ලංකා ජනගහණයෙන් ලක්ෂ 16ක් ආබාධිතයි


 

මගේ දරු පැටියා ඉපදිලා, අතට ගත්ත මුල්ම වෙලාවේ මට දැනුණේ මගේ ලෝකෙට ඉරයි හඳයි එකපාර පෑයුවා කියලයි. මගේ ලෝකෙම දරුවා එළිය කරාවි කියලා මම හිතුවා. ඒත් මගේ ලෝකේ විතරක් නෙවෙයි දූගේ ලෝකෙත් මහ තිත්ත කළුවරක අතරමං වේවි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. මගේ දරු පැටියාගේ ඇස් දෙක ලස්සනට තිබුණට ඒ ඇස්වලින් ලෝකය බලන්න බැරි ආබාධිත දරුවෙක් කියල දැනුණහම මගේ ලෝකේ කඩාගෙන වැටුණා. අාබාධිත දියණියකගේ මවක් එසේ හඬා වැලපෙද්දී එවැනිම තවත් කොතෙකුත් මව්වරුන් පියවරුන් ලෝකයට රහසින් මේ ආකාරයට කොතෙක් වැලපෙනවා ඇතිද...?   


එපමණක් නොව අනෙකුත් සාමාන්‍ය දරුවන් පියවරින් පියවර උස්මහත් වෙමින් අධ්‍යාපනය, ක්‍රීඩා, කලා අංශවලින් ඉදිරියට යද්දි, අාබාධිත දරුවෙකු තුරුලු කරගෙන හඬා වැටෙන තවත් මව්වරුන් පියවරුන් කොතෙකුත් ඇද්ද...?   


ආබාධ සහිත පුද්ගලයා සහ ආබාධ නොවන සමාන්‍ය පුරවැසියා ද සම අයිතිවාසිකම් සහ වරප්‍රසාද සහිතව සමාජය තුළ ජීවත් විය යුතු බවත්, ආබාධ සහිත පුද්ගලයන්ගේ නිර්මාණ හැකියාවන් සහ කුසලතාවන් වැඩි දියුණු කිරීමට පසුබිම සලසා දීම රජයේ වගකීම බවත් බොහෝ ආණ්ඩු සහ බොහෝ පාලකයන් පැවසුව ද එය එසේ වී දැයි යන්න ගැටලුවකි.   


ආබාධිත භාවය මේ වෙන විට ජාතික ගැටලුවක්ව පවතී. 1996 අංක 28 දරන නීතිය ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නීත්‍යනුකූලව පිළිගත් පනත වෙයි. තමන්ගේ වැඩ කටයුතු තමන්ටම කරගත නොහැකි මානසිකව හා ශාරීරික වශයෙන් යම්කිසි දුර්වලතාවක් සහ බිඳවැටීමක් ඇති අයෙකු ආබාධිතයෙකු වශයෙන් පිළිගැනේ.   
ආබාධ සහිත තැනැත්තන් සඳහා හිතකර පරිසරයක් උදාකර දීම උදෙසා ඔවුන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම හා ඔවුන්ගේ සුබ සාධනය ඇතුළු සහන සැලසීම ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ කාර්යභාරය වෙයි. මෙම ආබාධිත ප්‍රජාව සම්බන්ධයෙන් විධිමත් සංගණනයක් සිදුකර ඇත්තේ 2012 වර්ෂයේ දී වෙන අතර එහිදී ආබාධිත වූවන් මිලියන 1.6ක් සිටින බව හඳුනාගෙන ඇතැයි පවසන්නේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂිකා ඉශංකා හේරත් මහත්මියයි.   


මෙම පිරිස් සම්බන්ධයෙන් රජය සැලසුම් කර තිබෙන සුබසාධනයන් පිළිබඳව ඇය පැහැදිලි කර සිටියේ මෙසේ ය.   


