මව, බිම දි​ගේ ඇදගෙන ගිය අසේලට අත්වූ ඉරණම...


ජිවිතය යහ මගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.  

අම්පාර මිහිඳුපුර අයි.ජී. ගුණපාල මහතා ලියා එවු කතාවකි.  

මව බිම දි​ගේ ඇදගෙන ගිය අ​සේලට අත් වූ ඉරණම


දසක තුනකට පෙර මධ්‍යම පළාතේ ගම්මානයක පෙදරේරු වැඩ කොට ජීවත් වූ පියදාස නම් අයෙක් සිටියේය. ඔහු ගේ බිරිය රම්‍යවතීය. මේ දෙදෙනාට දරුවෝ තිදෙනෙක් සිටියහ. එම දරුවෝ ඉගෙනීමට ඉතාම දක්‍ෂ වූහ. මේ නිසා පියදාස යුවළ ​කොපමණ අඩුපාඩු කරදර තිබුණත් ඒ සියල්ලට මුහුණ දෙමින් නගරයේ හොඳම පාසලකට දරුවන් යැව්වේ අනාගතය ගැන සුබ සිහින ගොන්නක් හදවත් තුළ පුරවාගෙනය.   


එහෙත් අවාසනාවක හැටි. පියදාස හදිසි අනතුරකින් මිය ගියේය. වත් පොහොසත් කමක් නොතිබුණ පියදාසගේ බිරිඳට දරුවන් ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙනයාමට නොහැකි විය. මුලින්ම වැඩි මහල් පුතා වූ අසේලගේ පාසල් ගමන නතර විය. ඉන්පසු ඔහු තම පියාගේ යහළුවකුට අයත් ගරාජයක කාර්මික වැඩ පුරුදු වීමට නගරයට ගියේය. මව ගල්කොරියක වැඩට ගියාය.  


මෙසේ දුක්බරව ජීවත් වෙමින්ම ඔවුහු මද්දුම පුතා නිමල් හා බඩපිස්සී දුව චින්තාද පාසල් යැවූහ. අසේල කාර්මික වැඩ පුහුණු වන කාලයේ නිශ්චිත පඩියක් ගෙව්වේ නැතත් සතියකට දෙකකට වරක් කීයක් හරි නොදී සිටියේද නැත. මාස හත අටක දී ඔහු කාර්මික වැඩ පුහුණු වී එම ගරාජයේම සාධාරණ වැටුපකට වැඩ කෙළේය.  


මේ අතර ඔහු පිට පළාතක තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකර ගත්තේය. ඉන්පසු ඔහු ගෙදර ගියේ මාසයකට වරක් දෙකක් පමණි. එහිදී ඔහු පෙර මෙන් පවුලේ කටයුතු සම්බන්ධයෙන් වැඩිපුර කතා බහ කෙළේද නැත. අම්මාට පමණත් නොව නංගිටත්, මල්ලිටත් අසේල ගේ විශාල වෙනස්වීමක් ඇති බව පෙනිණි.  


එ්ත් ඔහු යන විට අම්මාට කීයක් හෝ දී යාමටද අමතක කළේ නැත. ගරාජයේ වැඩට පිට කවුරුත් නැති නිසා නිතර ඒමට නොලැබෙන බවද ඔහු පැමිණ ආපසු යන හැම දිනකම පැවසුවේය.  


සුළු කලකින් ඉඳහිට හෝ ගෙදර පැමිණීම සම්පූර්ණයෙන්ම නතර විය. මේ නිසා මහත් දුකට හා වේදනාවට පත්ව සිටි අසේලගේ මව පාසල් නිවාඩු දිනයක දුවත් පුතාත් සමග අසේල වැඩ කරන ගරාජය සොයාගෙන ගියාය.  


