විභාගයට යන්න කලින් මේ ටිකත් ඉගෙන ගන්න


 

අ.පො.ස සා.පෙළ විභාගය සහ උසස්පෙළ විභාගයේදී සිසුන්ට සිදුවන මගහැරීම් සහ සිසුන් අතින් නිරන්තරයෙන් සිදුවන වැරැදි පිළිබඳ දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම ලිපිය සම්පාදිතය. මේ සඳහා අප සම්බන්ධ කරගත්තේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකුද, හිටපු විභාග කොමසාරිස් ජනරාල්වරයකුද, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අභියාචනා කොමසාරිස්වරයකුද වන ඒ.එම්.ආර්.බී. අමරකෝන් මහතාය.   


ප්‍රශ්නය - අ.පො.ස සා.පෙළ විභාගයේදී විභාග අපේක්ෂකයන් අතින් සිදුවන වැරැදි මොනවාද?   


ඇත්තටම සෑම විභාගයක්ම යම්කිසි තරගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. අ.පො.ස සා.පෙළ සහ උසස් පෙළ විභාග කියන්නේ කඩඉමක්. එම කඩඉම ගම්වල දරුවන්ට නගරයේ පාසල්වලට යාමටත් උසස්පෙළින් පසු සරසවියට යාමටත් මග පාදනවා. මෙම අ.පො.ස සා.පෙළ සහ උසස් පෙළ විභාගවලින් අපේක්ෂා කරන්නේ ළමයා තුළින් කුසලතා සංවර්ධනයක්.   


ඉතින් පසුගිය වසරවල අත්දැකීම් ඇසුරෙන් මෙම කාරණය සාකච්ඡා කිරීමේ දී අපේක්ෂකයන් අතින් නිරන්තරයෙන් සිදුවන වැරැදි කිහිපයක් පිළිබද අවධානය යොමු කරන්න කැමැතියි. එම වැරැදි මෙලෙස පෙන්වාදීමේ අරමුණ වන්නේ වර්තමාන විභාග අපේක්ෂකයන් නිවැරැදි ඉලක්කයක පිහිටුවා ඔවුන්ට සාර්ථක ජයග්‍රහණයක් ලබාදීමට මගපෙන්වීමයි.   


1) පෙර සූදානම දහස් වටී   


හොඳ අධිෂ්ඨානයකින් විභාගයට මුහුණ දෙන්න. ඔබ ඔබේ අනාගත ජීවිතය ගැන සිතා අරමුණක් ඇති කරගන්න. බොහෝ අපේක්ෂකයන්ට විභාගයට පාඩම් කරන්න මතකයට නැගෙන්නේ විභාග කාලසටහන ලැබුණාට පසුවයි. එවිට තමා පාඩම් සටහන් හොයන්නෙත්. විභාගයකට මුහුණදීමේ දී තම අධ්‍යාපන කටයුතු දෛනික කාලසටහනකට අනුව කල් තියා සිදුකරන්න. තමන්ට මගහැරුණු පාඩම් සොයාගෙන සම්පූර්ණ කරගන්න.   


2) පුස්තකාලයම බෑගයේ දමාගෙන විභාගයට යන්න එපා   


ගොඩාක් සිසුන් කරන වරදක් තමයි විභාගයට යන්න කලිනුත් නිදිවරාගෙන පාඩම් කරලා විභාගයට යද්දීත් බස් එකේදීත් විභාග මධ්‍යස්ථානය අසලට ගිහිනුත් පාඩම් කරනවා. පාඩම් කරන එක නරක වැඩක් නොවුණත් විභාගයකට මුහුණ දෙන අපේක්ෂකයකුට නිරවුල්, නිදහස් මනසක් තියෙන්නට අවශ්‍යයි. ඒ නිසා මගේ අදහස විභාගය ආරම්භවීමට අවම මිනිත්තු 15කටවත් පෙර ඔබේ මනස නිදහස් නිරවුල් කරගන්න. ඒ අවස්ථාවේත් ඔබේ මනස වෙහෙසට පත් කරන්න එපා.   