“සමාජ සේවය යටතේ තමයි ස්ථාපිත වෙලා තියෙන්නේ. හැම අමාත්‍යංශයක්ම මෙයට දායක වෙන්න ඕනෑ. සමාජ සේවය පැත්තෙන් නම් අපි විවිධ ආධාර වැඩසටහන් කොහොමත් ක්‍රියාත්මක කරනවා. රුපියල් 5000ක් ජීවන ආධාර විදිහට දෙනවා. මෙම ප්‍රජාවගේ සුබ සාධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2007 වසරේ සිට ක්‍රියාත්මක වෙන අතර අාබාධිත අය මෙන්ම ඔවුන්ගේ පවුල් සවිබල ගැන්වීමට මෙමගින් කටයුතු කරනවා. වකුගඩු රෝගීන් සඳහා රුපියල් 5000ක් ජීවන ආධාර දීම, අධ්‍යාපන ආධාර, වෛද්‍ය ආධාර, නිවාස ආධාර ලෙස රුපියල් දෙලක්ෂ පනස් දහසක් දෙනවා. එවැනි සමාජ සද්කාරක වැඩසටහන් ආබාධිත මහ ලේකම් කාර්යාලය යටතේ කෙරෙනවා. ස්වයං රැකියා ආධාර ද මේ අතර වෙනවා. ගොඩාක්ම අඩු ආදායම්ලාභීන් මුල් කරගෙන තමයි ඒ ආධාර වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව වැන්දඹු හා අනත් දරු අරමුදල මගින් වෙනම ආධාරයක් කරනවා. එහිදී මව, පියා රජයේ රැකියා කරනවා නම්, ළමයා ආබාධිත නම් එම දරුවාගේ මව පියා මියගිය දවසකට ඒ විශ්‍රාම වැටුප මේ අාබාධිත දරුවාට ඔහු මියයන තෙක් පැවරෙනවා. වයස සීමාවක් නැහැ. නමුත් ඔහු උපතේ දී ආබාධිත වූ අයෙකු මෙන්ම වයස අවුරුදු 25ක මට්ටමක තමයි සලකන්නේ.”   


මෙම ආබාධිත දරුවන් වෙනුවෙන් විධිමත් රැකවරණ මධ්‍යස්ථනයක් නොතිබීම විශාල අඩුවකි. එසේම එම දරුවන් කෙරෙහි ඇති සමාජ ආකල්ප, දෙමාපියන්ගේ මානසික තත්ත්වයන් නිසා යම් බිඳවැටීම් ද සමාජය තුළ පවතින බවත් පෙනී යයි.   


මේ පිළිබදව අපි ඇයගෙන් විමසුවෙමු.   


“ඇත්තටම රජයෙන් තාම විධිමත් ආකාරයට රැකවරණ මධ්‍යස්ථානයක් නැහැ. අපි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 11ක් පමණ කරගෙන යනවා සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ. දැනට අපේ ව්‍යාපෘති වාර්තාවක් සකස් කරනවා හඳුනාගත් පළාත් හයක අලුතින් රැකවරණ මධ්‍යස්ථාන 06ක් ස්ථාපිත කරන්න. අපි එය මේ වර්ෂයේ සිට සැලසුම් කරගෙන යනවා. කොහොමත් තව අවුරුදු 2ක් ඇතුළත අපිට ඒ ව්‍යාපෘතිය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි. පෞද්ගලික ඒවා තියෙනවා 2000ක් පමණ ඒවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් විසිරිලා තියෙනවා. ඒවා පෞද්ගලික පාලක සභා හරහා ක්‍රියාත්මක වෙනවා. ඒවා මෙහි ලියාපදිංචි කර තිබෙන අතර එම ලියාපදිංචිය යටතේ නියාමනය වෙමින් යනවා. මෙහෙන් අරමුදලක් යන්නේ නැහැ. නමුත් කුමක් හෝ හදිසියෙන් සංවර්ධන අවශ්‍යතාවක් වැනි දෙයක් වුණොත් රුපියල් ලක්ෂ 2ක් පමණ ආධාරයක් රජයෙන් ලැබෙනවා.   


සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් පාලනය වන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තියෙනවා නේ. සමාජ සේවා නිලධාරියා සහ ස්ව ශක්ති කණ්ඩායම් සමග මේ පිළිබඳව සොයා බැලීම් කරනවා. ආබාධිත දරුවෙක් සිටිනවා නම්, සමාජ සේවා නිලධාරියට යම් බලයක් තියෙනවා මේ ගැන සොයා බලන්න. අපේ මේ පිළිබඳව ලින්ක් එකක් තියෙනවා. මේ ගැන සොයා බලනවා වගේම මේ හරහා වෘත්තීය පුහුණුවකට විශ්වවිද්‍යාලයට සහ වෘත්තීය පුහුණු ආයතනයකට යොමු කරනවා. සමාජ සේවා නිලධාරින් හරහා යොමු කරනවා. එතැනදී ඒ ඒ අංශවලට යොමු කර, තමන්ගේ කැමැත්ත පරිදි විධිමත් පුහුණුවක් දෙනවා.   


