මදු අටවා වනසතුන් අල්ලන ජාවාරම


 

වන සතුන් ඇල්ලීම සඳහා මදු ඇටවීම අතින් උඩරට වතුකරයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. වන සතුන් ඉලක්ක කරගනිමින් මෙසේ අටවන මදු හා විවිධ උගුල්වලට නිරන්තරයෙන් වනසතුන්ට අමතරව ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ශ්‍රී ලංකා කඳුකර කොටියන් අසුවීම මෙහි ඇති අසුන්දරම කතා පුවත වේ. 


මෙම වසර තුළදී පමණක් එසේ මදුවලට හසුව උඩරට වතුකරය හා ඒ ආශ්‍රිතව මිය ගිය කඳුකර කොටියන් ගණන හතරකි. කඳුකර කොටියන් හතර දෙනෙකු මදුවලට හසුව ජීවිතයත් මරණයත් අතර සටනකින් පසුව පණ ගැටගසා ගැනීමට හැකි වුයේද ගෙවී ගිය මාස කීපය තුළදීය. එහි අලුත්ම කතා පුවත වාර්තා වූයේ ඉකුත් 12 දින ගිනිගත්හේන පොලිස් බල ප්‍රදේශයට අයත් කෙනින්ලොත් වත්තේදීය. ඒ මදුවකට හසුව සිටි තවත් කඳුකර කොටියෙකු හමුවීමත් සමගය. මෙම වසර තුළදී කඳුකර කොටියන් හතර දෙනෙකුගේ ජීවත අහිමි වීමේ අසුන්දර කතා පුවත ඇතුළත ඉතාමත් සුවිශේෂ වූ කඳුකර කළු කොටියෙකුද වීම අතිශයම දුක්මුසු වූද හද කකියවන සුලු සිදුවීමක් විය. 


ශ්‍රී ලංකා කොටියා යනු ශ්‍රී ලංකාවේ වනාන්තරවල පමණක් දැකිය හැකි විලෝපීය ක්ෂීරපායි සතෙකි. දැනට ලොව සිටින කොටි විශේෂ අටෙන් එක උප විශේෂයක් ලෙස ශ්‍රී ලංකා කොටියා නම් කොට ඇත. මොවුන් සත්ත්ව විද්‍යාත්මකව පැන්තරා පාර්ඩුස් කොටියා යනුවෙන් හඳුන්වනු ලබයි. ශ්‍රී ලංකාවට පමණක් ආවේණික සත්ත්ව විශේෂයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකා කොටියා මෙරට තර්ජනයට ලක්ව වඳවී යමින් පවතින සත්ත්ව විශේෂයකි. 
උඩරට වතුකරයේ බොහෝ පිරිස් මෙලෙස මදු අටවන්නේ තම වගා බිම් වන සතුන්ගෙන් ආරක්ෂා කිරීමටය. ඊට අමතරව වන සතුන් මරා මස් විකිණීම පිණිස තවත් ඇතැම් පිරිසක් මෙසේ මදු හා උගුල් අටවති. ඒ අතර තවත් අතලොස්සක පිරිසක් කඳුකර කොටියන් හා හඳුන් දිවියන් ඉලක්ක කර ගනිමින්ම මදු හා උගුල් අටවති. ඉහත සඳහන් කුමණ ආකාරයකට මදු ඇටවුවද ඊට ගොදුරුවන කොටියන් ඇතුළු වන සතුන් මියයනුයේ ඉතාමත් දැඩි වේදනාත්මක මරණයක් උරුම කර ගනිමිනි. 


කළු කොටියා ඇතුළු කඳුකර කොටියන් රැසක් පසුගිය දිනවලදී මදු වලට හසුවීමත් සමග උඩරට වතුකරය තුළ කඳුකර කොටියන් බේරා ගැනීමේ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබීම අතිශය සතුට දනවන කටයුත්තකි. උඩරට වතුකරයේ අටවා තිබෙන මදු හා වෙනත් සත්ත්ව මර උගුල් ගැලවීම, වතු නිලධාරීන්, වතු කම්කරුවන් ඇතුළු එම ප්‍රදේශයන්ගේ ගම් වැසියන් දැනුම්වත් කිරීම මේ අතර ප්‍රධාන තැනක් ගනී. 


කිසියම් කාලයක් ගතවී හෝ මෙවැනි ක්‍රියාවක් සිදු කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගැනීම පිළිබඳව ඇත්තේ සතුටකි. වර්තමාන වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා උඩරට වතුකරයේ කඳුකර කොටියන් මදුවලට හා විවිධ උගුල්වලට හසුවීම කෙරෙහි අවධානය යොමු කිරීම පිළිබඳව උඩරට පරිසර සංගම් සිය ස්තුතිය පුද කරන බව පවසයි. 


