විශේෂිත දරුවන්ට සුරපුරක් වූ සතුටේ නිවහන


සෙනරත් සුබසිංහ සහ උදයකුමාර

 

සෙනරත් සුබසිංහ එවක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්ය. ඔහුත් ඔහුගේ කාර්ය මණ්ඩලයත් වාර්ෂික විනෝද චාරිකාව උදෙසා ගියේ බෙන්තොටටය. බෙම් ගඟ ඉවුරේ නිදහස් තැනක වාඩි වූ පිරිස මදුවිත තොලගාන්නට පටන්ගත්හ.   


එහෙත් සෙනරත් මහත්තයා මතට තිත තැබුවකු බැවින් ඔහු අසල තිබූ කඳුගැටය දිගේ සක්මන් කළේය. ගලින් තැනූ පඩිපෙලේ පඩියෙන් පඩිය නැගගිය ඔහු කඳුමුදුනේ වූ චෛත්‍යය, බෝධිය දැක සිත තුටු පහටු කරගත්තේය. 


ඒ දූපතේ අනිත් පැත්තේ වූයේ රළ බිඳෙන මුහුදයි. වැටකේ පඳුරු අතරින් ඇවිද ගිය ඔහු මුහුද අද්දර ගල් පව්වකට නැග නිදහසේ සිටියේය. 


ඔය අතරතුර මධු සාදය නිමාකළ දෙන්නෙක්, ඔවුන්ගේ ලොක්කා සොයන්නට අර කඳු ශිඛරය තරණය කළහ. 


පංචක්‍‌ප දූපත නමින් හැඳින්වෙන මේ සුන්දර දූපතේ විහාරයක් පවත්වාගෙන යන වලල්ලාවිට සාරානන්ද හාමුදුරුවන්ට, අර බීමත් උපාසක මහත්වරුන් දෙදෙනා මුණගැසුණි. 


කොහෙද යන්නෙ? 

හාමුදුරුවො ප්‍රශ්න කළහ. 

අපේ ලොකු මහත්තයා මේ හරියට ආවා.. එයාව හොයන්න ආවෙ.. 

බීගෙන? 

සමාවෙන්න හාමුදුරුවනේ 

කෝ ඉතින් ලොකු මහත්තයා.. 

තාම හොයනවා. 

හොයාගෙන එමු බලන්ඩ 

හාමුදුරුවෝ කීවේ ලොක්කාට දේශනයක් දෙන්නට තීරණය කර ගෙනය. 


ටිකකින් අර බීමත් උපාසකයන් සමග සංසුන් ලොකු මහත්තයා ද පැමිණියේය. 


හාමුදුරුවන් දුටු විගස සිනාසුණු ලොකු මහත්තයා, හාමුදුරුවන්ගේ දෙපාමුල දණගසා වැන්ඳේය. 


හාමුදුරුවන්ගේ තරහ නිවිණි. 


මම දේශීය ආදායම් කොමසාරිස්. මේ අපේ කන්තෝරුවෙ කට්ටිය. ට්‍රිප් එකක් ආවා... කට්ටිය පොඩ්ඩක් මත්වෙලා හාමුදුරුවනේ. මං පරක්කු හින්දා මාව හොයන්න ඇවිත්. 


හාමුදුරුවෝ සහ සෙනරත් සුබසිංහ හිතවතුන් වන්නට වැඩි මොහොතක් ගි​යේ නැත. 


මේ පංචකප දූපතේ මෙන්ම ගඟෙන් එගොඩ සිරි රේවත ධම්ම නිකේතනයේද විහාරාධිපති වන සාරානන්ද හාමුදුරුවන්ට ද එදා සුනාමියට මුහුණ දෙන්නට සිදුවිය. 


සුනාමියෙන් වැනසුණු බෙන්තොට බලන්නට ජර්මනියෙන් ආ රේමන්ඩ් බයර්ලන් ඇතුළු පිරිසක් සාරානන්ද හාමුදුරුවන්ගේ පන්සලට පැමිණියහ. 


හාමුදුරුවනේ, අපි ජර්මනියෙ කට්ටියක්. ලංකාවෙ දුප්පත් අසරණ පිරිසකට උදව් කරන්න බලාපොරොත්තුව ඉන්නවා. හාමුදුරුවන්ට බැරිද වැඩපිළිවෙළක් හදන්න. 


රේමන්ඩ් ඉල්ලා සිටි විට හාමුදුරුවන්ට මතක් වූයේ සෙනරත් සුබසිංහය. 