එහි ගිය ඔවුන්ට දැනගන්නට ලැබුණේ අසේල මාස තුනකට පෙර ගරාජයෙන් අස්වී ගිය බවත් වෙනත් ප්‍රදේශයක තරුණියක හා ආවාහ වී එහි ගරාජයක වැඩ කරන බවත්ය.  
ඒ ඇසු අසේල ගේ මව කම්පාවී සිහිසුන්ව ඇදවැටුණාය. ටික වේලාවකින් ඇයට සිහිය ලැබීමෙන් පසු ගරාජයේ රඳවාගෙන සිට සවස් කාලයේ ගමට පිටත් කර හැරීය.   
අසේලගේ මව ඔත්පළ වූවාය. දිවා රැය දෙකෙහිම විටින් විට අවසිහියට පත්වන ඇය, අනේ මගේ අසේල පුතේ උඹ ඇයි අපට ඔහොම කළේ. උඹ අම්මයි මල්ලියි නංගියි අමතක කරලා ඇයි ඔහොම හිතුවක්කාර වැඩක් කළේ. උඹ අපට කිව්වා නම් අපි උඹට බාධාවක් කරනවාද? උඹ ගෙදර ඇවිත් පලයං නැතිනම් ඉන්න තැනක් කියපන් අපටත් එන්න යැයි අදෝනා කියමින් වැලපෙමින් නිවසින් පැන ඒ මේ අත දිවීමට පටන් ගත්තාය.  


නිමල් හා චිත්තාද අඬමින් මව පසු පස දිවගියත් ඔවුන්ට කරකියා ගත හැකි කිසිවක් නොවිණ. බොහෝ දෙනා කතා කෙළේ කෙසේ හෝ අසේල සිටින තැනක් සොයා ගෙන ඇය එහි ගෙන ගොස් සුළු කාලයක් එහි රදවා තබා ඇගේ මානසික පිඩනය මගහරවා ගැනීමට කටයුතු කළයුතු බවය.  


ඔවුහු ගරාජ් හිමිකරුගේ අනුමාන තොරතුරු අනුව සෙවීමෙන් අසේල පදිංචිව සිටින ස්ථානය සොයා ගත්හ. ඔවුහු අසේලට කතා කොට තම මවට සිදුවී ඇති විපත පහදා දී තම මව සුළුකාලයක් එහි තබාගන්නා ලෙස කියා පසු දින ඇය රැගෙන ගොස් අසේලට බාරදුන්හ. එහෙත් අසේලගේ බිරිඳ ඒ ගැන වැඩි කැමැත්තක් දැක්වූයේ නැත.  


මේ අතර මිය ගිය පියදාස ගේ සහෝදරියක් පැමිණ නිමල්ට හා චින්තාට රැකවරණය දී ඔවුන් පාසල් යැවීමට කටයුතු කොට එම නිවසේ නතර වූවාය.  


එදින රාත්‍රි අලුයම් කාලයේ අඩනින්දේ පසුවුණු අැයට රම්‍යවතී ​ෙකඳිරිගාමින් වැලපෙන හඬක් සිහිනයෙන් මෙන් ඇසී ඇය තිගැස්සී අවදි වූවාය. හොඳට කන්දී අසාසිටියාය. විලාප හඬත් ​කෙඳිරියත් දිගටම ඇසෙන්නට විය. ඇය වහාම දොර හැර සැකයෙන් යුතුව බැලුවාය. එය සිහිනයක් නොවේ. රම්‍යවතී මිදුලේ වැතිර ළතෝනි දෙමින් සිටියාය.  


