වැඩිවෙන වැස්සෙන් වැඩ ගන්න හැටි


 

 

අප මේ පසුකරමින් සිටින්නේ නිරිතදිග මෝසම් සමයයි. මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ඉන්දියන් සාගරයේ සිට පැමිණෙන ජල වාෂ්ප අධික සුළං, ලංකාවේ නිරිත දෙසින් රටට ඇතුළු වී, මධ්‍යම කඳුකර බෑවුම්වල හැපී ඉහළ නැගීමෙන් නිරිතදිග මෝසම් වැසි ඇති වේ. පසුගිය දිනවල පැවති තද වැසි එම මෝසමෙහි ප්‍රතිඵලයකි. එළැඹෙන ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා කාලය තුළ දෙවැනි අන්තර් මෝසම සක්‍රීය වෙන බැවින් අකුණු සමඟ ප්‍රබල වැසි අපේක්ෂා කරන්නට සිදු වේ. එහෙත් වර්ෂාවෙන් සිදුවන හානි වළක්වාගන්නට නිසි පියවර ගත යුතුව තිබේ. මෑතකාලීන වසරවල මෝසම් වැසි සමයට ගංවතුර හා නායයාම් ඇතිවීම සුලබ සංසිද්ධියක් වී ඇත. එයින් දේපළවලට හා මිනිසුන්ට වෙන හානිය අතිමහත්ය. 


වසරකදී කොළඹ පිහිටි වර්ග මීටර් 1000ක වහලක් සහිත නිවසක් මතට පතිත වන වාර්ෂික වැසි ප්‍රමාණය ලීටර් මිලියන 2ක් පමණ වන බවත්, එම ප්‍රමාණය රජයෙන් ලබාගන්නේ නම් වැයවෙන මුදල රුපියල් 90,000ක් බව වැසි ජලය රැස්කරන්නන්ගේ සංසදය පවසයි. 


ශ්‍රී ලංකා වැසි ජලය රැස්කිරීමේ සංසදයේ ප්‍රධාන විධායක නිලධාරිනී ආචාර්ය තනුජා ආරියනන්දගෙන් ලංකාවේ වැසි ජලය කළමනාකරණය පිළිබඳව අපි විමසුවෙමු. 
නාගරික කලාපවල වැසි ජලය වහලවලින් එකතු කරගතහොත් එම ප්‍රමාණය මාර්ගවලට එකතු වීම අඩුවෙන බැවින් මාර්ග ජලයෙන් යටවීම වළක්වාගත හැකි බව ඇය පැවසුවාය. 
“මේ ජලය ගෘහ කටයුතු සඳහා ගත හැකියි. කොළඹ වැනි විශාල නගරවල විශාල වහල සහිත රෝහල්, පාසල් හා පුද්ගලික ගොඩනැගිලි තිබෙනවා. එම වහල මතට ජලය එකතු කරගන්න පුළුවනි. ජපානය, තායිවානය, කොරියාව හා තායිලන්තය වැනි රටවල වැසි ජලය නිසි ලෙස කළමනාකරණය කෙරෙනවා. වැසි කාලයට ජලය ගබඩා කරගැනීමෙන් නාගරික පෙදෙස්වල ගංවතුර අඩු කරනවා. ලංකාවේ බහුතරයක් නගරවල මාර්ග කොන්ක්‍රීට් කර තිබෙන නිසා වැසි ජලය පොළොවට උරාගත හැකි ස්ථාන අඩුයි. වැසි ජලය එකතු කර එය පොළොව ඇතුළට යොමු කරන්නට හෝ පොළොවේ රඳා ගන්න පුළුවනි. ඒ අයුරින් ගංවතුරෙන් වෙන හානි අවම කරගන්න පුළුවනි.” ඇය අවධාරණය කළාය. 
වැසි ජලය රැස්කරන්නන්ගේ සංගමය හා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද වැසි ජලය රැස්කිරීමෙන් ජල සුරක්ෂිතතාව පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ ආරම්භක සැසිවාරය 2018 වසරේ නොවැම්බර් මස බත්තරමුල්ලේදී පැවැත්විණි. මෙම සම්මේලනය සඳහා ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, මහා බ්‍රිතාන්‍යය හා ඉන්දියාව යන රටවලින් නියෝජිතයෝ සහභාගී වූහ. 
වැසි ජලය රැස්කිරීම පිළිබඳව ආණ්ඩුවට ප්‍රතිපත්තියක් හා පනතත් තිබෙන බවත්, විශාල වහලක් තිබෙන නිවෙස්වල වැසි ජල ගබඩා පද්ධතියක් තිබිය යුතුය යන්න නාගරික සංවර්ධන අධිකාරිය අනුමත කර තිබෙන බවත්, ඒ අනුව වැසි වැඩි කලාපවලට කුඩා ටැංකිත්, වැසි අඩු කලාපවලට විශාල ටැංකිත් ඉදිකිරීමට නියමිතව තිබෙන නමුත්, මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය. 


