රියසක මෙන් ඔබ පසුපස එන සකට යෝගය


ජීවිතයට ජ්‍යොතිෂය

අද අප කතා කරන්නට යන්නේ සකට යෝගය පිළිබඳවයි.   


සකට කියන්නේ රිය සක බඳු යෝගයක්. රවුමක් කැරකිලා ආපසු එනවිට කාලයක් හොඳත් කාලයක් නරකත් යෙදෙන රෝදයක් හා සමානයි. සකට යෝගය යම් ජන්මියෙකුට පිහිටියොත් එය සුබ යෝගයක් නෙවෙයි. මෙම යෝගය යෙදෙන්නේ ගුරු සහ සඳු යන ග්‍රහයන්ගේ බලපෑම මතයි. ඒ දෙදෙනා තමයි මෙහි මූලිකත්වය ගන්නේ. සකට යෝගය යම්කිසි හඳහනකට යෙදෙනවා නම් තවත් යම්කිසි ප්‍රබල යෝග තිබුණොත් ඒ ප්‍රබල යෝග යටපත් කරන්න හැකියාවකුත් තිබෙනවා.   


තවද සිංහාසන යෝගය විශේෂයෙන්ම 2, 6, 8, 12 යන ස්ථානවල සම්පූර්ණ ග්‍රහයන් සිටියත් අර්ධව සිටියොත් අර්ධ සිංහාසන යෝගය තිබෙනවා. මේ වගේ යෝගයක් සහ තවත් යෝගත් අතර මේ සකට යෝගය යෙදුණොත් මේ යෝගවල ඵලය අඩුවෙනවා. එමෙන්ම ඒ ජන්මියාට හදිසි කරදර සහ තත්ත්වයෙන් පහත වැටීම් ගෙන දෙනවා. මෙය හඳුනා ගැනීමට හැකිවන්නේ ගුරු ග්‍රහයා යම් කේන්ද්‍රයක ඉන්නා ස්ථානයේ සිට සඳු 6 වැනි රාශියේ 8 වැනි රාශියේ හෝ දොළොස් වැනි රාශියේ සිටියොත් තමයි මේ සකට යෝගය ක්‍රියාත්මක වෙන්නේ.   


නැගී බසින ව්‍යාපාරික යෝග   


විශේෂයෙන්ම මෙවැනි යෝගයක් සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයන් වැඩි පිරිසකට තිබෙන්නක්. මෙම යෝගය හිමි පුද්ගලයන් ව්‍යාපාරික ලෝකය දියුණු ස්ථානයකට ඇවිත් එක වර නොපෙනී යන තත්ත්වයකට පත්වෙනවා. හැමෝම හිතන්නේ මොහු ඉවරයි මොහුට යළි නැගිටීමක් නෑ කියලා. නමුත් ඔහු යළි අළු ගසා නැගිට ක්‍රම ක්‍රමයෙන් උඩට එනවා. යම්කිසි කීර්ති නාමයක් ඇති කරගත්ත කෙනෙකුට මේ වගේ දෙයක් ඇවිත් බාධකයක් ආවහම තිබෙන පිළිගැනීම නැතිවෙනවා. එම නිසා මෙම ව්‍යාපාර දිගටම පවත්වාගෙන යන්නට බැරි වෙනවා. වෙනත් නාමවලින් පෙනී සිටීමට සිදුවෙනවා. නමුත් නැත්නම් හවුල්කාරයන් වෙනස්වෙලා වෙනත් අය දාන්න වෙනවා. එම නිසා මෙම යෝගය හොඳින් තේරුම් ගන්න ඕන. මෙය බොහෝ දෙනෙක් නොදන්නා යෝගයක්. මෙහි බලපෑම ඒ ආකාරයෙන්ම එනවා. එමෙන්ම මෙම විවිධාකාර බලපෑම් එනවා.

