වෙලන් අප්පු සහ මංගොහාමි එලොව යැවූ කුළු මීගොන් වස්සා


ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මගපෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   

බෙලිඅත්ත - දම්මුල්ල ජේ. කණ්ඩම්බි මහතා ලියා එවූ කතාවකි.   

අකලට පරවුණු සූදු නිමල්   


සුදෝ සුදු වතට මුවාවූ නිමල් ඇදහිය නොහැකි මිනිසෙකු විය. ස්ථිර රැකියාවක් නැතත් ඔහුගේ අතමිට සරුවූයේ සූදු කෙළියේ පිහිටෙනි. එම නිසා මොහුට සූදු නිමල් යන අන්වර්ථ නාමයද පටබැඳුනි. තනිකඩයෙකු වූ මොහු ගමේ මඟුල්, අවමඟුල්, පිංකම් ගෙවල්වලට දායකවූයේ නිදිමරාගෙනය. මළ පොතේ අකුරක්වත් නොදත්තකු වුවද බූරු කුට්ටමේ කොළ 52ම මතක තබාගැනීමට උගතෙකු විය.   


සූදු නිමල්ට ප්‍රාදේශීය මැතිවරණය තරඟ කිරීමට ඉල්ලීම් ගලා ආවේය. ඊට ඔහුගේ පිළිතුර වූයේ, පාලකයින් මෙන් සුදු වතෙහි මඩ තවරා කිළිටු එකෙකු නොවන බවය.   


මැදියම් රැයේ කුමන උත්සවයක සිටියද පැය කිහිපයකට අතුරුදන්වීම ගැන ගම්මුන්ට කුකුසක් ඇතිවිය. නමුත් මොහු ගව සොරකු බව ගමේ කිසිවකු නොදත්තේය. ඊට හේතුව පිටගංකාර සූදු අන්තුවන් සමග පමණක් ගව සොරකමේ යෑමය. ඒ වාගේම ගමේ ගවයන් සොරකම් නොකිරීමට ද මොහු වගබලා ගත්තේය. තාර පාරේ උණුසුම විඳින ගවයකු අල්ලා ත්‍රීවීලරයට දාගත් සැනින් පිහියෙන් ඇන මරාදැමීම මොහුගේ සිරිත විය. චේන් හොරුමෙන් හිස හැරුණු අත ඇදීගොස් සොරකම් කිරීම නිසා මියැදෙන තුරුම හසු නොවීමට මොවුන්ට හැකි විය. ගණදෙවි නුවණ හොරුන්ට පිහිටනවා කියනුයේ, මෙවන් අය දැකීමෙනි.   


හොරකම සමාජයෙන් සැඟවිය හැකි වුවද, පාපකර්ම සැඟවිය හැකි තුඹසක් ලොවෙත් නැත. සොරකමෙන් සූදුවෙන් අතමිට සරුවුවද යාදෙන්නේ කෙටි කලකි. ලැජ්ජා භය නොහඳුනන එවුන්ට සොරකම ආභරණයකි. ඊට ආවඩන සහචරයින්ද රොත්තකි. සමාජයේ ගරු බුහුමන් මැද ඉහළින් වැජඹෙන්නේද හොරුන්මය. හොරකම තීක්ෂණ ලෙස සඟවා ගැනීම පිණිස රහමෙර පානය කළේ හොරදෙටුවන් සමග පමණි.   


හජ්ජි, නත්තල්, අවුරුදු සමය ගවයින්ට අපල විය. මස්කඩ වලට සපල විය. සූදුවට මිහිරි විය. එබැවින් සූදු නිමල්ලාගේ සැණකෙළි සමය විය. පුල්ලි කොළ පණගැන්වී ටෝං බෝතලය පිරී ඉතිරිණි. සැමදා නියං එකදා වැහි වලාවට ගොදුරු වන සේ බොඳ වී ගිය පුල්ලි කොළයකින් හොර සූදුව හෙළිවිණි. බ්‍රෝකර් සූදු අන්තුවකු සමග ඇතිවූ ගැටුමකට සූදු නිමල් මැදිවිය. අනුන්ගේ මුදල් උදුරාගැනීම මංකොල්ලයක් වන බැවින් මුදල් පුරාගැනීමට සූදුව ශුද්ධ මාවතක් විය. එයද දේශපාලනය වැනිය.   


