මරාගෙන මැරුණු මුස්ලිම් කල්ලියේ දෙමළ බෝම්බකාරිය


සහරාන්ගේ බිරිය පොලිසියට කළ පාපොච්චාරණය

  

 


පාස්කු ඉරිදා දිනයේ සිදුවූ බෝම්බ පිපිරවීම් මාලාවෙන් වැඩිම පිරිසක් මියගියේ මීගමුව-කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තුළ සිදුවූ බෝම්බය පිපිරීමෙනි. රෝහල් වාර්තාවලට අනුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 104ක් පමණ වන අතර බරපතළ හා සුළු තුවාල ලැබූවන්ගේ ගණන 350ක් පමණ වෙති. 


මෙම මාරක බෝම්බය පුපුරුවා ගත්තේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ අච්චි මොහොම්මදු හස්තුන් නමැත්තාය. 
හස්තුන් වාලච්චේන එ.එෆ්.සී පාරේ පදිංචිව සිටි අයෙකි. 


1994 වසරේ පෙබරවාරි මාසයේ 15 වනදා උපන් 940462916 V යන ජාතික හැඳුනුම්පත් අංකය හිමි හස්තුන් වාලච්චේන අංක 4 කොටස යන ගම්මානයේ පදිංචිව සිට ඇත. 
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ නවයක් ලබාගෙන ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව සහ විෂයන් උසස්පෙළට හදාරා තිබේ. 
උසස් පෙළ විභාගයෙන් හස්තුන් සමත් වී ඇත්තේ භෞතික විද්‍යාව පමණකි. අනෙක් විෂයන් දෙකම අසමත් වී ඇත. 


මහේන්ද්‍රන් පුලස්තිනී හෙවත් සාරා ජෙස්මින් සමඟ හස්තූන් ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගෙන ඇත්තේ පෞද්ගලික උපකාරක පංතියකදීය. 
1996 මාර්තු මාසයේ 07 වනදා කලංවචිකුඩි, තෙට්ටතිව් ගම්මානයේ දී උපත ලබා ඇති ඇයගේ ජාතික හැඳුනුම්පත්‍රයේ අංකය 965672702 V යන්න වේ. 
ඇය උසස්පෙළ දක්වා පමණක් අධ්‍යාපනය ලබා ඇත. 


මෙම ප්‍රේම සම්බන්ධතාව කෙළවර වන්නේ සාරා මුස්ලිම් ආගම වැලඳගෙන හස්තුන් සමඟ විවාහයෙනි. 


ඒ පවුලේ අයගේ දැඩි විරෝධය මැද්දේ සාරාගේ පවුලේ අයට හොරෙන්ය. 


හිතුමතේට හස්තූන් නමැති තරුණයා සමඟ දීග ගිය සාරා නමැති දෙමළ තරුණියද අවසානයේ ජාතික තවුහිත් ජමාත් නමැති අන්තවාදී මුස්ලිම් සංවිධානයට එක්වූවාය. 
කල්මුණේ, සයින්දමරුදු නිවසක සිදුවූ බෝම්බ පුපුරුවා ගැනීමේදී මියගිය 16 දෙනා අතර සාරාගේ සිරුරද තිබී පොලිසියට හමුවිය. 


ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ මෙම රහසිගත නිවාසය ආරක්ෂක හමුදා වටලද්දී එහි සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ඔවුන් ළඟ තිබූ බෝම්බ පුපුරවා ගැනීමෙන් නිවසේ සිටි 16 දෙනෙක් මියගිය අතර ජීවිතය බේරා තිබුණේ එහි සංවිධානයේ නායකයා බව කියන මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන්ගේ බිරිය වන අබ්දුල් කාදර් ෆාතිමා සාදියා හෙවත් සිත්තියා (24) සහ ඔවුන්ගේ කුඩා දියණිය පමණකි. 

