වතුරේ පාවෙන පුදුමාකාර ගලක්


ඌව පළාතේ සංචාරය සඳහා පැමි​ෙණන බොහෝ දෙ​ෙනක් දුංහිඳ දියඇල්ල නැරඹීමටද අමතක නොකරති. අහස් ගැබේ සිට විදාහල ශ්වේතවර්ණ සේලයක් පරිද්දෙන් එක්වරම පහළට කඩාහැ​ෙළන දුන්හිඳ දියඇල්ල ඒ තරමටම චමත්කාරජනකය.   


දුංහිඳ දියඇල්ලට ජීවය දෙන්නේ මහවැලි ගංගාවේ අතු ගංගාවක් වන බදුලුඔයෙනි. දුංහිඳ දියඇල්ල නිර්මාණය කරමින් ගලා බසින බදුලුඔය ලලනාව ඊට පහළින් පිහිටි ගම්බිම් රැසක් සිය ජලයෙන් පෝෂණය කරන්නීය. 


දුංහිඳ දියඇල්ල පිහිටි ප්‍රදේශයේ සිට කිලෝමීටර් හත අටක් පහළින් පිහිටි තල්දෙන ගම්මානය ද ඈත අතීතයේ සිටම බදුලු ඔයේ ජලයෙන් පෝෂණය වූ පෙර රජ දවස තෙක් දිගු වූ ඉතිහාසයක් ඇති ඉපැරැණි ගම් පියසකි. 


පෙර රජ දරුවන් විසූ රජ මාලිගාවක්, උමං මාර්ගයක්, රජ කුමාරිකාවන් දිය කෙළින ලද ස්ථානයක්, මෙන්ම තවත් ඓතිහාසික ස්ථාන කිහිපයක්ම තල්දෙන ගම්මානය හා බදුලුඔය කේන්ද්‍ර කර ගනිමින් පිහිටා ඇත්තේය. 


බදුලුඔය පෙනෙන තෙක් මානයේ පිහිටි තල්දෙන ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය තල්දෙන ගම්මානය තුළ ඇති ප්‍රධානතම හා එකම ආගමික මධ්‍යස්ථානයයි. 


විහාරස්ථානයේ නායක හිමියන් වූ තල්දෙන ධම්මවංශ හිමියන් මෙන්ම එහි වූ සාමනේර භික්ෂු පුහුණු ආයතනයේ හිමිවරුන් ද නිරන්තරයෙන් දිය නෑමට බදුලුඔයට යෑම පුරුද්දක් කරගෙන සිටියහ. 


පසුගිය දිනෙක මෙම විහාරස්ථානයේ සාමනේර හිමිවරුන් පිරිසක් විහාරස්ථානයේ සිට බදුලුඔය කරා යන අඩි පාර ශුද්ධ පවිත්‍ර කරමින් සිටියදී අපූරු ගල්ගෙඩියක් හමුවිය. 


ඔයට යන මාර්ගය අවහිර කරමින් පිහිටි කොස් ගෙඩියක් තරම් වූ එම ගල වැර යොදා ඉවත් කිරීමට කටයුතු කරද්දී එය ඉතා සැහැල්ලු එකක් බව එම අත්දැකීමට මුහුණ දුන් බදුල්ලේ උදයධම්ම පොඩි හාමුදුරුවෝ පැවැසූහ. 


උන්වහන්සේ මෙසේ කීහ. 


“අපි දිය නාන්න යන්නේ බදුලුඔයට. පහුගිය දවසක අපි ඔයට යන පාර ශුද්ධ කරමින් හිටියා. එතකොට තමයි පාර හරහා තිබුණු මේ ගල දැක්කේ. මේක ලොකු ගලක් නිසා අපි කීප දෙනෙක් වැර යොදල ඒක අයින් කරන්න හැදුවත් ගල නිකන් පුළුන් ගොඩක් වගේ ලේසියෙන්ම ඉවත් වුණා. අපි උස්සල බැලුව. ගලේ තරමට වඩා බර ගොඩක් අඩුයි. අපි ඒක ලොකු හාමුදුරුවන්ට පෙන්නුව. උන්වහන්සේත් එක්ක ගිහින් අපි ඒක වතුරට දාද්දි ඒක පාවෙන්න පටන් ගත්ත. පස්සේ අපි ඒක පන්සලට අරගෙන ආව.” 


කිසිදු හැඩයක් හෝ ආකර්ශනීය ඔපයක් නොමැති වුවද වෙනස් හැඩයක් ගත් මෙම අපූරු ගල් ගෙඩිය විහාරස්ථානය වෙත රැගෙන ආ සාමනේර හිමිවරු එය විහාරස්ථානයේ පොකුණට දැමූහ. එවිටද ඔවුන්ට දැක ගන්නට ලැබුණේ එය සාමාන්‍ය ගලක් මෙන් ගිලාබසිනවා වෙනුවට ජලය මත පාවෙන අයුරකි. 


විවිධ වූ අත්දැකීම් තිබුණ ද විහාරාධිකාරී ධම්මවංශ හිමියන්ටද ජලයේ පාවෙන මෙම අපූරු ගල අලුත්ම අත්දැකීමක් ගෙන දෙන්නට විය. 
 උන්වහන්සේ මෙසේ කීහ. 


“අපේ පොඩි හාමුදුරුවෝ කෙනෙක් තමයි මුලින්ම මේක පන්සලට ගෙනාවේ. ඒ අය මේ ගැන මට කිව්වා. මමත් එතරම්ම මේ ගැන මුලින් හිතුවේ නැහැ. නමුත් පසුව මේක වතුරට දාලා බලද්දි වතුරෙ ඉතාම සැහැල්ලුවෙන් පාවෙන්න පටන් ගත්තා. 


මේ ගල හරියට කොස් ගෙඩියක පිට පොත්ත වගේ කටු කටු තමයි තියෙන්නේ. නිශ්චිත හැඩයක් නැහැ. කළු සහ අළු පැහැයෙන් යුක්තයි. මේක අපි කිරලා බැලුවාම කිලෝග්‍රෑම් හයයි ග්‍රෑම් නවසියයක් විතර බරයි. (ගල තෙමුන විට තරමක් බර වැඩිවෙන බව ද උන්වහන්සේ කීහ) නමුත් මෙතරම් විශාල සාමාන්‍ය ගලක් නම් මීට වඩා හත් අට ගුණයක් බර වෙන්න ඕනෑ. 


කොහොම වුණත් මේක අපි විසි කළේ නැහැ. කාටත් පේන තැනක තිබ්බ. 


මම අහලා තියෙනවා පෙන ගල් කියල ජාතියක් ගැන. ඒව නම් විශාලට තිබුණට සැහැල්ලුයිලු. හැබැයි දැකල නැහැ. 


කොහොම වුණත් මේ විදියෙ ගලක් දැකපු කෙනෙක් මේ පළාතේම නැහැ. මේ ගල ගැන ආරංචිය පැතිර යෑමත් එක්ක දැන් දවස පුරාම ප්‍රදේශයේ විශාල පිරිසක් මේක දැක බලාගන්න විහාරස්ථානයට එනවා. ඒ වගේම පාරේ යන අයත් වාහන නවත්තලා ඇවිල්ලා මේ ගල බලලා යනවා. සමහරු ගලට වඳිනවා. සමහරු පඬුරු දානවා. 
කොහොම වුණත් මෙහි යම් වටිනාකමක් ඇතැයි හිතලා මේ ගලේ ආරක්ෂාවට දැන් වැටකුත් ගහලා ගල විශේෂ තැනක තැන්පත් කරල තියෙනවා. 
 හැබැයි මේ ගැන මීට වඩා කියන්න මම නම් කිසි දෙයක් දන්නෙ නැහැ. කාට හරි ඇවිල්ලා පරීක්ෂණයක් කරලා මේක මොකක්ද කියලා ජනතාවට හරි කරුණු ඉදිරිපත් කළානම් හොඳයි කියලා තමයි මම නම් හිතන්නේ.” 


තල්දෙන ප්‍රදේශයේ ඇති ඓතිහාසික පසුබිම ද උන්වහන්සේ මෙලෙස විස්තර කළහ. 


“කොහොම වුණත් තල්දෙන කියන්නේ බොහොම ඓතිහාසික සිද්ධීන් ගණනාවකට පසුබිම් වෙච්ච ගම්මානයක්. මෙම පන්සලට යාබදව තියෙන කුඹුරු ඉඩමට කියන්නේ මාලිගාවෙල කියලා. ඉස්සර රජ මාලිගාවක් මෙහි තිබුණු බවට විවිධ ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඒවගේම මෙම ස්ථානය හරහා බදුල්ල සිට මහනුවර දක්වා මාර්ගයක් තිබිලා තියෙනවා. අදටත් එම මාර්ගය දැකගන්නට ලැබෙනවා. ඒ වගේම මෙම ස්ථානයට කිලෝමීටර් දෙක තුනක් පහළින් ගල්ගේලන්ද, බිංගේලන්ද කියලා ගම්මාන දෙකක් තියෙනවා. ඒ ප්‍රදේශයේ ගල් ගෙවල් වගේම බිංගෙවල් කිහිපයක්ම තිබුණ බවට සාක්ෂි ලැබිලා තියෙනවා. 


