යකඩ විකුණා ලොකුම ධනවතා වූ ඉන්දියාවේ මිත්තල්


ප්‍රකට සමාගම් ලොව  දිනූ හැටි 

 

  • ලොව මිල අධිකම මාලිගයක් වන එංගලන්තයේ මාලිගාවක හිමිකරුවෙක්
  • මුලින්ම ඩොලර් 250ක වැටුපකට සේවය කරලා
  • දියණියගේ වෙඩින් එක පැවැත්වූයේ පැරිසියේ ඩොලර් මිලියන 55ක් ඊට වැය කළා

 

යකඩවලට වඩා රත්තරන් මිල අධිකය. එහෙත් රත්තරන්වලට වඩා මිනිසාට ප්‍රයෝජනවත් වන්නේ යකඩය. මළ බැඳුණ ද යකඩ යනු ලෝක ජනතාවගේ ජීවනාලියට වඩාත් අත්‍යවශ්‍ය වූ ලෝහයකි. මේ යකඩ ලෝහයෙහි ඇති වටිනාකම හොඳින් දැනගත් මිනිසා වන්නේ අපේ අල්ලපු රටේ වෙසෙන ‘ලක්ෂ්මි මිත්තල්’ය. ​


ලෝකයේ බොහෝ රටවල දුම්රිය මෙන්ම දුම්රිය මාර්ග පද්ධති, නෞකා, කර්මාන්තශාලා, සුවිශාල පාලම් ඇතුළු යකඩින් කෙරෙන මහා පරිමාණ නිෂ්පාදන වෙනුවෙන් මුළු ලෝකයටම යකඩ නිෂ්පාදනය කරන අංක එකේ සමාගම සතු වන්නේ මෙම ලක්ෂ්මි මිත්තල් හටය. සරලවම කිවහොත් ලෝකයේ යකඩ නිපදවන බලවතා වන්නේ මෙම ලක්ෂ්මි මිත්තල්ය. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙනුවෙන් මෙවර අප විස්තර කරන්නේ මෙම ලක්ෂ්මි මිත්තල් සහ ඔහු සතු ලෝකයේ යකඩ නිෂ්පාදන අංශයේ අංක එකේ සමාගම වන “ආර්සිලෝ මිත්තල් සමූහ සමාගම” ගැනය. 


සුරංගනා කතාවක් නොවූ මිත්තල්ගේ ජීවිතය 


ඉන්දියාව විවිධ කුලවලට අයත් ජනයා වෙසෙන රටක් ලෙස ප්‍රකටය. මෙම ලක්ෂ්මි නිවාස් මිත්තල් යනු ‘බනියා’ පවුලකට අයත්ව උපන්නෙකි. බනියා පවුල්වල අය බොහෝ විට නියැළෙන්නේ වෙළෙඳ ක්‍ෂේත්‍රයේ, බැංකුකරණයේ, ධාන්‍ය මෙන්ම කුළුබඩු වෙළෙඳ අංශයේ මෙන්ම මුදල් ණය ලබාදීමේ ව්‍යාපාරයේය. 
ඒ අනුව බලන කල ව්‍යාපාර යනු බනියා කුලයේ පවුල්වල ලේවලින්ම එන්නකි. එවැනි පවුලකට අයත් වූ ලක්ෂ්මි නිවාස් මිත්තල් උපන්නේ 1950 ජුනි 15 වැනිදා රාජස්ථානයේ සදුල්පූර්හිදීය. මධ්‍යම පාන්තික පවුලකට අයත්ව උපන්න මිත්තල්, කල්කටාවේදී පාසල් අධ්‍යාපනය ලබා පසුව ශාන්ත ක්‍ෂේවියර් උසස් පාසලින් උපාධිය ලබාගෙන තිබේ. ඉනික්බිතිව කල්කටා සරසවියෙන් වාණිජ අංශයෙන් ප්‍රථම පන්තියේ උපාධිය ලබාගත් බැව් සඳහන් වේ. උසස් අධ්‍යාපනය ලැබූ අවධියේදී වතාවක ක්‍ෂේවියර් උසස් පාසලට ඇතුළත් වීමට ඔහුට නොහැකි වූවේ ඒ වනවිට ඉංග්‍රීසි බස කතා කිරීමට අසමත් වූ නිසාය. 


