වෛද්‍ය සභා විභාගය ෆේල් වෙවී ලියන ‘දොස්තරලා’


 

 

වෙද මහත්වරුන්ට බෑ බටහිර ඖෂධ ලබාදෙන්න. මේක වංචාවක් එතකොට ඔවුන් කරන්නේ නීති විරෝධී වැඩක්  

 

ජීවක පරපුරේ ඇත්තන් ලෙස, දේවදත්තයන් කටයුතු කරන්නේ නම් එය සැබැවින්ම රටක ඛේදවාචකයක් වෙයි. අද වන විට රටේ බොහෝ හොර වෛද්‍යවරුන් මෙම තත්ත්වයට පත්ව ඇති බවක් පෙනෙන්නේ නිරන්තරව ඇසෙන පෙනෙන කාරණා අනුව ය. හොර දොස්තරලා නිසා වඩාත් පීඩාවට පත්ව සිටින්නේ රටේ ජනතාව ය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙන අන්දමට 2009 වර්ෂයේ දි 40,000 කට ආසන්න පිරිසක් වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින වංචනිකයන් බව හෙළිදරව් වී තිබේ. ශ්‍රී ලංකාවේ පළාත් 6 ක පමණක් 10000 ත් 11,000 ක් අතර පිරිසක් හෙළි වී තිබෙන අතර ප්‍රතිශතයක් ලෙස ගත්විට වැඩිම වංචනික පිරිස හෙළිවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. මෙම වංචනික හොර වෛද්‍යවරුන් පිළිබඳව සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ තොරතුරු අංශයක් ස්ථාපිත කරන ලෙසට ඉල්ලීමක් අදාළ බලධාරින් වෙතින් කරනු ලැබුව ද එය මේ දක්වා ක්‍රියාත්මක වී නැතැයි පවසන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ය.   


හොඳ දොස්තර කවුද? හොර දොස්තර කවුද? යන්න පිළිබඳව දැන ගැනීමට රටේ ජනතාවට අයිතියක් ඇත. එහෙත් එය සොයා බැලීම අති දුෂ්කරවී ඇත්තේ එය එතරම් සියුම්ව කෙරෙන කටයුත්තක් වන හෙයිනි.   


රජයේ වෛද්‍ය සභාවක ලියාපදිංචි නොවී වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින වංචනිකයෝ සහ වෛද්‍යවරුන් ලෙස විදේශ රටකට ගොස් විභාගයන්ට මුහුණ දී එහෙත් ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචියක් නොමැති වෛද්‍යවරු මේ ආදී පිරිස් වෛද්‍ය ක්ෂේත්‍රය තුළ සිටිති.   


ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ආයුර්වේද වෛද්‍ය සභාව, හෝමියෝපති වෛද්‍ය සභාව යන වෛද්‍ය සභාවන් හි ලියාපදිංචි නොමැතිනම් එම කිසිවෙකු වෛද්‍යවරුන් ලෙස සලකන්නේ නැති බව ද ඒ මහතා පෙන්වා දෙයි.   


උසස් පෙළ විද්‍යා විෂයයන් සමත්ව වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වන ශිෂ්‍යයන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් වසරක කාලයක් සඳහා තාවකාලික ලියාපදිංචියක් ලබා දෙයි. එම වසරක කාලය තුළ අදාළ වෛද්‍ය ශිෂ්‍යයා සීමාවාසික පුහුණුවේ නිරත විය යුතුව තිබේ. එම වසරක කාලය තුළ දවසේ පැය 24 පුරාම සේවයේ යෙදීමට ඔවුන් බැඳී සිටියි. සාර්ථකව සීමාවාසික පුහුණුව නිමකරන වෛද්‍යවරුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ස්ථිර ලියාපදිංචිය ලබාදීමෙන් අනතුරුව ඔවුන් සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දෙන්නාවූ රෝහලක් වෙත ගොස් සිය වෛද්‍ය සේවා කටයුතු ආරම්භ කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. 