ඇය කෑගසා අසල නිවෙස් වල අයගේද සහාය ලබා රම්‍යවතී ගෙට ගෙන ගියාය. අසාධ්‍යව සිටි රම්‍යවතී ගෙන් යාන්තමින් දැනගන්නට ලැබුණේ හද කම්පා කරවන්නකි. අසේලත් ඔහුගේ බිරිඳත් අතර බහින් බස්වීමක් සිදු වු බවත් ඉන් පසු අසේල ළඟ නිවසකින් මෝටර් බයිසිකලයක් ඉල්ලා ගෙන තමා එහි තබාගෙන ගෙය ඉදිරිපට පාරට ගෙන විත් බිමට බස්සවා බිමදිගේ ඇදගෙන පැමිණ මිදුලට දමා ගිය ආකාරයත්ය. අසල්වාසීහු පසු දින ඇය නගරයේ රෝහලට ගෙන ගොස් එහි නතර කළහ. දින තුනක් ගතවන විට ඇය රෝහලේ දී මෙලොව හැර ගියාය.  


රම්‍යවතී ගේ මරණය සිදුවී මාස හත අටක් ගත වූ පසු අසේල කාර්මික වැඩ පුහුණු වු ගරාජය අයිතිකරු දන්වා තිබුණේ අසේල අලුත්වැඩියා කරන ලද ලොරි රථයක් පණගැන්විමට යාමේ දී සිදුවූ අනතුරකින් ඔහුගේ දකුණු අත වැලමිට ළගිනුත් වම් අතේ ඇඟිලි හතරකුත් කපා ඉවත් කර අාබාධිතව සිටින බවය.  


මෙය තම මව බිම දිගේ ඇදගෙන යාමේ විපාකය මෙලොවදීම පලදීමක් නොවේද?  



ඉඟිනියාගල ජයසෝම ගෝනපීනුවල මහතා ලියා එවු කතාවකි  

සතුන්ට ගිනි බින්ද පාපෙන් අකුණු සැර වැදී මරුට  


ගිරිගෝරිස් අයියා උපතින්ම ගොවියෙකි. ඔහු ගමෙන්ම පෙළවහක් කරගෙන පිය උරුමයෙන් කුඹුරේ වී ගොවිතැන් හා ගොඩ එළවළු වවමින් ජීවත් විය. අහල පහල අයගේද හොදහිත දිනාගෙන සිටි මොහුට ආහාර අහේනියක් නොවුවද හේනේ වවන බවභෝගවලින් නිසි ඵල ලබාගැනීමට දුෂ්කර සටනක් කරන්නට සිදුවුයේ වල් ඌරන් හා වෙනත් සතුන් නිසාය.  


උදේ දහවල් හේනේ වැඩකර​න ගිරිගෝරිස් ඇඳිරිවැටෙන විටම ඇඹේණිය උයාදුන් බත්මුලත් ලන්තෑරුමත් ගෙන හේනේ පැලට වදින්නේ බව භෝග ආරක්‍ෂාකර ගැනීමට නිදි මැරීමටය. පැලට යන ඔහු ගිනි මැළයක්ද දල්වා ඉණේ ගසාගෙන යන ගමේ බඩු (කසිප්පු) ටික ටික බොමින් කාන්සිය හා නිදිමත යන්නට දන්නා පැල්කවි සීපද අනෙක් පැල්වලට හා සතුන්ට ඇසෙන්නට කියයි.   


අනෙක් පැල් වලින්ද එසේම සිදු වුවත් රාත්‍රියට කෑමගත් පසු හා වේරිමත ගාතයේ තමාටම නොදැනි නින්ද යන අවස්ථා එමටය. එවැනි දිනවල උදේ නැගිට බලන විට ඌරන් හේන විනාශ කර ගොසිනි. රාත්‍රි ජාමයේ ගිරිගොරිස්ගේ කටහඬ නොඇසෙන වෙලාව බලමින් සිටින වල් ඌරන්, ඉත්තෑවන්, ගෝනුන්, අල බතල හාරා කමින් ගස් පෙරළමින් මහා පාඩුවක් සිදුකර බඩ පුරවා හෙමින් සීරුවේ ඇදී ගොස් ඇති බව දැකගත හැකිවෙයි.  