පරාජය විඳ දරාගැනීමට නොහැකිව වල්මත් වූවකු එල්ල කළ පිහිපහර නිමල්ගේ උගුරුදණ්ඩ පසාරු කර ගියේ ඉලක්කය වැරදීමෙනි. ඔහු හරකුන් ඝාතනය කළේද ඒ අයුරින්ම විය. සමාජයෙන් වසන්කර රැස්කළ පවු නිමල් වෙත ඇදී ආයේ අකුණුසැර මෙනි. බොරුව සොරකම ප්‍රාණඝාතය දංවැලක පුරුකක් සේ එකට බැඳුණි. විඳින කලට පාපය රසය. පලදෙන කලට පාපය වසය. සහපිරිවර සමග කුරුල්ලකු මෙන් සැරිසැරූ සූදු නිමල්ට පරපුරක් නොමැති විය. මිතුරන් කිහිපදෙනෙකුගේ කරමතින් ගොස් මිහිදන්වූ සූදු නිමල්ට පාන්සකූලය ද අහිමි වීම දෛවයේ ඛේදවාචකයක් නොවේද? මිනිසා ගස්ලබු ගෙඩියක් වැනිය. මළබද්දයට ඔසුවක් වෙනවිට දියවැඩියාවට විසක් වෙන සේය. 

 


 
අම්බලන්තොට එස්. සෝමසිරි මහතා ලියා එවූ කතාවකි.  

රූපයෙන් මත්වූ රූපා රූපය නිසාම විනාශ වූවාය


මව්පියන් තම සිඟිත්තියට නම තැබුවේ මතු දින ඇය රූපයෙන් අගපත් වන බව කල්තබා දැන නොවේ. කටට ආ නිසා රූපා යැයි පැවසූහ.  


රූපා දුප්පත් පවුලක පළමු දැරියයි. කෙමෙන් වැඩෙත්ම පවුලේ ඥාතීන්ගේ සහ අසල්වාසීන්ගේ ආදරය හා රැකවරණය ඇයට හිමිවිය. ගමේ පාසලේ පළමු වැනි ශ්‍රේණියෙන් අධ්‍යාපනය ආරම්භ කළ ඇයට වසර කීපයකට වඩා පාසල් යාමට වාසනාව හිමි නොවීය. පවුලේ දුප්පත් බව සහ ඒ පිළිබඳ ඇයට උනන්දුවක් නොවීම ඊට හේතු විය. එහෙත් යොවුන් විය එළඹෙත්ම පවුලේ ආර්ථික දුගී බව අභිබවා රූපයෙන් රූපා පොහොසත් වෙන්නට වූවාය.  


මුළු ගතම පෙනෙන තරම් සුවිසල් කණ්නාඩියක් ගෙදර නොතිබුණද මුහුණ පමණක් පෙනෙන තරම්වූ කණ්ණාඩිය ඇයගේ අවශ්‍යතා පිරිමැසුවේය. රූපය නිසා කිසියම් ගර්වයක්ද ඈ තුළ විය. ගමේ තරුණයන් කීපදෙනෙක් එකිනෙකාට හොරෙන් රූපා වසඟයට ගැනීමට මාන බැලූහ. රූපයෙන් මත්ව සිටි රූපා ඔවුන්ට ඉඩක් දුන්නේම නැත.  
රූපාගේ රුව රූපාට වඩා මහා වදයක් වූයේ ඇගේ මවටය. රූපා රැක ගැනීමට අලුතින් මෙහෙයුමක් කිරීමට ඇයට සිදුවීම ඊට හේතුවයි.  


රූපය නිසා අහංකාර ගති පෑ රූපාගේ සිත කිසිම තරුණයකු පැහැර ගැනීමට අසමත් වුවද නගරයේ වෙළෙඳසලකදී අහම්බෙන් නෙත ගැටුණු තරුණයෙකු එම අසීරු කඩඉම ජය ගත්තේය.  


ඔහු හමුවේ රූපාගේ සිත සැළී ගොස් නතර වූයේ පෙර ඉරණම එය විය හැකි බැවිණි. හෙතෙම එම වෙළෙඳසල හිමි අයගේ පුතණුවන්ය. දෙදෙනාම එකිනෙකාට තරයේ ඇළුම් කළහ. රහසක් වශයෙන් අැරඹුණු සබඳතාව වැඩිකල් නොගොස් දෙපාර්ශ්වයේ මව්පියන්ට දැනගන්නට ලැබුණේ පිරිමි පාර්ශ්වයේ මව්පියෝ දැඩි සේ ඊට විරුද්ධ වූහ. විවිධ තර්ජන කළහ. එහෙත් ඒ කිසිවක් සබඳතාව නතර කිරීමට සමත් නොවීය. රූපාගේ මව්පියන් දැනුවත්ව එහෙත් දන්නා බව නොඅඟවා දියණියට තරුණයා සමග රහසේ පැන යාමට ඉඩ හසර වෙන් කළහ.  