 
අධ්‍යාපන සුදුසුකම් ලංකාවේ වෛද්‍ය විද්‍යා පීඨයකට ඇතුළත් වීමට ප්‍රමාණවත් නොවීම හෝ වෙනත් කුමන හෝ හේතුවක් මත විදේශ වෛද්‍ය ආයතනයකට ගොස්, නැවත ලංකාවට පැමිණි පසු ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගත යුතුව තිබේ. එහිදී අදාළ ලියාපදිංචිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පවත්වන ERPM විභාගය සමත් විය යුතුව තිබේ. මෙය (ACT 16) නමින් හඳුන්වනු ලැබේ. මෙය කඩඉම් විභාගයකි. අදාළ එම විභාගය සමත්වන සියලු සිසුන් සීමාවාසික පුහුණුව ලැබීමෙන් අනතුරුව අදාළ වෛද්‍ය සේවාවන් හි නිරත වීමට හැකිය.   


විදේශ වෛද්‍ය උපාධිධාරින් ලංකාවට ආපුවම නියාමනය කරන ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඉන්දියාව රුසියාව වැනි රටවලට වෛද්‍ය උපාධිය සඳහා යන සමහර අය, මුදල් බලය මත පමණක් අධ්‍යාපන සුදුසුකම්වලින් තොරව ගිහිල්ලා ඒ අය වෛද්‍යවරු ලෙස ඒ ඒ උපාධි ලබා ගන්නවා. හොඳම උදාහරණය ඉන්දියාවේ සෞඛ්‍ය ලේකම්තුමිය කියනවා මගේ රටේ ඉන්න පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගන්න යන්න තරම්වත් විශ්වාසයක් නැහැ කියලා. ඉතින් එහෙම අය ලංකාවේ ඇවිල්ලා වැඩ කළාම කොහොම වෙයිද. ඒ හින්දා ලංකාවේ වෛද්‍ය සභාව එවකට තීරණය කළා ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය දෙන්න නම්, තාවකාලික ලියාපදිංචිය දීමෙන් පසු සීමාවාසික පත්වීම ලබන්නනම් ඒ අය මෙහාට ඇවිල්ලා තමන්ගේ කුසලතාව පෙන්වීම සඳහා කඩඉම් විභාගයක් ලබා දිය යුතුයි කියලා. ඒ කඩඉම් විභාගයේදී ඔහු හෝ ඇය වෛද්‍යවරයෙකු වූවාට පසු තිබිය යුතු කුසලතාව මෙහිදී ඇගැයීමකට ලක් කරනවා. ඒක සාමාන්‍යයෙන් අනික් රටවලත් කරන එකක්. අපි ඇමෙරිකාවට, ඕස්ට්‍රේලියාවට, එංගලන්තය මේ ආදී රටකට ගියත් අපේ කුසලතාව ඇගයීමකට ලක් කරලා ගන්නේ. එය 16 වෙනි පනතින් අාව නිසයි ඇක්ට් 16 කියන්නේ. ERPM ඒ ලියාපදිංචි වීම සඳහා තියෙන විභාගය තමයි මේ ඇක්ට් 16 කියන්නේ.. වෛද්‍ය සංගමය එම පනත ගැන හැඳින්වූයේ එසේ ය.   


මෙයට අමතරව ලංකාවේ පෙර සඳහන් කළ වෛද්‍ය සභා අතරින් බටහිර ක්‍රමයට වෛද්‍යවරුන් නියාමනය කරනු ලබන අධිකාරි වෛද්‍ය සභාව එනම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එය SLMC නමින් හැඳින්වෙයි. ඔවුහු ඇලපොතික් බටහිර වෛද්‍ය ක්‍රමය ක්‍රියාත්මක කරති.   