‘ඔයා ඉංග්‍රීසි දන්නේ නැති නිසා මෙම උසස් පාසලට ඔයාව බඳවා ගන්න නම් බැහැ’ විදුහල්පති කියා සිටියේය. එහෙත් එම පාසලට ඇතුළත්වීම කළ යුතුව තිබූ දෙයක් වූ බැවින් ‘වසරක් ඇතුළතදී මම ඉංග්‍රීසි කතා කරලා පෙන්වන්නම්’ යනුවෙන් ඔහු විදුහල්පති හමු වී පවසා සිටියේය. එදා උසස් පාසලට ඇතුළත් වීමට ඔහු හට හැකි වූයේ ඒ පොරොන්දුව පිටය. මිත්තල් එය යථාර්ථයකට එහා ගිය ප්‍රායෝගික අරුතක් බවට පත් කළේය. ඒ ගමන ඔහු නිමා කළේ පෙර කී පරිදි කල්කටා සරසවියෙන් වාණිජ අංශයෙන් ප්‍රථම ශ්‍රේණියේ උපාධියට හිමිකම් ලබමිනි. 


පසුව මාසිකව ඩොලර් 250ක පමණ ලැබුණු වැටුපක් යටතේ සේවය කර ඇති වග සඳහන් වේ. එලෙසින් කටයුතු කළේ උපාධිය ලබාගැනීමට පෙර වූ කාලයේදීය. 


එකී සමයේදී ලක්ෂ්මි නිවාස් මිත්තල්ගේ පියා වූ මෝහන්ලාල් මිත්තල් විසින් මහාරාෂ්ට්‍රයේදී යකඩ හෙවත් වානේ කර්මාන්තශාලාවක් පවත්වාගෙන යමින් සිටියේය. උපාධිය ලබාගැනීමෙන් පසුව ලක්ෂ්මි තාත්තාගේ ව්‍යාපාරික ආයතනයට ගොස් වැඩ කිරීමට පටන් ගත්තේය. එසේ කටයුතු කරමින් සිටියදී 1976 දී පමණ ඉන්දීය රජය විසින් යකඩ (වානේ) නිෂ්පාදන කටයුතු සඳහා සීමාවන් පැනවිය. එකී සීමා මායිම් හමුවේ මිත්තල්ගේ වානේ ගමන නතර නොවුණි. 


“මම වෙනත් රටකට ගිහින් ආයෝජනය කර මෙම වැඩේ සාර්ථක කරගන්නවා” 


ඔහු තමාටම සපථ කරගත්තේය. වයස අවුරුදු 26 සපිරුණු කල ලක්ෂ්මි මිත්තල් තමාගේ ජාත්‍යන්තර ගමනට මුල පිරුවේ ඉන්දුනීසියාවේදී තම ප්‍රථම වානේ කර්මාන්තශාලාව ස්ථාපිත කරමින්ය. 


ඉන් නොනැවැතුණු මිත්තල් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට අයත් ට්‍රිනිඩෑඩ් ටූබෑගො හි රජය සතුව තිබූ වානේ කම්හලක් 1989 දී මිලදී ගත්තේ එය පාඩු පිට පත්වාගෙන ගිය අවස්ථාවකදීය. මිත්තල් එය තමාගේ කළමනාකාරිත්වය යටතට ගෙන වසරක් ඇතුළත දී ලාබ ලබන ආයතනයක් බවට පත් කළේය. වානේ පන්නරය ලබමින් යකඩ සමග ගැටෙමින් දිනෙන් දින ජීවිතය මුවහත් කරගත් මිත්තල් තමාගේ වානේ කර්මාන්තශාලා ලෝකයේ තවත් රටවල ව්‍යාප්ත කිරීමට සමත් වුණි. 1992 දී මෙක්සිකෝව, 1994 දී කැනඩාව, 1995 දී කසකස්ථානය, 1995 දීම ජර්මනිය යන රටවලදී මිත්තල් ස්ටීල් (Mittal Steel) නමින් තම ව්‍යාපාර ජාලය සතු කර්මාන්තශාලා ස්ථාපිත කිරීමට කටයුතු කළේය. 

