බිරිඳ මුදාහැර පාපතර විල්බාට ඇතා දුන් දඬුවම


ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මගපෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


අලව්වේ රාගල ජී.එම්. සේනාරත්න මහතා ලියා එවූ කතාවක් මෙසේය.   


බිරිඳ මුදාහැර පාපතර විල්බාට ඇතා දුන් දඬුවම   


ලොව පහළ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව සියලු සත්වයින්ගේ භව ගමන කල්ප කෝටි ප‍්‍රකෝටි ගණන් දීර්ඝය. ඒ නිසා දීර්ඝ භව ගමනකින් මිදීමේ වාසනාව ලැබී ඇත්තේද මනුෂ්‍යයාට වන අතර මිනිස් භාවයක් ලැබීමද අතිශය දුෂ්කරය. එසේ වූවත් පාපකර්ම සිදු කරමින් මිනිසා තව තවත් භව ගමන් දීර්ඝ කර ගනියි. එසේ සිදු කර ගන්නා පාපකර්ම කුදු මහත් වුවත් මෙලොවදීම පළදෙන අවස්ථා බහුලය.   


දැනට දසක හතරකට පහකට පෙර රට තුළ මහා වනාන්තර හා ඒ හා බැඳුණු කැලෑ ගම් බහුලව පැවතුණි. එම වකවානුවේ රජරට පළාතේ විශාල වැවකට මායිම්ව වන සතුන් ගහන මහා වනාන්තරයකට යාව ගමක් පිහිටියේය. එහි පවුල් කීපයක් විසූහ. ඔවුන් ජීවිකාව ගෙන ගියේ වී ගොවිතැනට අමතරව උඳු, මුං, තල, මෑ, බටු, මිරිස්, ඉරිඟු හා අල බතල වැවීමෙනි. එහි විසූ එක් පවුලක පුද්ගලයෙක් ගොවිතැනින් බැහැරව වනසතුන් දඩයම් කර දඩමස් විකුණා ජීවිකාව ගෙන ගියේය. ඔහු නමින් විල්බට් වුවත් අසල්වාසීන් හැඳින්වූයේ විල්බා යන අන්වර්ථ නාමයෙනි.   


ඉර බැස එන කළුවරත් සමඟ ගිනිකඳයා කරගහගෙන වනයට යන විල්බා කැලෑ පීරමින් පාන්දර වනතෙක් මුවන්, ගෝනුන් හා ඌරන් එලා ගත්තේය. මේ සතුන් කැලයේදීම මස් කර කද බැඳගෙන අවුත් ගමට හා සිදාදියටත්, ගම්මැද්දටත් විකුණුවේය. එසේ විකුණා ඉතිරි වන මස් දුම් මැස්සක එල්ලා යටින් දුම්ගසා වියළා ගෙන විකුණූ මොහුගෙන් කුමන මොහොතක වුවත් දඩමස් ලබාගත හැකිවිය. එසේම ගොම්මං වැටෙන වෙලාවට කිරිනේලිස්ගේ මත්වතුර පොළට ගොස් සප්පායම් වී ගෙදර එන්නේ පයක් මාරු කර පයක් තැබීමට නොහැකි තරම් වෙරි මර ගාතේය.   
විල්බාගේ බිරිඳ සැමියාගේ බේබදුකමටත්, දඩයමටත් කැමැත්තක් දැක්වූයේ නැත. ඇය නිහඬව සිටියේ සැමියාගේ මුරන්ඩුකමට හා කිසිවක් නොඅසන, කිසිවක් පිළිනොගන්නා කෙනෙකු වූ හෙයිනි. සැමියාගේ පව්කම්වලට අත නොගැසූ ඇය මස්මාංශ අනුභව නොකළාය.   


එක් රාත‍්‍රියක විල්බා දඩයමේ ගොසිනි. බිරිඳ හදිසියේ රෝගාතුර වූවාය. තනිනොතනියට දරුමල්ලෙකුද නොසිටි ඇය කෙඳිරි ගාමින් දන්න කියන ප‍්‍රතිකාරයක් කර ඉවසා සිටියත් ඉන් සුවයක් නොලැබුවාය.   


ඇය වේදනාවෙන් පසු වෙද්දී පාන්දර යාමයේ විල්බා නිවසට ගොඩවැදුණේ මස් කදකුත් කරගහ ගෙනය. ගෙට ආ විල්බාට බිරිඳගේ කෙඳිරිය ඇසී ඇය සමීපයට ගොස් විමසා රෝහලට යාමට කතා කළේය. රෝහලට සැතපුම් හත අටක් දුරය. වාහන නොතිබුණි. වාහන යා හැකි මාර්ගද නොතිබුණි. බිරිඳ පැවසුවේ වනාන්තරයේ වනසතුන් ගහන හෙයින් එළිය වැටෙන තෙක් ඉවසා සිටිය හැකි බවයි.   


එවිට විල්බා කියා සිටියේ කැලේ කරක් ගහන තමාට කැලේ ගැන කුමන කතාද, භය නැතිව සූදානම් වන ලෙසය. මොහු බිරිඳ පා පැදියේ තබාගෙන වනාන්තරය මැදින් ගියේය. දඩයක්කරුවන් කීපදෙනෙකු මරා ඇති දළ ඇතෙකු වනයේදී දැක ඇති මොහු කීප විටක්ම උගෙන් බේරීමට ගස් මුදුන්වලට ගොඩ වූ අවස්ථා ද විය. දඩයක්කරුවන්ගේ දඩයම් එළි පසුපස හබා එන ඇතෙකු හෙයින් ඔවුහු සුපරීක්ෂාකාරීව දඩයමේ ගියහ.   


විල්බාගේ පව්කාරකමේ මහත - වනය මැද දී ඇතා මොවුන් ඉදිරියේ අවුත් නැවතුණි. බිරිඳ ගැහෙන්නට වූවාය. ඇතා දෙදෙනාගේම හිසේ සිට දෙපතුල තෙක් හොඬය තබා ඉව කර බිරිඳ පසෙකට තල්ලු කර දමා විල්බා පාගා දැමීය. පා පැදිය පොඩිකර දමා ඇතා වනයට ගියේය. වටින් ගොඩින් එළිය වැටෙද්දී වනය මිදින් පැමිණි කෙනෙකු මොවුන් දැක රෝහලට ගෙන ගියේය. පාපකර්මවල නොයෙදුනු බිරිඳට ඇතාගෙන් හානියක් නොවීය. විල්බාට පව් පළදීම ආරම්භ වූ හෙයින් ඒ වන විට අතක් හා පයක් කැඩී කොඳු ඇටවලටත් හානි වී දිගු කලක් මහත් වේදනා විඳිමින් සිට අකාලයේ මෙලොව හැර ගියේය.   


කැලෑ කොළේ බෙදා හදාගෙන කමින්, වනාන්තර නිවහන කරගෙන දිවි ගෙවූ අහිංසක සතුන් මරා දැමූ පාපය විල්බාට මෙලොව දීම පලදුන්නේ එසේය.

 



හොරණ ඩී.එස්. වැලිකල මහතා ලියා එවූ කතාවක් මෙසේය 

 
මෙය දැනට වසර තිහකට පමණ පෙර සිදුවූ සත්‍ය සිද්ධියකි. ඒ කාලයේ මා ජීවත් වුණේ කවුරුත් දන්නා බස්නාහිර පළාතේ ගමකය.   


අද වන විට එම පළාත් හඳුනාගත නොහැකි ලෙස දියුණුවට පත්ව තිබේ. එමෙන්ම දැන් සිටින බාල පරම්පරාව මේවා ගැන ආසාවක් නැතිව ඇත. එකල ග‍්‍රාමීය පරිසරයක් පැවති මෙම ප‍්‍රදේශය ආශ‍්‍රිතව ජීවත් වූයේ එදිනෙදා කුලී වැඩ කරමින් අතමිට සවි කරගන්නා පිරිසකි.   