ආයුර්වේද වෛද්‍ය සභාව ද වෛද්‍යවරුන් නියාමනය කරන සභාවකි. ආයුර්වේද වෛද්‍යවරුන් නියාමනය කිරීම ප්‍රමිතිය සොයා බැලීම ඔවුන්ගේම වූ වෛද්‍ය ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ වගකීම් වේ. එමෙන්ම හෝමියෝපති වෛද්‍ය ක්‍රමය අනුව බිහිවන වෛද්‍යවරු ද වෙති. එම වෛද්‍යවරුන් නියාමනය කරන්නේ හෝමියෝපති වෛද්‍ය සභාවෙනි. එසේම වෛද්‍ය සභාවකට ඇතුළත්ව නැති පාරම්පරික වෛද්‍යවරුන් ද සිටින අතර ඔවුන්ට නිශ්චිත ක්‍රමවේදයක් ඊට අදාළව වෛද්‍ය සභාවක් නැතත් දේශීය වෛද්‍ය අමාත්‍යංශය තුළ ලියාපදිංචිය ලබා ගැනීමට හැක. ඒ අනුව ගත්විට මෙම පිරිස් හොඳ දොස්තරවරුන් ලෙස ඇගැයීමකට පිළිගැනීමකට කිසියම් විශ්වාසයකට ලක් කළ හැකි පිරිසක් වෙති.   


අදාළ මෙම කණ්ඩායම්වලට පරිබාහිරව තවත් පිරිසක් වෛද්‍ය වෘත්තියේ යෙදෙන අතර ඔවුහු නීතියෙන් වෛද්‍යවරුන් නොවෙති. ගමේ ගොඩේ භාෂාවෙන් කිව්වොත් මෙම පිරිස ගැනෙන්නේ හොර දොස්තරලා ගණයට ය. මින් බොහෝ දෙනාට වෛද්‍යවරයෙකු වීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් කිසිවක්ම නැත.   


ගමේ ෆාමසියක් පවත්වාගෙන යන පුද්ගලයෙක් හෝ ඩිස්පෙන්සරියක බෙහෙත් කලවම් කළ ඖෂධ සංයෝජකයෙකු කාලයක් ගතවීමේදී රෝගීන්ට ප්‍රතිකාර කරනුයේ වෛද්‍යවරයෙකු මෙන් ය. මොහුට වෛද්‍යවරයෙකු වීම සඳහා කිසිදු අධ්‍යාපනික සුදුසුකමක් හෝ නොමැත. වෛද්‍යවරයෙකු ලෙසට නීත්‍යානුකූල පිළිගැනීමක් නොමැත. එහෙත් එවැන්නෝ රෝගීන්ට ප්‍රතිකාර කරති.   


එම පිරිස හැරුණුවිට සෞඛ්‍ය ක්ෂේත්‍රෙයේම පිරිස් ද පසුකාලීනව වෛද්‍යවරුන් ලෙස කටයුතු කරනු හසුවී ඇත. ඔවුහු බොහෝ විට හෙද වෘත්තියේ, එසේ නැතහොත් ඖෂධවේදීන් වෙති. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ වෘත්තියට සුදුසුකම් සපුරා ඇතත් වෛද්‍යවරයෙකුට අදාළ සුදුසුකම් මොවුන්ට නැත. තමන්ගේ සුදුසුකම් අතික්‍රමණය කර යමින් මෙම පිරිස් වෛද්‍යවරුන් ලෙස වැඩ කරති.   


අදාළ මෙම පිරිස මෙන් ම තවත් කණ්ඩායමක් වන්නේ විදේශයන්ට ගොස් උපාධි කොළ ටිකක් ගෙන, ලංකාවට පැමිණ මෙහිදී විභාගය සමත් වීමට නොහැකි වීම නිසා වෛද්‍ය සභාවෙන් ලියාපදිංචියක් නොමැති එහෙත් වෛද්‍යවරු ලෙස කටයුතු කරන පිරිසක් වෙති.   