සර් ඇවිත් රේමන්ඩ් මහත්තයව හමුවෙලා සුදුසු වැඩපිළිවෙළක් යොදන්න. 


හාමුදුරුවෝ සුබසිංහ මහත්තයාට කීහ. 

 

 

සාරානන්ද කරුණා පදනම ආරම්භ වන්නේ ඒ අනුවය. වලල්ලාවිට ඉත්තෑපානෙන් අක්කර දෙකක පමණ ඉඩමක් මිලට ගත් කරුණා පදනම එහි පෙර පාසලක්, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට පුහුණු පාසලක් සහ නේවාසිකාගාරයක්ද ඉදිකළහ. 


මේ වනවිට පෙර පාසල් සිසුන් දෙසීය දහතුනක් ද විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පනහක් පමණ ද සාරානන්ද කරුණා භාරයේ කරුණාවට ලක්ව සිටිති. මේ ආයතනය නම් කර තිබෙන්නේ සතුටේ නිවහන නමිනි. 
අපි සතුටේ නිවහනට ගොඩ වූවෙමු. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සිනා පිරුණු මුවින් පැමිණ අප ආදරයෙන් පිළිගත්හ. ඔවුන් සතුටින් ජීවත්වන බවට තවත් කතා අවශ්‍ය නැත. 


සාරානන්ද කරුණා පදනමේ සතුටේ නිවහනේ භාරකාරත්වය දරන්නේ සාරානන්ද හාමුදුරුවන්, සෙනරත් සුබසිංහ සහ පී.කේ. උදයකුමාර යන තිදෙනාය. 


අපි මුලින්ම ගියේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පුහුණු අංශයටයි. 


එතැන භාරව සිටින්නේ සුදේශිනී රුවන්තිකාය. ලයිසියම් විදුහලෙන්, ගල්කිස්සේ සුමග ආයතනයෙන් සහ තවත් බොහෝ තැන්වලින්, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් බලාකියා ගන්නා ආකාරය හා අධ්‍යාපනය දෙන ආකාරය ගැන ඉගෙන කියා ගත් රුවන්තිකා සතුටේ නිවහනේ සිටිනා ළමයින් ගැන කතා කළාය. 


අපි මේ ළමයින්ට ක්‍රීඩා පුහුණුව, ස්වයං රැකියා පුහුණුව, රසවින්දනය, කෘෂි පුහුණුව වගේ විවිධ දේ ලබාදෙනවා. මේ සමාජයට තමන්ගේ ශක්තියෙන් නැගී සිටින්න පුළුවන් පුරවැසියන් බවට, මේ දරුවන් පුරුදු පුහුණු කිරීම තමයි අපේ උත්සාහය. 


කිරිඳි ඇට වලින් මාල හදන හැටි, පාපිසි හදන හැටි, හඳුන්කූරු හදන හැටි, ඉටිපන්දම් හදන හැටි, කඩදාසි වලින් විවිධ විසිතුරු නිර්මාණ කරන හැටි, පන් කර්මාන්තය වගේ දේවල් මේ දරුවන්ට පුරුදු පුහුණු කරනවා. 
ඒ වගේම නැටුම්, ගායනය, චිත්‍ර වාදනය වගේ සෞන්දර්ය විෂයයන් පිළිබඳ දැනුම ලබාදෙනවා. 


ඊට අමතරව, අත්පන්දු, මලල ක්‍රීඩා, යගුලිය කවපෙත්ත විසිකිරීම වගේ ක්‍රීඩාවලට පුරුදු පුහුණු කරනවා. 


ඇත්තටම මට කියන්න සතුටුයි මේ අවුරුද්දෙ අගෝස්තු මාසෙ ඉන්දියාවෙ පැවැත්වෙන විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගෙ ඔලිම්පික් තරගාවලියට යන අත්පන්දු ක්‍රීඩා කණ්ඩායමට අපේ නිවාසෙ ළමයෙකුත් තේරිලා ඉන්නවා. 


ඒ කව්ද? 

මම විමසුවෙමි. 

ඊළඟට මගේ ඉදිරියට ආවේ ඇයයි. 

යොනාරා යුවමිනි නම් වූ ඇය මීගහතැන්නේ පදිංචි යුවතියකි. 