 

 

 


සහරාන්ගේ බිරිඳ සිත්තියා අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසිය ඇයගෙන් ප්‍රකාශයක් ලබාගත් අතර එහිදී සාරා නමැත්තියක් ගැනද ඇය දන්නා තොරතුරු හෙළිකර ඇත. 


නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ විශේෂ උපදෙස් මත අම්පාර විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කරන ලද ප්‍රශ්න කිරීම හමුවේ සිත්තියා මෙසේ පවසා ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් දන්වා තිබේ. 


“මම මුලින්ම සාරා දැක්කේ 2014 වසරේ ජාතික තවුහිත් ජමාත් පල්ලියේදී (N.T.J.) සාරා ඇය ගැන විස්තර මට පවසා තිබෙනවා. අපි හොඳම මිතුරියෝ බවට පත්වුණා. එනිසායි සරාගේ පෞද්ගලික විස්තර මට කිව්වේ. සාරා දමිළ තරුණියක්. පදිංචිවෙලා හිටියේ කලවංචිකුඩි ප්‍රදේශයේ. එයාගේ මුල් නම පුලස්තනි මහේන්ද්‍රන්. මම සාරාගේ ඇසුවා ඔයා කොහොමද එන්.ටී.ජේ. එකට සම්බන්ධ වුණේ කියා. බයෝ සයන්ස් කරන්න කල්මුණේට ක්ලාස් යනවා. ඒ කල්මුණේ ක්ලාස් යන කාලයේ සාරා ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලාගෙන තිබෙනවා. ඒ නම්බර් එකට කතාකරද්දී ඒ සංවිධානයට බැඳෙන්න කැමතියි කියා තිබෙනවා. ඇය මුලින්ම ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානයට තමා බැඳිලා තියෙන්නේ. 


ඒ මොහොතේ සාරාගේ මව අබුඩාබි රටේ ඉඳලා තියෙන්නේ. ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානයට සාරා බැඳෙන්න කලින් ඒ බව අබුඩාබිවල ඉන්න ඇයගේ මවට කතා කරලා කියලා. මේ කතාව අහලා සාරාගේ අම්මාට හොඳටම තරහා ගිහින් සාරාට බැනලා තියෙනවා. ශ්‍රී ලංකා තවුහිත් ජමාත් එකට බැඳුණොත් මම වස බොනවා කියා සාරාගේ මව ඇයට කියා තිබෙනවා. මුස්ලිම් ආගමට ආවාට පස්සේ තමා එයා සාරා ජෙස්මින් කියා නම පාවිච්චි කරලා තියෙන්නේ. මුස්ලිම් ආගමට ගියාට පස්සේ එයා කොළඹ ගිහින් තිබෙනවා. සාරා මුස්ලිම් ආගමට ගිය බව දැනගත් සාරාගේ මව ලංකාවට ඇවිත් සාරාව හොයාගෙන කොළඹ ගිහින් ගෙදර එක්කරගෙන ඇවිත් තිබෙනවා. 
සාරාගේ අම්මාට මේ කාලයේ අසනීපවෙලා සාරා එයාට මඩකළපුවේ රෝහලක බෙහෙත් ගන්න ඇවිත් තිබෙනවා. අම්මාව රෝහලට ඇතුළත් කරලා ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ කට්ටියක් එක්ක වෑන් එකකින් ආයෙත් කොළඹ ගිහින්. ඊට පස්සේ තමා හස්තුන් එක්ක විවාහවෙලා තියෙන්නේ. මේ කසාදයට හස්තුන්ගේ පවුලේ අයත් අකමැතිවෙලා තිබෙනවා. දෙමළ කෙල්ලෙක් අපේ ගෙදරට එක්ක එන්න එපා කියා හස්තුන්ට ගෙදරින් බැනලා. 2015 වසරේ තමා දෙන්නා කසාද බැඳලා තියෙන්නේ. ඊට පස්සේ සාරා හා හස්තුන් මල්වානේ පැත්තේ ගෙයක් කුලියට අරගෙන ඒ ගෙදර පදිංචියට ගිහින් තියෙනවා. වෙන ආගමකින් ආපු කෙනෙක් කියා ඇයට ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානයෙන් උදව් උපකාර කර තිබෙනවා. 


සාරා කසාද බැන්දා කියා දැනගත්තාට පස්සේ එයාගේ අම්මා ආයෙත් අබුඩාබිවලට ගිහින් තිබෙනවා. සාරා හා එයාගේ අම්මා දුරකථනයෙන් කතා කර සම්බන්ධකම් පවත්වා තිබෙනවා. කතා කරපු අවස්ථාවක සාරාට එයාගේ අම්මා කියා තිබෙනවා ඔය දෙන්නව මම අබුඩාබිවලට ගන්නම්, පාස්පෝට් කොපි දෙක එක්ක එවන්න කියා. ඊට පස්සේ දෙන්නාගේම පාස්පෝට් කොපි දෙක යවා තිබෙනවා. ටික කාලයකට පස්සේ සාරාට විතරක් අබුඩාබි යන්න ටිකට් එක එවලා තියෙනවා. හස්තුන්ට අබුඩාබි යන්න ටිකට් එක එව්වේ නැත්තේ ඇයි කියා සාරා අම්මාගෙන් අහපු වෙලාවේ දෙවනුව එයා ගෙන්වා ගන්නම් කියා තිබෙනවා. සාරා ඊට පස්සේ අබුඩාබිවලට ගිහින් ඒ රටේ මුස්ලිම් කාර්යාලයක ජොබ් එකක් අම්මා හදලා දීලා තිබෙනවා. 


අබුඩාබිවල ඉඳගෙන සාරා නිතරම හස්තුන් එක්ක දුරකථනයෙන් කතාබහකර තිබෙනවා. සාරාගේ අම්මා හස්තුන්ව අබුඩාබිවලට ගෙන්වා ගත්තේ නැති නිසා සාරා ලංකාවට එන්න හස්තුන් එක්ක කතා කරලා ප්ලෑන් කරගෙන. දෙන්නගේ ඒ ප්ලෑන් එකට අනුව සාරා එයාගේ අම්මාට හොරෙන් අබුඩාබිවල ඉදලා ලංකාවට ඇවිත් තිබෙනවා. මේ බව දැනගත්තට පස්සේ සාරාගේ අම්මා සාරාගේ මාමාට කතා කරලා මේ විස්තරේ කියා තිබෙනවා. සාරාගේ මාමා කටුනායක එයාර්පෝර්ට් එකට ඇවිත් සාරාව අල්වාගෙන කලවංඩිකුඩිවලට එක්කරගෙන ගිහින් තියෙනවා. හස්තුන් සහරාන් එක්ක කාත්තන්කුඩි පොලිසියට ගිහින් මේ ගැන පැමිණිලි කරලා. 


පැමිණිල්ල විභාග කරන්න සාරාව පොලිසියට කැඳවා තිබෙනවා. නීත්‍යනුකූලව කසාද බැඳලා ඉන්න දෙන්නව එකට එකතු කරන්න කියා ඉල්ලීමක් කරලා තමා හස්තුන් පොලිසියට පැමිණිලිකර තියෙන්නේ. පැමිණිල්ල විභාග කරන්න සාරා පොලිසියට ඇවිත් තියෙන්නේ එයාගේ පුංචි කෙනෙක් එක්ක. සාරා පොලිසියේදී හස්තුන්ව පෙන්නලා මේ ඉන්නේ මම කසාඳ බැඳපු එක්කෙනා, මම එයත් එක්ක යනවා, මම ආයෙත් ගෙදර යන්නේ නැහැ කියා. මේ පැමිණිල්ල විභාගකර තියෙන්නේ 2016 පෙබරවාරි මාසයේ කියා තමා සාරා මාත් එක්ක කිව්වේ. මේ වෙනකොට හස්තුන් ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානයෙන් අයින්වෙලා ජාතික තවුහිත් ජමාත් සංවිධානයට එකතුවෙලා ඉදලා තමා තියෙන්නේ. සාරා හා හස්තුන් පොලිසියේ පැමිණිලි විභාගයෙන් පස්සේ ජාතික තවුහිත් ජමාත් පල්ලියකට ගිහින්. එකේ ඉන්න අයට මේ විස්තරේ කියා තිබෙනවා. ඒ පල්ලියේ අය සාරාට හා හස්තුන්ට ගෙයක් හොයලා දීලා තිබෙනවා. 2017 වසරේදී තමා මේ දෙන්නා නාරම්මල කැකුණගොල්ලේ අපේ මහගෙදර හොයාගෙන ආවේ. අපේ ඉඩමේ තියන පොඩි ගෙදරක සාරාට හා හස්තුන්ට නවතින්න පහසුකම් හදලා දුන්නා. 


කතෝලික පල්ලිවලට විතරක් නොවේ, පන්සලවලත් බෝම්බ පුපුරවන්න ඕනෑ කියා සාරා මාත් එක්ක කියා තිබෙනවා යැයිද ඇය පවසා තිබේ. 


කල්මුණේ, සයින්දමරුදු නිවසක සඟවා සිටි ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් අපේ ආගමේ විරුද්ධවාදීන් කණ්ඩායමක් ගේ වටලා ඇති බවත් උන් ඔක්කෝටම හොඳ පාඩමක් උගන්නනවා කියා බෝම්බ පුපුරුවාගත් ආකාරයත් සහරාන්ගේ බිරිය පොලිසියට තොරතුරු හෙළිකර ඇත. 


ඒ ගැන කුරිරු ත්‍රස්තවාදියා වන සහරාන්ගේ බිරිය සිත්තියා මෙසේ පවසා තිබෙන බව පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. 


කල්මුණේ, සයින්දමරුදු අපි නැවතිලා හිටිය ගෙදර ඇතුළේ නිල් පාටට හුරු කූරු වර්ගයක් තියෙනවා මම දැක්කා. තව කඩු වගයක් තිබෙනු දුටුවා. වොෂින්මැෂින් එකක් ඩීප්ෆ්‍රීසර් එකක්ද තිබුණා. මම දැක්කා මීට කලින් දවසක ලොරියකින් බඩු වගයක් ගෙනත් බාලා ගිහින් තිබුණා. රිෂාඩ් ෆෝන් එකෙන් ගෙදර සාලේ වීඩියෝ කරමින් සිටියා. ෂයිනියි රිල්වනුයි රිල්වන්ගේ තාත්තයි අපේ ආගමට විරුද්ධ අය අපිව වටකරලා ඉන්නවා, අපිව අල්ලන්න එනවා, අපිව අල්ලන්න ආවොත් හොඳ පාඩමක් උගන්වනවා කියා ඔවුන් පවසනවා මට ඇසුණා. රිෂාඩ් ටින් එකක් වාගේ දෙයක් අතේ තියාගෙන ඉන්නවාත් මම දැක්කා. 


මම ඇඟ හෝදගෙන ඇවිත් ආගම කියන්න හිතාගෙන බාත්රූම් එකට ගියා. මම බාත්රූම් එකට යනකොට මගේ දූවරු දෙන්නත් ටවල් එකක් ඇඳගෙන මාත් එක්කම බාත්රූම් එකට ආවා. අතින් අය ඔක්කොම හිටියේ සාලයට වෙලා. මම දුවත් එක්ක බාත්රූම් එකේ ඉන්න වෙලාවේ වෙඩි ශබ්දයක් ඇසුණා. එතකොට ගෙදර අයයි ළමයි ටික හයියෙන් කෑගහනවාත් මට ඇසුණා. මම බාත්රූම් එකේ ඉන්න අවස්ථාවේ මගේ පුතා මුවාසික් උම්මා උම්මා කියා කතා කරනවා ඇහුණා. බාත්රූම් එකේ ඉඳලා කාමරයට යන අවස්ථාවේ සාලේ ලොකු පිපිරීම් ශබ්දයක් ඇහුණා. ඒ පිපිරීම් ශබ්දයත් එක්ක සාලේ පුපුරලා ගිනිගත්තා. ඒ ශබ්දයත් එක්ක මාව බිම ඇදගෙන වැටුණා. මගේ කන්දෙක ඇහෙන්නැතිව ගියා. ඒ වෙනකොට දුව මගේ අතේ එල්ලී සිටියා. මම ඇදගෙන වැටෙනවා මතකයි. ඊට පස්සේ වෙච්චි දේවල් ගැන මට මතක නැහැ. සිහිය එනකොට මම හිටියේ රෝහලේ, ඇය කියා ඇත. 
බෝම්බය පුපුරායාමත් එක්කම එහි ආවේ කල්මුණේ පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත් සහ කල්මුණේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් ජයනෙත්ති යන මහතුන් ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සයින්දමරුදු පිපිරීම සිදුවූ ස්ථානය බලා පිටත්ව ගියේ එය දැනගැනීමට ලැබුණු මොහොතේදීමය. 


ආපදා සහනසේවා පොලිස් කණ්ඩායමකට අයත් පොලිස් කොස්තාපල්වරුන් වන අසංක (63338), සුගත් (43536), චමින්ද (79129), සමීර (79528) සහ චන්දන (79528) යන මහත්වරුන් එහි ගියේ විපතට පත්වූවන් සිටින ඔවුන්ට සහන සැකසීම සඳහා අම්පාර කොට්ඨාසය බාර පොලිස් අධිකාරි සමන්ත විජේසේකර මහතාගේ උපදෙස් මතය. 
නිවසේ තුළ සිදුවූ බෝම්බ පිපිරීමෙන් තුවාල ලබා සිහිසුන්ව සිටි කාන්තාව (සිත්තියා) සහ කුඩා දරුවා වැටී සිටියදී සොයාගනු ලැබුවේ මෙම පොලිස් නිලධාරින් පස්දෙනා සහ යුදහමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරියෙකි. 


පොලිසිය හා යුද හමුදාව මැදිහත් වී කඩිනමින් මව සහ දියණිය රෝහලට ගෙනයාම නිසා ඔවුන් දෙදෙනාගේ ජීවිත බේරාගැනීමට හැකියාව ලැබී තිබුණි. 


ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු මියගොස් සිටි ස්ථානය ආසන්නයේ ලක්ෂ 10ක පමණ මුදලක් තිබී සොයාගෙන ඇත්තේ පොලිස් අධ්‍යක්ෂ ප්‍රියදර්ශන හේරත් මහතා විසිනි. අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඒ මුදල් නෝට්ටු තොගය පොලිස් බාරයට ගෙන ඇත. 


කල්මුණේ පොලිස් වසමේ මුස්ලිම් හා දමිළ ජාතිකයන් බහුල වශයෙන් සිටින පොලිස් බලප්‍රදේශයක් නිසා ඒ මේ සිද්ධිය මුල්කරගෙන ජාතිවාදී ගැටුම් වළක්වා ගැනීමට පොලිස් අධිකාරි හේරත් මහතා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයනෙත්ති මහතා වහාම කඩිනම් පියවර ගනු ලැබූහ. 


එහි ප්‍රතිඵලයක් වශයෙන් කල්මුණේ ප්‍රදේශය පුරා කිසිදු ගැටුමක් හෝ දේපොළ හානියක් සිදුනොවී සාමකාමී වාතාවරණයක් පවත්වාගෙන යාමට හැකිවී ඇත. 


නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ අම්පාර දිසාබාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්න මහතාගේ උපදෙස් මත අම්පාර කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර, අම්පාර පොලිස් අධිකාරි (01) දර්ශන සමන් සුරියආරච්චි සහ කල්මුණේ පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත් යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ අම්පාර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ලසන්ත දඩල්ලගේ සහ කල්මුණේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.

 

 

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය