බුදුබව පැතීම අත්හළ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි සෝවාන් වූ හැටි


 නුතන සෝතාපන්නයන්ගේ අත්දැකීම්

 

නූතන යුගයේ සෝතාපන්නයන් ගැන ලිවීමේදී අපට නොලියාම බැරි චරිතයක් වන්නේ විද්‍යොදය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයෙකු වූ ද, එහි මහායාන බෞද්ධ ධර්මාංශයෙහි ප‍්‍රමුඛාචාර්යවරයා වූද සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ ප‍්‍රථම මහානායකවරයා වූද, බුද්ධ ජයන්ති ත‍්‍රිපිටක පරිවර්තක මණ්ඩලයේ සභාපතිවරයා වූද, බුරුම රජය මගින් අභිධජමහාරට්ඨගුරු නාම සම්මුතිය සහිතව සංඝරාජ ධුරයෙන් පුදනු ලැබුවා වූද, අග්ගමහාපණ්ඩිත, මහාචාර්ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්ථවිර පාදයන් වහන්සේ පිළිබඳවයි. පරමාදර්ශී නොකිළිටි චරිතයත්, අප‍්‍රමේය සිල් ගුණ කඳත් නිසා ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ සමීප අතීතයේ අසාමාන්‍ය භික්ෂු පෞරුෂයක් වූහ.  


ශ‍්‍රී ලංකාවේ ඉතාම ජනප‍්‍රිය බෞද්ධ කෘතියක් වන ‘බුදු හාමුදුරුවෝ’ නම් ග‍්‍රන්ථය ලියූ ගණේගම සරණංකර නාහිමියන් එය පිළිගන්වා ඇත්තේ ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ටය. නිර්මාණශීලී අපූරු රචනා ශෛලියක් තිබූ වියත් ලේඛකයෙකු වූ ගණේගම සරණංකර නාහිමියන් එහි සටහන් කරන්නේ ”මාර්ගඵල ප‍්‍රාප්ත මහ තෙරවරයෙකු බඳු උතුම් ගුණධර්ම රාශියකින් හෙබි බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ට සිය කෘතිය පිරිනමන බව” ය. එයින් පෙනී යන්නේ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ ශ‍්‍රමණ පුණ්ඩරීකයක් බඳු පද්මාකාර ජීවිතය නිසා බොහෝ දෙනෙකු තුළ උන්වහන්සේ මාර්ගඵලප‍්‍රාප්ත මහ තෙරනමක යැයි හැඟීමක් ඇතිව තිබූ බවය.  


මෛත‍්‍රී සහගත මනෝභාවය භාවිත, බහුලීකෘත, යානීකෘත, අනුට්ඨිත, පරිචිත වශයෙන් වඩා තිබූ හෙයින් ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ අමුතු ප‍්‍රභාෂ්වරයකින් යුතු වූහ. ‘නුවණට අධිපති ගිණිසුරුගේ මෙන් පුළුල් කන් සඟලකින්, දාර්ශනිකයෙකුගේ බැල්ම රඳවා ගත් නෙතින් හා උස්වූ නැහැයෙන් ශෝභමාන උන්වහන්සේ ගාන්ධාර මූර්ති කලාව අනුව නෙලන ලද ග‍්‍රීක දාර්ශනිකයෙකුගේ රූපයට බඳු හැඩයකින් යුක්ත වූ බව, ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහයෝ සටහන් කළහ. ගුණදාස ලියනගේ මහතා කල්පනා සඟරාවෙහි කවරයේ කතාව ලියමින් උන්වහන්සේ නිර්ලෝභීව හඳුන්වන්නේ ”බළන්ගොඩින් ගලා බස්නා මෛත‍්‍රී ගංගාව” යන අපූර්ව සිරස්තලයෙනි. 