මදු හා මර උගුල් ගැලවීමේ රාජකාරියේ යෙදී සිටි වනජීවී නිලධාරීන් විසින් පුස්සැල්ලාව, සොගමා තේ වතුයායේ පමණක් අටවා තිබු මදු 50 කට අධික ප්‍රමාණයක් හා විවිධ සත්ත්ව මර උගුල් රාශියක් එක දිනයකදී ගලවා ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි. පුස්සැල්ලාව, හෙල්‌බොඩ වතුයායේ අටවා තිබූ මදුවලට කඳුකර කොටියන් දෙදෙනෙකු එකම දිනක එකම ස්ථානයේ හසුවූ අතර, ඉන් එක කොටියෙකු මිය ගොස් සිටි අතර, අමානුෂික වධ වේදනා විඳ ජීවිතයත් මරණයත් අතර පසු වූ අනෙක් කොටියාගේ පණ ගලවා ගැනීමට වනජීවී නිලධාරීන්ට හා පශු වෛද්‍යවරුන්ට හැකිවිය. 
කොටි හා මිනිසුන් අතර ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විශේෂ කරුණු කීපයක් කෙරෙහි මේ වනවිට අවධානය යොමු කොට තිබීම කාලීන වැදගත් ක්‍රියාවක් ලෙස සැලැකිය හැක. ඒ අනුව බහුල වශයෙන් කඳුකර කොටියන් අනතුරට හෝ මරණයට පත්වෙන ප්‍රදේශවලට වැඩි ප්‍රමුඛතාවක් ගෙන දෙමින් වතු ජනතාව හා වතු නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. විශේෂයෙන්ම සිරිපා අඩවියේ මෙන්ම පුස්සැල්ලාව, කඳපොළ, ආගරපතන ආදී වතුකරයේ මේ වනවිටත් එවැනි දැනුම්වත් කිරීම් සිදු කොට තිබේ. එසේම මෙම වැඩසටහන උඩරට වතුකරයේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි වරින්වර අඛණ්ඩව සිදු කර ගෙන යාම කාලෝචිත බව උඩරට පරිසර සංගම් පෙන්වා දෙයි. 
වන සතුන් හා කොටියන් ඇල්ලීම සඳහා මදු හා උගුල් ඇටවීම හා වෙනත් උපක්‍රම භාවිත කරනු ලබන ප්‍රදේශයන්ගේ මදු හා උගුල් ගලවා ඉවත් කිරීමේ වැඩසටහනක්ද වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තු මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතී. එයද ඉතාමත් කාලෝචිත මෙන්ම සිදුවියම යුතු කරුණක් ලෙස දැක්විය හැක. එහෙත් මෙම කටයුත්ත සිදු කිරීමට විශාල මිනිස් ශ්‍රමයක් අවැසිය. එය හුදෙක්ම වනජීවී දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ට පමණක් තනිව සිදු කළ හැකි ක්‍රියාවක් නොවෙන බව පෙනේ. ඊට මහජන සහාය මෙන්ම විවිධ සංවිධාන, ඒ ඒ ප්‍රදේශයන්ගේ හමුදා හා සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන්ද යොදවා ගැනීමට හැකියාව ඇත්නම් උඩරට වතුකරයේ මෙකී මදු හා උගුල් ගැලවීම තවදුරටත් සාර්ථක කර ගත හැක. මදු ගලවන ප්‍රමාණයට සරිලන සේ නැවැත මදු ඇටවීමද උඩරට වතුකරයේ සිදු කරමින් පවතින බවද වනජීවී නිලධාරීන්ගේ මතය වී තිබේ. 


උඩරට වතුකරයේ කඳුකර කොටින්ට හා වෙනත් වන සතුන්ට සිදුවන හානියක් කඩිනමින් දැනුම්දීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීම හා ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම වටිනා කටයුත්තකි. මදුවලට හසුවන කඳුකර කොටියන්ගෙන් වැඩි ප්‍රමාණයක් මියයනුයේ එම සතා වැඩි කාලවේලාක් මදුවට හසුව දඟලමින් සිටීම හේතුවෙනි. එම තත්ත්වය අවම කර ගැනීමට වනජීවී දෙපාර්තුමේන්තුවේ දැනට ඇති 1992 කෙටි හදිසි දුරකතන අංකය පිළිබඳව වඩාත් පුළුල් ප්‍රචාරයක් වතුකරයේ ජනතාවට ලබාදිය යුතුව තිබේ. බොහෝ පිරිසක් එවැනි දුරකතන අංකයක් තිබේද යන්න පිළිබඳව පවා නොදනී. 
කොටි සම්බන්ධයෙන් දත්ත හා තොරතුරු එක් රැස් කිරීමට ජංගම දුරකතනවලට පිළියෙල කරන ලද යෙදවුමක් මහජනතාවට භාවිත කිරීමට ඉඩ සැලැසීම වටිනා දෙයකි. එවැනි යෙදවුමක් නිර්මාණය කොට පරීක්ෂණ මට්ටමේ පවතින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. එය කඩිනම් කිරීමට පියවර ගැනීමට වගකිවයුතු අංශවල අවධානය යොමු විය යුතුය. 