 


මිත්තල් වානේ ආර්සිලෝ මිත්තල් වූ හැටි 


වානේ නිෂ්පාදන වෙතින් ලෝකය ආක්‍රමණය කරමින් සිටියදී ඔහුගේ ප්‍රතිවාදියා වූයේ ‘Arcelor S.A.’ නමැති සමාගමය. එය ස්ථාපිතව තිබුණේ ස්පාඤ්ඤයේය. තමා හට වානේ අධිරාජ්‍යයා වීමට නම් මෙම ආර්සිලෝ සමාගම මිලදී ගැනීම කළ යුතු යැයි මිත්තල් විශ්වාස කළ දෙයක් වුණි. ඒ අනුව 2006 දී එම සමාගම ද මිත්තල් ස්ටීල් යටතට ගැනීමට ඔහුට හැකි විණි. ඉනික්බිතිව මිත්තල් ස්ටීල් කම්පැනි ‘ආර්සිලෝ මිත්තල්’ බවට හැරැවුණි. ලක්ෂ්මි නිවාස් මිත්තල් ඒ සමගම ලොව යකඩ හෙවත් වානේ අධිරාජ්‍යයේ රජු බවට පත්විය. 2006 දී ස්ථාපිත කළ මෙම ආර්සිලෝ මිත්තල් සමූහයේ මූලස්ථානය පිහිටුවා ඇත්තේ ලක්සම්බර්ග් රාජ්‍යයේ ලක්සම්බර්ග් නුවරය. මෙම මූලස්ථාන ගොඩනැගිල්ල සඳහා යොදාගෙන ඇති ගොඩනැගිල්ල එකල ආර්බ්ඩ් (Arbed) වානේ කර්මාන්තශාලාව සතුවූවක් විය. 1922 දී මෙය නිර්මාණය වූවේ ප්‍රංශ ජාතික ගෘහ නිර්මාණ ශිල්පියකුගේ අපූරු නිර්මාණයක් ලෙසිනි. කෙටියෙන් කිවහොත් මෙම ගොඩනැගිල්ල ඓතිහාසික වටිනාකමක් ඇති ගෘහ නිර්මාණයකි. මෙම ආර්සිලෝ සමූහය සතුව දෙලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යෙදී සිටිති. ලක්ෂ්මි මිත්තල් එහි සභාපති සහ ප්‍රධාන විධායක වන අතර ඔහුගේ පුතු වන ආදිත්‍ය මිත්තල් එහි විධායක මූල්‍ය නිලධාරියා වන්නේය. 


මිත්තල්ගේ යකඩ (වානේ) වෙතින් නිර්මාණය වූ ලෝ ප්‍රකට ස්ථාන හා නිර්මාණ 


ලෝ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගම් වන ජෙනරල් මෝටර්ස්, බෙන්ස්, ෆෝර්ඩ් ඇතුළු මෝටර් රථ සමාගම් සඳහා වානේ නිෂ්පාදන 20%ක් පමණ සිදු කරන්නේ මෙම ආර්සිලෝ මිත්තල් සමාගමය.
2011 දී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වූ ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඔබට මතක ද? එය නැවත නිර්මාණය වූවේ “වන් වර්ල්ඩ් සෙන්ටර්” නමිනි. මෙම ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය නැවත නිර්මාණය කිරීමේදී යොදා ගත්තේ මිත්තල්ගේ වානේය. ඊට අමතරව ඇමෙරිකාවේ එක්තරා අවස්ථාවක උසම ගොඩනැගිල්ල වූ ‘එම්පයර් ස්ටේට්’ ප්‍රතිසංස්කරණ කටයුතුවලදී යොදාගෙන ඇත්තේ ද මිත්තල් වානේය. නිව්​ෙ‌යා්ර්ක් පාලම තැනීමට මිත්තල්ගේ වානේ තාක්ෂණය අවශ්‍ය විය. 


‘හාමනි ඔෆ් ද සී’ නමින් හැඳින්වෙන ලොව දෙවැනියට විශාලම මගී සංචාරක නෞකාව නිමවා ඇත්තේ මිත්තල් වානේ වෙතින් වන අතර චීනයේ ‘ග්‍රෑන්ඩ් නැෂනල් තියටර්’, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උසම ගොඩනැගිල්ල වන ‘බර්ජ් කලීෆා’, බ්‍රසීලයේ ‘ඔලිම්පික් ස්ටේඩියම්’, ‘පාපන්දු ක්‍රීඩාංගණ’, ‘යෝධ පාලම්’ ඇතුළු බොහෝ ස්ථාන මෙන්ම ඕස්ට්‍රේලියාවේ ‘සිඩ්නි රේල්වේ’ (මෙට්රෝ ව්‍යාපෘතිය), පිලිපීනයේ ‘ඉම්පීරියල් ටවර්’ ඇතුළු සුවිශාල ව්‍යාපෘති ගණනාවක නිර්මාණ කටයුතු සිදු කෙරී ඇත්තේ ද මෙම මිත්තල්ගේ වානේ නිෂ්පාදනවලිනි. 


ලොව මිල අධිකම මන්දිරය මිලදීගත් මිත්තල් 

 

කොන්සින්ටන්පැලස් ගාඩ්න්ස් මිත්තල්ගේ ලන්ඩන් මන්දිරය

 

 

මධ්‍යම ලන්ඩනයේ කෙන්සින්ටන්හි ඇති ‘කෙන්සින්ටන් පැලස් ගාඩ්න්ස්’ යනු බ්‍රිතාන්‍ය කිරීටයේ උරුමයක් මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයේ අපූරු නිර්මාණයකි. දෙවැනි එළිසබත් මහ රැජිනගේ වංශයේ සිට රාජකීයයන් භාවිත කළ මෙම මාලිගයෙහි වත්මන් සාඩම්බර උරුමක්කාරයා වන්නේ මෙම ලක්ෂ්මි මිත්තල් පවුලය. ලොව වඩාත් මිල අධිකම මන්දිරය ලෙස සැලකෙන්නේ මෙම කෙන්සින්ටන් පැලස් ගාඩ්න්ස් මන්දිරයයි. බ්‍රිතාන්‍යයේ මහ රැජින ඇතුළු රාජකීයයන් වෙසෙන ‘කෙන්සින්ටන් පැලස්’ මහා මන්දිරය පිහිටා ඇත්තේ ද මෙම කලාපය අවටය. මිත්තල්ගේ මන්දිරය අගට ‘ගාඩ්න්ස්’ යෙදෙන බව මතක තබාගන්න. එමෙන්ම එය රැජිනගේ මාලිගය නොවන වග ද සඳහන් කළ හැකිය. 


කෙසේ වෙතත් ඊට නොදෙවෙනි වූ මිත්තල් සතු මෙම මහා මන්දිරයේ විවේකය ගෙවීමට ඔහු කැමැති බව ඔහුගේ බිරිඳ ඌෂා මිත්තල් සඳහන් කරන්නීය. මෙම අපූරු මන්දිරය මිත්තල් විසින් තම ආදරණීය බිරිඳ වෙත ලබා දුන් තිළිණයකි. 


“මේ සාර්ථකත්වය පිටුපස සිටින්නේ මගේ සදාදරණීය බිරිඳ උෟෂා” යැයි ලක්ෂ්මි මිත්තල් මෙම මහා මන්දිරයේ සිට පවසන්නේය. එහෙත් බිරිඳ නම් මිත්තල් ගැන පවසන්නේ මෙලෙසිනි. 