නිවෙසක සැලසුම සඳහා අවසර ගන්නා අවස්ථාවේ ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට නගර සභාවට හා නාගරික සංවර්ධන අධිකාරියට පැවරී තිබෙන නමුත් එය නගර සභා සියල්ලෙන්ම එකසේ සිදු නොවන බව ද ඇය සඳහන් කළාය. 
“නාගරික පෙදෙස්වලට අවශ්‍ය ජල ප්‍රමාණයෙන් යම් කොටසක් වැස්සෙන් රඳවාගෙන භාවිත කිරීමෙන් රජයටත් විශාල වශයෙන් වියදම අඩු වීමක් වෙනවා. දැනට අපට ලබාදෙන නළ ජලය සඳහා රජයෙන් දායකත්වය වැඩියි. එක ජල ඒකකයක් සඳහා රජයෙන් රුපියල් 43ක් පමණ වැය වෙන නමුත් අපෙන් ඒ සඳහා අයකරන්නේ පළමුවෙනි ඒකක 10ට රුපියලක් වැනි මුදලක්. ඒ නිසා නොමිලේ ලැබෙන වැසි ජලය ගබඩා කරගන්නවා නම්, නළ ජලය සඳහා රජයට වැයවෙන වියදම අඩුකර ගත හැකියි. එමෙන්ම විශාල පිරිසකට ජලය ලබාදීමේ හැකියාවත් තිබෙනවා.” 
වියළි කාලයට පමණක් නොව, ගංවතුර ආපදා ඇතිවී පානීය ජල මූල අපිරිසුදු වෙන අවස්ථාවලදීත් වැසි ජලය ගබඩා කිරීමෙන් ප්‍රයෝජන ගත හැකි බව ඇය ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ වැසි ජල කළමනාකරණ සංසදයේ ව්‍යාපෘතියකට අනුව කිලිනොච්චියට ලබාදුන් ටැංකිවල ජලය එම ජනයා භාවිත කළේ ගංවතුර ආපදා අවස්ථාවක පානීය අවශ්‍යතා සපුරාගැනීම සඳහා බවට නිදසුන් දෙමිනි. එවැනි ආපදාවකදී මිනිසුනට පිරිසුදුම ජලය ලැබෙන්නේ වර්ෂාවෙනි. 
කාලගුණ විපර්යාසය නිසා ඉදිරියේදී නියඟ දරුණු වීම හා වර්ෂාව අධිකව ලැබෙමින් ව්‍යසන තත්ත්වයකට පත්වීම අපේක්ෂා කරන්නට සිදුවෙන බැවින් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාවට නැගෙන්නේ නම් ඉදිරියේදී එය මහත් ඵලදායක බව ඇය පෙන්වා දෙන්නීය. 
වැසි ජලය ගබඩා කිරීම සඳහා ෆෙරෝ සිමෙන්ති භාවිතයෙන් අඩු වියදම් ටැංකියක් ඔවුන් නිපදවන බවත්, ඒ සඳහා දේශීය සම්පත් හා දේශීය ශ්‍රමය භාවිත වෙන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. වැසි ජලය ගබඩා කිරීම පුද්ගලික මට්ටමින් වුවත් සිදුකළ හැකිය. ඒ සඳහා ඕනෑම ටැංකියක් භාවිත කළ හැකි අතර, මදුරුවන් වැනි සතුන්ට ඇතුළු නොවිය හැකි පරිදි ඒවා සීල් කර තැබිය යුතුය. කාලයකට පසුව වැටෙන මුල්ම වැසි ජලය ගබඩා නොකරන අතර දීර්ඝ වැසි සමයකදී හොඳින් වහල සේදී ගිය පසු එකතු වන ජලය ටැංකිවලට යොමු කර ඒවා ගෘහ කටයුතු සඳහා භාවිත කළ හැකිය. පොළොවේ ගලා යන වැසි ජලය භූගත ටැංකිවල එක්රැස් කළ හැකිය. 
ලංකා වැසි ජල රැස්කරන්නන්ගේ සංගමය මගින් ක්‍රියාවට නැංවෙන ජල රැස් කරන ව්‍යාපෘති හතරක් පමණ කිලිනොච්චිය, බදුල්ල, මොණරාගල හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වේ. ගංවතුරෙන් හා නියඟයෙන් පීඩා විඳින ජනතාවට පානීය ජලය සැපයීම සඳහා තුන් අවුරුදු වැඩපිළිවෙළක් 2016 දී ආරම්භ විය. ඒ සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද වැඩසටහනෙන් ආධාර ලැබේ. 


වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 900ට අඩු වියළි කලාපයේ, වර්ග මීටර 50ක වර්ගඵලයක් සහිත වහලක සවිකර ඇති වැසි ජල එකතු කරන පද්ධතියක් මගින් වියළි කාලයේදී ආහාර පිසීමට හා බීමට අවමය ලීටර් 60-70 අතර ජල ප්‍රමාණයක් රැස් කර ගත හැකි බව එම සංසදය පවසයි. වාස්තු විද්‍යාඥයෙකු සහ නගර සැලසුම් ශිල්පියෙකු වන ලලිතරාජ මුතුකුමාරණ ප්‍රකාශ කරන්නේ නාගරික කලාපවල මාර්ග ජලයෙන් යටවීම හා සුළු ගංවතුර තත්ත්ව ඇතිවීම සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ නාගරික භූමිවල සියයට 90ක් පමණ කොන්ක්‍රීට්වලින් හෝ වෙනත් කෘත්‍රීම ආවරණවලින් වැසී තිබීම හේතුවෙන් පොළොවට වැසි ජලය උරාගැනීමට අවකාශ නොලැබීම බවයි. ග්‍රාමීය පෙදෙස්වල මෙම ගැටලුව මෙයාකාරයෙන් බල නොපවත්වන්නේ එහි භූමිය විවෘතව පැවතීමත්, එමගින් පොළොවට ප්‍රමාණවත් ලෙස වතුර උරාගැනීමත් නිසාය. 
“අපේ රටේ තිබෙන ජලාපවහන පද්ධති සියල්ල වැරදියි. ඒවා හදා තිබෙන්නේ මුළුමනින්ම කොන්ක්‍රීට්වලින් ආවරණය කරමිනුයි. කානුවල උඩ කොටස පමණක් කොන්ක්‍රීට් කර, අනෙක් කොටස් පොළොවට විවෘතව තැබීමයි නියම ක්‍රමය. වතුර රඳවාගැනීම සඳහා කානු පද්ධතියේ තැනින් තැන වළවල් කපා තබන්න ඕනෑ. 
නගරයේ ඉතිරිව තිබෙන දැවැන්ත ගස් පවා දිනෙන් දින කපා දමනවා. නගරය පුරා දමා ඇති කොන්ක්‍රීට් ඇතිරිලි නිසා පොළොවට වැසි ජලය උරාගන්නට ඉඩක් නැහැ. මෙයින් පොළොව අභ්‍යන්තරයේ තිබෙන ජල උල්පත් පෝෂණය වීම අවහිර වෙනවා. වැසි ජලය මුහුදට ගලා යනවා. මේ තත්ත්වය මෙසේ පැවතුණොත් මේ රට වියළි කාන්තාරයක් බවට පත්වේවි.” ඔහු පැවසීය. 