3) අනුමාන ප්‍රශ්න විටෙක ඔබ අතරමං කරයි   


බොහෝ ගුරුවරුන් පවා පසුගිය ප්‍රශ්න පත්‍රවලට සාපේක්ෂව අනුමාන ප්‍රශ්න සිසුන්ට ලබාදෙනවා. එහි වරදක් මම දකින්නේ නෑ. එහෙත් විෂයය නිර්දේශයේ කවර පාඩමකින් විභාගයට ප්‍රශ්නයක් ඇසුවත් එම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට අපේක්ෂකයන්ට හැකියාවක් තිබිය යුතුයි. එම නිසා අනුමාන ප්‍රශ්න පසුපස පමණක් හති දමමින් දුවන්න එපා.   


4) බහුවරණ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ දී කලබල නොවන්න   


බහුවරණ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී අපේක්ෂකයන් කරන ප්‍රධානම වරදක් වන්නේ අනවශ්‍ය කලබලයයි. පළමුව හොඳින් හිතන්න, හොඳින් සිතාබලා නිවැරැදි යැයි ප්‍රත්‍යක්ෂ කරගෙන බහුවරණවලට පිළිතුරු සපයන්න. අනවශ්‍ය කලබලයෙන් හදිසියේ හෝ ඔබේ පිළිතුර වැරැදුණහොත් එයින් ඔබ නිවැරැදි පිළිතුර දැන සිටියත් ඔබට ලකුණු අහිමිවීමට ඉඩ තිබේ.   


ඒ වගේම තමා බොහෝ දරුවන් විභාග මධ්‍යස්ථානවලදී විභාග නීති උල්ලංඝනය කරමින් බහුවරණ පිළිතුරු හුවමාරු කරගැනීමක් පසුගිය වසරවලදීත් අප දැක තිබෙනවා. එම වරදින් අපේක්ෂකයන් මුදවාගන්න යම් යම් වැඩපිළිවෙළවල් ඉදිරියේදී ක්‍රියාත්මක වේවි. ඔබ ඔබේ දැනුමෙන් පමණක් පිළිතුරු සපයන්න. තමන් තමන්ට අවංකවන්න.   


5) විභාග අයැදුම්පත ගෙදර දමා යන්න එපා   


විභාගයට යාමට පෙර විභාග අයැදුම්පත සමග ඔබට ලබාදෙන විභාග කාලසටහනේ ඔබේ විෂයයන්වලට අදාළ විභාග පිළිබඳ අවධානය යොමු කරන්න. විභාග අයැදුම්පත ඔබේ ජාතික හැඳුනුම්පත හෝ තැපැල් හැඳුනුම්පත විභාගයට යද්දී රැගෙන යන්න අමතක කරන්න එපා.   


6) විභාග මධ්‍යස්ථානයට වේලාසනින් යන්න.   


අවම වශයෙන් මිනිත්තු 15කටවත් පෙර විභාග මධ්‍යස්ථානයට යන්න. විභාගය ආරම්භ වීමට ප්‍රථම ඔබේ විභාග අංකයට අදාළ මේසය, ශාලා අංකය හඳුනාගන්න. ඔබ විභාගයට යන ක්‍රමය සහ වේලාව ඉතාම තීරණාත්මකයි. ඒ සම්බන්ධයෙන් මවුපියන්ටත් විශේෂ වගකීමක් පැවරෙනවා දරුවා විභාගයට යොමුකරවීමේ දී දක්වන සැලකිලිමත්භාවය සම්බන්ධයෙන්. එම නිසා ඒ සම්බන්ධයෙන් මවුපිය දැනුම්වත් බව වැදගත්.   


7) විභාගයේදී වංචාසහගත ක්‍රියා කරන්න එපා   


විභාගයේදී තමන් තමන්ට අවංකවන්න. විභාග නීති උල්ලංඝනය කරන්න එපා. එයින් ඔබට ඔබේ ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවේවි. විභාග නීතිරීතිවලට ගරු කරන්න. විභාගය ලියන අතරතුරදී අපේක්ෂකයන්ට කුමක් හෝ ප්‍රශ්නයක් මතුවුවහොත් නැගිට යන්න එපා. ඔබ විභාගය ලියන මේසයට තට්ටුවක් දමා ශාලාධිපති දැනුම්වත් කරන්න. ඒ වගේම විභාගය අවසන් වීමට නියමිත නිශ්චිත කාලයේ අවසන් මිනිත්තු 30 ඇතුළත ශාලාවෙන් පිටවීම විභාග කොන්දේසි උල්ලංඝනය කිරීමක් බැවින් එය නොකිරීමට සිහියේ තබා ගන්න.   


විභාග දෙපාර්තමේන්තුව සැමවිටම අයැදුම්පත් කැඳවීමේ සිට ප්‍රතිඵල නිකුත් කිරීම දක්වා වූ ක්‍රියාවලියේදී සර්ව සාධාරණව නීත්‍යනුකූල ආකාරයට විභාගයකට අපේක්ෂකයන් යොමුකරවීමට කටයුතු කරයි. ඒ සඳහා වර්තමාන විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ද නිරන්තර කැපවීමකින් කටයුතු කරමින් සිටියි.   


ඒ වගේම අ.පො.ස. සා.පෙළ සහ උසස් පෙළ විභාගවලදී සිසුන් අතින් සිදුවන පොදු වැරැදිවලට අමතරව කලා විෂයය ධාරාව යටතේ දිවයින පුරා සිසුන් විශාල පිරිසක් පෙනී සිටින සිංහල විෂයය ප්‍රශ්නපත්‍රය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලීමට අපි සිතුවෙමු. ඒ සඳහා අප සම්බන්ධ කරගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සේනාරත්න කාරියවසම් මහතාය.   


ප්‍රශ්නය:- ඔබ වසර 18ක කාලයක් පුරා ප්‍රධාන පරීක්ෂකවරයකු ලෙස සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග රාජකාරිවල නිරතවන සරසවි ආචාර්යවරයෙක්. අ.පො.ස. සා.පෙළ විභාගයේදී සිංහල විෂයය ප්‍රශ්න පත්‍රයට මුහුණදෙන සිසුන්ට මතුවන ගැටලු පිළිබඳ ඔබේ අදහස මොකක්ද?   


ඇත්තටම මම දකින හැටියට අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග උත්තරපත්‍ර පරීක්ෂාවේ දී නිරන්තරයෙන් දැකිය හැකි සිසුන්ට සිදුවන මගහැරීම් සහ සිසුන් අතින් සිදුවන අඩුපාඩු කිහිපයක් අපට හඳුනාගන්න පුළුවන්.   


1) පිළිතුර හරියට ගොඩනගන්න   


ගණිතය ආදී විෂයයන්වලට වඩා සිංහල විෂයය වෙනස්වන්නේ ව්‍යුහගත ස්වරූපයකින් ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට සිසුන්ට සිද්ධවෙනවා. අපි සරලව කතා කළොත් සිංහල සාහිත්‍ය ප්‍රශ්නපත්‍රයේදී සිසුන්ට විචාර ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න වෙනවා. එහිදී සිසුන් අතින් සිදුවන ප්‍රධානම වරදක් ලෙස මා දකින්නේ එබඳු ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමේදී ආවාට ගියාට පිළිතුරක් ලියනවාට වඩා ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට පිළිතුර ගොඩනංවන්නේ කොහොමද යන ආකාරය පිළිබඳ මනා දැනුමක් සිසුන් තුළ තියෙන්නට ඕනෑ.   


