මහ රෑත් ටිපර් පදවන දිරිය කාන්තාව


ඇය

 

 

මාස කිහිපයක්ම වැසි නොවැටීම හේතුවෙන් හිත් පිත් නොමැති ඉඩෝරය විසින් පළාතම වෙළාගෙන ඇත. ඉඩෝරය ජය ගැනීම සඳහා මිනිසුන් මෙන්ම වන සත්වයෝද දැවැන්ත සටනක් ගෙන යනු ලබති. මම නුවර සිට රන්දෙණිගල මාර්ගය හරහා පැමිණෙමින් සිටිමි. මාගේ හෝරා යන්ත්‍රයේ වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්නය. මෙම මාර්ගයේ රාත්‍රී කාලයේ සැරිසරන්නා වු අලි රංචුවකට මා මැදිවුයේ බෝහෝ වේලාවකට පෙරය. කාර්,ජීප් වැනි කුඩා වාහන වලට ඉඩ නොදීම අලීන්ගේ සිරිතය එහෙත් බසයක් වැලි ලොරියක් හෝ බවුසරයක් වැනි විශාල වාහනයක් මාර්ගයේ ගමන් කරත්ම අලි වහා මාර්ගය දෙපස සැඟවයති. පසු පසින් එවැනි ටිපර් රථයක ආලෝකය දිස්වත්ම මා රථය නැවත පණ ගැන්විමි.   


මහත්තයා මගේ පස්සෙන් එන්න  ලොරි රථයේ රියැදුරා පැවසුයේ මා ලක්ව සිටින අපහසුව තේරුම් ගැනීම නිසාවෙනි. කතාව ආරම්භ වන්නේ එතැන් සිටය. රථයේ මා බලාපොරොත්තු වූයේ රියැදුරෙකු නමුදු රියැදුරු අසුනේ සිටියේ කාන්තාවකි. ඇරත් ඈ තනිවමය. මාහට මාර්ගය විවර කරදුන් ඇය ඉදිරියට ඇදුණේ විදුලි වේගයකිනි වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්නය. මම නැවත ඉදිරිය බලා ගමන්ගත්තෙමි. කෙසේ වෙතත් කිලෝමීටර් කිහිපයක්ම යත්ම බදුලු මහියංගන මාර්ගයේ විසි එකේ හංදියේ රාත්‍රි තේ කඩය අසල මා හට උදවු කළ ලොරි රථය නවතා තිබිණි.   


ඇය 47 හැවිරිදි කාන්තාවකි. නමින් ඇය ඩී.එම්. වසන්තා දිසානායකය. වසන්තා සහල් පටවාගෙන නුවර ගොස් එය අලෙවි කිරීමෙන් පසු ආපසු එමින් සිටියාය.   
මම ඇය සමග දොඩමලු වුණෙමි.   


මම වසන්තා හැබැයි මට වසන්තා මුදලාලි කියා කියනවානම් මම කැමතියි. මම ව්‍යාපාරයක් කරනවා අපේ මුල්ගම වැලිමඩ ප්‍රදේශයේ. මාපියන් මා සමඟ කුඩා කාලයේ කන්දකැටිය ගොවි ජනපදයට වෙ​ෙළඳාමට පැමිණියා. මම සාමාන්‍ය පෙළ උසස් පෙළ හොඳට සමත් කුඩා කාලයේ සිටම සිතුවේ වෙ​ෙළඳ ව්‍යාපාරයක් කරන්න. මම දැන් ගොවින්ගෙන් වී මිලට ගෙන, මාගේ ව්‍යාපාරික ස්ථානයේ අඹරා, රට පුරා බෙදා හැරීම සිදුකරනවා. මට වේලාවක් අවේලාවක් නෑ. මෙම ටිපර් රථයේ රියැදුරා මමයි. ගෝලයාත් මමයි ඇය සිනාසෙමින් පැවසුවාය.   


ඇයි මෙතරම් බැරෑරුම් රැකියාවක් තෝරාගත්තේ මම අතුරු පැනයක් නැගුවෙමි.   