   
ඉහළ නොනගින අධ්‍යාපන යෝගය   


මෙම යෝගය පිහිටි බොහෝ දක්ෂ දරුවෝ ඉන්නවා. නොගැළපෙන අධ්‍යාපන ක්ෂේත්‍රවලට යෑමක් දකින්නට ලැබෙනවා. ගුරු සහ සඳුගේ බලපෑම නිසා ජීව විද්‍යා වැනි අංශ තෝරා ගන්නවා. නමුත් විභාගයෙන් සමත් වී වෛද්‍යවරයකු වීමේ තැනට යන්නට නොහැකිවීමට මේ වගේ යෝග බලපානවා. තවත් අය ඉන්නවා ධනය නැති කරගන්න. හොඳින්ම ධනය තිබී පවුල් පසුබිම නිසා ලද ධනයක් හෝ මහන්සියෙන් ලද ධනයක් පරිස්සම් කරගන්න බැරිව නැති නාස්ති වෙනවා. තමන්ගේ පවුලේ සහෝදර සහෝදර ආදීන්ගෙන් සිදුවන කරදර බාධක ප්‍රශ්න හා ඔවුන් වැඩි වශයෙන් ධනය ඉල්ලීම ආදී නිසා අහිමිවී වැඩි වීම කිසි ලෙසකින් තමන්ට දෙයක් සාදා ගැනීමට නොහැකිවීම නිසා කුලී ගෙවල්වල ජීවත්වීමට පරිසරය සැදෙනවා.  


සමහරු ඉන්නවා ඉඩමක් අරගෙන ගෙයක් හදා ගන්න බැරිව පසුතැවිලි වන. මේ යෝගයේ කොටසක් ඉන්නවා බරපතළ විදිහේ දෝෂ තිබෙන අය. එමෙන්ම විවිධ අයට අඩු වයසින් තරුණගත රෝග නිදන් ගත රෝග සඳහා බලපෑම් සිදුවෙනවා. අධ්‍යාපනයේ ලොකු පසුබෑමක් ඇතිවනවා. අධ්‍යාපන ජයග්‍රහණ පෙනි පෙනී පසුබෑමකට ලක්වෙනවා.   

 

 


විවිධ උවදුරු  


රාජ්‍ය සතුරුකම්, සෞඛ්‍ය ගැටලු, එකට කන බොන අය කරන සතුරුකම් ආදිය ඇතිවෙනවා. තවත් පිරිසකට විවාහ දෝෂ ඇතිවෙනවා. විවාහ දෝෂ කියන්නේ මුල් කාලයේ රසවත් විවාහ තිබිලා පසුව නීරස වෙන තත්ත්වයකට ඇද දානවා. තවත් කොටසකට හඳුනාගත නොහැකි වකුගඩු රෝග, රහස් සතුරු කරදර ආදිය ඇතිවී හානිදායක තත්ත්වයකට පමුණුවනවා. පෙර වාසනාව මත යම්කිසි තත්ත්වයකට පැමිණි කෙනෙක් නුසුදුසු ඇසුරක් හා නිසි කළමනාකරණයක් නොමැතිකම නිසා ප්‍රසිද්ධිය තකා ආගමික කටයුතු කරලා අමාරුවේ වැටෙන පිරිසක්ද සිටිනවා. තව කොටසක් රැකියාවේ උප තත්ත්වයකට පත් කරනවා. හැමදාම එකම තත්ත්වයේ ඉන්න උපාධිධාරීන් ඉන්නවා.  


මෑතකදී මට මුණ ගැසුණ මෙම යෝගය තිබෙන ගණකාධිකාරිවරයෙක්. ඔහු අවුරුදු ගණනාවක් තිස්සේ එකම වැටුපටයි වැඩ කරන්නේ. ඉදිරියට එන්න දෙන්නේ නෑ. බාධක මැද ගමන් කෙරෙන්නේ. හොඳින් ධනය ලබාගෙන ක්‍රමයෙන් ඉදිරියට ආපු ව්‍යාපාරිකයා යළි හොයාගන්න බැරි තත්ත්වයකට   පත්​ෙවනවා.  