නව යුවල ඈත පළාතකට ගොස් සුවපහසු නිවසක් කුලියට ගෙන සතුටින් කල්ගත කළහ. පෙර නොවූ විරූ සැප සම්පත් ආහාරපාන, පහසුකම් රූපා අත්වින්ඳාය. දවසේ වැඩි වෙලාවක් රූපය ඔපවත් කර ගැනීමේ ක්‍රියාකාරකම් වල යෙදෙන ඇය ඇතැම් විට සැමියා සම්බන්ධයෙන් ඉටු විය යුතු යුතුකම් ප්‍රමාද කළාය. හිඟයක් නැතිව සැප සම්පත් තිබුණද ඇයට කිසියම් අඩුපාඩුවක් දැනුනි. සැමියාට කොතරම් මිල මුදල් තිබුණද ඒ අතින් දුගී විය. මේ නිසාදෝ නිවසට නිතර යන එන සැමියාගේ මිතුරෙකු වෙත රූපා සිතින් ළං වෙමින් සිටියාය. කල්ගත වෙත්ම සිතින් පමණක් නොව ගතින් ඔහු වෙලා ගැනීමට රූපා සමත් වූවාය. සැමියාගෙන් නොලද වින්දනයක් හා පහසක් ලද රූපා එක් දැඩි නිගමනයකට එළඹුනාය. පෙර දිනයක මව්පියන් දැනුම්වත්ව සැමියා සමග හොර රහසේ පැන ආ රූපා මෙවර සැබෑවටම සැමියාට හොරා ඔහුගේ මිතුරා සමග පැන ගියාය.  
ඔවුහු කුඩා නිවසක පදිංචි වූහ. ඒ දුර බැහැර පළාතකය. නව සැමියා ජීවන මාර්ගයක් සොයා ගත් අතර රූපා නිවසේ තනිවූවාය. පෙර මෙන් රූප වර්ධනයට අවශ්‍ය ක්‍රීම් වර්ග ආදියට වැය කිරීමට මුදල් හිඟ විය. එනිසා පිපිඤ්ඤා වැනි දේවල් බහුලව යොදා ගත්තාය. කලක් ගතවිය.  


දිනක් දවල් කාලයේ තේ ටිකක් බීමට වතුර උණු කර ගැනීමට කේතලය ගෑස් ලිප මත තබා එය ක්‍රියාත්මක කළාය. කීප වරක් උත්සාහ කළද ගෑස් ලිප දැල්වුණේ නැත. ගිනි ගලේ දෝෂයක් විය හැකි බව අැයට වැටහුණි. ගෑස් ටැංකිය එසවූ විට එය බරට දැනුණු බැවින් එම නිගමනයට එළඹුණාය. කේතලය පසෙකින් තබා ගිනි ගලෙන් ගිනි පුලිඟු නිකුත් වෙන්නේදැයි මුහුණ ඔබා බලමින් කීප විටක්ම එම යතුර ක්‍රියාත්මක කළාය. උත්සාහය අසාර්ථක වෙයි. එහෙත් ඇය එය අත හැරියේ නැත.  


අහෝ විපතකි. එකවර පැන නැගි ගිනිදැල්ල රූපාගේ මුහුණ මත පතිත විය. එපමණක්ද නොව හිසකෙස්ද ගිනි ඇවිළිනි. රූපා විලාප තැබුවාය. අසල්වාසීහු පැමිණ ඇයට පිහිට වූහ. රෝහල් ගත කර සති ගණනාවකට පසු සුව වූවාය. එහෙත් පෙර තිබූ රූපය ඇයට අහිමිය. කණ්ණාඩියෙන් මුහුණ බැලුවේ එක් වරක් පමණි. දිවි හානි කර ගැනීම යහපත් යැයි ඇයට සිතුණි. රූපාගේ රූපයට වශීවී සිටි තරුණයෝ හොරහින් වත් ඇය දෙස නොබැලූහ. දැන් යාමට තැනක් නැත. ආපසු මව්පියන් වෙත ගියාය.  


රූපයෙන් මත්වූ රූපා එලෙස විනාශ වූයේ අන් අයටද රූපය නිසා හෝ අන් දෙයක් නිසා හෝ අහංකාර වීම විනාශයට මුල බව පසක් කරමිනි.  

 



හලාවත, ඉලිප්පදෙණිය, තිස්සෝගම රූපසිරි ලියනගේ මහතා ලියා එවූ කතාවකි.   