බස්නාහිර පළාතේ විවිධ ස්ථානවලින් ක්‍රීඩා පුහුණුව ලබන ඇයට, ශ්‍රී ලංකා පිලේ අනෙකුත් ක්‍රීඩිකාවන් සමග ඔලිම්පික් උළෙලේ නම කියන්නට ලැබේවායි ප්‍රාර්ථනා කළෙමු. 


වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී ජගත් ජීවන්ත, මේ මොහොතේ සතුටේ නිවහනේ රැඳී සිටියේය. ඔහු මෙහි කරන කාර්යභාරය ගැන යමක් විමසන්නට අපි අමතක නොකළෙමු. 
අපි බස්නාහිර පළාත් සභාවෙ අපේ උත්සාහය මේ දරුවන් ජාතික මට්ටමට ගෙන ඒම. මේ දරුවන්ගෙ කුසලතා හඳුනාගෙන ඔවුන්ගෙ කුසලතා දියුණු කිරීමට අපි හැමවිටම උත්සාහ ගන්නවා. 

 

පෙර පාසල් ළමයි

 


ඇත්තටම මේ සතුටේ නිවහන නිසා විශේෂ අවශ්‍යතා ඇති දරුවනට ලොකු සේවයක් සිද්ධ වෙන්නෙ. ඒ වගේම මේ දරුවන් ඉන්න පවුල් වලටත් මේ මධ්‍යස්ථානය පිහිටක්. තමන්ගෙ දරුවන් මේ ආයතනයට ගෙනත් අැරලවලා තමන්ගෙ රැකී රක්ෂා කරගන්න මේ දරුවන්ගෙ දෙමාපියන්ට පුළුවන්. ඒ වගේම මතු දවසක මේ දරුවන් තමන්ගේ දෑතේ මහන්සියෙන් යම් රැකියාවක් කරන්න පුරුදු පුහුණු වෙනවා. එ්ක එක අතකින් පිනක්. 
විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ සතුටේ නිවහනෙන් නික්මුණු අපි ඊළඟට ගියේ පෙර පාසල් අංශයටයි. 


එතැන විදුහල්පතිනිය ලෙස කටයුතු කරන්නේ හේමලතා කෝට්ටේගොඩ මහත්මියයි. රෝස පාට සාරි වලින් සැරසුණු මේ ගුරු මණ්ඩලය, නිල ඇඳුමකින් සැරසුණු පුංචි දරුවන්ට අයනු ආයනු මෙන්ම විවිධ ක්‍රියාකාරකම් ද කියාදෙන අයුරු අපූරුය. 


මෙතන ළමයි දෙසීය දාහතක් ඉන්නවා. ඒ ළමයින්ව එක්කගෙන එන්නෙත්, ගිහින් අරින්නෙත් අපේ ආයතනය සතු බස් වලින්. 


මේ ළමයින්ට නිළ ඇඳුම්, පාවහන් හැමදේම දෙන්නෙත් නොමිලේ. සතියකට දවස් තුනක් ස්වයංපෝෂ ආහාර වේලකුත් ලබාදෙනවා. මේ පෙර පාසලේ විශේෂත්වය තමයි දෙමළ ළමයින්ටත් පංති පැවැත්වීම. ඒ සඳහා දෙමළ ගුරුතුමියකුත් අපේ ආයතනයේ ඉන්නවා. 


හෙට අනිද්දා එළඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් මිහින්තලය ඉදිකිරීම අප සිටින විටත් සිදුවෙමින් තිබිණි. 


මේ පොසොන් වෙනුවෙන් නෙළුම් මල් තුන්දාහක බෝධි පූජාවක් පැවැත්වෙනවා. ළමා පෙරහැරකුත් පවත්වනවා. 


උදයකුමාර පැවසු​වේය. 


සතුටේ නිවහනේ ඉදිරි ව්‍යාපෘති අතර වැඩිහිටි නිවාසයක් ඉදිකිරීමද පරිගණක පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම ද තිබේ. 


ඒ හැර ගෙලිඔය පෙර පාසලක් පවත්වාගෙන යන අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල පෙර පාසල් වලට උදව් කිරීමද සිදුකෙරේ. 


මේ සතුටේ නිවහන දැක බලා ගැනීමට මෙන්ම දරු දැරියන්ට උදව් උපකාර කිරීමටද ඔබට හිතුණොත්, එහි දුරකථන අංකය සඳහන් කරන්නෙමු. 

 

 

 

 

දුරකතන අංක - 0342272311

 

 

ශාන්ත කුමාර විතාන 
සේයාරූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය