ලංකාවේ සිට ඉන්දියාවට ගහන්න හදන ‘ලක්ෂාර් ඊ ටොයිබා’ ත්‍රස්ත කල්ලිය


 

 

තිස් වසරක යුද්ධය අවසන් කර සාමය සහජීවනය ගැන නිරතන්තර කතාබහට ලක්වෙමින් ගෙවී ගිය දස වසරක ලාංකික සමාජයේ සාමකාමීත්වය උඩුයටිකුරු කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් 21 සිදුකළ මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රහාරයෙනි. මේ ප්‍රහාරයෙන් පසු සෑම සියලු දෙනාම, මේ ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ බව කියවුණ මුස්ලිම් අන්තවාදී සංවිධානය වූ ජාතික තවුහිත් ජමාත් ඇතුළු සංවිධාන කීපයක තහනම ගැන කතා කරන්නට විය. ජනාධිපතිවරයා රටේ ප්‍රධානියා සේම ආරක්ෂක ප්‍රධානියා ලෙස ද මැදිහත්ව සංවිධාන තුනක් තහනම් කළ අතර එහි සාමාජිකයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට පියවර ගනු ලැබිණ.   


 මේ සංවිධානය ගැන ප්‍රහාරයට වසර ගණනාවකට පෙර සිටම සමාජයේ විශාල කතා බහක් ඇතිව තිබිණ. ඇතැමුන් ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන වගකිව යුත්තන්ට වාර්තා කර තිබිණ. ඔවුන් විටින් විට ආගම්වාදී ගැටුම් ඇතිවෙන ආකාරයේ ක්‍රියාකාරකම්වල ද යෙදුණහ. එහෙත් ඒ සංවිධාන තහනම් කරන්න බලධාරින්ට මතක් වුණේ දෙතුන්සීයක් මියගොස් තවත් පන්සීයක් පමණ තුවාල ලබා විශාල දේපළ හානියක් ද සිදුවූ පසුවය. එල්ටීටීඊ සංවිධානය මෙරට තහනම් සංවිධානයක් බවට පත් කිරීමට ද එවැනි කාලයක් ගත කරනු ලැබීය. 1998 දී තහනම් කරන ලද එල්ටීටීඊ සංවිධානයේ තහනම යළි 2002 දී ඉවත් කරනු ලැබිණ. ඉන්පසු එය නැවත තහනම් කරනු ලැබුවේ බරපතළ හානි රැසක් සිදුකළ පසු 2009 ජනවාරියේ දී ය.   


 ලක්ෂාර් ඊ ටොයිබා සංවිධානය ගැන කතාව ද කවදා හෝ එලෙසම විය හැකිය. මෙම සංවිධානය දැනට ලංකාවට කිසිදු බලපෑමක් කර නැත. අයිඑස්අයිඑස් සංවිධානය බිහි වූ මුල් කාලයේ දී අපේ බලධාරින් එසේ සිතන්නට ඇත. ඔවුන්ගේ අභාෂය ලැබූ ජාතික තවුහිද් ජමාත් සංවිධානය වැනි සංවිධාන සිදුකළ දැවැන්ත ප්‍රහාර නොවන්නට බලධාරීන් ඒ ගැන අබමල් රේණුවකින් මායිම් නොකරන්නට ද ඉඩ තිබිණ. ඇත්තම කරුණ නම් තවමත් අපේ රට තුළ අයිඑස්අයිඑස් සංවිධානය තහනම් සංවිධානයක් නොවේ. තහනම්ව ඇත්තේ ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වූ සංවිධාන තුනක් පමණි.   


 ලක්ෂාර් ඊ ටොයිබා යනු කෙබඳු සංවිධානයක් ද? ඒ ගැන කතා කරන්නට පෙර ඇයි අපේ මේ සංවිධානය ගැන මේ වෙලාවේ කතා කරන්නේ කියලත් සමහරුන්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ලක්ෂාර් ඊ ටොයිබා නොහොත් එල්ඊටී සංවිධානයේ හයදෙනෙක් තමිල්නාඩු ප්‍රාන්තයට ඇතුළුව බරපතළ ප්‍රහාරයකට සූදානම් වෙන බවට එරට බුද්ධි අංශ වාර්තා කර තිබේ. මේ හය දෙනාගෙන් එක් අයෙක් පාකිස්තානු ජාතිකයෙකු වෙන අතර අනෙක් පස්දෙනා ශ්‍රී ලාංකික දෙමළ හා මුස්ලිම්වරුන් බව ද ඉන්දීය බුද්ධි අංශ වාර්තා කර ඇත. ඒ අනුව අගෝස්තු 23 වැනි බ්‍රහස්පතින්ද‌ා මධ්‍යම රාත්‍රියේ සිට දැවැන්ත මෙහෙයුමක් සිදුකිරීමට ද ඔවුන් කටයුතු කරනු ලැබිණ.   


ඉන්දීය බුද්ධි අංශ වාර්තා කරන පරිදි ලංකාවේ යාපනය ප්‍රදේශය එල්ඊටී සංවිධානය කඳවුරු ලාගෙන සිටින ප්‍රදේශයකි. ඉන්දීය බුද්ධි අංශ පමණක් නොව 2013 වසරේ දී ඇමරිකානු තානාපති විසින් එකල සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ සංවිධානය ගැන සුපරික්ෂාකාරී වෙන්නැයි දැනුම් දී ඇති බවට ද පුවත් වාර්තා පළව තිබේ.   


මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරියාගෙන් ප්‍රශ්න කිරීමට ඉන්දීය පොලිසිය ලංකා රජයෙන් අවසර ඉල්ලා තිබුණ ද එය ප්‍රතික්ෂේප කර ඇත. ඉන්දියානු රජය එල්ටීටීඊය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ආකාරය එයට හේතු වූවා විය හැකිය. එසේම එයට ඉඩදීමෙන් පාකිස්තාන රජය සමග අමනාපයක් ඇති කර ගැනීමට ද ලංකා රජයට සිදුවනු ඇත. ඒ අනුව ඊට ඉඩ නොදීම පිළිබඳව ගැටලුවක් නැතත් ඔවුන් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ කෙසේද? ඔවුන්ගෙන් ලංකාවට සිදුවිය හැකි හානිය කුමක් ද? මෙරට සිට ත්‍රස්තවාදී කල්ලියක් විදේශ රටකට ගොස් ප්‍රහාරයක් එල්ල කළහොත් එය අපේ රටට බලපාන්නේ කෙසේද? ආදී ලෙස එකල පාලකයින් හෝ වත්මන් පාලකයින් හෝ සලකා බලා තිබේ ද යන්න ගැටලුවකි.   


 ලක්ෂාර් ඊ ටොයිබා නොහොත් එල්ඊටී ය යනු කොටින්ම පවසන්නේ නම් තවත් මුස්ලිම් අන්තවාදී සංවිධානයකි. එහෙත් එය තවත් එක් මුස්ලිම් අන්තවාදී සංවිධානයක් නොව දකුණු ආසියාවේ ක්‍රියාත්මක වන විශාලතම අන්තවාදී සංවිධානය ලෙස ද සැලකේ. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ දකුණු ආසියාවේ ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනැගීමය. එසේම කාශ්මීර මුස්ලිම්වරුන්ගේ ප්‍රශ්නය විසඳීම ඔවුන්ගේ අතුරු අරමුණු අතර වේ.   


 මෙම සංවිධානය බිහිකරනු ලබන්නේ 1987දී තලෙයිබාන් නායකයෙකු වූ ඔසාමා බින් ලාඩන්ගේ අරමුදල්වලින් ඇෆ්ඝනිස්ථාන් ජාතිකයන් වූ හෆිස් මොහාමඩ් සයිඩ්, අබ්දුල්ලා අසාම් හා සෆාර් ඉක්බාල් යන තිදෙනා විසිනි. එසේම එයට පසුව පාකිස්ථානු ජාතික රාෂික් මුක්තාර් රෙහමන්ද නායකත්වය ලබා දී ඇත. සත්‍ය ලෙසම මෙම සංවිධානයේ අරම්භය 1985ය. එදා බිහිකළේ එල්.ටී.ටී.ඊය නොවන අතර එහි දේශපාලන අංශය ලෙස සැලකෙන ජමාත් උද් ඩාවා සංවිධානයයි.   


 2008 දී සිදුවූ මුම්බායි ප්‍රහාරය සැලසුම් කරන ලද්දේ මේ එල්ඊටීයේ නායකයෙකු වූ රාෂික් මුක්තාර් රෙහමන් බව ද කියැවේ. ඔහු පාකිස්ථානයෙන් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර ඇත. මේ සංවිධානය බිහිවුණේ ඇෆ්ඝනිස්ථානයේ වුවත් එහි මූලස්ථානය පවතින්නේ පාකිස්ථානයේ පන්ජාබ් පළාතේ ලාහෝර්වලය. ඔවුන්ගේ පුහුණු කඳවුරු ගණනාවක්ම කාශ්මීරයේ පවතින බව ද බුද්ධි අංශ වාර්තා කර ඇත.   


 මේ සංවිධානය බිහිකිරීමේ දී බින් ලාඩන් මුදල් යොදවන්නේ එය රුසියානු සමූහාණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදා ගැනීමේ අරමුණ ඇතිවය. 2001දී මෙම සංවිධානය ඉන්දීය පාර්ලිමේන්තුවට ප්‍රාහරයක් එල්ල කර තිබේ. ඔවුන් විසින් සිදුකළ දැවැන්තම ප්‍රහාරය වූයේ 2008දී සිදුකළ මුම්බායි ප්‍රහාරයයි. එයින් 168 දෙනෙකු මියගොස් තවත් තුන්සීයක් පමණ දෙනා තුවාල ලැබූහ. මේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දස දෙනාගෙන් නව දෙනෙක්ම පාකිස්තානු ජාතික මුජහිදින්වරු බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ. දස වැනියා 21 හැවිරිදි තරුණයෙකි. ඔහු 2013 දී එල්ලා මරා දමා ඇත. එයට සම්බන්ධ බව කියන රෂීඩ් මුක්තාර් පාකිස්තානය විසින් කාශ්මීරයේ දී අත්අඩංගුවට ගෙන ඇතත් පසුව ඇප මත මුදාහැර ඇතැයි ද පැවසේ. 2019 පෙබරවාරි මාසයේ සිදුකළ පුල්වාමා ප්‍රහාරය ද මොවුන්ගේ සැලසුමක් බව ද විදෙස් වාර්තා පෙන්වා දී ඇත.   


 ඉන්දීය බුද්ධි අංශ 2014 දී ද වැදගත් තොරතුරක් වාර්තා කරනු ලැබිණ. ඒ ලංකාවේ පාකිස්තානු තානාපති කාර්යාලයේ වීසා භාර නිලධාරියා වූ අමීර් සුබයිරි සිද්දික් විසින් ඉන්දියාවේ ස්ථාන විස්සකට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් සකස් කර ඇති බවය. එලෙස ප්‍රහාරයට ලක් කිරීමට සැලසුම් කර ඇතැයි එරට වාර්තා කර තිබූ ස්ථාන අතර චෙන්නායි ඇමෙරිකානු කොන්සල් කාර්යාලය, බැංගලෝරයේ ඊශ්‍රායෙල් කොන්සල් කාර්යාලය, විශාකාපට්නම් හි ඉන්දීය සබ්මැරීන් අංගනය, කලිපක්කම් න්‍යාෂ්ටික බලාගාරය හා තමිල්නාඩුවේ ගුවන් හමුදා කඳවුරක් ද විය. 

 

 

 


 මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත වූවන් අතර මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක්, කොළඹ දෙමළ ව්‍යාපාරිකයෙක් හා තමිල්නාඩුවේ අයෙක් ද වූහ. ලංකාවේ මුස්ලිම් ව්‍යාපාරිකයා පසුව මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන ලංකාවට පිටුවහල් කර තිබේ.   


 එල්ඊටීයේ දේශපාලන අංශය ලෙස සැලකෙන ජමාත් උද් ඩාවා සංවිධානය 2017දී පාකිස්ථානයේ දී දේශපාලන පක්ෂයක් පිහිටුවනු ලැබිණ. ඒ මීලි මුස්ලිම් ලීගය නමිනි. ඔවුන්ගේ අරමුණ වී තිබුණේ 2018 මැතිවරණයට ඉදිරිපත් වීමය. එහෙත් එය ලියාපදිංචිය ප්‍රතික්ෂේප වීම නිසා ඒ අරමුණ සාර්ථක වී නැත. 2001 දී ඉන්දියාවේ පාර්ලිමේන්තුවට එල්ල කළ ප්‍රහාරය අනුව 2002 දී පාකිස්තානය ලක්ෂාර් ඊ ටොයිබා හා එයට සම්බන්ධ ජමාත් උද් ඩාවා මෙන්ම එහි සුභසාධක අංශ ලෙස ක්‍රියාත්මක වූ සියලු සංවිධාන තහනම් කරනු ලැබිණ. එහෙත් ඒ තහනම් පසුව ඉවත් කර තිබූ අතර මුම්බායි ප්‍රහාරයෙන් පසු 2008 දී නැවත පනවා ඇත. ඒ තහනම් ලංකාවේ එල්ටීටීඊය සම්බන්ධයෙන් තහනම් සේම යළිත් ඉවත් කර තිබෙන අතර 2019 පුල්වානා ප්‍රහාරයෙන් පසු යළි පනවා ඇත.   


 මොවුන් තහනම්ව පවතින කාලයන් හිදී ද විවිධ බහුජන සංවිධාන ගොඩනගා ගනිමින් ඉන්දියාවේ දී හා පාකිස්ථානයේ දී ස්වාභාවික විපත්වලින් අසරණ වූ ජනතාවට සහන සැලසීමේ කාර්යයන්වල පවා නිරතව ඇති අතර ඒවා යොදා ගනිමින් තමන්ගේ අරමුදල් තර කර ගැනීමට ද කටයුතු කර ඇත. ඔවුන් තමන්ගේ කඳවුරුවල දී දින 21ක ආගමික පා ගමන, දින 21ක මූලික සටන් පා ගමන, මාස තුනක උසස් සටන් පා ගමන ආදී පාඨමාලා ගණනාවක් සිදුකරන බව ද විදෙස් බුද්ධි වාර්තා පෙන්වා දී ඇත.   


 මෙතරම් බරපතළ ප්‍රහාරයන් සිදුකරන අන්තවාදී මුස්ලිම් සංවිධානයක් වන ලක්ෂාර් ඊ ටොයිබා සංවිධානය තවමත් ලංකාවේ තහනම් සංවිධානයක් නොවේ. පාකිස්ථානයේ දී සේම එය ලංකාවේ තහනම් සංවිධානයක් බවට පත් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වන්න නම් තවත් බරපතළ ප්‍රහාරයක අවශ්‍යතාවක් ඇති බව මේ තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරන්නෙකුට පෙනී යනු ඇත.   

 

 

මුදිතා දයානන්ද