ලොව වඩාත් පිරිසිදු හරිත නගර


කේප්ටවුන් (දකුණු අප්‍රිකාව)

 

 

හරිත නගර නිර්මාණ සංකල්පය අද වනවිට ජනප්‍රිය සංකල්පයක් බවට පත්ව ඇත්තේ, වායු දුෂණය දිනෙන් දින ඉහළයාම, කැළි කසළ ටොන් ගණනින් පරිසරයට මුදා හැරීම, අනවශ්‍ය ඉදිකිරීම්, ආදී මිනිසා විසින් දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව කරනු ලබන පාරිසරික හානි නිසාය. දකුණු ආසියාකරයේ බොහෝ නගර මේ ව්‍යසනයට, එනම් පාරිසරික දුෂණයට බෙහෙවින් ගොදුරු වී ඇති බව සඳහන් කළ හැකිය.   


අප රටේ කොළඹ, මහනුවර, ඇතුළු බොහොමයක් නගර මෙලෙස පාරිසරික දුෂණයට ග්‍රහණය වී ඇත්තේ ඉවක් බවක් නැතිව පරිසරයට කැළි කසළ මුදා හැරීම, ගමනාගමනයෙහි ඇති අක්‍රමවත් බව, අනවශ්‍ය ඉදිකිරීම් ආදී නිශ්චිත කළමනාකරණයකින් තොර වූ ක්‍රියාවන් හේතුවෙනි.   


තව දුරටත් මේ තත්ත්වය පැවතුණහොත් එය ප්‍රජාවගේ සෞඛ්‍යය තත්ත්වයට හිතකර නොවනු ඇත. එ නිසා හරිත නගර සංකල්පය අද වනවිට ශ්‍රී ලංකාවට අනුගතවී තිබුණද, එහි සැබෑ අරුත සහ දැක්ම වටහාගෙන සැලසුම් දියත් වියයුතු බව පරිසරය පිළිබඳව දැනුමින් පොහොසත් විද්වතුන්ගේ මතය වෙයි. වෙසෙසින්ම ලොව හරිත නගර සහ වඩාත් පිරිසිදු පරිසරයකින් යුතු නගර ලෙස වැජඹෙන ප්‍රමුඛ නගර වෙතින් අපට ගත හැකි දේ බොහෝය.   


ලොව වඩාත් පිරිසිදු හරිත නගර ලෙස නිර්මාණය වී සංවර්ධනය කර ඇති මෙම නගර මිහිපිට ඇති දිව්‍ය විමන් ලෙස අනුමාන කළහැකිය. එසේ නම්, ඒවා එතරම්ම ක්‍රමවත් තත්ත්වයකට නිර්මාණය වී ඇත්තේ කෙසේද කියා අපි බලමු   

 

සැන්ෆ්‍රැන්සිස්කෝ (ඇ​ෙමරිකාව)

 


කෝපන්හේගන් - (ඩෙන්මාර්කය)   


මෙම වසර(2019) වනවිට ලොව පිරිසිදු සහ හරිත නගර ලෙස ප්‍රමුඛත්වයෙන් වැජඹෙන නගර අතරින් ගෝලීය හරිත ආර්ථික දර්ශකයේ ශ්‍රේණිගත කිරීම්වලට අදාලව දෙවැනි වතාවටද හොඳම නගරය ලෙස අංක එකට පත්ව ඇත්තේ, ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයයි.   


මෙම නගරය සඳහන් වන්නේ ලොව වඩාත්ම පරිසර හිතකාමී නගරය යනුවෙනි.   


ඉහළ පාරිසරික ප්‍රමීතීන් සඳහා වු කැපවීමේ ඵලයක් ලෙස ගෝලීය හරිත ආර්ථික දර්ශකයේ ප්‍රමුඛස්ථානයට ඒමට කෝපන්හේගන් නගරයට හැකිවූයේ, අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා එරට රජය විසින් සැලකිය යුතු ආයෝජනයක් කර ඇති බැවිනි.   


ජලයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමට මුලිකව පියවර ගෙන තිබේ. සාමාන්‍යයෙන් ලොව ඕනෑම නගරයක වරාය ආශ්‍රිත මුහුදු වෙරළ තීරය පිරිසිදු නොවන වග සත්‍යයකි. එහෙත් මෙහි වරාය අවට කලාපයයේ වෙරළ තීරයේ අභ්‍යන්තර වරාය දක්වා වු කලාපයේ දක්වා පිහිනීමේ කටයුතු සඳහා භාවිත කළ හැකිය.   


