බෝම්බ විපත් මැද උතුරේ සැමරූ ජන සංහාර සතිය


 

 

දශක තුනක පමණ කාලයක් උතුරු නැගෙනහිර කේන්ද්‍ර කර ගනිමින් මුළු මහත් ලක් ධරණී තලයම මෙතෙකැයි කියා නිම කළ නොහැකි අවස්ථා ගණනකදී ලෙයින් තෙත් කළ කොටි ත්‍රස්තවාදීන් පරාජයකොට වසර දහයක් සපිරුණේ ඉකුත් 18 වැනි දාටයි. එනම් නූතන නිදහස් දිනය ලෙසට හඳුන්වනු ලබන මැයි 18 වැනි දාටයි. 


කොටි ත්‍රස්තයින්ගේ ක්‍රියාකාරකම් යුදමය වශයෙන් පරාජය කර වසර දහයක් සපිරුණද ඔවුන් වෙනුවෙන් කඳුළු සලන අවස්ථාවාදී ජාතිවාදී දේශපාලකයන් නම් උතුරු පළාතේ අඩුවක් නොවේ. සැබවින්ම ඔවුන්ට අවැසි ජාතිවාදය මතින් දමිළ ඡන්ද ගොඩ වැඩිකරගැනීම බව මේ වන විට නොරහසකි. ඒ නිසාම ඔවුහු මෙරට සිංහල දමිළ හා මුස්ලිම් ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ හසර සැලසූ ආරක්ෂක හමුදාවන්ට චෝදනා පිට චෝදනා නගමින් රට යළිත් දශක තුනක් පුරා පැවති අරාජිකත්වයට ගෙන යෑමට උත්සාහ දරති. 


සැබවින්ම යුද්ධයෙන් බැටකෑ පිරිස අතර දමිළ ජනතාව සිටින්නේ ප්‍රමුඛස්ථානයේය. එනම් කොටි ත්‍රස්තවාදීන් නිසාවෙන් ඔවුන්ගේ දූ දරුවන්ට අධ්‍යාපන අයිතිය අහිමි විය. ඔවුන්ගේ ජීවන වෘත්තීන් අහිමි විය. කොටින්ම නිදහසේ ජීවත් වීමේ අයිතිය අහිමි විය. මෙම ත්‍රස්තයින් සිය දු දරුවන් බලෙන් රැගෙන ගිය බවට චෝදනා කරමින් තම දරු දැරියන්ට සිදු වු ඉරණම පිළිබද විමසන මව්පියෝ උතුරේ තවමත් සිටිති. අහම්බෙන් මෙන් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී හමුවු ධර්මලිංගම් දයාබරන් මහතා පැවසුවේ ඉතා දුක්ඛිත කථාවකි. 


‘‘මගේ පුතා කොටි පැහැර ගෙන ගියා එවකට හැම පවුලකින්ම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කොටි සංවිධානයට එක් අයෙකු බැ​ඳෙන්න ඕනෑ නැත්තම් බලෙන් අරන් යනවා ඒ විදියට තමයි මගේ පුතාව අරන් ගියේ. කොහොම හරි අද වෙනකොට පුතා ගැන තොරතුරක් නෑ මම කියන්නේ මගේ පුතා යුද්දෙට බලෙන් අරන් ගිය කොටි තමයි මගේ පුතා අතුරුදන් වීම ගැන වග කියන්න ඕනෑ.

 
එයා අරන් යනකොට වයස අවුරුදු 25 යි. මගේ පුතාගේ නම දර්ශන්. මේ ප්‍රදේශවල ඒ දවස්වල ජගන් කියලා කොටි නායකයෙක් හිටියා. එයා විතරක් නෙමෙයි එළිලන් කියන කොටි නායකයත් කළේ බලෙන් අපේ ළමයි යුද්දෙට අරන් ගිය එක. අපි මේ ප්‍රදේශවල ජීවත් වුණ නිසා අපි දන්නවා යුද්දෙ කාලේ අපි ගෙවපු ජීවිතය කුමක්ද කියන එක” ඔහු කියයි. 
මෙහිදී විමසිය යුතු ප්‍රධානතම කරුණක් තිබේ එනම් අද වන විට යුද හමුදාවට චෝදනා කරමින් දේශපාලන කටයුතුවල නිරත වන හිටපු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දී සශිදරන් මහත්මිය පිළිබඳවයි. මෙම ජනතාව චෝදනා කරන ලෙසට ඔවුන්ගේ දරුවන් පැහැර ගැනීමට දායක වූ කොටි ත්‍රස්තවාදී නායකයින් අතර ප්‍රධානියකු වන්නේ එළිලන් නමැති ත්‍රස්තවාදියායි. ඔහු බොහෝ දමිළ මව්පියන්ට සිය දූ දරුවන් අහිමිකොට අවසන් බවට එම ප්‍රදේශ වල බොහෝ දෙනා සාක්ෂි දරති. ඒ එළිලන් යනු ආනන්දි ශෂිදරන් මහත්මියගේ ස්වාමිපුරුෂයායි. සැබවින්ම දමිළ මිනිසුන්ගේ ජීවන අයිතීන් උල්ලංඝනය කොට ඇත්තේ ආනන්දී මහත්මියගේ ස්වාමිපුරුෂයා බවට මෙම චෝදනා පසක් කර දෙන මුත් ඇය මෙසේ කිඹුල් කඳුළු හෙළමින් සිදු කරනුයේ ජාතිවාදී දේශපාලනයක් බවත් ඇය එසේ තම ස්වාමියා විසින් බලහත්කාරයෙන් කොටි ත්‍රස්ත ක්‍රියා සඳහා යොදවාගෙන ජීවිතයෙන් වන්දී ගෙව් දමිළ දරු දැරියන්ගේ හා තරුණ තරුණියන්ගේ පවුල්වලට දෙනු ලබන පිළිතුර කුමක්ද යන්න පිළිබඳව දමිළ සමාජයම ඇයගෙන් ප්‍රශ්න කළ යුතු නොවේද? 
මෙකී සිදුවීම් මෙසේ සිදුවුවද ඔවුන් මැයි 18 ජන සංහාරයක් සිදුවු බවට පවසමින් පසුගිය මැයි මස 12 වැනිදා සිට උතුරු පළාතේ ජනසංහාර සතියක් ප්‍රකාශයට පත් කරන ලදි. එහි ප්‍රධානියා වූයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතායි කරුණු එසේ වුවද මහජනතාව දරන මතයට අනුව නම් ජන සංහාරය යාපනය නගරාධිපති ඒ. දොරෙයිඅප්පා ඝාතනය සිදු වූ දා සිට ප්‍රභාකරන් නන්දිකඩාල් කළපුවේ මැරී වැටෙන තෙක්ම කොටින් විසින් සිදු කරන ලදි එයට සිංහල දමිළ හෝ මුස්ලීම් වශයෙන් භේද නොතිබුණු බවට ඉතිහාසය සාක්ෂි දරනු ලබයි. 