මෙම පිරිස් සියල්ලන්ම ගැනෙන්නේ වංචනික වෛද්‍යවරුන් ගණයට ය. “ඇත්තටම මේ අයත් එක් අතකට හොරු තමයි. පිටරට උපාධියක් තිබුණට උදා. ඉන්දියාව ගත්තොත් එහි සෞඛ්‍ය ලේකම්වරයම කියනවා මේ අය ඉන්දියාවේ වෛද්‍ය උපාධිය ගත්තට සියයට 80 ක් හොර වෛද්‍යවරයෙක් තරම්වත් වටින්නේ නැහැ කියලා. උපාධිය තියෙනවා. රුසියාවේ ආර්ථිකය කඩාවැටුණ කාලේ රුසියාව කළේ හැම රටකින්ම මධ්‍යම පංතියේ අය ගෙන්වාගෙන සල්ලිවලට උපාධිය දුන්නා. ඒ උපාධිය ගත්ත අයගේ සුදුසුකම් මොකුත් බැලුවේ නැහැ. ඒ අය මෙහේ ආවම ඊආර්එම්පී එකෙන් චෙක් කරලා බලන්නේ මේ අදාළ තත්ත්වයන්වලට ගැළපෙන සුදුසුකම් තියෙනවාද කියලයි. සල්ලිවලට උපාධි කොළ ගන්න පුළුවන් රටවලුත් තියෙනවා. කොළටික බලලා විතරක් මෙහේ වෛද්‍ය සභාව වෛද්‍යවරයෙක් විදියට පිළිගන්නේ නැහැ. සුදුසුකම් හොඳ නම් මෙහේ විභාගය කරන්න ඕනේ. විභාගය සමත් වෙන්න ඕනේ.   


තමන් අදාළ විභාග කටයුතු එහේ සාර්ථකව කරලා, මෙහේ ඇවිල්ල මේ අදාළ විභාගයට මුහුණ දීලා එය සාර්ථකව සමත් වුණු පිරිසකුත් ඉන්නවා. එවැනි විදේශ උපාධිධාරින් ඕනේ තරම් ඉන්නවා. එහෙම සමත් වුණු වෛද්‍යවරුන් සියයට 10 කට වැඩිය ඉන්නවා. ඒ එන්නේ ඔවුන් අදාළ සුදුසුකම සම්පූර්ණ කරනවා. මෙහෙට ඇවිල්ලා විභාගය ලියනවා. එසේ ලියලා ඇවිල්ලා ඔවුන් වෛද්‍යවරුන් විතරක් නෙමෙයි විශේෂඥ වෛද්‍යවරුන් හැටියටත් බිහිවෙනවා. ඒ අයට පශ්චාත් උපාධිය කරන්නත් පුළුවන්. සීමාවාසික අවුරුද්දක් කරලා, පශ්චාත් උපාධිය සම්පූර්ණ කර විශේෂඥ වෛද්‍යවරයෙකු දක්වා යන්න පුළුවන්. වෛද්‍ය සභාවේ ලියාපදංචියක් නැත්නම්, මේ වෛද්‍ය සභා තුනේ කිසිම ලියාපදිංචියක් නැති ඕනෑම කෙනෙක් වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරනවා නම්, ඒ අය වංචනිකයින්. හොර වෛද්‍යවරුන් නෙමෙයි වෛද්‍යවරුන් ලෙස පෙනී සිටන හොරුන්. දැන් හැමෝම කියන්නේ හොර වෛද්‍යවරුන් කියලනේ. එහෙම කිව්වහම වෛද්‍යවරුන් තමයි හොරු. මේ අය වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින හොරු කියලයි හඳුන්වන්නේ. මෙන්න මේ අය ගැන තමයි අපි කතා කරන්නේ,’’ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.   


ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ආයුර්වේද වෛද්‍ය සභාව, හෝමියෝපති වෛද්‍ය සභාවේ ලියාපදිංචි නැත්නම් ඒ අය වෛද්‍යවරුන් ලෙස සලකන්නේ නැත. එසේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් කරන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවය. ඔවුන් කවුරු හෝ චූර්ණ, කල්ක, කසාය, අරිෂ්ඨ දෙනව නම්, එයද වෛද්‍ය වෘත්තිය ලෙස නොගැනේ. තමන්ට අදාළ වෛද්‍ය වෘත්තිය අනුව මෙහිදී කටයුතු කළ යුතුව තිබේ.   


“ඒ වගේම බටහිර බෙහෙත් පාවිච්චි කරන්න ආයුර්වේද වෛද්‍යවරයෙකුට අයිතියක් නැහැ. හෝමියෝපති වෛද්‍යවරයෙකුටත් ඒ අයිතිය නැහැ. එයාලට ආවේණික වුණු තමන්ගේ වෛද්‍ය ක්‍රමය තමයි ඔවුන් පාවිච්චි කළ යුත්තේ. වෙද මහත්තුරුන්ට බැහැ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ඖෂධ ලබා දෙන්න. එවිට ඔවුන් වෛද්‍යවරුන් වුණත් වංචනිකයින් ලෙස තමයි සැලකෙන්නේ. ඒ කියන්නේ ඔවුන් කරන්නේ නීති විරෝධී වැඩක්.’’ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.   