ඉදිරියේ දී අපි 2021 දීත් සංගණනයක් කරනවා. ඊට අමතරව මේ වර්ෂයේ අපි සැලසුම් කරගෙන යනවා ග්‍රාමසේවා වසම් මට්ටමින් ආබාධිත පුද්ගලයන් කොපමණ සිටිනවාද, තොරතුරු ඒකරාශි කරගන්න ආබාධිත වූවන් සඳහා වූ මහලේකම් කාර්යාලයෙන් කරනවා. නිශ්චිතවම කොපමණ සිටිනවා ද යන තොරතුරු ලබා ගැනීම අසීරු වෙන්නේ බොහෝ දෙමාපියන් තම දරුවා පිළිබඳ තොරතුරු වසං කරගෙන සිටීම වැනි හේතු නිසයි. අවුරුදු 10-12ක් යන නිසා යාවත්කාලීන වීමක් වෙන්නේ නැහැනේ. ඒනිසා අපි මෙම ආයතනයෙන් ග්‍රාමසේවා මට්ටමෙන් වෙනම පෝරමයක් සකස් කරලා තොරතුරු එකතු කර ගනිමින් සංගණනයක් කිරීමට බලාපොරොත්තු වෙනවා ඇය පවසන්නීය.   
කෙසේ වුවද ආබාධිත දරුවෙක් සිටින දෙමාපියන් මානසික වශයෙන් වෙන කඩා වැටීම ද සුළුවෙන් තැකිය හැක්කක් නොවේ. එවැනි දරුවන් සිටින දෙමාපියන්ට ඇය වැදගත් පණිවිඩයක් ද දෙන්නීය.   


“ගොඩාක් විට ආබාධිත දරුවෙක් කිව්වහම ඒ දරුවා නිවස තුළ සඟවාගෙන මෙන් සිටිනවා. ඒ දරුවාව සමාජයට පෙන්වීමට මැළිකමක් දෙමාපියන් දක්වනවා. ඒ නිසා ගොඩාක් වෙලාවට ඒ දරුවා වෙනුවෙන් රජයේ හෝ පෞද්ගලික අංශයෙන් ලබා දෙන ප්‍රතිලාභ අවස්ථා අහිමි වෙන එක තමයි වෙන්නේ. සමාජයට නිරාවරණය නොවෙන නිසා. එහෙම ගොඩාක්දුරට අවස්ථා මොනවාද කියලා කියනවා නම්, අපි පවත්වන වැඩසටහන්වලට එන කෙනාම විතරයි එන්නේ. ඔහුට විතරයි සියල්ල ලැබෙන්නේ. සමාජයේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. තාමත් ඇත්තටම දියුණු මට්ටමක අපේ සියලු පහසුකම් ආබාධිතයින් වෙනුවෙන් ලබා දෙන්න ක්‍රමවේදයක් හැදිලා නැහැනේ. සමාජ ආකල්පත් ඒ තරම් යහපත් නැහැ. දෙමාපියන් ඥාතීන් පීඩාවට පත්වෙන වටපිටාවක් තියෙන්නේ. දෙමාපියනුත් මේ පිළිබඳව පුහුණුවක් ලබන්න ඕනෑ. එවැනි ආබාධිත දරුවෙක් සිටිනවා නම් ඒ දරුවාගේ මානසික හෝ ශාරීරික පීඩාව ගැන අදාළ වෛද්‍ය උපදෙස්, මානසික උපදෙස් ආදිය ලබා ගැනීම ඒ අනුව කටයුතු කිරීම වැදගත්. එවැනි චිකිත්සක ක්‍රම ආදිය කිරීම තුළින් මුල් අවස්ථාවේ දී මේ තත්ත්වය හඳුනාගෙන දරුවා කිසියම් දියුණු තත්ත්වයකට පත්කර ගැනීමේ අවස්ථාව තියෙනවා. එහිදී ඇතැම් දෙමාපියන්ගේ නොසැලකිල්ල නිසා එම අවස්ථා අහිමි වෙන බවත් කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා.   


එක ආයතනයකින් හැම සේවාවක්ම දෙනවා කියලා කියන්න අමාරුයි. ළමයෙක් ඉපදුනාට පසුව වෛද්‍ය ක්ෂේත්‍රයට යොමු කරලා, පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හරහා යන ක්‍රමවේදයක් තියෙනවා. ආබාධිත දරුවෙක් සිටිනවා නම් එවැනි චිකිත්සක ක්‍රමවේදයක් තියෙනවා. ඉන්පසුව යන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයට. ගොඩාක්දුරට පෙර පාසල් අධ්‍යාපනය කියන එක ඒතරමට සංවර්ධනය වෙලා නැහැ. මුල් ළමා විය. මේවා ආබාධිත දරුවෙක් වෙනුවෙන් තවම සංවර්ධනය වෙලා නැහැ. ඒ වෙනුවෙන් දැනට ළමා හා කාන්තා කාර්යාංශය විසින් වැඩකටයුතු කරගෙන යනවා. විශේෂ අධ්‍යාපන ඒකකයකට යොමු වුණාට පසුව එතැනින් එහාට පුළුවන් අපේ වෘත්තීය පුහුණු ආයතන මගින් අවශ්‍ය සේවය ලබාගෙන ස්වයං රැකියා අාධාර ලබාගෙන, රැකියාගත වීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් එය කරන්න අවස්ථාව තියෙනවා. එක තැනකින් සියල්ල කරන්න බැහැ. ආබාධිත මහලේකම් කාර්යාලයෙන් ගොඩක්දුරට ක්‍රියාත්මක වෙන්නේ ආධාර වැඩසටහන් ක්‍රියාත්මක වීම තමයි. රෝද පුටු අවශ්‍යතා, වෛද්‍යාධාර, ස්වයං රැකියා, මේ ආධාර ලබා ගන්න පුළුවන්. එහෙම අවස්ථාවක් තියෙනවා නම් ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරියා හමුවීමෙන් ඒ කටයුතු කරගැනීමට හැකියාව තිබෙනවා.   


මේ අතර මෙම ආබාධිත ප්‍රජාව සම්බන්ධයෙන් අප වැඩිදුරටත් කළ සොයා බැලීමේ දී බස්නාහිර පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ චන්දිමා දිසානායක මහත්මිය බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වැඩපිළිවෙළ පැහැදිලි කරමින් එම දරුවන් වෙනුවෙන් ඇතිකර ඇති විශේෂ මධ්‍යස්ථාන ගැන ද පැහැදිලි කිරීමක් කළාය.   


“විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ව මූලික වශයෙන් ගතහොත් ඔවුන්ට පුනරුත්ථාපනය සහ මාර්ගෝපදේශනය කළ යුතුව තිබෙනවනේ. ඒ සඳහා තියෙනවා. රජයෙන් ක්‍රියාත්මක වෙන ආයතනයක් සත්සෙවන ආබාධිත මධ්‍යස්ථානයක්. එය පිරිමි දරුවන් වෙනුවෙන් ස්ථාපිත විශේෂ නිවාසයක් වෙන අතර මීරිගම පිහිටා තිබෙනවා. දැනට නේවාසික පහසුකම් දීමට හැකියාව තියෙන්නේ දරුවන් 30 දෙනෙකුටයි. ඊට අමතරව 10 දෙනෙක් විතර ඇවිල්ලා වෘත්තීය පුහුණුව සහ තමන්ගේ එදිනෙදා ජීවිතයේ කාර්යයන් කරගන්න බැහැනේ මේ සමහර දරුවන්ට. ඒ පුහුණුවීම් කරනවා. ඊළඟට බෙල්ලන්තර ප්‍රදේශයේ මිත් සෙවණ කියලා නිවාසයක් තියෙනවා එය ආබාධිත ගැහැනු දරුවන් වෙනුවෙන් විශේෂිත පුනරුත්ථාපන මධ්‍යස්ථනායක්. එතැනදිත් ඒ දරුවන්ට මැහුම් ගෙතුම් අත්කම් වැනි දේ ගැන පුහුණුවක් දෙනවා. අඳින්නේ කොහොමද කෑම බීම කන්නේ කොහොමද එවැනි සාමන්‍ය වැඩ කටයුතු සියල්ල කියා දෙනවා. එතැන දරුවෝ 70 ක් ඉන්නවා. ඊළඟට තියෙනවා මයුර මාර්ගෝපදේශන මධ්‍යස්ථානය. එය තියෙන්නේ මතුගම. උදේට ඇවිල්ලා හවසට දරුවාව අරගෙන යන්න පුළුවන්. කථන චිකිත්සාව, වෘත්තිය චිකිත්සාව මෙන්ම දරුවාට හැකි පමණට සාක්ෂරතා දැනුම ලබා දීමට කටයුතු කරනවා. ඊට අමතරව ප්‍රදේශයේ තියෙනවා ආබාධිත දරුවන් වෙනුවෙන් නිවාස. ඒවා ඇත්තටම ප්‍රමාණවත් තරමට නැහැ. ඒවාත් අපි අධීක්ෂණය කරනවා. ඒවයේ නේවාසික දරුවන් වෙනුවෙන් රජයෙන් දීමනාවක් දෙනවා. දවසකට රුපියල් 40 දක්වා වූ දීමනාවක්. එකපාර චෙක් එකක් විදියට ඒ ආයතනවලට දෙනවා.   


මීරිගම සහ බෙල්ලන්තර පිහිටි රජයෙන් පවත්වාගෙන යන නිවාසවල සියල්ල රජය මගින් කරනවා. මේවායේ වැඩිහිටි අයත් සිටිනවා. වයස අවුරුදු 30-40 පිරිස් පවා එතැන ඉන්නවා. ඒ අයව සමාජගත කරන්න අමාරුයිනේ. එතැනින් එහාට තියෙනවා පෞද්ගලික අංශයේ ආබාධිත නිවාස ඒවටත් යොමු කරන්න අපිට දවසකට ආබාධිත දරුවෝ වැඩිහිටියෝ 2-3 විතර මාසයකට ගතහොත් 40-50ක් විතර එනවා. නමුත් ඒ ගාණට අපිට නිවාස නැති ප්‍රශ්න ලොකු ගැටලුවක්. පුද්ගලික නිවාසත් ප්‍රමාණවත් නැහැ. ආබාධිත නිවාසවල නඩත්තු කටයුතුවලටත් බස්නාහිර පළාත් සභාවෙන් ආධාර දෙනවා. රුපියල් ලක්ෂයක් දක්වා වූ මුදලක් නඩත්තු කටයුතු වෙනුවෙන් දෙනවා. ගොඩනැගිලි ඉදිකිරීම්, ආබාධිත ප්‍රවේශ කටයුතු කිරීම් වෙනුවෙන්. නේවාසිකව සිටින පුද්ගලික නිවාසවලටත් ඉන්න අයට ඇඳුම් පැලඳුම් ආදිය වෙනුවෙන් රුපියල් 60,000 ක් වාර්ෂිකව දෙනවා යථායෝග්‍යාධාර කියලා.   


ගෙවල්වල සිටින ආබාධිත අයට ස්වයං රැකියා සඳහා බස්නාහිර පළාත් සභාව ආධාර දෙනවා. අත පය නැති අයට රෝද පුටුවක් අවශ්‍ය නම් රෝද පුටු, අඩු ආදායම්ලාභී ආබාධිත අයට අවශ්‍ය උපකරණ, රෝද පුටු, ට්‍රයිසිකල්, අත්වාරු, වායු මෙට්ට, ශ්‍රවණ උපකරණ, අක්ෂි කාච දැමීමට ආධාර, ඇස්කණ්ණාඩි දෙනවා. බස්නාහිර පළාත් සභාවේ සමාජ සේවා නිලධාරින් ඉන්නවා. ආබාධිත පුද්ගලයාට හෝ ඔහුගේ ළඟම ඥාතියාට පුළුවන් පෝරමයක් තියෙනවා එය පුරවා ග්‍රාම නිලධාරි සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අත්සන අරගෙන අපට ලැබෙන්නට සැලස්වූ පසු එවලෙම අනුමැතිය දෙනවා ඒ අවශ්‍යතාව ඉටු කරන්න. බදාදා දිනයට ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි වහාම සමාජ සේවා නිලධාරියා අපිට දුරකථනයෙන් හෝ ෆැක්ස් මගින් දැනුම් දීමක් කළ විට ප්‍රාදේශීය ලේකම් කාර්යල සංචිතයෙන් අවශ්‍ය උපකරණ ලබා ගැනීමට පහසුකම් සලසනවා.   


යම් ආබාධිත අයෙකුට මෙම සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් එය ලබා ගැනීමට පුළුවන්. නැතහොත් බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල ලිපිනයෙන් විමසීමක් කරන්න පුළුවන්.   

 


දුරකථන අංකය, 0112092553 විමසීමක් කරන්න පුළුවන්.   

 

පද්මිණි මාතරගේ