“එයා මේ ගමන පටන් ගත්තේ කිසිවක් ඇතිව නෙවෙයි. හිස් අතින් පටන් ගත්ත ගමනක්. මේ ජයග්‍රහණයේ රහස මම නෙවෙයි, එයාම විතරයි. ඒ සාර්ථකත්වයට ඒමට එයාට හැකි වුණේ කැපැවීම සහ දුෂ්කරව ක්‍රියා කිරීම නිසයි. අපි දෙන්නට දෙන්නා හරි සමීපයි. පවුලක ඇති වටිනාකම අන් සියල්ලට වඩා වටිනවා. ඒක එයා දන්නවා. මාත් දන්නවා. මේ සාර්ථකත්වයේ ගමනේ සියලු ගෞරව හිමිවිය යුත්තේ ඔහුට විතරමයි.”
මිත්තල්ගේ බිරිඳ ‘උෟෂා’ කියන පරිදි සැබැවින්ම මෙම මිත්තල් යනු හොඳ පියෙකි, හොඳ සැමියෙකි. 
සියවසේ මංගල්‍යය 


ගෙවී ගිය ‘සියවසේ මහා මංගල්‍යය’ හෙවත් ‘සියවසේ මංගල්‍යය’ ලෙස සඳහන් කළ හැකි වන්නේ ලක්ෂ්මි මිත්තල්ගේ දියණිය වන වනීෂා මිත්තල්ගේ මහා මංගල්‍ය උත්සවයයි. මිත්තල්ගේ දියණිය 2004 දී විවාහ වූයේ තවත් ව්‍යාපාරික චරිතයක් වන අමිත් භාතියා සමගයි. මෙය එක් දිනක් ඇතුළතදී පැවැත්වූ උත්සවයක් නම් නොවීය. ප්‍රංශයේ මහා මන්දිරයකදී පැවැති මෙම විවාහය සඳහා දොළොස්දහසක පමණ වූ ජන ගංගාවකට ඇරැයුම් කර තිබිණි. විචිත්‍රාංග රැසකින් වර්ණ ගැන්වී තිබූ මෙම උත්සවයේදී ගී ගැයීම සඳහා ලෝ ප්‍රකට පොප් ගී තරුවක වන කයිලි මිනෝ, බොලිවුඩයේ රජු වන ෂාරුක් ඛාන්, අයිෂ්චර්යා, කාජල්, සායිෆ් අලී ඛාන් ඇතුළු ප්‍රකට තරු රැසක් ඇරැයුම් ලබා සිටියහ. මෙම මහා මංගල්‍යය වෙනුවෙන් ඩොලර් මිලියන 55ක අතිවිශාල මුදල් සම්භාරයක් මිත්තල් අත දිග හැර වියදම් කළේය. ෂැම්පේන් වෙනුවෙන් පමණක් වැය කළ මුදල ඩොලර් මිලියන 4ක් යැයි සඳහන් වේ. 


2012 බ්‍රිතාන්‍යයේ විසූ පොහොසත්ම මිනිසා වූයේ මිත්තල්ය 


මිත්තල් යනු බ්‍රිතාන්‍යයේ වෙසෙන ධනවත්ම චරිතයකි. බ්‍රිතාන්‍යයේ වෙසෙන තෙවැනියට ධනවත් පුද්ගලයා වන අතර ආසියාවේ පුරවැසියකු ලෙස බ්‍රිතාන්‍යයේ වෙසෙන අංක එකේ ධනවතා ඔහුය. 2012 දී බ්‍රිතාන්‍යයේ පොහොසත්ම මිනිසා ලෙස සඳහන් වූයේ මිත්තල්ගේ නාමයයි. 2018 පමණ වනවිට ඔහුගේ දළ වත්කම ලෙස සඳහන් වූයේ ඩොලර් බිලියන 18ක් වශයෙනි. ලෝකයේ යකඩ සහ වානේ අධිරාජ්‍යය මැවූ මෙම මිත්තල් යනු තමන්ගේ උපන් රට වන ඉන්දියාව වෙනුවෙන් බොහෝ සමාජ සත්කාරවලට අත දිග හැර ආධාර ලබාදෙන්නෙකි. ඊට අමතරව එංගලන්තයේ මෙන්ම ලෝකයේ විවිධ රටවල පුණ්‍ය ස්ථාන සහ සරසවි ආදී තැන් සඳහා බොහෝ ලෙසින් ආධාර ලබාදෙන චරිතයකි. 


