ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අනුරාධපුරය දිස්ත්‍රික් පාසල් මාධ්‍ය වැඩමුළුවදා


ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් පවත්වනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් ආවරණය වන පරිදි වැඩමුළු දෙකක් පසුගියද‌ා රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලය හා ගලෙන්බිඳුණු වැව මිහින්තලා මහා විද්‍යාලයේදී පැවැත්විණි.


මාධ්‍ය සාක්ෂරතාව හා රසවින්දනය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා පැවත්වුණු මෙම වැඩමුළුව අද‌ාළ කලාප දෙක නියෝජනය කරමින් සිසුන් 800කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වූහ. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණි සුමනසේකර හා කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝජ් පුෂ්පකුමාර ජිනද‌ාස යන විද්වතුන් සම්පත් ද‌ායකයින් ලෙස සහභාගි වූහ. මෙම වැඩමුළුව දේශන හා සංවාද ඇසුරින් පැවැත්විය.


ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට, අනුරාධපුර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක (පාලන හා මානව ශාස්ත්‍ර) එම්. කරුණාරත්න යන මහත්වරුද අනුරාධපුර දිස්ත්‍රික් අධ්‍යාපන කලාපවල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු සහ පාසල්වල විදුහල්පතිවරු මෙම වැඩමුළුව සඳහා සහභාගි වූහ.

 

වැඩමුළුව අවසානයේ සියලුම සිසුන් වෙනුවෙන් සහතික පත්‍රයක් හා පාසල්වල පුස්තකාල වෙනුවෙන් වටිනා ප්‍රකාශන කට්ටලයක් ලබාදීමට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් කටයුතු කරන ලදී.