 

 


නමුත් මෙවර උතුරේ දමිළ දේශපාලන හයිය මත මෙම ජනසංහාර දිනය වශයෙන් මැයි 18 වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී සමරන ලදි. එහිදී ඔවුන් විසින් මියගිය පිරිස් සමරනු ලැබිණ. රටේ පවතින අනාරක්ෂිත භාවය මත එම ස්ථානවලට රැස්වූ ජනතාවටද ආරක්ෂාව සැපයීමේ වගකීම ආරක්ෂක අංශ විසින් නොපිරිහෙළා ඉටු කිරීම පැසසුමට ලක් විය යුතුය. 


කෙසේ වෙතත් මෙහිදී කොටි ත්‍රස්තයින් සිය සිහින ඊළාම් රාජ්‍යය ලෙස නම්කොට තිබු ප්‍රදේශ දැක්වෙන සිතියම් සහිත බැනර් ප්‍රදර්ශනය කරමින් වවුනියාව දිස්ත්‍රික්කයේ හින්දු කෝවිලක සැමරුම් උත්සව පැවැත්වීම පිළිබද විමසිය යුතු වන්නේ මේ රට මේ වන විටත් ඒකීය රටක් වන බැවිනි. 


නන්දිකඩාල් කළපුවේදී හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ටී. රවිහරන් මහතා විසින් පුෂ්පෝපහාර දක්වමින් පිං අනුමෝදන් කළේ සැබවින්ම මිය ගිය දමිළ ජනතාව වෙනුවෙන් බව නම් සිතිය නොහැකි තරම් වන්නේ නන්දිකඩාල් කළපුවේදී කොටි ත්‍රස්තවාදී නායකයා ඇතුළු ත්‍රස්තවාදීන් මිය ගිය බැවිනි. නමුත් ඔහු මැයි 18 එනම් වසර තිහක් මෙරට ශාපය වු ප්‍රභාකරන් නමැති ත්‍රස්තවාදියා මිය ගිය දිනයේ එහි ගොස් පහන් දල්වා අාගමික වතාවත් සිදුකරමින් සිය කටයුතු සිදු කරන ලදි. 


සාමාන්‍ය දමිළ ජනතාවට අවැසි දැන් මෙය නොවන වග දෙමළ දේශපාලකයින් වටහා ගත යුතු කාලය එළැඹි තිබේ. ඔවුන්ගෙන් බොහෝමයක් වසර තිහක් ආපස්සට ගොස් සිටිති. ඔවුන් නගා සිටුවිය යුතු කාලය එළඹ තිබේ. අනෙක් අතට වෙනත් රටක සිට ජාතිය පිළිබඳ කතා කරන දමිළ පිරිස්වලට වඩා මෙරට ජිවත් වන පිරිස්වල ඉල්ලීම් පිළිබඳ ඇහුම්කන් දිය යුතුව තිබේ. කිලිනොච්චියට ගංවතුර පැමිණි වේලේ යුද හමුදාව සිය වගකීම නිසි පරිදී ඉටු කරමින් එම ජනතාවට අමිල මෙහෙවරක් ඉටු කළ අයුරු අපි දුටුවෙමු. 
එපමණක් නොව යුද හමුදා සිය යුතුකම් දමිළ සිංහල හෝ මුස්ලිම් භේදයකින් තොරව මැනවින් උතුරු පළාත තුළ සිදු කළ අවස්ථා අනන්තය. බටහිර රටවල තම පුරවැසි භාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් හෝ වෙනත් අරමුණු වෙනුවෙන් දමිළ ජනතාව තව තවත් අසරණ නොකොට මේ රටේ සියලු ජාතීන්ට එකට ජීවත් වීමට ඉඩකඩ දැන් හෝ සකසා දීමට උතුරේ දේශපාලකයින් කටයුතු කළ යුතුව තිබේ.

 

මගේ පුතා පැහැරගෙන ගියේ එදා කොටි නායකයෙකුවූ එලීලන්
- දර්මලිංගම් දයාබරන්

ජනසංහාර සතිය සැමරූ අවස්ථා

 

 

 

සටහන ඡායාරූප : 
යාපනය ප්‍රදීප් කුමාර