වෙසෙසින්ම අධ්‍යාපනික ආයතන බිහිකිරීම සඳහා ද තම මුදල් පරිත්‍යාග කරන්නේ ලෝබකමකින් තොරවය. කෝල්ඩ් ස්ටීල් (Cold Steel) නමින් ඔහුගේ ජීවන චරිතයේ අපූර්වත්වය අලලා ලියැවූ ග්‍රන්ථය විශාල අලෙවියක් ලද ප්‍රකාශනයකි. වතාවක ලෝ ප්‍රකට ටයිම් (Time) සඟරාවේ කවරය හැඩ වුණේ මිත්තල්ගේ ඡායාරූපයකිනි. “Man of Steel” නමින් එය නම් කර තිබිණි. 


පරිසර දූෂණ චෝදනා 


මිත්තල්ගේ චරිතය ඉහත සඳහන් අයුරින් ප්‍රකාශ වුව ද ඔහු සතු වානේ නිෂ්පාදන කර්මාන්තශාලා වෙතින් මහා පරිමාණයේ පරිසර දූෂණ සිදු වී ඇතැයි කියා වරෙක චෝදනා එල්ල වුණි. ‘නිල් අහස කළු කළ දුම් කුණාටුව’ ලෙස පරිසරවේදීන් නඩු මග බැස තිබේ. මෙලෙසින් ආර්සිලෝ මිත්තල් සමාගමට එල්ල වූ ගල් මුල් ද තිබේ. යමක් නිෂ්පාදනය කිරීමේදී සියල්ල මල් පෙත්තක මෙන් මටසිලිටුවට කළ හැකි දෙයක් නොවන්නේය. ඊට වඩා මිත්තල්ගේ ජීවිතයෙන් ගත හැකි දේ නම් අතිවිශාලය. 


මිත්තල්ගේ ජීවිත දර්ශනය 


ආසියානුවකු හැටියට මේ අල්ලපු රටේ ලක්ෂ්මි මිත්තල් ගැන අපට ආඩම්බර විය හැකි වන්නේ ලෝක ව්‍යවසායකයකුට එහා ගිය රාජ්‍යතාන්ත්‍රික චරිතයකට ඔහු සම කළ හැකි නිසාවෙනි. ලෝක දේශාපලනඥයින් සමඟ හොඳ ඇසුරක් ඇති ඔහු රුමේනියාවේ යකඩ කර්මාන්තය ඔහුගේ ග්‍රහණයට ගත්තේ ඒ බල පරාක්‍රමයේ මහිමයෙනි. කසකස්ථානයේ ස්ථාපිත කර්මාන්තශාලා ද එලෙසින්මය. ප්‍රංශයේ ජනපතිවරයකුව සිටි ජැක් ෂිරාස් ඔහුගේ ගජ මිතුරකු විය. මෙවන් වූ අපූරු චරිතයක් වන මිත්තල් සතු නවදිල්ලියෙහි ඇති වත්කම් ප්‍රමාණය මිලියන ගණනාවකි. ඒ අතර මිලියන 31ක වටිනාකමකින් යුතු සියලු පහසුකම්වලින් සමන්විත සුපිරි යාත්‍රා, ජෙට් යානා, ඔහු වෙනුවෙන්ම තැනූ සුපිරි බස්රථ අයත්ය. පෙර සඳහන් කළ ලන්ඩනයේ කෙන්සින්ටන් පැලස් ගාඩ්න්ස් මන්දිරය ඔහු මිලදී ගත්තේ ඩොලර් මිලියන 128ක පමණ මුදලකටය. 


අද මේ ලෝක යකඩ අධිරාජ්‍යයා සරසවි හමුවේ ගොස් සිසුනට දේශනා පවත්වන්නේ පොහොසත් වීමේ මග කියා දීම වෙනුවෙනි. ඒ මිත්තල්ගේ සතුටය. හිස් අතින් ඇවිත් ලෝකය ඇල්ලූ මිත්තල්ගේ ජීවිතය වෙතින් අපට කියා දෙන අරුත බෙහෙවින් අරුත්බරය.

 

ලක්සම්බර්ග්්හි ඇති මූලස්ථාන ගොඩනැගිල්ල

 

 

පරිවර්තන සටහන :
සඳුන් ගමගේ