උදාහරණයක් හැටියට ගත්තොත් උම්මග්ග ජාතකයෙන් ප්‍රශ්නයක් ඇහුවත් ගුත්තිලයෙන් ප්‍රශ්නයක් ඇහුවත් ඒ ප්‍රශ්නයට අදාළ වන විදිහට ආරම්භය මනා සැලසුමකින් උදාහරණ පිළිවෙළට යොදමින් එම උදාහරණ පැහැදිලි කරමින් කරන්නා වූ අන්තර්ගතය සහ අවසානය. මේ ආකාරයට අපට හැකිවෙනවා සාර්ථක ප්‍රශ්නයකට පිළිතුරක් ගොඩනගා ගැනීමෙන් නිසි පිළිතුරට අදාළ සියලුම ලකුණු ප්‍රමාණය ලබාගැනීමට.   


2) ප්‍රශ්නයට ඍජුව උත්තර දෙන්න   


ව්‍යුහගත ප්‍රශ්නයකට පිළිතුරු සපයද්දී යම් සීමාසහිත කාලයක් ලැබෙනවා. ඒ ලැබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් සිසුන් දැනගන්නට අවශ්‍යයි ප්‍රශ්නයෙන් විමසන දෙයට ඍජුව පිළිතුරු ලියන්න. බොහෝ පිළිතුරු පත්‍රවල දකින්නට තිබෙන දෙයක් තමයි පිටු 6ක් 7ක් ලිව්වත් ප්‍රශ්නයට උත්තරය ගැළපෙන්නේ නෑ. එයින් වෙන්නේ කාලය අපතේ යැවීමක්. උදාහරණයක් හැටියට ගත්තොත් සැලළිහිණිය පිළිබඳ අසන ප්‍රශ්නයකදී සැලළිහිණි සංදේශය පිළිබඳ සරල හැඳින්වීමක් ඉක්මවා කතුවරයාගේ ජීවිත කතාව පවා සිසුන් ලියන්නට උත්සාහ කරනවා. එවන් අනවශ්‍ය වැල්වටාරම්වලට වඩා අවශ්‍ය පිළිතුර අවශ්‍ය ආකාරයට ලියන්නට උත්සාහ ගත්තොත් සාර්ථක පිළිතුරක් ගොඩනගාගන්න පුළුවන් වෙනවා.   


3) ලියන්නට අවශ්‍ය ප්‍රශ්න සංඛ්‍යාවට වඩා පිළිතුරු ලියන්න එපා   


සිසුන් බොහොමයක් කරන වරදක් තමයි ප්‍රශ්න 5කට පිළිතුරු ලියන්න කියා තිබුණහොත් ප්‍රශ්න 6කට පිළිතුරු ලියනවා. ඔවුන් එසේ කරන අභිප්‍රාය යැයි සිසුන්ගේම අදහස වන්නේ අඩු ලකුණු ප්‍රශ්න තිබුණහොත් ඒවා ඉවත් කර වැඩි ලකුණු ප්‍රශ්නවලින් පමණක් පරීක්ෂකවරයා ලකුණු ලබාදේවි යන අදහසයි. එය එසේ වුවත් නොවුණත් මා නම් දකින්නේ එම ක්‍රියාව තුළින් සිසුන්ට සාර්ථක ප්‍රශ්නයකට වැයකරන්නට තිබෙන කාලය අඩුවෙනවා. එම නිසා මාගේ අදහස නම් ප්‍රශ්න 5කට පිළිතුරු ලිවීමට අවශ්‍ය නම් එම ප්‍රශ්න 5 පමණක් සාර්ථකව පිළිතුරු ගොඩනගන්න. එය ප්‍රමාණවත්.   