නගරයේ රථවාහන සහ කර්මාන්තශාලා වලින් පිට කෙරෙන කාබන් ප්‍රමාණය 2025 වනවිට සෘන මට්ටමට එනම් බිංදුව දක්වා අවම කිරීමට බලධාරීන් කටයුතු සකස්කර හමාරය. ඊට සමගාමීව විදුලි පරිභෝජනය සහ තාප පරිභෝජනය සියයට 20කින් පහත දැමීමට කටයුතු යොදා තිබේ.   


ඇම්ස්ටර්ඩෑම් (නෙදර්ලන්තය)   


ලොව ඇති පරිසර හිතකාමි යන තේමාව යටතේ නිර්මාණය වු නගර අතරින් මේ නගරයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයයි. නගරයේ වෙසෙන ජනතාවට වඩා පාපැදි ප්‍රමාණය වැඩි බව සඳහන් වේ. පාපැදිවලට අමතරව විදුලිබලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ බෙහෙවින් ප්‍රචලිතය.   


ඉලෙක්ට්‍රික් රථ වෙනුවෙන් විදුලි බලය කැවීම( චාජ් කිරීම) සඳහා නගරයේ ස්ථාන 300කට වඩා ස්ථාපිත කර තිබේ. 2009දී ඇම්ස්ටර්ඩෑම්හි විශේෂිත ව්‍යාපෘතියක් දියත් වු අතර, එය නම් කරනු ලැබුවේ ස්මාර්ට් සිටි නමිනි. බලශක්තිය ඉතිරි කරගැනීම මෙන්ම පරිසරයට මුදාහරින කාබන්ඩයොක්සයිඞ් ප්‍රමාණය බිංදුව දක්වා අවම කරගැනීම එහි අපේක්‍ෂාවයි.   
නිවැසියන් බොහෝදෙනා දෛනික බලශක්ති කටයුතු උදෙසා සුර්යකෝෂ බලශක්තියෙන් ක්‍රියාත්මක වනදේ උපයෝගී කර ගනී. ඊට අමතරව සුළං බල සහ ජලරෝද බලශක්තිය උපයෝගී කරගන්නා අතර, ඉලෙක්ට්‍ර්ක් බලයෙන් ක්‍රියාත්මක වනදේ සුළං බලශක්තියට හුවමාරු කර ගැනීමටද පියවර ගෙන ඇත.   

 

කෝපන්හේගන් සිටි (ඩෙන්මාර්ක්)

 

 


කේප්ටවුන් (දකුණු අප්‍රිකාව)   


හරිත සංකල්පය යටතේ ක්‍රියාත්මක වන මෙම නගරය ලොව ප්‍රථම වරට අංග සම්පුර්ණ වාණිජ සුළංබල ගොවිපළ ස්ථාපිත කළ නගරය ලෙස හැඳින්වේ. 

 
2020 වනවිට නැවත භාවිතයට ගන්නා සම්පත් 10 කින් පරිභෝජනයට ගැනීමට අපේක්ෂිතය. රජයේ ප්‍රධාන ඉලක්කය ලෙස කේන්ද්‍ර කොට ඇත්තේ, සෞඛ්‍ය කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ නිවෙස්වලින් තොරව බාහිර පරිසරයේ ගෙවන ජීවන රටාව වෙනුවෙන් වඩා හොඳ බලශක්ති ප්‍රභවයක් (පරිසර හිතකාමී) මෙන්ම ආරක්ෂණ ක්‍රියාවලියක් හඳුන්වාදීමය.   
මේ සඳහා පාපැදිවලින් ගමන් ගන්නා ජනතාව වෙනුවෙන්, ඒවා බස්රථවලින් ගෙනයා හැකි පරිදි (තැනින්-තැනට) විශේෂ බලපත්‍රයක් ලබාදීමට පියවර ගෙන ඇත. රජය ඊට අය කිරීමක් කරන්නේ නැත.   


මෙලෙසින් පාපැදි මගින් ගමන් ගන්නා ජනතාවගේ පහසුව උදෙසා වෙනම මාර්ග පද්ධතියක්ද ස්ථාපිත කර තිබීම විශේෂත්වයකි. ඒ මගින් මෝටර් රථ භාවිතය අවම කිරීම ප්‍රධාන අරමුණ වේ.   


කුරීටිබා (බ්‍රසීලය)   


දකුණු ඇමරිකානු කලාපයේ හරිත දර්ශකයේ ඉදිරියෙන්ම ඇති නගරය ලෙස හැඳින්වෙන්නේ බ්‍රසීලය කුරීටිබා නගරයයි. මෙම නගරය මාර්ග සංවර්ධනයට යොමු වූයේ අද ඊයෙක නම් නොවේය.   


1960 දශකයේ සිටය. ලොව ප්‍රථම වරට ශීඝ්‍රඝාමි බස්රථ සේවාව ස්ථාපිත කළ නගරය ලෙසද මෙම නගරය සඳහන් වේ. එසේ ගමනක් පැමිණි කුරීබිටා 80 දශකය වනවිට ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලියකට පරිවර්තනය විය. පරිසර හිතකාමිත්වය උදෙසා එය දිගින්-දිගටම අඛණ්ඩව ක්‍රියාත්මක වන්නකි.   


එරට කුමන රජයක් බලයට පත්වුවද මෙම ක්‍රියාවලියෙහි වෙනස්කම් හෝ අත්හැර දැමීම් සිදුනොවන අතර, ඒවා තව තවත් යහපත් විදියට පවත්වාගෙන යාම සිදුකෙරේ.   


සැන්ෆ්‍රැන්සිස්කෝ නගරය (ඇමරිකාව) 

 
කැලිෆෝනියා ප්‍රාන්තයට අයත්, සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය යනු අපද්‍රව්‍ය බහාලන වර්ණ සහිත බඳුන් ලෝකයට හඳුන්වා දුන් පළමු නගරය ලෙස හැදින්වේ. එමෙන්ම ඉවත ලන දෑ ප්‍රතිචක්‍රීයකරණයට ලක්කොට නැවත භාජනයට ගන්නා ලොව ප්‍රමුඛතම ස්ථානය වේ. එහි ප්‍රතිශතය සියයට 80 කි   


රෙයික්වැක් හෙවත් රෙයික්ජාවික් (අයිස්ලන්තය)   


අයිස්ලන්තය යනු සක්‍රිය වු ගිනිකඳු 30කින් පමණ තර්ජනයට ලක්වූ දේශයකි. එසේ වුවද පොළොවෙහි ඇතුළාන්තයෙහි ඇති ඌෂ්ණත්වය භාවිත කරගනිමින් බලශක්තිය නිපදවා ගන්නා නගරයක් ලෙස මෙම රෙයික්ජාවික් නගරය සඳහන් කළ හැකිය. 99 ක් පමණ නගරයේ විදුලිය සඳහා විදුලිබල ශක්තිය උපද්දවා ගන්නේ භූගත ජල විදුලි නිෂ්පාදන මගිනි. නගරයෙහි ස්ථාපිත ගොවිපළ කටයුතු සඳහා එළවළු මෙන්ම පලතුරු වගාව වෙනුවෙන් ග්‍රීන් හවුස් (හරිතාගාර) යොදා ගැනේ. ඒවා සඳහා පෙර කී පරිදි භූගත උෂ්ණත්වයේ බලය සහ ජල විදුලි බලයෙන් බලශක්තිය ලබාගනී.

 

 

ඇමස්ටර්ඩෑම් (නෙදර්ලන්තය)

 

 


සිංගප්පුරුව   


සිංගප්පුරුව යනු ආසියාවේ සදාහරිත නගරය මෙන්ම ජීවත් වීමට වඩාත් සුදුසු ස්ථානය යැයි කිව්වොත්, ඔබ මවිතයට පත් වෙවි. එසේ වුවද එය සැබෑවකි. ඉතා කුඩා භූමි ප්‍රමාණයකින් සමන්විත රාජ්‍යයක් බැවින්, භූමිය යනු සිංගප්පූරුවට අන් සියල්ලට වඩා වටිනාම-අගනාම වස්තුව වන්නේය.   


ඒනිසා 21වැනි සියවසේ මැද වනවිට ඔවුනගේ අරමුණ වී තිබු​ණේ කසළින් තොර ගොඩබිම් බවට රටේ ඉතිරිව ඇති හිස්බිම් ප්‍රමාණය පත් කරවීමටය. ඒ නිසා කිසි ලෙසකින් හෝ කසළ පරිසරයට මුදා හැරීම සිදු නොවේ.   


1992 දී දියත් කරන ලද ග්‍රීන් ප්ලෑන් GREEN PLAN සංකල්පය අද සිංගප්පුරුව ලබා සිටින පාරිසරික සුපිරිසිදු භාවයේ හැරවුම් ලක්ෂය විණි. භූමිය වඩාත් පිරිසිදුව තබා ගැනීම සිදුවුයේ එම සංකල්පයෙන් පසුවය. පිරිසිදු ජලය මෙන්ම වාතය පවා අපවිත්‍ර නොකොට පිරිසිදුව තිබිම නිසා සිංගප්පුරුව මෙසේ ජීවත්වීමට වඩාත් සුදුසු ස්ථානය බවට පත්ව තිබේ.   


සෑම ආයතනයකට මෙන්ම සෑම නිවසකට කසළ සහ ඉවතලන දේ ප්‍රතිචක්‍රීයකරණය කරගැනීම උදෙසා ප්‍රතිචක්‍රීයකරණ කන්ටේනරයක් හෙවත් උපාංග බඳුන් රජය විසින් නොමිලයේම සපයා තිබේ. සිංගප්පුරුවේ වෙසෙන සියලුදෙනා ඒ ක්‍රමවේදයන් නීතියකට එහා ගිය රීතියක් යටතේ අනුගමනය කිරීම වාසනාවකට හේතුවකි.   


ස්ටෝක්හෝම් (ස්වීඩනය)   


පරිසර හිතකාමීත්වය සඳහා වූ ක්‍රමවේදයන් අනුගමනය කිරීමට ඔවුන් පෙළැඹ සිටින්නේ 1970 දශකයේ සිටය. ස්ටොක්හෝම් යනු ලොව වඩාත් පිරිසිදු නගරයක් ලෙස හැඳින්වේ. 2010දී යූරෝපීය ග්‍රීන් කැපිටල් (හරිත නගරය) ලෙස සහතිකයට පාත්‍රවූයේ මෙම නගරයයි.   


2050 වනවිට බලශක්තිය භාවිත කරන ක්‍රමවේදයන් දැනටමත් ඔවුන් සකස්‍ කර හමාරය. ඉන්ධන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඈත්වී පොසිල භාවිතයෙන් බලශක්තිය නිර්මාණය කරගැනීමට අපේක්ෂිතය.   


වැන්කුවර්(කැනඩාව)   


වැන්කුවර් යනු කැනඩාවේ පමණක් නොව, ලොව වඩාත් සුපිරිසිදු නගර අතරින් එකකි. කාබන්ඩයොක්සයිඞ් පරිසරයට මුදාහැරීම අවම ප්‍රමිතියේ ඇති ලොව හොඳම නගර 10 අතරට වැන්කුවර් නගරය අයත් වේ. වැන්කුවර්හි බොහෝ දෙනා පාපැදි භාවිතයට හුරු-පුරුදුව සිටින අතර, ඒ සඳහා වෙනම මාවත් විශාල අවකාශයක් ඇතිව නිර්මාණය කර තිබීමද විශේෂත්වයකි.   


ජල බලය මෙන්ම හරිත ශක්ති ප්‍රභවයන් වෙනුවෙන් ක්‍රමවේදයන් අනාගතය සඳහා හඳුන්වා දී තිබීමද විශේෂත්වයකි.   


මෙලෙසින් පිරිසිදු හරිත නගර ලෙස නිර්දේශ වූ නගර ගැන කතා කිරීමේදී ජපානයේ ටෝකියෝ සහ ඔසාකා නගර ගැන කතා කිරීම නොකළොත් එය අඩුවක් වේවි. ටෝකියෝ මෙන්ම ඔසකා යනු ගොඩනැගිලි නිසා අහස-පොළව නොපෙනෙන තරමට ගොඩනැගිලි ගහණය වු නගර වේ. එසේ වුවද, ජනගහනයට සාපේක්ෂව පොදු පරිසරය සඳහා සැලකිය හැකි ඉඩ ප්‍රමාණයක් වෙන්කර තිබීම විශේෂත්වයකි.   


ගොඩනැගිලි සහ නිවාස වලින් තොර ඉතිරිව ඇති සීමිත භූමි ඇති ස්ථානවල ගස්-වර්ග රෝපණය කර ඇත්තේ පුංචි කැලෑ මෙනි. ඒවායෙහි රැහැයියන් සිටීම පුදුමයට කරුණක් වන්නේය. ටෝකියෝව වැනි නගරයක ඇති අවකාශය පාරිසරික හරිත කලාප එසේ තිබීම් සැබැවින්ම පුදුමයක් නොවේද?   


එයින් ප්‍රකාශ කරන සත්‍යය වන්නේ ඉතා කුඩා පක්‍ෂිකුට මෙන්ම සතෙකුට පවා ජීවත්වීමට ඒ පරිසරය හිතකර බව සනාථවීමකි. වායු දූෂණය නොවන අයුරින් ගමනාගමනය පද්ධති සකස් කර තිබේ. පුද්ගලික වාහන භාවිතයට වඩා පොදු වාහන භාවිතයට ජනතාව හුරු-පුරුදු කර තිබීමද විශේෂත්වයකි.   