රැකියාව බැරෑරුම් වන්නේ මා කාන්තාවක් නිසයි. කන්තාවකට සීමා මායිම් දමනවාට මම කැමති නෑ. ඒත් මා රියැදුරෙකු වුණේ එක් සිදුවීමකින්. මා හට බරවාහන රියැදුරු බලපත්‍රයක් තිබෙනවා. මාගේ සහල් ව්‍යාපාරයේ වාහනවල රියැදුරන් කිහිප දෙනෙකුම සිටිනවා දිනක් හාල් කිලෝ දාහක ඕඩරයක් ආවා නුවර එළියෙන්. රාත්‍රි ලොරියට සහල් පටවා පාන්දර කාලයේ යාමට තීරණය කළා. නමුත් යම් හේතුවකින් රියැදුරා උදේ ආවේ නෑ. උදේ දහය වෙන්නත් කලින් හාල් ටික දෙන්න තමයි ගිවිස ගත්තේ. පන්දර හතරට අප පිටත් වෙන්න ඕනෑ. රියැදුරෙකූ නෑ අන්තිමට මම තීරණය කළා මමම යන්න හාල් බාන ගෝලයත් කීවා මුදලාලි අපි ලොරිය අරන් යං කියලා. නමුත් වැඩේ ගොඩක් බරපතළයි. මොකද හාල් කිලෝ 1000 ක් කියන්නේ ලොරියට විශාල බරක් රම්බොඩ පාරේ තමයි යන්න ඕනෙ. පාර පටුයි. බෑවුම අධිකයි. නමුත් එදා දෙයියනේ කියා නුවරඑළියට අප වෙනදාටත් කලින් ආවා සහල් ටික කඩවලට දැම්මා ඒක තමයි මගේ ජීවිතයේ හැරවුම මම එදායින් පස්සේ ලොරියට රියැදුරන් ගත්තේ නෑ. ලංකාවේ සෑම පළාතකටම සහල් ගෙන යනවා. මම තනියම යාපනේ පවා ලොරියේ ගිහිල්ලා තිබෙනවා යයි වසන්තා පැවසුවාය.   


ලොරි රස්සාවේදී අනතුරුවලට මුහුණපාලා නැද්ද මම කටහඩ අවදි කළෙමි.   


 දවසක් බ්ලොක් ගල් ලොඩ් එකක් තැන්න පංගුව කියන ගමට ගෙනිහිං දෙන්න තිබුණා. ඒකෙත් බර වැඩියි අප කඳුකර මාර්ගයක ගමන් ගත්තා. අධික කඳු බෑවුමකදී ලොරිය නැවතුණා. දැං ලොරිය පස්සට එනවා මම තිරිංග උඩ හිටගත්තා ගල් බාන්න ගිය මනුස්සයාට කීවා ඉක්මනට ගල් තියන්න කියලා ලොරිය බෑවුම මැද නතර වුණා. පසුව නැවත ලොරිය පණ ගන්වා ගෙන ආවා එදා බේරුණු බේරිල්ල ජීවිතයේ කිසිම දිනක අමතක වෙන්නේ නෑ යයි වසන්තා කීවාය. ඇය ලොරි රැකියාවට අමතරව සහල් මෝලයේ වැඩ කරන්නීය. 

 
මම සහල් ව්‍යාපාරය කරන්නේ කන්දකැටිය ගොවි ජනපදය තුළයි. මට තරගකාරයෝ නෑ හිටියත් මම බය නෑ. සහල් මිලට අරන් මෝලේ අඔරා කොළඹ ගෙනියනවා. අවුරුදු කිහිපයකට පෙර කඩයක් කළත් අද එය තාවකාලිකව නවතා දැම්මා. මෙම සහල් වෙළෙඳාම නිසා. 

 

 

 


කාන්තාවකට තනිව ව්‍යාපාරයක් කළ හැකි දැයි මම ඇසීමි.   


අපට අරමුණක් තිබිය යුතුයි. එම අරමුණ කරා යන්නනම් දැඩි ආත්ම විශ්වාසයකින් කටයුතු කළ යුතුයි. අද බෑ හෙට බෑ යනුවෙන් කල් දැමීම මම හිතන්නේ ව්‍යාපාරයකට සුදුසු නෑ. මම කියන්නේ කාන්තාවන් මුලින්ම ආකල්ප වෙනස්කරගත යුතුයි. අපි හිතුවොත් අපට කරන්න බැරි දෙයක් නෑ. යනුවෙන් වසන්තා පැවසුවාය.   


වර්තමාන සමාජයේ ජීවිකාව ගෙනයාම සඳහා කාන්තාව දැඩි ජීවන අරගලයක නිරත වී සිටින්නීය. දැඩි නියඟයෙන් උඩරට තේ වගාවටද දැන් දැන් හානි පැමිණෙමින් තිබේ. මේ අතර රජයෙන් වැඩි වු රුපියල් දහස ගන්නා දිනය ගැන සිහින මවමින් වතුකරයේ ලක්ෂ්මිලා, තංගම්මලා, පාර්වතීලා බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. ඒ අතර ජීවන බර කරට ගෙන සේවයට කැප වූ වසන්තා දිරිය කතුන්ට මහඟු ආදර්ශයකි. 

 

නයන තෙන්නකෝන්  
ඡායාරූප ඩී.එම්.වසන්ති දිසානායක