4) ප්‍රශ්න දෙකකට හොඳට උත්තර ලියලා ප්‍රශ්න දෙකක් බාගෙට ලියන්න එපා   


සිසුන් කරන තවත් වරදක් වන්නේ ඔවුන් මුලින්ම ලියන ප්‍රශ්නවලට වැඩි කාලයක් අරන් පිළිතුරු ලියනවා. අවසානයේ ඉතිරි ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න කාලය ප්‍රමාණවත් නොවීමෙන් ඉතිරි ප්‍රශ්නවලට පිළිතුරු උඩින් පල්ලෙන් බාගෙට පිළිතුරු ලියනවා. හරියට කාලය කළමනාකරණය කරගන්න. විභාගයට පෙර සූදානමක් තබාගන්න. සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සපයන්න එක හා සමාන වේලාවකින් හැකි තරම් උත්සාහ ගන්න. එවිට සාර්ථක පිළිතුරක් සංවිධානය කරගන්නට ඔබට හැකි වේවි.   


5) අහන ප්‍රශ්නය හරියට තේරුම් ගන්න   


බොහෝ සිසුන් ප්‍රශ්නය හරියට කියවන්නේ නෑ. බොහෝ සිසුන් හුරු වී ඉන්නවා පූර්වනිශ්චිත ආකෘතියකට. ඒ ආකෘතියට අසා ඇති දේ මොනවා වුවත් තමන්ගේ හිතේ තිබෙන පිළිතුර ලියනවා. එය වැරැදියි. උදාහරණයකින් මේ කාරණය පැහැදිලි කරනවා නම් ප්‍රශ්න පත්‍රයේ ආකෘතිකමය රටාවකට සිසුන් පුරුදුවෙලා. 3 වැනි ප්‍රශ්නය පුරාතනයෙන් 7 වැනි ප්‍රශ්නය නූතන පද්‍යයෙන් 5 වැනි ප්‍රශ්නය ගිරාවෙන් මේ ආකාරයට පූර්වනිශ්චිත ආකෘතියකට හුරුවීමෙන් හදිසියේ හෝ 3 වැනි ප්‍රශ්නයට ගිරාවෙන් ඇහුවත් පුරාතන ගද්‍යයේ පිළිතුර ලියනවා. ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න පෙර ප්‍රශ්න පත්‍රයේ උපදෙස් හොඳින් කියවන්න. මෙම පූර්ව නිශ්චිත ආකෘතියකට දරුවා හැඩගැස්වීමේ දී ගුරුවරයා සතු වගකීමත් විශේෂයි. සමහර ගුරුවරුන් සිසුන් මේ අගාධයට යොමු කරනවා.   


6) නිවැරැදි භාෂාව හසුරවන්න   


ව්‍යුහගත ප්‍රශ්නවලදී භාෂාව හැසිරවීම අතිශය වැදගත් කරුණක්. බොහෝ සිසුන් තුළින් අපි දකිනවා විශේෂයෙන් සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගවලදී ළමයාට කියන්න අවශ්‍ය දේ ලියන දෙයින් කියැවෙන්නේ නෑ. වාක්‍යයක් පටන් ගත්තාම එහි ආඛ්‍යාතය හොයන්න වාහනයක් අරන් යන්න වෙනවා. ඒ තරමට භාෂාව හැසිරවීම අවුල් සහගතයි. වාක්‍ය ලිවීමේදී පැහැදිලිව සරලව ලියන්න. අක්ෂර වින්‍යාසය, පද බෙදීම, උක්ත ආඛ්‍යාත සම්බන්ධය, අනවශ්‍ය වචන ඉවත්කිරීම නිවැරැදිව කරන්න සෑමවිටම උත්සාහ ගන්න. ඔබේ පිළිතුරුවලින් පරීක්ෂකවරයා වෙහෙසට පත්කරන්න එපා.   


