බුදු හිමියන්ගේ ධාතු කොටස් යැයි සැක කරන මංජුසාවක් චීනයේ


 

මිහිදන් කර තිබූ අස්ථි කොටස් 2000ක් අඩංගු, වසර 1000කට වඩා පැරණි මංජුසාවක් චීනයේ ජින් චුවාන් කෝරළයෙන් හමු වී තිබේ. මෙම අස්ථි කොටස් ගෞතම බුදුන්වහන්සේගේ අස්ථි කොටස් යැයි විද්වත්හු සඳහන් කරති. බුදුන්වහන්සේ පිරිනිවන් පෑවේ මින් වසර 2560කට පමණ ඉහතදීය. 


මෙම අස්ථි කොටස් තැන්පත් කර තිබුණේ පිඟන් ගඩොලින් නිමකරන ලද මංජුසාවකය. එහි එක් පසෙක ක්‍රි.ව. 1013ට අයත් අක්ෂර කොටා තිබූ අතර, ඒවා කියවීමට පුරාවිද්‍යාඥයන් සමත්ව ඇති අතර මෙම මංජුසාව මිහිදන් කර ඇත්තේ ක්‍රි.ව. 1013 වසරේ විය හැකි බවට ඔවුහු අනුමාන කර තිබේ. එහි සඳහන් වනුයේ මෙම අස්ථි කොටස් ගෞතම බුදුරජාණන්වහන්සේගේ අස්ථි කොටස් බවටය. ‘‘ජින්ග්ෂොවු දිස්ත්‍රික්කයේ ලොංසින්ග් ආශ‍්‍රමයේ මංජු ශ්‍රී විහාරස්ථානයට අයත් ලෝටස් පාසලේ යුන්ජිආං සහ ෂී මිං නමැති භික්ෂූන්වහන්සේ දෙනමක විසින් බුදුන් වහන්සේගේ ආදාහනයෙන් පසු විවිධ ප‍්‍රදේශවල තැන්පත් කර තිබී එක්රැස් කර ගන්නා ලද අස්ථි සහ දන්ත ධාතු කොටස් 2000කට අධික සංඛ්‍යාවක් මෙම මංජුසාවේ තැන්පත්කොට මෙම විහාරස්ථානයේ මංජු ශ්‍රී ශාලාවේ මිහිදන් කරන ලදැයි’’ එහි සඳහන්වී තිබේ. මෙම අස්ථි කොටස් ඔවුන් හඳුන්වා ඇත්තේ ‘සරීරා’ ලෙසිනි.   


මංජුසාවේ තැන්පත් කර තිබූ අස්ථි කොටස් එක්රැස් කර ගැනීම සඳහා ඉහත කී භික්ෂූන් දෙනම වසර 20කට අධික කාලයක් ඒ සඳහා වෙහෙස වී තිබේ. ආගමික ශාස්තෘවරයකු මෙන්ම දාර්ශනිකයකුද වූ ගෞතම බුදුන්වහන්සේ උපත සිදු වූයේ කපිලවස්තුපුර නොහොත් වර්තමාන නේපාලයේය. පාඨ ග‍්‍රන්ථවලට අනුව උන්වහන්සේ ක්‍රි. පූ. 6ත් 4ත් අතර කාලයේ ඉන්දියාවේ නැගෙනහිර පළාතේ ධර්ම ප‍්‍රචාරයේ යෙදෙමින් සංචාරය කරන ලදැයි පැවසේ. 


පුරාවෘත්තවලට අනුව උන්වහන්සේ මින් වසර 2560කට පමණ ඉහත 80 වියේදී පිරිනිවන් පාන ලද අතර ආදාහනයෙන් පසු ඉතිරි වූ අස්ථි සහ දන්ත කොටස් උන්වහන්සේගේ අනුගාමිකයන් හා රාජකීයයන් අතර බෙදා දී තිබේ. මුලින් තීරණය කරන ලද්දේ එම ධාතු කොටස් ශාක්‍ය වංශිකයන් අතර පමණක් බෙදා දීමටය. එහෙත් තවත් වංශ 6ක් සහ රජවරුන් එම ධාතු කොටස් ඉල්ලා සිටි හෙයින් ඔවුන් අතරද බෙදා දීමට අවසානයේ තීරණයවී තිබේ. 


එකිනෙක වංශිකයන් අතර ගැටුමක් නිර්මාණය නොවනු පිණිස නායක ශ‍්‍රාවකයකු විසින් සියලු ධාතු, කොටස් දහයකට බෙදා වෙන් කර තිබේ. ශාරීරික ධාතු කොටස් අටකටද, බුදුන්වහන්සේගේ සිරුර ආදාහනය කරන ලද ස්ථානයෙන් ගත් අළු තවත් කොටසකටද, ඉතිරි කොටස අස්ථි බෙදා දීම සඳහා උපයෝගී කරගත් කළය වශයෙන්ද වෙන් කෙරිනි. එම කළය ඒවා බෙදා දුන් නායක ශ්‍රාවක තැන තමා වෙත තබාගත් බැව් පැවසේ. පසුව මෙම ධාතු කොටස් විවිධ ස්ථානවල නිදන්කොට ස්තූප තනවා වැඳුම් පිදුම් කිරීමට කටයුතු කර තිබේ. 


බුදුන්ගේ අස්ථි කොටස් සහිත මංජුසාව සොයා ගන්නා ලද්දේ 2012 වසරේ මංජු ශ්‍රී විහාරස්ථානය අසල මාර්ගයක් සකස්කරමින් සිටි ගම්මුන් පිරිසක් විසිනි. චීන පුරා විද්‍යාඥයෝ එම මංජුසාව හා එහි අන්තර්ගත කරුණු පිළිබඳ සියලු තොරතුරු චීනයේ පළ​ෙවන “චයිනීස් කල්චරල් රෙලික්ස්” නමැති ඉංග්‍රීසි ජර්නලයේ පසුගියදා ප‍්‍රසිද්ධියට පත් කිරීමට කටයුතු කර තිබේ. 


මෙම මංජුසාව සොයා ගන්නා ලද ප‍්‍රදේශයෙන් කළුගලින් නෙළන ලද බුදුපිළිම 260ක්ද මතු කර ගැනීමට ද පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. එම ප‍්‍රතිමා අඩි 6 අඟල් 6ක් පමණ උසින් යුතුවන අතර වෙයි රජ පෙළපත පැවැති ක්‍රි.ව. 386 සිට 534 අතර කාලයේ හා සොං රජ පෙළපත පැවැති ක්‍රි.ව. 960 සිට 1279 අතර කාලයේ ඒවා නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම ප‍්‍රතිමා සහ මංජුසාව එකම කාලයක මිහිදන් කරන ලද්දක්ද යන්න පිළිබඳව හඳුනා ගැනීමට පුරාවිද්‍යාඥයෝ කරමින් සිටිති. 

 

 


ඩේලි මේල්, ඉන්ඩිපෙන්ඩන්ට් සහ එක්ස්ප්‍රස් වෙබ් අඩවි ඇසුරිණි. 

 

 

 

 

 

 

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා