වසර 75කට පසු ඇ​ෙමරිකානු සොල්ද‌ාදුවකුට ඔහුගේ ප්‍රංශ පෙම්වතිය හමුවෙයි


ඔහුට 97යි
  ඇයට 92යි

 

 

ඒ දෙවැනි ලෝක යුද්ධයේ මැද භාගයයි. යුරෝපා රටවල් මෙන්ම ඇමරිකාව ද යුද්ධයේ පැටලී සිටි අවස්ථාවක ඇමරිකානු සොල්දාදුවෙක් ප්‍රංශයට පැමිණෙයි. ඔහු සේවය කළ සේනාංකය කඳවුරුලා සිටියේ ප්‍රංශයේ ඊසානදිග පිහිටි බ්රේ (Briey) නම් කුඩා නගරයකයි. 1944දී තරුණ සොල්දාදුවකු වූ ඔහුට එහිදී ඔහුගේ ප්‍රංශ පෙම්වතිය හමුවෙයි. තරුණයා 24 හැවිරිදිය. තරුණිය 18 හැවිරිදි වියේ නව යෞවනියකි. යුද්ධය අවසන් වනවිට ඔහු ප්‍රංශය හැර ගියේ නැවත හමුවන බවට ඇයට පොරොන්දුවක් ද තබමිනි. ඇය ද ඒ පොරොන්දුව රැකගෙන ඔහු එනතුරු බලා සිටියාය. 


එහෙත් ඒ පොරොන්දුව ඉටු කර ගන්නට ඔහුට අවුරුදු 75ක් ගතවිය. කේ.ටී. රොබින්ස් (K.T. Robbins) වන ඔහුගේ වයස දැන් අවුරුදු 97කි. ජෙනී ගනායේ (Jeannine Ganaye) නම් වූ පෙම්වතියට දැන් වයස අවුරුදු 92කි. ඇයගේ කළු සුදු ඡායාරූපයක් වසර 50කට අධික කාලයක් ඔහු නිධානයක් මෙන් රැකගෙන සිටින්නේ තවමත් ඒ ආදරය ඒ තාරුණ්‍යයේමය කියන හැඟීමෙනි. ඔහුගේ ඒ පැතුම අධිෂ්ඨානය මල්ඵල ගන්වමින් පසුගියදා ඔහුට තම ප්‍රංශ පෙම්වතිය හමුවන්නට අවස්ථාව උදාවිය. එය අහම්බ සිදුවීමකි. ජීවිතයේ අවසාන භාගයේ හෝ ඔහුගේ එම උතුම් ප්‍රාර්ථනාව ඉටු කරදෙන්නට සමත් වූයේ ප්‍රංශ මාධ්‍යවේදීන් පිරිසකි. 


මේ ඇමරිකානු සොල්දාදුවා 97 හැවිරිදි වියේදී නැවත ප්‍රංශයට පැමිණියේ දෙවැනි ලෝක යුද්ධයේ ජයග්‍රාහී 75 වැනි සැමරුම් උත්සවය සඳහාය. එහිදී ඔහුට ප්‍රංශ මාධ්‍යවේදීන් සමග කතා කරන්නට අවස්ථාවක් සැලසිණ. ඔහු යුද්ධයේ කතන්දරයත් සමගම තම පෙම්වතිය ගැන ද ඔවුනට පවසමින් තම පණ මෙන් රැකගෙන සිටි ඇයගේ ඡායාරූපය ද ඔවුනට පෙන්වූයේය. ඇත්තෙන්ම ඇය සුන්දර ප්‍රංශ කෙල්ලකි. “මම ඇයට පොරොන්දු වුණා ආපසු ඇය දකින්නට එන බවට. ඒත් මට ඒක කරන්න බැරිවුණා. දැන් නම් ඇය ජීවතුන් අතර නැතිවත් ඇති.” ඔහු ඔවුනට පැවසුවේ හැඟීම්බරවය. ප්‍රංශ මාධ්‍යකරුවෝ මේ අරුමැසි ආදර අන්දරය තව තවත් හාරා අවුස්සන්නට වූහ. 


“1944 දී අපි නාසින්ට විරුද්ධව සටන් සඳහා ප්‍රංශයට ආවා. අපේ කඳවුර තිබුණේ පුංචි නගරයක. එහිදී මම මගේ ඇඳුම් සෝදා පිරිසිදු කරගන්නට කෙනෙක් අවශ්‍ය වුණා. මෙහිදී අපේ කඳවුර ආසන්නයේ සිටි ජෙනීගේ මව මගේ ඇඳුම් සෝදා පිරිසිදු කර දෙන්න ඉදිරිපත් වුණා. මට ජෙනී හමුවුණේ එහෙමයි. ඒ කාලයේ ඇය හරිම ලස්සනයි. මමත් තරුණයි. යුද්ධයේ කටුකත්වය මැද මට ඇයගේ හමුවීම හරිම ආශ්වාදයක් වුණා. අපි දෙන්නාට දෙන්නා තදින්ම ආදරය කළා. ඒත් මාස දෙකකට පස්සේ මට හදිසියේම ඇයගෙන් සමුගන්න සිදුවුණේ අප නැගෙනහිර යුද පෙරමුණට කැඳවා තිබූ නිසයි. මම ඇයගෙන් වෙන්වුණේ හැකිතාක් ඉක්මනින් නැවත ඇය හමුවට පැමිණ ඇයව විවාහ කරගන්නා බව පවසමිනුයි. 
ඒ වුණත් ඒක පොරොන්දුවක් විතරක් වුණා. යුද්ධය අවසන් වනවිට නැවත අපට ඇමරිකාවට යන්න සිදුවුණා. එහිදී මා බේකරි අංශයට මාරු කළා.” (1940දී පළමුවැනි කාණ්ඩයේ සොල්දාදුවකු ලෙස එක්වූ ඔහු සේවය කළේ 26 වැනි පාබළ සේනාංකයේය.) 


තම පෙම්වතිය අහිමිවීමෙන් විරහවෙන් සිටි කාලයක් අතරතුර ඔහුට ලිලියන් හමුවෙයි. හමුදාවෙන් විශ්‍රාම ගිය ඔහු මිසිසිපි නගරයේ ලෝහ භාණ්ඩ ගබඩාවක සේවයට ගියේය. ලිලියන් ද එහි සේවිකාවක් විය. අවුරුදු 50ක් ඔවුහු එකට සේවය කළහ. ඔහු ඇය සමග විවාහ වනවිට ඇයගේ වයස අවුරුදු 70කි. 2015 දී ඇය වයෝවෘද්ධව ජීවිතයෙන් සමුගත්තේ වයස අවුරුදු 92දීය. 


ඉතින් මේ මහලු පෙම්වතාගේ එකම අපේක්ෂාව ඉටු කරදෙන්නට හැකි නම් එය කොතරම් උතුම් ක්‍රියාවක්දැයි ප්‍රංශ මාධ්‍යවේදියෝ සිතන්නට වූහ. එපමණක් නොව ඔහු ලබා දුන් තොරතුරු අනුව ඔවුහු ඇය ජීවත් වූ නගරය සොයා ගියහ. එහිදී ඔවුනට දැනගන්නට ලැබුණේ ඇය තවමත් ජීවත්වන බවයි. දැන් ඇය සිටින්නේ විශ්‍රාමිකයන් සඳහා වූ වැඩිහිටි නිවාසයකයි. ඔවුන්ගේ ප්‍රථම හමුවීම සිදුවූ නගරයෙන් සැතපුම් 27ක් පමණ දුරින් පිහිටි මොසෙල්හි එම විශ්‍රාමික නිවාසය පිහිටියේය. ඇය ද ඔහුගේ වෙන්වීමෙන් පසු විවාහයට පත්ව දරුවන් පස් දෙනෙකුගේ මවක වූවාය. සැමියාගේ මරණයෙන් පසු ඇය මෙම විශ්‍රාමික නිවාසයේ නිත්‍ය නවාතැන්කරුවකු විය. 
මේ තොරතුරු ද රැගෙන නැවත ඔවුහු රොබින්ස් හමුවූහ.  


“ඔබේ පෙම්වතිය තවම ජීවත්ව ඉන්නවා. ඇය ඔබ දකින්න ආසාවෙන් ඉන්නවා.” 


මේ ආරංචියෙන් ඔහු විමතියට පත්වූයේය. එක් අතකින් සතුට. අනෙක් අතින් ඇදහිය නොහැකි ප්‍රවෘත්තිය.  

 


“මම නම් හිතුවේ ඇය මට නැවත හමු නොවේවි කියලයි. කෙසේ නමුත් ප්‍රංශයට පැමිණි වේලාවේ ඇය ජීවත් වූ ප්‍රදේශය බලන්න යාමට හැඟීමක් මට තිබුණා.” 
ප්‍රංශ මාධ්‍යවේදියෝ කල් නොයවාම මෙම වියපත් ප්‍රේමවන්තයන් එකිනෙකාට මුණගැස්සවීමේ සැලසුම් ක්‍රියාත්මක කළහ. ඔවුහු රොබින්ස් මහතා ඇයගේ විශ්‍රාමික නිවස්නය වෙත රැගෙන ගියහ. 


දසක ගණනාවකට පසු ආදරවන්තයන් දෙදෙනකුගේ ප්‍රථම හමුව. ඔවුන් එකිනෙකා දෙස නෙත් පුරා බලා සිටියේ ඇදහිය නොහැකි සිදුවීමක් නිසාය. තවත් මොහොතකින් ඔවුන් එකිනෙකා වැලඳ ගත්හ. හාදු වැස්සක්. ඉඩ ලද ඇසිල්ලෙන් ඔහු,


“මම හැමදාම.... හැමදාම.... ඔබට ආදරය කළා. කිසිම දවසක ඔබ මගේ හිතෙන් ඈත්වුණේ නැහැ ජෙනී...” 


“දැක්කද ඔහු කිව්වේ ඔහු මට ආදරය කරනවා කියලයි. ඒක මට තේරුණා” ඇය ප්‍රංශ භාෂාවෙන් මාධ්‍යවේදීන්ට පැවැසුවාය. 


“මට අද වගේ මතකයි ඔහු ට්‍රක් රථයේ නැගලා අවසන් වරට මගෙන් වෙන් වී ගිය හැටි. ඔහු නොපෙනී යනතුරුම මම ඇඬුවා. මම කාලයක් ඔහු වෙනුවෙන් බලාගෙන හිටියා යුද්ධය අවසන් වුණාට පස්සේ මාව රැගෙන යාමට එයි කියලා.” ඒ අතරතුර ඇය ඉංග්‍රීසි බස කතා කිරීමේ මූලික වාක්‍ය පවා හැදෑරුවාය. 


ඊළඟට රොබින්ස් ඔහුගේ දිනපොතේ තැන්පත් කරගෙන තිබුණු ඇයගේ ඡායාරූපය ඇයට පෙන්නුවේය. 


“ජෙනී මේ ඉන්නේ ඔයා....” 


“වාව්..” ඇයට ඇයව අදහාගත නොහැකි තරම් විය. ගතින් මහලු වුවත් හදවත්වලින් තවමත් තාරුණ්‍යයේ සිටි මෙම ප්‍රේමවන්තයන්ට හෝරා කීපයක්ම ඔවුනට සතුටු සාමීචියේ යෙදෙන්නට අවස්ථාව සැලසිණි. ඔහුට ඇයගෙන් සමුගන්නට සිදුවූයේ යුද ජයග්‍රහණ අනුස්මරණ උළෙලට සහභාගිවීම සඳහා ඊළඟ පැයේදී නෝමන්ඩි බලා යාමට කාලය එළඹි නිසාය. 

 

 


“ඇයි ඉතින් ඔයා මාව බලන්න ආවේ නැත්තේ. මම කොයි තරම් කාලයක් ඔයා වෙනුවෙන් බලා සිටියා ද” ඇය කීවේ ප්‍රංශ භාෂාවෙනි. 


“ඔයා දන්නවානේ වස්තුවේ. කසාදයක් බැඳගත්තාම කියාපු විදිහටම දේවල් කරන්න බැරි බව....” 


දැන් ඔවුන් දෙදෙනාම වැන්දඹුවෝය. ඔවුන් දෙදෙනාම හැකි ඉක්මනින් නැවත හමුවීමකට විරාමයක් තබමින් එකිනෙකාගෙන් සමුගත්හ. සිප වැලඳ ගැනීම්, කඳුළු, සතුට, තවත් අපේක්ෂාවකි. 


ආදරය කෙතරම් සොඳුරුද? 

 

 

(ඩේලිමේල් ඔන්ලයින් අනුග්‍රහයෙනි) 
චන්ද්‍රිකා විජේසුන්දර