වනසතුන්ගෙන් හේන ආරක්‍ෂා කිරීමට පිළියමක් සිතු ගිරිගෝරිස් කම්මල්කරු හමුවී ගතමනාවක් අතේ තබා හොර රහසේම වෙඩි බේත් කොටන තුවක්කුවක් සාදාගත්තේ “දැන් ඉතින් මම දිනුම්” යන ඉහවහ යන සතුටිනි.  


තුවක්කුවත් අඩුම කුඩුමත් රැගෙන පැළට යන ඔහු අමාරුවෙන් නිදි වරාගෙන පඳුරු සෙලෙවෙන පැත්තට එල්ලය අල්ලා කොකා ගස්සයි. බලා පොරොත්තු නොවූ සේ ඌරෙක් මීමින්නෙක් පසුදාට මැරී වැටී ඇති හෙයින් දැඩි සතුටකින් එතනදීම ඌ කපා කොටා මස් කුට්ටි වශයෙන් සාදා ගෝනියක දමාගෙන ගෙදර විත් තමාට කෑමට කොටසක් තබාගෙන ඉතිරිය අහලපහල හිතවතුන්ට විකුණයි.  


වෙඩි හඬට බියවු සත්තු දැන් දැන් ඔහුගේ වගා පාළු කරන්නට නොපැමිණේ. මෙය ගිරිගෝරිස්ට ලොකු සහනයක් වුවත් සිතට සතුටක් නොවුණේ සෑම දිනම මස් සමග බත් කන්නට නොලැබීමයි. මෙයටද උපායක් යෙදු ගිරිගෝරිස් සතියකට වරක් කැලෑවේ දඩයමට යාමට පුරුදුවිය. ලොකු විදුලි පන්දමක් ඔළුවේ බැඳගෙන අවශ්‍ය අඩුම කුඩුමද රැගෙන රෑට කැලෑවදින ඔහු සතුන් ගැවසෙන තැන්වල හැංගී කුරුමාණම් අල්ලා පඳුරු සෙලවෙන තැන්වලට හිසබැඳි විදුලි පන්දම් එළිය විහිදුවයි. විදුලි පන්දමේ එළිය ඇස් දෙකට වැදුණු ඌරන් හෝ වෙනත් සතුන්ගේ ඇසට ගිනිකන වැදුණවිට ඔවුන්ට කරකියාගත හැකි දෙයක් නොමැතිව එළිය දෙසම බලාසිටින විට හරියටම එල්ලය බලා සතාගේ මුහුණටම කොකා ගස්සයි.   


වෙඩි වැදුණු සතා මරහඩ තළමින් කැලේ පොඩිකරමින් ටිකදුරක් දුවගොස් මරු වැලඳගනී. මෙදෙස බලා සිටින ඔහු හෙමින් හෙමින් කිට්ටුකර අතේ තිබෙන කඩුවෙන් තවත් පහරක් දෙකක්දී මරණයේ සැකය දුරුකරගෙන බෙල්ල කපා සිරුර මස්කොට කැබලි වශයෙන් ගෝනියකට දමාගෙන ගෙදරට ගෙනවිත් තමාගේ කොටස තබාගෙන ඉතිරිය පුරුදුසේ විකුණයි.  


දැන් ඔහු සතුන් දඩයම මෙන්ම හේනේ කටයුතුද ජයටම කරගෙන යයි.  


වැසි සමයේ දිනක් කුඹුරේ වැඩ කරමින් සිටින සවස් කාලයක අහස කළුවි බලාපොරොත්තු නොවූ මහා වර්ෂාවක් ගිගුරුමත් සමග ඇති විය. යන්තම්වත් වැස්සෙන් මුවාවීමට ගිරිගෝරිස් කුඹුර මැද තිබු කොහොඹ ගස යටට ගියා පමණි. මහා අකුණක් වැදී ඔහුගේ බෙල්ල ළඟින්ම කඳ වෙන්විය. මූණ බලන්න බැරිසේ විරුප වී ඇස් දෙකද එළියට විසිවී නහර වැල්වලින් එළියට ඇදී තිබුණි. අත් දෙකද කැඩි විසිවී තිබුණි.  


සවස ඇඹේනිය ඔහුට තේ අරන් යන විට ඔහු කුඹුරේ නොසිටි නිසා විපරම් කර බලන විට මේ සිද්ධිය දැක මරහඬ දෙමින් අහල පහල අයගේ උදව් ඉල්ලාගෙන මැස්සක් සාදා එහි මිනිය තබාගෙන නිවසට ගෙනයන ලදී.  


මේ සිද්ධිය ඇසින් දුටු සියල්ලන්ගේම මුවින් පිටවූයේ සතුන්ට ඔළුවටම ගිනිබින්ද ගිරිගෝරිස්ටද එසේම කරුමය ඵල දී ඇති බවකි.  

 



මතුගම පියසෝම දොඩංන්ගොඩ මහතා ලියා එවූ ක තාවකි.  

ඌරු කොටුවට වැදුණු හෙණයෙන් අඹුසැමියෝ මරුතුරුලට 


උපතේ සිට මරණය දක්වා ගෙවන්නාවූ අවිනිෂ්චිත සුළු කාලය තුළ ධන, බල, නිල, රැකගෙන අනෙකාට ඉහළින් නැගීසිටිමට සැරසෙන වැඩි දෙනා තම මඩිය පුරවා ගැනීමට බලාපොරොත්තුවෙන් දිවා රැය කටයුතු කරන්නේ කිසිදාක තමා මිය පරලොව යන බලාපොරොත්තුවකින් තොරවය.  


ගමේ පාසලේ පස්වැන්න දක්වා ඉගෙණිම ලබා කුලියක් මලියක් කර ජීවත්වූ ‘‘සරදියෙල්’’ කරදඬු උස්මහත්වූ පසු තම සැමියා මියගිය වැන්දඹුවක් වූ රෝසි හා දීගකෑම ඇරඹීය. කුලී වැඩ ආදීයෙන් වැඩි මුදලක් නොලැබෙන බැවින් හා තම බිරිඳ මුළු දවස පුරා නිකරුණේ කල් යවන නිසා තම ගෙදර වත්​තේ උෟරු කොටුවක් පටන්ගත්තේ ලොකු ආදායම් මාර්ගයක් වශයෙනි.  


සතුන් ඇති කිරිම අරඹා මාස දෙක තුනක් ඇතුළත ඌරන් මරා මස් අලෙවි කිරීමෙන් අඹුසැමි යුවළට සැලකිය යුතු මුදලක් සපයාගත හැකිවුවත් දරුපල නම් ලැබුණේ නැත. දිනපතා පාපැදියෙන් නගරයේ ආපනශාලාවලට ඌරුමස් ගෙනයන සර්දියෙල් එම හෝටල්වල ඉතුරු වෙන ඉදුල්බත් හා පුස් කා ඉවත දැමු කෑම ද්‍රව්‍ය ඌරන් සඳහා රැගෙන ඒම සිරිතකි.  
පාපකාරි රැකියා කිරීමෙන් අධික ලෙස මුදල් උපයාගැනීම පහසු වුවත් එයින් ලැබෙන ප්‍රතිඵලය ගැන මේ දෙදෙනා මොහොතකටවත් සිතුවේ නැත.   


මේ අතර දිනක් මහා වැස්සේ මේ යුවල ඌරෙක් මරා මස් සකස් කරමින් සිටින විට අහස ගුගුරා මහහඬක් නංවා ඌරු කොටුවට වැදුණ අකුණු සැරෙන් අමුසැමියන් දෙදෙනා සමග ඌරු රැලද මියයාමට ගතවූයේ සුළු කාලයකි.   

 


මෙබදු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

සකස් කළේ
ප්‍රසන්න සංජිව තෙන්නකෝන්