2009 දී විතර දත්ත අනුව 40,000 කට ආසන්න පිරිසක් වෛද්‍යවරුන් ලෙස පෙනීසිටින වංචනිකයින් ලංකාවේ ඉන්නවා කියලා හෙළිදරව් වෙලා තියෙනවා. 2011 සහ 2012 විට ලංකාව පුරාම වැඩපිළිවෙළක් ආරම්භ කරලා මේ අය හොයන්න සමීක්ෂණයක් කරනවා කියලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශයට පත් කළා. එවැනි එකක් ප්‍රකාශයට පත් කරන්නම වුණේ එවිට යම් ප්‍රමාණයක් හැංගෙනවා. නීතියක් නැහැ කියලා තේරෙනකම් මිනිස්සු හොර වැඩේ කරගෙන යනවා. හැබැයි අපි ලංකාව පුරා හොයාගෙන ගියා, සෞඛ්‍ය අමාත්‍යංශයත් එක්ක එකතුවෙලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස සිටින කාලේ තමයි අපි මේක හොයන්න යනවා කියලා ප්‍රචාරක කටයුතු කරලා, ලංකාවේ පළාත් 6 ක දහදාහත් එකොළොස් දාහත් අතර මේ පළාත් 6 න් සොයා ගත්ත. වැඩිම පිරිස හිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ප්‍රතිශතයක් විදියට වැඩිම පිරිස හිටියේ ඒ දිස්ත්‍රික්කයේ. ඉන්න වෛද්‍යවරුන් ගාණට වැඩිම ප්‍රතිශතයක්. එතකොට ඊට පස්සේ අපි සෞඛ්‍ය ඇමැතිතුමාටත්, නීතිපති දෙපාර්තමේන්තුවට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින්ට යෝජනා කීපයක් ඉදිරිපත් කළා. එකක් තමයි සෞඛ්‍ය අමාත්‍යංශයේ තොරතුරු අංශයක් ස්ථාපිත කරන්න. හේතුව කොහේ හෝ තැනක සැක සහිත වෛද්‍යවරයෙක් ගැන තොරතුරු ලබා දෙන්න. ඒකට හොට් ලයින් එකක් ලබා දෙන්න කියලා. නීතිපති දෙපාර්තමේන්තුව සහ අපි, පොලිසිය, වෛද්‍ය සභාව එක්ව නීතිමය ක්‍රියාමාර්ග සොයා බලන්න.   