ඊට අමතරව මදුවලට හසුවන කොටියන් බේරා ගැනීමට වනජීවී නිලධාරීන්ට ප්‍රමාණවත් තරම් අවශ්‍ය කරනු ලබන උපකරණ හා මෙවලම් උඩරට වතුකරය ආශ්‍රිත වනජීවී කාර්යාලයන්ට ලබාදිය යුතුය. පසුගිය දිනවල උඩරට වතුකරයේ මදුවලට හසුව සිටි කඳුකර කොටියන් බේරා ගැනීමට යාමේදී වනජීවී නිලධාරීන් විවිධ දුෂ්කරතාවලට හා චෝදනාවන්ට ලක්වීමට සිදුවූයේ මෙවැනි ගැටලු හේතුවෙනි. ප්‍රතිකාර සඳහා රැගෙන යන ලද කඳුකර කොටියන් කීප දෙනෙකු අකාලයේ මිය යන ලද්දේ වනජීවී නිලධාරීන්ද විවිධ දෝෂාරෝපණවලට ලක්වෙමිනි. එසේම කොටියන් සම්බන්ධයෙන් පමණක් රාජකාරී කටයුතු සිදු කිරීමට උඩරට වතුකරය ආශ්‍රිතව පුහුණුවලත් වනජීවී නිලධාරී කාර්යමණ්ඩලයක් කඩිනමින් ස්ථාපිත කළ යුතුව තිබේ. 
උඩරට වතුකරයේ සිදුකරනු ලබන වතු කම්කරුවන් දැනුවත් කිරීමේදී ද්‍රවිඩ භාෂාව භාවිතා කරමින් එකී දැනුම්වත් කිරීම් සිදු කිරීම මෙන්ම වතු අධිකාරීවරුන් හා වතු නිලධාරීන් දැනුවත් කොට ඔවුන් මෙම ක්‍රියාවන්ට සෘජුවම වගකියනු ලබන ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගත යුතුව ඇත. වතු ඇතුළත මදු අටවන හා විවිධ උගුල් අටවන පුද්ගලයන් අල්ලා ගැනීම වතු අභ්‍යන්තර පුද්ගලයන් හරහා සිදු කිරීම එමගින් සිදු කළ හැක. එසේම එවැනි පුද්ගලයන්ට එරෙහිව වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව අධිකරණයට යොමු කොට විශාල දඩ මුදල්වලට හා දිගු කාලීන සිර දඩුවම්වලට ලක් කිරීමට හැකියාව පවතී. 

 

අටවා තිබූ මදු රැගෙන යමින්...

වනජීවී භාරයට ගත් මදු හා උගුල්

 

වතු කම්කරුවන් කොටියන් ඉලක්ක කරගනිමින් මදු ඇටවීමට පියවර ගන්නා එක් හේතුවක් වී ඇත්තේ ඔවුන් ඇති කරනු ලබන කුකුළන්, ගවයන්, එළුවන් මෙන්ම බල්ලන් වැනි සුරතල් සතුන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින්ය. උඩරට වතුකරයේ වනෝද්‍යානයන් මායිම්වල පිහිටි බොහෝ වතුවලට පැමිණෙන කඳුකර කොටියන් හා හඳුන් දිවියෝ වතු කම්කරුවන්ගේ ගෘහාශ්‍රිතව ඇති කරනු ලබන සතුන් අල්ලා ආහාරයට ගැනීමට පෙළෙඹී සිටිති. එම සතුන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බොහෝ වතු කම්කරුවන් මදු හා විවිධ උගුල් අටවන බවට තොරතුරු ලැබී තිබේ. 


එබැවින් කොටියන්ගෙන් ආරක්ෂා විය හැකි ආකාරය මෙන්ම ගෘහාශ්‍රිත සතුන් කොටියන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ උපක්‍රම ආදිය පිළිබඳවද වතු කම්කරුවන් දැනුවත් කිරීමට පියවර ගැනීම කාලෝචිතය. වතු කම්කරුවන්ගේ සිත් තුළ පැලපැදියම්ව ඇති කොටි භීතිකාව හා කොටියන් පිළිබඳව ඔවුන්ගේ සිත්වල ගොඩ නැගී ඇති විවිධ වැරදි සහගත ආකල්ප ඉවත් කිරීමේ වැඩසටහන් නිරන්තරයෙන් වතුකරය තුළ ක්‍රියාත්මක කිරීම කොටි මිනිස් ගැටුම අවම කිරීමට හැකියාව ඇති තවත් එක් ප්‍රබල කටයුත්තක් බව උඩරට පරිසර සංගම් නිලධාරීහු පෙන්වා දෙති.

 

 

තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