ඒ වගේම බදුලුඔයේ තරමක් පහළින් විවිධ ගල් කටාරම්, අඩි සලකුණු කපපු ස්ථානයක් තියෙනවා. ඒක හඳුන්වන්නේ රංපුහුලාවල කියලයි.

 
එතන විශාල ගල් කටාරම්, ජල තටාක වගේම ගලින් කරන ලදැයි සිතිය හැකි විවිධ නිර්මාණ කීපයක්ම තියෙනවා. ඒ වගේම මීට වසර දෙක තුනකට පෙර පන්සලට යාබද වෙල්යායේත් විශාල උමඟක් මතු වුණා. 


මේ වගේ කරුණු කාරණාත් එක්ක මේ විදිහේ ගලක් හමු වුණාම අපට ටිකක් හිතන්න දේවල් ඉතිරිවෙලා තියෙනවා. කොහොම වුණත් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන තුරු අපිට කිසිම අනාවැකියක් කියන්න බැහැ. හමුවුණ දේ අපි ආරක්ෂා කරන එක අපේ යුතුකමක් කියලයි මම හිතන්නේ. ඒ නිසා මම මේක කාටත් බලාගන්න පුළුවන් විදිහට වතුර භාජනයකට දාල ඒකේ ආරක්ෂාවට කම්බිවලින් වැටකුත් හැදුවා” යැයි ද ධම්මවංශ හිමියෝ පැවැසූහ. 


මේ වනවිට එහි පැමිණෙන ඇතැමුන් මෙම ගල එහා මෙහා කරන්නටත් ඊට හානි කරන්නටත් පටන් ගැනීම නිසා එය වළක්වාලීම සඳහා අවවාදාත්මක නාමපුවරුවක් යෙදීමට ද උන්වහන්සේ කටයුතු යොදා ඇති අතර එම ගලේ ආරක්ෂාව සඳහා රාත්‍රී කාලයේදී ගල විහාරස්ථානය තුළ වූ කාමරයක තැන්පත් කරන බව ද කියා සිටියහ. 


ගල දැක වැඳ පුදාගෙන යාමට පැමිණි වයෝවෘද්ධ මාතාවක් වූ ඩී.එම්. උක්කුමැණිකා මහත්මිය මෙසේ කීවාය. 

 

පාවෙන ගල

සයුරෙන් එතෙර

 

 


“මහත්තයෝ තල්දෙන කියන්නේ රජවරු හිටිය ගම්මානයක් ඔය ගල හම්බ වුණ හරියෙ තියෙනව. බොල පැන් වළ (ඇතැමුන් බොර පැන් වළ ද කියති) කියල තැනක්. ඒ කියන්නේ ඉස්සර රජ කුමරියෝ නාපු තැනක්. එ් හරියේ තිබිල තමයි මේ ගල හමුවෙලා තියෙන්නේ. ඒ නිසා මේකේ කිසියම් වටිනාකමක් තියෙන්න පුළුවන්.” 


කෙසේ වෙතත් තවමත් මෙම අපූරු ගල සම්බන්ධයෙන් කිසිවකුත් ස්ථීර නිගමනයකට එළඹ නොමැත. කිසිදු විද්‍යාත්මක පර්යේෂණයක් ද සිදුකර නොමැත. එහෙත් වැලි කැට පවා ජලයේ ගිලෙද්දී මේ සා විශාල ගලක් ජලයේ පාවීම නම් අරුමයක් බව එය දැක බලා ගන්නට එන්නෝ පවසති. 


“මේ ගල මැණිකක්. ඕක අස්සේ විශාල කුහරයක් ඇති. ඕක දිරච්ච හුණු ගලක්. මේක රජවරු හිටිය පැත්තක්. මේකේ මොකක් හෝ ඓතිහාසික පැත්තක් ඇති.” ඒ, පාවෙන ගල දැක බලා ගන්නට එන යන බොහෝ දෙනකු ඒ සම්බන්ධයෙන් දක්වන අදහස්ය. කෙසේ වෙතත් මේ කිසිත් නොකියා ගල තැන්පත් කර ඇති භාජනයට පඬුරක් දෙකක් දමා ඊට වැද ආචාර කරන්නෝ ද ඕනෑ තරම්ය. කෙසේ වෙතත් සියලු දේ උපේක්ෂා සහගතව දරා ගන්නා විහාරාධිකාරී ධම්මවංශ හිමියෝ ඒ සියලු අදහස් උදහස්වලට ඉඩ හසර වෙන්කරදී තවමත් නිහඬව බලා හිඳින්නේ මේ අපූරු ගලේ ඇත්ත තත්ත්වය වගකිවයුතු පිරිසක් පැමිණ තහවුරු කරන තෙක්ය. 

 

සටහන සහ ඡායාරූප :
වියලුව නිශාන්ත කුමාර සහ 
නයන තෙන්නකෝන්