පාපැදි යනු ජපානයේ මෙම නගරවල බෙහෙවින් භාවිත කෙරෙන අතර ඒ සඳහා පාපැදි ගමන් කිරීමට ප්‍රමුඛත්වය ලබාදුන් මංතීරු වෙනම තනා තිබේ. ඔසාකාහි නගරය හරහා ගලායන නදියෙහි ජලය ඉතා පිරිසිදුය.   


එහි අතු ශාඛා වලදි පවා මත්ස්‍ය වර්ග පීනා යනු දැකගත හැකිය. දැන් දැන් මෙම නගරවල ගොඩනැගිලි පවා ඉදි කරනු ලබන්නේ ස්වාභාවිකව වාතය ගලාඒම සිදුවන අයුරිනි.   
හරිත සංකල්පයන් අප රටේ ක්‍රියාත්මක වුවද මෙලෙසින් නිසි සැලසුම් සහ ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියාත්මක නොවීම කනගාටුවට කාරණයකි. වසර කීපයකට පෙරදී කොළඹ නගරයේ හෙක්ටයාර විශාල ප්‍රමාණයක් තෙත් බිම් තිබුණද, අද එය ශීඝ්‍රයෙන් අහිමි වී ගොස් තිබේ. පරිසරවේදීහු පෙන්වා දෙන පරිදි අද කොළඹ නගරයේ ඉතිරිව ඇත්තේ හෙක්ටයාර 2000ක තරම් ඉතා සුළු ප්‍රමාණයක භූමියකි. රටේ නිසි ක්‍රමවේදයක් නොමැති නිසා කැළි-කසළ පරිසරයට මුදා හැරීම නිරන්තරයෙන් සිදුවන්නකි.   


එමෙන්ම ප්ලාස්ටික් බඳුන් සහ බෝතල මෙන්ම ප්ලාස්ටික් ද්‍රව්‍ය බහුලව පරිසරයට මුදා හැරෙන අතර නගරයේ ඇති සාමාන්‍ය හෝටලවලින් පරිසරයට මුදාහැරෙන අපද්‍රව්‍ය ප්‍රතිශතයක් ලෙස 99%ක් පමණ වන බව සඳහන් වේ. දැන් ඊට අමතරව පිටරට කුණු මෙම භූමියෙහි දැමීම සිදුවුවහොත් එය පාරිසරික ප්‍රශ්නයකට එහා ගිය, ජනතාවගේ සෞඛ්‍යට අහිතකර බලපැම් ඇති කරවන දෙයක් වනු ඇත.   


ඉහත සඳහන් කළ ලොව පිරිසිදු හරිත නගර අතරට, ජර්මනියේ බර්ලින් නගරය මෙන්ම එංගලන්තයේ ලන්ඩන් නගරය සහ පෝලන්තයේ හෙල්සිංකි මෙන්ම නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නගරයද ඇතුළත්ය. මෙකී නගර සියල්ලෙහි සුන්දරත්වය රැඳි පවතින්නේ බලයට පත්වන රජය කුමක්හෝ වේවා, පාරිසරික පිරිසිදුකම සහ ඒ වෙනුවෙන් වූ යහපත් ක්‍රමවේදයන් තව-තවත් වැඩිදියුණු කරවීම නිසාය.   


එසේ නොකළහොත් සිදුවන්නේ ඔක්සිජන් ප්‍රමාණය හීන වීම නිසා මිනිසා හට විවිධ ලෙඩ රෝගවලට මුහුණපෑමට සිදුවීමය. ඒනිසා දැක්මක් ඇති රටවල් මෙලෙසින් පරිසරය ගැන දැක්මක් ඇතිව කටයුතු කරන බව කිව හැකිය. කුඩා කල සිට මිනිසාට හුරු-පුරුදු කරවන්නේ පිරිසිදු ජීවන රටාවකට අනුව ජීවත්වීමටය.   


එහෙත් මිනිසා විසින්ම දුෂණය කරනු ලැබූ පරිසරයක වෙසෙන ජනයාගේ මනස නිරවුල් නොවන අතර සෞඛ්‍ය තත්ත්වයද යහපත් නොවන බැව් පාරිසරික විද්‍යාඥයින් විසින් පෙන්වා දෙන්නකි.   

 

 

සටහන - සඳුන් ගමගේ