7) ප්‍රශ්නයට ගැළපෙන විදිහට පිළිතුර ලියන්න 

 
අපේ ළමයි බොහොමයක් කරන දෙයක් තමයි ඔවුන් ළඟ තියෙනවා විභාගයට කලින් හදාගත් නිමි පිළිතුරු (Readymade Answers) කිහිපයක්. ඔවුන් නිතරම උත්සාහ කරන්නේ කුමන ප්‍රශ්නය ඇසුවත් තමන්ගෙ අර පෙර හදාගත් පිළිතුර පමණක් ලියන්න. එම ක්‍රියාව වැරැදියි. කටපාඩමින් පිළිතුරු ලියන්න එපා. ප්‍රශ්නය පිළිබඳ අවබෝධයෙන් ලියන්න. ඒ වගේම තමයි බොහෝ සිසුන් සමහර වචන පිළිබඳ තිබෙන නොදැනුම්වත්කම මත වරද්දා ගන්නවා. උදාහරණයක් හැටියට සාවද්‍ය නිරවද්‍ය වචන ද්විත්වය බොහෝ සිසුන්ට පැටලෙනවා. සාවද්‍ය පිළිතුර කිව්වාම වැරැදි පිළිතුරත් නිරවද්‍ය කිව්වාම හරි එසේත් නැතිනම් නිවැරැදි පිළිතුර කියන දේ සිසුන් අවබෝධ කරගැනීම වැදගත්.   


8) පරීක්ෂකවරු නොමග යවන්න හිතන්න එපා   


බොහොමයක් සිසුන් අතර තියෙන මතයක් තමයි උත්තරපත්‍ර පරීක්ෂකවරු ව්‍යුහගත ප්‍රශ්නවලදී මුල අග පමණක් බලනවා යන කාරණය. කිසිම පිළිතුරුපත්‍ර පරීක්ෂකවරයෙක් එසේ කරන්නේ නෑ. ඒ නිසා සිසුන් කරනවා ප්‍රශ්නයේ මුල අග හොඳට ලියා මැද ඕනෑවට එපාවට බොරු ලියනවා. ඒ වරද කවදාවත් කරන්න එපා. ඒ වගේම මිත්‍යා මත විශ්වාස කරන්න එපා. ඔබ මේ සටන් කරන්නේ ඔබේ ජීවිතය සමගයි.   


9) විභාගයට අනවශ්‍ය දෑ විෂය නිර්දේශවල නෑ   


සමහර ගුරුවරු සිසුන්ට උපදෙස් දෙනවා සමහර විෂය කරුණු මේ තාක් විභාගයට අසා නොතිබුණා කියා ඒවා ඉදිරියටත් අවශ්‍ය නෑ කියලා. සිසුන් ඒ පාඩම් දිහා ඇහැක් ඇරලාවත් බලන්නේ නෑ. මගේ අදහස නම් විෂය නිර්දේශවල ප්‍රශ්න තියෙනවා. එය වෙනම සාකච්ඡා කළ යුතු දෙයක්. ඒත් සිසුන්ට නිවැරැදි මඟපෙන්වන්න. විභාගයේදී අර අනවශ්‍ය යැයි කියූ කොටසකින් ප්‍රශ්නයක් ඇසුවහොත් ළමයි අසරණ වෙනවා. එවිට ළමයි කියන්නේ ගුරුවරු උගන්වා නෑ කියලා. විභාගයට අනවශ්‍ය දෑ, සිසුන්ට අනවශ්‍ය දෑ විෂය නිර්දේශවලට ඇතුළත් කරන්නේ නෑ.   


මෙකී අඩුලුහුඬුකම් හදාගෙන විභාගයට මුහුණදීමෙන් සෑම සිසුවකුටම යහපත් ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ළඟ ළඟ එන අ.පො.ස. සා.පෙළ විභාගයට මුහුණ දෙන සිසු දරුදැරියන්ට හොඳ ප්‍රතිඵලයක් ලබාගන්නට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරමු.   

 

 

සසංක චලන ගිම්හාන