ශ්‍රී ලංකාවේ තිබෙන වෛද්‍ය සභා තුනේම දත්ත ගබඩා ගන්න දැන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ දේශීය අමාත්‍යංශය එකට තියෙන නිසා පහසුවෙන් ඉල්ලන්න පුළුවන්. එයාගේ හැඳුනුම්පත් අංකයත් සමගම තියෙනවා. ඊට පස්සේ ආයුර්වේද වෛද්‍ය සභාවේ තියෙන දත්ත ගබඩාව සහ හෝමියෝපති එකේ තියෙන දත්ත ගබඩා මේ දත්ත ගබඩා තුන එකට දාන්න පුළුවන්. දාලා ඇප් එකක් හදා දෙන්න පුළුවන් ඕනෑම කෙනෙකුට ගිහිල්ලා අදාළ වෛද්‍යවරයාගේ නමයි, වෛද්‍ය සභා ලියාපදිංචි අංකයයි දාලා, තමන් වැඩ කරන තැන මේ බෝඩ් එක අනිවාර්ය කිරීම. වෛද්‍යවරයාගේ නම, ලියාපදිංචි අංකය, හැඳුනුම්පත් අංකය, ලියාපදිංචිවූ වෛද්‍ය සභාව මේ සියල්ල දැමූ විට තමන්ගේ දුරකථනයෙන්ම මේ අදාළ වෛද්‍යවරයා සැබෑ ලෙසම වෛද්‍යවරයෙක්ද, මේ ආදිය හොයා බලන්න. අප එවැනි එකක් යෝජනා කළා. අද වෙනතුරු එය ක්‍රියාත්මක වෙලා නැහැ. සෞඛ්‍ය අමාත්‍යංශය මේ වැඩේ කරන්නේ නැහැ. ඒක නතර වෙලා තියෙනවා. ඒක නතර වීම නිසා දැන් අපිට ද හානිය සිදුව තියෙන්නේ. වෛද්‍යවරුන් විදියට අපිටත් යම් හානියක් වෙනවා තමයි. මොකද නිශ්චිත වෛද්‍යවරයෙක් ළඟට නොයෑම නිසා ගැටලු මතුවන අවස්ථා තියෙනවා. එක්වරක් වුණා බබෙකුට පැරසිටමෝල් වැඩිපුර දීලා තිබුණා හොර වෛද්‍යවරයෙක්. අපිට මෙහාට පැමිණිල්ලක් ආවා. නමුත් ඒ වෛද්‍යවරයා පැරසිටමෝල් වැඩිපුර දීලා බබා මැරුණේ රජයේ රෝහලකින්. අරයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ පොලිසිය. මෙයාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඕනෙ වෛද්‍ය සභාව. සෞඛ්‍ය අමාත්‍යංශය සහ පොලීසිය. වෛද්‍ය සභාවක ලියාපදිංචි වුණු වෛද්‍යවරයෙකුට නියාමන ක්‍රමවේද විශේෂයෙන් දෙකක් තියෙනවා. එකක් අදාළ වෛද්‍ය සභාව මගින් නියාමනය වෙනවා. අනික සෞඛ්‍ය අමාත්‍යංශය. හොරෙක්ව ගත්තොත් ඔහුට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ උසාවිය, පොලීසිය සහ නීතිඥවරුන් මේ ආදී අයගෙන් අපි පාලනය වෙනවා. ඊට අමතරව දෙකකිනුත් පාලනය වෙනවා. අපි කියන්නේ මේ වෛද්‍ය සභා තුනේ දත්ත ගබඩා එකට දාලා, මිනිස්සුන්ට අවස්ථාව දෙන්න තමන් යන වෛද්‍යවරයා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ද, කියලා. කවුරු හෝ වෛද්‍යවරයෙක් පෙනීසිටිනවා විශේෂඥ වෛද්‍යවරයෙක් විදියට. මේ අයගේ අංකය ගහලා බැලුවහම තොරතුරු ගන්න පුළුවන්. තියෙන්නේ ප්‍රාථමික උපාධියක්ද, විශේෂඥ උපාධියක් ද මේ ආදිය. මෙයින් මිනිසුන් මුළාවීම නතර වෙනවා.   


වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසන අන්දමට ඔවුන් මෙම වංචනික ක්‍රියාමාර්ග අවම කිරීම සඳහා යෝජනා ගණනාවක් සෞඛ්‍ය බලධාරින්ට ඉදිරිපත් කර ඇතත්, ඊට අදාළ නිසි ක්‍රියාමාර්ග කිසිවක් අදාළ පාර්ශ්වයන් ගෙන නැත.   


 අපිට වෛද්‍ය සභාව හරහා දැනගන්න ලැබිලා තියෙනවා අවස්ථා 40 කට වඩා ඇක්ට් 16 විභාගය ලියපු අය ඉන්න බව. වෛද්‍යවරයා තමාගේ කුසලතා මට්ටමේ සිටියානම් එහෙම ලියන්න වෙන්නේ නැහැනේ. දැන් වෛද්‍ය සභාව තීරණය කරලා තියෙනවා උපරිම අවුරුදු පහයි. ලංකාවේ වෛද්‍ය ශිෂ්‍යයෙකුට මම කියපු ප්‍රොසෙස් එකේ ඉන්න ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකට අද ඇතුළු වුණා නම් අවුරුදු 10 ක් ඇතුළත තමන්ගේ උපාධිය සම්පූර්ණ කරගන්න බැරි වුණා නම්, ඔහු වෛද්‍යවරයෙක් නොවී ගෙදර යනවා. සාමාන්‍යයෙන් කාලය අවුරුදු 5 යි නේ. දැන් උපරිමය අවුරුදු 10. වෛද්‍ය සභාවට, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය යෝජනාවක් ඉදිරිපත් කළා විදේශීය වෛද්‍ය උපාධිධාරින් ලංකාවට ඇවිල්ල අවුරුදු 15-20 මේ විභාගය ලියමින් ඉන්නවා. එහෙම හිඳීමෙන් ඒ අයට හොඳක් වෙන්නෙත් නැහැ. රෝගීන්ට හොඳක් වෙන්නෙත් නැහැ. මොකද මේ අය සමහර අය වෛද්‍යවරුන් ලෙස ප්‍රැක්ටිස් කරනවා. උපාධියක් තියෙනවනේ. උපාධියේ නම ගහගහන්න පුළුවන්නේ. හැබැයි මම මුලින් කිවුව ඇප් එක තියෙනවා නම් මෙයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිද කියලා. එවැනි අංකයක් නැත්නම් එයා වෛද්‍යවරයෙක් ලෙස පිළිගන්නේ නැහැ.   


තමන් ලංකාවට ඇවිල්ලා ලියාපදිංචි වෙලා අවුරුදු 5 ක් ඇතුළත තමන්ගෙ ඇක්ට් 16 විභාගය සමත් වෙන්න බැරිනම් ඒ අයව වෛද්‍යවරුන් සේ නොසලාකා ඉවත් කරන්න. ඒක වෛද්‍යවරයාටත් සාධාරණයි. රෝගින්ටත් සාධාරණයි. සිස්ටම් එකටත් සාධාරණයි. මේ යෝජනාව වෛද්‍ය සභාව ඇතුෙළ් සම්මත වුණේ පහුගිය අවුරුද්දේ. ඒ වගේම වෛද්‍ය සභාව නීතියක් දාලා තියෙනවා අවම සුදුසුකම ඒ ලෙවල් සී 2 එස් 1 යි හෝ සමාන සුදුසුකමක් තිබිය යුතුයි. බොහෝ වෙලාවට වෛද්‍ය සභාව දැකලා තියෙනවා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් දැකලා තියෙන කාරණයක් තමයි මේ බහුතරයක් ඔය විභාග සමත් වෙන්නේ නැති අයගේ කැටගරිය තුළ ඉන්නේ අවම සුදුසුකම නැතිව රට ගිය අය. ඒ අය සමහරු උසස් පෙළ සමත් නැහැ. ගිහිල්ල ලංකාවට එනවා මේ විභාගය පාස් වෙන්න බැහැ. ඉතින් මේ අවම සුදුසුකම දැම්මොත් ඒ අයටත් සමත් වෙන්න පුළුවන්. දැනට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජයෙනුත් ඉල්ලීමක් කරලා තියෙනවා ලංකාවේ ගොඩාක් දෙනා කියන්නේ විදේශ වෛද්‍ය උපාධිධාරින් ලෙස යන්නේ යම් විෂමතාවන් නිසා කියලා. කොළඹ ඉන්න ළමයා ඒ සාමාර්ථ 2 බී සාමාර්ථ 1 ක් ගත්තහම විශ්වවිද්‍යාලයට යන්න බැහැ. හැබැයි මඩකළපුවෙ ශිෂ්‍යයාට බී සාමාර්ථ 3 ගත්තහම යන්න පුළුවන්. සම්පත් බෙදීයාමේ විෂමතාවයක් තිබෙනවා. එය වෙනම ගතයුතු ගැටලුවක්. ඒ 2 බී 1 ගත්ත ළමයාට අසාධාරණයක් වෙනවා නම්, ඒ ළමයා ගැන පාලකයන්ට කැක්කුමක් තියෙනවා නම් අපි ඉල්ලීමක් කළා අන්තිම ළමයා ගියේ බී 3 න් නම්, ඒ ළමයාගේ මට්ටමට වඩා වැඩි සුදුසුකම් තියෙන ළමයෙකුට විදේශ වෛද්‍ය උපාධි ආයතනයකට ගිහින් උපාධිය අරන් එන්න. සාධාරණයි නේද?   


නමුත් මේක තාම සම්මත වෙලා නැහැ. සී 2 එස් 1 තමයි සම්මත වෙලා තියෙන්නේ. මේක හරහත් විභාගය සමත්වීමේ අවස්ථාත් තියෙනවා. සමහරු එහේ ගිහින් බිස්නස් කරනවා. උපාධියකුත් තියෙනවා. එහේ අය මෙහේ ඇවිල්ලා නියාමනය නොවන්නේ අපි මේ සිස්ටම් එක හදලා නැති නිසයි.   


අපේ තව ඉල්ලීමක් තිබුණා. මේ වගේ වංචනික අයට මුලින් තිබුණේ රුපියල් 5000 ක දඩයක් ගැසීම. කසිප්පු ඇල්ලුවා වගේ. මේ අය රජයේ රෝහල්වල වැඩ කරන්නේ නැහැනේ. මේ අය දවසකට රුපියල් 50,000 ක් ලක්ෂයක් උපයනවා. එතකොට රුපියල් 5000 කියන්නේ මොකක්ද. අපේ ඉල්ලීම මත රුපියල් 50,000 දක්වා වැඩිකළා. හිර දඬුවම මාස 6 යි. හැබැයි කී දෙනෙකුට දුන්නද කියලා දන්නේ නැහැ. මේ අය බෙහෙත් අරන් කරන්නේ මිනී මරනවා වගේ වැඩක්නේ. ඒ අයට අපි කිව්වා අවුරුදු 5 ක සිර දඬුවමක්. රුපියල් 5,000 අපි 50,000 දිපූ එකෙන් මේක අඩුවෙලා ගියා.   


සාමාන්‍යයෙන් දේශීය වෛද්‍යවරු 1000 කට ආසන්න ප්‍රමාණයක් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙනවා. පිටරට අය 200 ක් 250 ක් විතර. වෛද්‍ය සභාවේ ඇති සම්පත්වලින් උපරිම ප්‍ර​ෙයා්ජන අරන් හැකි වේගෙන් විභාග 2 ක් විතර පවත්වනවා. එය හොඳටම ප්‍රමාණවත්. මාස 6 කට වරක් හැම කෙනෙකුටම අවස්ථාවක් තියෙනවානේ. ඔවුන්ට අවස්ථා 10 ක් තියෙනවා. අද ආවනම් ඔවුන්ට තව අවුරුදු 10ක් යනකම් විභාගවලට පෙනීසිටින්න පුළුවන්.   


මේ අතර ව්‍යාජ වෛද්‍යවරුන් සම්න්ධයෙන් පැමිණිලි කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙනමම ඒකකයක් පිහිටුවා තිබෙනවා නේද යන්න පිළිබඳව අපි සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා පුහුණු) වෛද්‍ය සුනිල් ද සිල්වා මහතාගෙන් විමසුවෙමු.   


‘‘සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ වැටලීම් ඒකකයක් තියෙනවා. ව්‍යාජ වෛද්‍යවරයෙක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අවශ්‍ය නම් එම ඒකකයට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒත් යම් ප්‍රදේශයක ව්‍යාජ වෛද්‍යවරයෙක් සිටිනවා නම් ඒ සම්බන්ධයෙන් කියාත්මක වීමට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ට බලය පවරා තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා විශේෂ වැටලීම් ඒකකයට දැනුම් දෙන්න පුළුවන්.   


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කර තිබෙන යෝජනාව ඉතාමත් හොඳ එකක්. ඒත් එවැනි ඒකකයක් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ ස්ථාපිත කර තියෙනවාද කියලා මම හරියට දන්නේ නැහැ. ඒවගේ ඒකකයක් ස්ථාපිත කරනවා නම් දැනට වඩා වැඩි සංඛ්‍යාවක් හොර දොස්තරලා අපිට හඳුනාගන්න පුළුවන්.   


වෛද්‍ය සංගම් සහ සෞඛ්‍ය බලධාරින් විවිධ කතා කිව්ව ද ජනතාව බලා සිටින්නේ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ ඔවුන්ට සාධාරණයක් වේද යන්න පිළිබඳවය.   

 

 

 

 පද්මිණි මාතරගේ