 කවරෙකු කවර විවේචන පළ කළත් මෑත භාගයේ පිළිවෙත් සරු මහා යතිවරු රාශියක් ශ‍්‍රී ලංකාවේ පහල වූහ. එ් නිසාම අල්පාබාධ සහිතව, නිරෝග ීව, දීර්ඝායුෂ්කව දිවි ගෙවූහ. රාමඤ්ඤ නිකායේ මහානායකව වැඩ සිටි වේවැල්දෙණියේ මේධාලංකාර මහනාහිමියෝ වසර 104ක් දීර්ඝායුෂ භුක්ති වින්දහ. අමරපුර මහානිකායේ උත්තරීතර මහානායකව වැඩ සිටි දවුල්දෙන ඥණිස්සර මහනාහිමියෝ වසර 103ක් දිර්ඝායුෂ භුක්ති වින්දහ. අමරපුර ශ්වේජීන් නිකායේ මහානායකව වැඩ සිටි මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමියෝ වසර සියයක් දීර්ඝායුෂ භුක්ති වින්දහ. මඩිහේ පඤ්ඤසීහ මහනාහිමි, බෙල්ලන ඥණවිමල මහනාහිමි, වැලිගම ඤණරතන මහනාහිමි වැනි ශ්‍රේෂ්ඨ යතිවරු වසර අනූවක් ඉක්මවා වැඩ සිටියහ. පෞරාණික අල්පේච්ඡ භික්ෂු ජීවිතයත්, පාරිශුද්ධ නොකිලිටි දිවි පෙවෙතත්, පුරාකෘත පුණ්‍ය ශක්තියක් නිසා මහා තෙරහු වර්තමාන ආයු අපේක්ෂණ සීමාව ඉක්මවා යමින් ජීවත් වූහ.  
මෙකී මහ තෙරවරු එකිනෙකා කෙරෙහි අතිශය ගෞරව සම්ප‍්‍රයුක්තව, භක්තිපූර්වකව, ළෙන්ගතුව වැඩ සිටි ආකාරය උන්වහන්සේලාගේ චරිතාපදාන අධ්‍යයනය කරන විට පෙනේ. සමකාලීන අවධියේ ජීවමාන සංඝරාජයන් වහන්සේ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් යැයි මඩිහේ පඤ්ඤසීහ මහනාහිමියෝ නොපැකිලව කියූහ. සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ධුරයට සුදුස්සා මඩිහේ මහනාහිමියන් බව ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ නිර්දේශ කළහ. එකිනෙකා කෙරෙහි අත්‍යන්ත ගෞරවය ළෙන්ගතුභාවය හැම විටම පවත්වා ගත්හ. ශ‍්‍රී ලංකාවේ වැඩ වසන සිල්වත්ම, ගුණවත්ම භික්ෂූන් වහන්සේ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් බව ‘මෙත් සිසිල’ නම් ශතවර්ෂ පූර්ණ කලාපයට මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමියෝ පැවසූහ. රේරුකානේ මහනාහිමියන්ගේ ධර්ම ග‍්‍රන්ථ සමූහය ඉතසිතින් ඇගයූ ආනන්ද මෛත්‍රෙය නාහිමියෝ එ්වා ලක්දිව අද්විතීය ධර්මධරයෙකු අතින් රචනා වී ඇතැයි පැවසූහ.  


අංගුත්තර නිකායේ, පංචක නිපාතයේ කිම්බිල සූත‍්‍රයේදී බුදුරජාණන් වහන්සේ තමාගේ පරිනිර්වාණයෙන් පසු සද්ධර්මය චිරස්ථායි නොවේ නම් ඊට හේතු පසක් වදාරති. සිය ශ‍්‍රාවකයන් ශාස්තෘන්වහන්සේ කෙරෙහිද, සද්ධර්මය කෙරෙහිද, සංඝයා කෙරෙහිද, ශික්ෂා කෙරෙහිද උනුනුන් කෙරෙහිද ගෞරව නැතිව, ආශ‍්‍රය නැතිව වාසය කරන්නේ නම් සද්ධර්මය චිරස්ථායි නොවන බව වදාරති. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි, මඩියේ පඤ්ඤසීහ මහ නාහිමි, රේරුකානේ චන්දවිමල මහනාහිමි ආදී ශ්‍රේෂ්ඨ මහ තෙරවරු මේ බුද්ධ වචනය අකුරටම අනුගමනය කළහ.  


එහෙත් මෑතක ‘මම රහත්’ යැයි කියන හිමි නමක් කිරිබත්ගොඩ ඤණානන්ද හිමියන්ට අරිහත් වාග් ප‍්‍රහාර, එල්ල කරන්නේ ‘කිරිබත්ගොඩයා’, ‘ඤණානන්දයා’, ‘ ඕකගෙ රෙද්ද ගලවනවා’, ආදී වශයෙනි. මේ හිමියන් රහතන් වහන්සේ නමක්ද පොළොන්නරුවේ පොඩි විජේ වැනි ගණංකාරයෙක්දැයි මම තවමත් කල්පනා කරමින් සිටිමි.  


ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් වැනි ධර්මධර, බහුශ‍්‍රැත විශාරද මහතෙරවරු කිසි කලෙකත් බුද්ධ ශාසනයට නිගාවන ආකාරයෙන් වචනයක් වත් පාවිච්චි නොකළහ. ධර්ම ප‍්‍රතිපදාවම නිරන්තරයෙන් භාවිත සුභාවිත කළහ. එහෙයින් 1996 දී සංක්ෂිප්ත ශාසන ඉතිහාසයක් ලියූ පණ්ඩිත නිවන්දම ධර්මකීර්ති හිමියෝ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් පිළිබඳව මේ ආකාරයට නොපැකිලව හඳුන්වාදීමට ක‍්‍රියා කළහ.  
”අද ලක්දිව වැඩ වසන ශ්‍රේෂ්ඨතම බුද්ධ පුත‍්‍රයන් වහන්සේ කවුරුදැයි ගිහි පැවිදි කවරකුගෙන් විමසුවත් අනිවාර්යයෙන්ම ලැබෙන පිළිතුර වන්නේ එ් නම් බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මාහිමිපාණන් වහන්සේ යන්නයි. උන්වහන්සේ අපගේ අසහාය පිං කෙතයි. ආනන්ද මෛත්‍රෙය හිමියන් පිරිසිදු සිල් ඇති බැවින් අග‍්‍රගණ්‍යයත විශිෂ්ට ධර්ම ඥානයෙන් අනූනය. වාසනා ගුණයෙන් පිරිපුන් ය.”  


ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් තමන් ලොවුතුරු බුදු වීමට පාරමී පුරන බව ප‍්‍රකාශ කර තිබියදී උන්වහන්සේ සෝවාන් ඵලයට පත් වූ බව අප ප‍්‍රකාශ කරන්නේ කවර මූලාශ‍්‍රයක් පදනම් කරගෙ නද යන්න බොහෝ දෙනෙකු විමතියට පත් කරවන ප‍්‍රශ්නයකි. ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් පුරා වසර දහයක් සමීපව ඇසුරු කර ඇති මේ ලේඛකයා උන්වහන්සේ පිළිබඳ ඉංගිරිසි බසට හා රුසියානු බසට නැගුණු කෘති යුගලක කතුවරයෙකි. එසේම ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ අධ්‍යාත්මික උරුමය ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් රුසියානු ආධ්‍යාත්මික සංවිධානයේ ඇගයීමට පාත‍්‍ර වූවෙකි. එහෙයින් ශ්‍රී ලාංකික බෞද්ධ ජනයාට මෙතෙක් අනාවරණය නොවූ ආනන්ද මෛත‍්‍රය මහනාහිමියන් සම්බන්ධ මේ සත්‍ය ප‍්‍රවෘත්තිය රටට හෙළිදරව් කිරීම වැදගත්  අවශ්‍යතාවක් බව ඔහු සලකයි.  


ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් සිය කුඩා අවධියේ පටන් බුද්ධත්වය ප‍්‍රාර්ථනා කළ බෝසත්වරයෙකු බව උන්වහන්සේගේ දිනපොත්, ලිපි ලේඛන, පුද්ගලික සටහන්, පුවත් පත් සම්මුඛ සාකච්ඡා ආදිය අධ්‍යයනය කරන පර්‌​​ෙ‌ය්ෂකයෙකුට පැහැදිලි වෙයි. 1998 දී මහනාහිමියන් අපවත් වීමෙන් පසු උන්වහන්සේගේ අසූ වසරක පමණ දිනපොත් මේ ලේඛකයා විසින් ගවේෂණය කරන ලදී. නාහිමියන් සිය බෝධිසත්ව ප‍්‍රාර්ථනාව මුල්වරට දිනපොතක සටහන් කර ඇත්තේ වර්ෂ 1917 දී බව පෙනේ. 1917 ජනවාරි 24 වැනිදා අතක් කොර යාචකයෙකුට රෙදි පස් රියනක් පරිත්‍යාග කරමින් තමන් සතු සියල්ල පිනට දීමටත්, තමන්ගේ ජීවිතය වුවත් අනුනට වැඩ පිණිස පිදීමටත් ශක්තිය ඇති වේවායිද, ලොවුතුරා බුද්ධත්වයට පත්වේවායිද ප‍්‍රාර්ථනා කළ බව දිනපොතේ සටහන් වෙයි. 1917 වන විට ආනන්ද මෛත්‍රෙය හිමියන්ගේ වයස අවුරුදු විසි එකකි. භද්‍ර යෞවන භික්ෂුවක ලෙස උන්වහන්සේ තුළ තිබී ඇත්තේ උත්තරීතර ප‍්‍රාර්ථනයකි. මහනාහිමියන් බුද්ධත්වය ප‍්‍රාර්ථනා කරමින් විවිධ පූණ්‍යකර්මවල ද පාරමිතා පූරණයෙහිද යෙදුණ ආකාරය ආනන්ද මෛ​ෙත‍්‍රය මහනාහිමියන්ගේ දින සටහන්වල අන්තර්ගත වෙයි. මේ දිනපොත්වල පිටපත් තවමත් මේ ලේඛකයා සතුව ඇති අතර උන්වහන්සේගේ ආධ්‍යාත්මික ජීවිතයේ මෙතෙක් හෙළිදරව් නොවූ පරිවර්තන අවධිය පිළිබඳ සවිස්තරාත්මක ලේඛන අප අත පත් වූයේ ඉතා මෑත භාගයේදීය.  


ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් සමීපව ඇසුරු කර ඇති ඇතුල්කෝට්ටේ, මහින්දාරාම පාරේ, අංක 40 නිවසේ පදිංචි ටෙරන්ස් ද සිල්වා නම් මහතෙකු පසුගියදාක නාහිමියන් පිළිබඳ මෙතෙක් අනාවරණය නොවූ සටහන් මාලාවක් අප අත තැබීය. එහි අන්තර්ගත වන්නේ මහනාහිමියන්ගේ භාවනා අත්දැකීම් පිළිබඳ මෙතෙක් කිසිවෙකු කියවා නැති සටහන් පොතකි. එහි නාහිමියන්ගේ භාවනාමය අත්දැකීම් රාශියක් සිංහල භාෂාවෙන් සටහන් කර ඇති අතර ඇතැම් විස්තර භවනානු යෝගියෙකුගේ ගැඹුරු ආධ්‍යාත්මය විවරණය කෙරෙයි. තියුණු ධර්ම ඥනයක් නැති අයෙකුට වටහාගත නොහෙන තරම් වන එම සටහන් 1956 ජුලි 04 වැනිදා කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට ලියා ඇති බව පැහැදිලිව පෙනේ. එහි උන්වහන්සේ අපවත් වීමට පෙර වසර දක්වා භාවනාමය අත්දැකීම් සටහන් කර තිබේ. මේ ලේඛන මාලාව ප‍්‍රවේශමෙන් අධ්‍යයනය කර බැලීමේදී අප පැමිණි අවසාන නිගමනය වන්නේ ශ්‍රී ලංකා ධරණි තලයේ පහළ වූ මහා පිං කඳක් බඳු අග්ගමහාපණ්ඩිත  බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය භදන්තාචාර්යයන් වහන්සේ සිය ජීවිතයේ අවසාන භාගයේ දහසක් නයින් ප‍්‍රතිමණ්ඩිත වූ සෝතාපන්නඵලයට පත්ව ඇති බවයි. මේ ප‍්‍රකාශයෙන් පසු ‘බුදු, බව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි මැයෙන් දේශ දේශාන්තරයේ ප‍්‍රචලිත වූ මේ මහා යතිවරයාණන් ස්වකීය ප‍්‍රාර්ථනය අත්හලේ මන්ද යනුවෙන් බොහෝ පාඨක ජනයාට ප‍්‍රශ්නයක් මතු වනු ඇත්තේය. එසේම සත්‍ය වශයෙන්ම උන්වහන්සේ සෝතාපන්න වූයේ දැයි නාහිමියන්ගේ සමීපතමයන්ට පවා විමතියක් මතුවීමට පුළුවන. බළන්ගොඩ, උඩුමල්ලේ ශ්‍රී නන්දාරාම විහාරාධිපති මැදබැද්දේ නන්දසාර නාහිමියන් වෙත මේ තොරතුරු අප විසින් දන්වා සිටින ලද අතර උන්වහන්සේගේ නිසි අවසරය සහිතව ම මෙය ප‍්‍රකාශයට පත් කරන බවද කිව යුතුව ඇත්තේ ය.  


බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය පිළිබඳ නව ක‍්‍රමවේදයකින් ගවේෂණය කිරීම ආරම්භ කළ යුතු බවද මේ සටහන් හමුවීමෙන් පසු අප සපැමිණි නිගමනයයි. බුරුමයේ ජට්ඨමහා සංගායනාවේදී අට්ඨකතා සංගීති වාරයේ මූලාසනය හොබවමින්ද, පොල්වත්තේ බුද්ධදත්ත මහනාහිමියන්ට පසු අග්ගමහාපණ්ඩිත උපාධියෙන් සම්මානිත වීමෙන්ද, අභිධජමහාරට්ඨගුරු නාම සම්මුතිය සහිතව සංඝරාජ ධුරයෙන් සම්භාවනාවට පත් වීමෙන් ද ලෝක පූජිත වූ ශ්‍රේෂ්ඨ චරිතයක් නාඩි අනාවැකිකරුවකුගේ තත්ත්වයට පත් වීමෙන් වැළකෙන්නේ එවිටය. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි, ලබුගම ලංකානන්ද මහනාහිමි, කෝදාගොඩ ඤණාලෝක නාහිමි ආදී මහ පඬිවරුන් එදා ති‍්‍රපිටකය සිංහලට පරිවර්තනය කරන ලද්දේ දෘඩතර පරිශ‍්‍රමයක් දරමින් මහත් කැපවීමකිනි. එහිලා සම්භාව්‍ය සාහිත්‍යගත භාෂා සම්ප‍්‍රදායක් භාවිත කර ඇති බැවින් භාෂා පරිහානි සමයක වෙසෙන නූතනයන්ට, එ් බස දුරවබෝධ බව සත්‍යයකි. මෑතක ‘පරම සත්‍යය’ පෙන්වාදුන්නේ යැයිද, බුදුන් උපන්නේ මේ ජම්බුද්වීපයේ යැයිද, අබිරු සිහ නද නගන උතුම් අරිහතුන් වහන්සේ නමක් ත්‍රිපිටකය පරිවර්තනය කළ මිනිස්සු’ බුද්ධ දේශනාව විකෘති කොට අණ්ඩර දෙමළයක් කර ඇති බව ප‍්‍රකාශ කරන්නේ උන්වහන්සේලාගේ අප‍්‍රමේය ශාස්ත්‍රීය දායකත්වය තුට්ටුවකටවත් නොසලකා හරිමිනි. බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයේ භාෂාව තවදුරටත් ලිහිල් විය යුතුව තිබූ බව සත්‍යයක් නමුදු එය පෙන්වා දිය යුතුව ඇත්තේ මේ ශ්‍රේෂ්ඨ මහ තෙරවරුන්ට නින්දා අපවාද නොකරමිනි. මෙය නිවන් මග වසා දැමීමට කරන ලද කුමන්ත‍්‍රණයක් බවත් එය කරන ලද්දේ ග‍්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ සිටි අමරපුර නිකායික භික්ෂූන් වහන්සේලා විසින් බවත් මේ ‘පරම සත්‍ය’ පෙන්වා දෙන, ජම්බුද්දීපවාදී අරිහතුන් වහන්සේ පවසති. එහෙත් ත්‍රිපිටක පරිවර්තක මණ්ඩලයේ සිටි පලන්නොරුවේ විමලධම්ම නාහිමි, වැලිවටියේ සෝරත නාහිමි, පරවාහැර වජිරඤණ නාහිමි, වෙඬරුවේ අනෝමදස්සී නාහිමි, කරහම්පිටිගොඩ සුමනසාර නාහිමි, කෝදාගොඩ ඤණාලෝක නාහිමි, ලබුගම ලංකානන්ද නාහිමි වැනි තෙරුවරුන් සියම් නිකායික භික්ෂූන් වූ බවත්, ඉඳුරුවේ උත්තරානන්ද නාහිමි, මිරිස්සේ ගුණසිරි නාහිමි, මැදඋයන්ගොඩ විමලකිත්ති නාහිමි, හපුවලානේ ඤණාලෝක නාහිමි වැනි තෙරවරුන් රාමඤ්ඤ නිකායික භික්ෂූන් වූ බවත් අප වටහා ගත යුතුව තිබේ. බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයේ බස දුරවබෝධ බව අප පිළිගන්නා නමුදු, එය නිවන් මග වසා දැමීමට අමරපුර නිකායික භික්ෂූන් කළ කුමන්ත‍්‍රණයක් යැයි කියමින් මෙරට බෞද්ධ ජනයා මූලාකිරීම කෙතරම් සාපරාධී කතාවක් ද? මෙබඳු අශාස්තී‍්‍රය මතවලටද පිළිතුරු දෙමින් ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් සෝතාපන්න මාර්ගයට යොමු වූ සැටි ලබන සතියේ සිට සාක්ෂි සහිතව විග‍්‍රහ කර පෙන්වීමට උත්සාහ දරන්නෙමු.  

 

සමුද්‍ර වෙත්තසිංහ