මේ යෝගය හිමි තවත් කොටසක් ජීවිත කාලය පුරාවටම සිරගත වුණු ස්වභාවයකට පත්වීම දක්නට ලැබෙනවා. පංච මහා පුරුෂ යෝගයක් තිබෙන පරිවර්තන හොඳ යෝගයක් තිබෙන අයටත් මේ යෝගය යෙදෙනවා. ඉහත ප්‍රබල යෝගය ක්‍රියාත්මක වෙන්න මේ යෝගය ඉඩ දෙන්නේ නෑ. ඉහත කී යෝගය යටපත් කර මෙහි අසුභ ඵල උදා කිරීම නිසා ජන්මියාට බොහෝම අයහපත් ඵල ගෙන දෙනවා. එමෙන්ම තමයි මෙම සකට යෝගයත් සමග එකට පිහිටන යෝග තමයි ධන නාශක යෝග සහ දරිද්‍ර වැනි යෝග, මෙවැනි යෝග යෙදුණත් කොච්චර දක්ෂ වුණත් තමන් බලාපොරොත්තු වෙන තැන නම් හිමිකර දෙන්නේ නෑ. එමෙන්ම දුර්වල යෝග යෙදී නැති භංගස්ථාන වෙලා යන යෝගයක් ලෙසින් මෙය හඳුන්වා දෙන්න පුළුවන්. ඉහත දැක්වෙන කේන්ද්‍ර සටහන් කිහිපය මගින් එය හඳුනාගත හැකියි.   


ආත්මීය විපාක  


මෙවැනි යෝගයක් තිබියදී මම ඉහත පැවැසූ පරිදි දො​ෙළාස් ආකාරයකට වගේ ඉතා කෙටියෙන් පැවැසූ විදියට මේ ආත්මීය හා පෙර ආත්මීය විපාක ලෙසින් ක්‍රියාත්මක විය හැකියි. තවත් ක්‍රමයක් තමයි ගුරුගෙන් දොළොස්වැන්නේ සිටීම. හඳහනක ගුරුගේ පිටිපස්සෙන් හිටියොත් මේ යෝගය යෙදනවා. හැබැයි, ගුරුගේ ඉදිරියෙන් සිටියොත් එය හොඳ යෝගයක්. මෙය කියවාගෙන යන කෙනෙකුට වැරැදි අවබෝධයක් එන්න පුළුවන්. හෑම අවස්ථාවකදීම අගුණයක් බවට, තමන් නොසිතනා සිදුවන පරිසර විනාශයකින්ද මෙය සිදුවිය හැකියි.  


මිනිසුන්ට වැඩදායි වන ගහ කොළ හා බෝගස් කිසිදු හේතුවක් නැතිව විනාශ වන්නේ නම් එහිදීද මෙම ක්‍රියාවලියට බලපෑ හැකියි. මෙය මිනිස්සුන්ට සිදුකළ දේවල් නොවෙයි. සතුන්ට හා සමහර ක්ෂේත්‍රවල සිට හෙද හෝ වෛද්‍ය සේවාවල සිට රෝගීන්ට නොසැලකීම නිසා ඉහත කී දරුණු ගණයේ රෝගාබාධවලට ලක්විය හැකිය. එනිසා මෙම මර්දනය කරගත හැකි යෝගයක්. මර්දනය කර ගන්නට ග්‍රහයන්ට අදාළ වැරැදි මැණික් පැලඳීමක් කරන්නේ නෑ. මැණික් පැලඳීම හොඳ අවබෝධයකින් කරගත යුතුයි. නැතිනම් වරකදී හොඳ තත්ත්වයෙන් ඉන්නවා. ආයෙත් නැතිවෙලා යනවා.  


ජන්මියෙකුට ආවම දරාගන්න බෑ සහ ඔරොත්තු දෙන්නේ නෑ. මං කලින් කිව්ව අප්‍රසාද තත්ත්වයන් ගොඩනැගෙනවා. එමෙන්ම සිවුරු පිරිකර පූජාව, නිදන්ගත රෝග තිබෙන අයට බෙහෙත් හේත් පූජාව, එමෙන්ම ජලයේ ඉන්න සතුන්ට ආහාරපාන දීම, ගංගා කානු පද්ධති පිළිසකර කිරීම ආදී පිළිවෙත් කළ යුතුයි. එමෙන්ම මේවා දුරලීමට මැණික් විද්‍යාවේ විවිධ ක්‍රම තිබෙනවා. මෙම ග්‍රහයින් අපට අදාළ ස්ථානවලට ගත නොහැකි නිසි මැණික් පැලඳීමෙන් මෙම යෝගයේ ඇති අස්ථාවර ගතිය බිඳ ස්ථාවර ජීවිතයකට මං පෙත් විවර වනවා.

 

 

ආචාර්ය රොහාන් දයාරත්න