වෙලන් අප්පු සහ මංගොහාමි එලොව යැවූ කුළු මීගොන් වස්සා   


වයඹ පළාතේ ගමක විසූ වෙලන් අප්පු ළඟ කුලී වැඩට පැමිණි මංගොහාමි වැඩිකල් නොයාම ඔහුගේ බිරිඳ බවට පත්විණි. වෙලන් අප්පුගේ ජීවන රටාව හුරුපුරුදු ඇයද ඔහුටම ගැලපෙන කීකරු ගැහැනියක විණි.   


පව පින ගැන එතරම් දැනීමක් හෝ විස්වාසයක් නොතිබූ මේ ජෝඩුව කැලෑබද හේන්යායක අක්කර දෙකක පමණ බිම් කොටසක කැලේ කපා ගිනි තියා එළිපෙහෙළි කරගෙන නිවසක් තනා එහි පදිංචිවී ගොඩ ගොවිතැන් කළහ.   


වට්ටක්කා, මඤ්ඤොක්කා, මෑ, මුං, කැකිරි, වම්බොටු වැනි මිශ්‍ර බෝග වගාවේ අස්වනු දෙදෙනාම එක්වී නෙළාගෙන තම ගොනා බැඳි කරත්තේ එම බඩු පටවාගෙන ගමේ සතිපොළට ගෙනගොස් විකුණා අතමිට මිල මුදල් සරුකරගෙන ජීවත්වූහ.   


රෑ දවල් දෙකේ යාබද කැලේ සතුන්ගෙන් සිදුවන වගා බෝග හානිය නිතර වැඩිවෙන නිසා එසේ ඇදී එන සතුන් මරා මස් විකුණා මුදල් ලබාගැනීමේ චේතනාවෙන් ඊට අදාළ වැඩකටයුතු යෙදූහ.   


ඒ අනුව වගා බිමේ දෙපොලක බොරු වළවල් කපා තිබුණේ ඊට වැටුණු සතුන් මරා ගැනීමේ පහසුව උදෙසාය. එසේම ගෙතුළ මුළුගැන්වී තිබූ කොටන තුවක්කුව ද ක්‍රියාත්මක කෙරුණි. එම නිසා රිලා, වඳුරු, මීමිණි මෙන්ම වල් ඌරු දඩයම ද සිදුකෙරුණි. ඒ අනුව දඩමස් වැඩිවන විට අව්වේ දමා වේළා කරවල කර විකුණයි. එම නිසා ගෙතුළැති පෙට්ටගමේ මුදල් හිඟ නොවුණි.   


ඉඳහිට ගමේ කසිප්පු අඩියක් ගැසූ මේ දෙදෙනා දැන් රට අරක්කු ගෙදර ගෙනැවිත් තියාගෙන බීමටද හුරුපුරුදු වූහ.   


මෙසේ කාලය ගෙවෙනාතරේ එක් දිනෙක උදේ කාලේ කටපුරා අඩියක් ගසා අවසානේ කළු සුරුට්ටුව කටේ ගසාගෙන උරමින් තුවක්කුව රැගෙන වගා බිමේ ඇවිද යද්දී දුටු දෙයින් සතුටු සිත් පහළවී මේ ඇහුණද මංගො හාමිනේ ඔය කුස්සි මුල්ලේ තිබෙන බෙලි පට්ට කඹේ අරන් විගහට මෙහෙ වරෙන්කෝ කියා කෑගැසුවේය.   


ඊට පසු දෙදෙනාම එකතුවී වලේ වැටී සිටි කුළුමී ගොන් වස්සාගේ බෙල්ලට තොණ්ඩුව දමා ලණුවේ අනික් කොන වළ අයිනේ තිබූ ගසක ගැට ගැසුවේය. ඊට පසු සතාට ගොඩ ඒම සඳහා උදැල්ලක් ගෙන වළ කටේ පැත්තකින් කපා මග සකස්කර අවසානේ ගසේ බැඳි ලණුපොට ලෙහා දෙදෙනාම එකතුවී ලණුව ඇද්දාහ. 

 
අනේ හත් දෙයියනේ එවිටම ගොඩට ආ මී ගව වස්සා දෙදෙනාටම බොකු බඩවැල් එළියට එනතුරු අන් දෙකෙන් ඇණ මරා දැමුවේ මර ලතෝනි හඬ ගම පුරා රැව්පිළි රැව් දෙමිනි. කළකම් මේ ජීවිතයේදීම පලදෙන හැටි පරම සත්‍යයක් බව සිතා බලනු මැනවි.  


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්