි අය දුටුවෝය. ඔහුට නොදැනෙන්නට ඔහු පසු පසින්ම ගොස් සතා ගසට තියා ගැට ගසන විටම, ඔහු අල්ලාගෙන හොඳටම පහර දුන්හ. එක් අයෙක් සතාගේ කඹය ගසෙන් ලිහා, විමලදාසගේ බඩ මැදින් බැඳ හරකාගේ වලිගය උස්සා තදින් මිරිකීය. හරකා විමලදාසද, ඇදගෙන පිම්මේ දිව්වේය. ගස් දෙබලක විමලදාස හිරවීමෙන් සතා නතර විය. රැකවලුන් එතනට යනවිට විමලදාස හමගැසූ හරකෙකු මෙනි. අතපය කැඩී හම තැනින් තැන ගැලවිලාය. තුවාලවලින් ලේ ගලමින් තිබිණි.   


මූ මෙහෙම දාලා ගියොත් කවදාහරි අපිත් අමාරුවේ වැටෙනවා. අර පල්ලෙහා පතුල නොපෙනෙන පාළු ළිඳක් තියනවා. ලීයකට තියලා ගැට ගහලා මූ උස්සන් ගිහින් ඒකට දාමු. ඒකෙ මූ සමාදානයෙන් සැතපේවි. අපට ප්‍රශ්නයක් එන්නෙත් නැහැ. අපේ සත්තුත් යහතින් ඉඳීවි. ස්වල්ප වේලාවකින්ම විමලදාස ළිං පතුලටම වැටුණි.   


අපේ විමලදාසයා අතුරුදහන්වෙලා. දවස් ගණනකින් ගෙදර ආවෙ නැහැ අනේ දැක්කොත් ගෙදර එන්න කියන්න, කිය කියා බිසෝ මැණිකා ගම වටේ යන්ට පටන් ගත්තේ ඉන් පසුවය.     

 



ඉලිප්පදෙණිය තිස්සෝගම රූපසිරි ලියනගේ මහතා ලියා එවූ කතාවකි.  


සයිනේරිස්ට කොකාපෙන්වූ කොක් වෙසින් ආ නයි හාමි   


ගත සවිමත් හැඩිදැඩි කාලවර්ණ සයිනේරිස් ලොකු බඩ ගෙඩියක් ඇති පුද්ගලයෙකි. බැලූ බැල්මට ඔහු දසමහා යෝද පරපුරේ ඇත්තෙකුසේ හැඟෙයි. අරක්කු හා රා බීමට පෙරේත ඔහු බඩ කට පුරා හාල් කැට තුන හතරක බත් කෑමට උපන් හපනෙකි.   


දැනට වසර තිහකට පමණ පෙර වයඹ පළාතේ ගමක විසූ ඔහු ගම්මු ඇමතුවේ කොක් නයිදේ නමිනි. ඊට හේතුව ඔහුගේ හැම කෑම වේලකටම කොක් මස් තිබිය යුතු නිසාය. ඔහුට ලයිසන් තුවක්කුවක්ද තිබුණි.   


පොල් අක්කර පහක ආදායම් ලබන අතර යල මහ දෙකන්නේ කුඹුරු වැඩ කිරීමෙන්ද ගෙදර අටුකොටු පිරී සුවදිවියක් ගත කළ සයිනේරිස්ගේ අඹුව ඉසබෙලාය. දූවරු තිදෙනා විවාහ කරදී ඔවුහුද පවුලෙන් වෙන්වී ජීවත් වූහ.   


ගෙදර වත්තේම මදින නිසා රා බීමේ අඩුවක්ද නොතිබුණි. අරක්කු පෙරන අසල්වැසියනට රා විකුණන නිසා සයිනේරිස්ට බීමට අරක්කු හිඟයක්ද නොවුණි.   


මහ කන්නේ පැල ගොයම් කුඹුරු යායට වැව් වතුර හරවා තිබීම නිසා ඇළ දොළ පිරී දණ්ඩි පැටවු කාවයියන් කහ කොරලි රෑන් තරඟෙට පිහිනමින් උඩ පනිමින් සෙල්ලම් කරද්දී කිරි සුදු මාන කොක් රෑන් පියඹා ඇවිදින් උන් ගිල දැමීම සුපුරුදු දසුනකි.   


හිරු දෙවි සිනාසෙන අරුණෝදේ සුපුරුදු සයිනේරිස් කළු අමුඩ ලේන්සුව කරේ දමාගෙන පරණ සුදු කොටු සරම හැඳ කැසපට ගසාගෙන ගිනි බටේ රැගෙන තම කුඹුරේ නියර දිගේ ගමන් කර නැවතුණේ මාලු පැටවුන් ගිල දමන කොක් රෑනට වෙඩි හඬ නංවමිනි.   


කොක්කු හතර පස් දෙනෙකු වෙඩි වැදී පණ නල ගැහෙමින් වැටී සිටිනු දැක උන් තම ගෝනි උරයට දමාගෙන පෙර පරිදි වෙල මැද කමත වෙත ගමන් කළේය.   


එහි සුවිසල් මාරගසේ මුල ඇති බෙනයක මළ කොක් උරය තබා ඉණේ ගසාගෙන ආ පැතලි බාග බෝතලේ අරක්කු බී අවසන් කළේය.   


සිලිසිලි නද පවනේ නැළවෙන සුනිල ගොයමට සතුට වඩවන වැසි වළාවක් ළඟම එන ලකුණු පහළ කරමින් උඩු ගුවන කළුවන් වී වැසි පොද වැටෙන්නට විය. වහා මළ කොක් උරේකට වැල් පොටකින් එකතුකොට බැඳ ගිනි බටේ රැගෙන නියර දිගේ ඉක්මන් ගමනින් තම වත්තට අැතුළු විය.   


ඉසබෙලෝ ඔය වී පැදුරු ගෙට ගනින් වහිනවා කියා සයිනේරිස් ගේ පිටුපස කුස්සියට ඇතුළුවී ගෝනි උරයේ කට බැඳි වැල්පොට කඩා දමා මළ කොකුන් එළියට ගනිද්දී බුදු අම්මෝ මාව කනවෝ බේරගනිල්ලා කියා සයිනේරිස් මර හඬදී කෑ ගැසුවේය.   


ඉසබෙලාත් වත්ත මදින මිනිසාත් දුවගෙන ඇවිත් බලද්දී තරමක් දිග කළු නයෙකු සයිනේරිස්ගේ අත් කකුල් දෂ්ට කර සපා කා ඉවතට ඇදී යද්දී මරා දමන ලදී.   


කමතේ මාරගස් බෙනේ සිටි නයෙකු මළ කොක් උරය තුළට රිංගා සිටි නිසා මේ කළකම් පලදෙන මරණීය පාප කර්මය සයිනේරිස් කොක් නයිදේට පල දුන්නා කියා ගමේ කටකතා පැතිරුණි.    

 


ඉඟිනියාගල ජයසෝම ගෝනපීනුවල මහතා ලියා එවූ කතාවකි.   

 

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න. 

 

 

 

සකස් කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්