 


“වෙනත් රටවල වැසි ජලය ගබඩා කරගන්නා ක්‍රමවේද තිබෙනවා. ඔවුන් එම වැසි ජලය පමණක් නොවෙයි, භාවිත කළ ජලය පවා නැවත පිරිසුදු කර භාවිතයට ගන්නවා. අපේ රටේ නාගරික කලාපවල වාතයේ රසායනික හා දූෂක තිබෙන නිසා නාගරික කලාපවලින් එකතු කරන ජලය විධිමත් ලෙස පරීක්ෂා කළ යුතුයි. ආහාර පාන හැදීම හා පානීය ජලය වශයෙන් භාවිත කිරීම හැර අනෙකුත් ගෘහස්ත කටයුතු සඳහා මේ වැසි ජලය භාවිත කරන්නට පුළුවනි.” ඔහු සඳහන් කළේය. 
ගම නගරය කියා වෙනසක් නැතිව වැසි ජලය ගබඩා කරගැනීමෙන් නියං සමයේදීත්, වැසි වැඩි වී ගංවතුර ඇතිවෙන කාලයේදීත් එක සේ ඵල ප්‍රයෝජන ලබා ගත හැකිය. රජවරු වියළි කලාපයේ මහා වැව් බඳවා එක්රැස් කළ ජලයෙන් අදටත් කුඹුරු අක්කර ගණන් ගොවිතැන් කරති. එම වැව් පිළිසකර කිරීම මීට වඩා බරපතළව සලකා කටයුතු කළ යුතුව තිබුණත්, බලයට එන කිසිදු රජයක් පැරණි වැව් අමුණු ප්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණකි. ලෝකයේ දියුණු යැයි කියන රටවල පවා දක්නට නොමැති ඉපැරණි වාරි කර්මාන්තයක් පැවති බවට නටඹුන් හා සෙල්ලිපි දක්නට ලැබෙන, පැරණි රජවරුන් විසින් කළ මහා වැව් අමුණු තවමත් පවතින, විස්මිත වාරි තාක්ෂණයක් පැවති, අහසින් වැටෙන එක දිය බිඳුවකුදු ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයැවිය යුතු යැයි කියා ඒ අනුව කටයුතු කළ මහා පරාක්‍රමබාහු වැනි රජවරු සිටි රට මේ ලංකාදීපයයි. 


වැලි කාන්තාරවලින් ගැවසි මැදපෙරදිග රටවල් නූතන තාක්ෂණයේ ආධාරයෙන් කාන්තාරවල සුපිරි නගර ඉදිකරද්දී, සීගිරියේ ජල උද්‍යානය, මින්නේරිය වැව, කලා වැව, පරාක්‍රම සමුද්‍රය වැනි අතීතයෙන් උරුම වූ දායාද එක් පසෙකින් තිබියදී, භූමියට වැටෙන හැම වැසි බිඳුවක්ම නගර ගම්දනව් යට කරමින් මුහුදට ගලා යාම වළකා එයින් ප්‍රයෝජනයක් ගැනීමට අසමත් වීම සැබෑම දුර්වලකමකි. 

 


සටහන - නිසංසලා දිසානායක