අතලොස්සක් පමණ ධනවත් පිරිසක් වාසය කළහ. රබර් වගාව සරුවට කැරුන හෙයින් බහුතරයක් රැකියාව වශයෙන් කළේ කිරි කැපීමයි. ඊට අමතරව ගඩොල් පෝරණු කර්මාන්තය සරුවට කෙරුණි. වසරකට දෙවරක් පමණ කැලණි ගඟ පිටාර ගැලීම නිසා එදිනෙදා කුලියක් මලියක් කරමින් ජීවත්වන අපට ඉතාමත් දැඩි ආර්ථික අපහසුතාවයන් ඇතිව තිබිණ..   


රැකියාවක් නොකළ මදාවි පුද්ගලයින්ගේ ආදායම් මාර්ගය වුණේ හොර සුරා පෙරීම සහ ගවයන් සොරාගෙන ගොස් උන් ඝාතනය කර කොටසක් අළෙවි කිරීමත් මත්පැන් පානය කරමින් ගවමස් කෑමත්ය. අසරණ අයට මෙම මදාවි පුද්ගලයන්ගේ ක‍්‍රියාකලාපය හිසරදයක් වුවත් ඒ ගැන කතා කරන්නට ඉදිරිපත් නොවූයේ එම මදාවි චණ්ඩියන්ට ඇති බිය නිසාය.   


මේ වකවානුවේ මෙම ප‍්‍රදේශයේ පියසේන නමින් පුද්ගලයෙක් කසිප්පු පෙරා එ්වා ප‍්‍රදේශය පුරා අළෙවි කරමින් ගම්මුන්ට බලපුළුවන්කාරකම් පෙන්වමින් ජීවත් විය. ඔහුට සහායට එවැනිම වූ පාපී පුද්ගල නඩයක්ද වූහ. මොහුට කසිප්පු වෙළෙඳාමෙන් හොඳ ආදායමක් ලැබුණ නිසාත් තමන්ගේ දුරාචාර වැඩට සහාය වීමට පිරිසක් සිටි නිසාත් ඔහු එම ප‍්‍රදේශයේ සහ අවට ගම්වල චණ්ඩියකු වශයෙන් නම්දරා කටයුතු කරගෙන ගියේය.   


හොර සුරා පෙරමින් අතමිට සරු වූ මොහු සල්ලාලයෙක්ද විය. හැම තැනම ඔහුට හොර අඹුවන් සිටියේය. නීත්‍යානුකූලව විවාහයක් කර නොගත් මොහු ගම්මුන් හැඳින්වූයේ කසිප්පු පියසේන නමින්ය.   


එකල සාමය ආරක්ෂා කිරීමට සිටි පොලිස් නිලධාරීන්ටද මත්පැන් සහ ස්ත‍්‍රීන් සපයමින් මොහු නීතියේ රැකවරණයද ලබාගත්තේය. මොහුට විරුද්ධව යම් අයෙක් කටයුතු කළ බව ආරංචි වුණොත් තම කණ්ඩායම සමඟ අදාල පුද්ගලයාගේ නිවසට ගොස් ඔහුට පිස්තෝලය පෙන්වා තර්ජනය කර ඔහුට පහර දීමටද ඔහු නිර්භය විය.   


මේ ආකාරයට ගමට සහ ප‍්‍රදේශයට පිළිලයක්ව සිටි පියසේනට උසාවියේද නඩු කීපයක් වූ අතර ඒවා යම් යම් අයට පහර දීම හා මත්පැන් අසුවීම හේතුවෙන් පැවරූ නඩුය.   


මේ අන්දමින් වසර 35-40 පමණ ගමේ ජීවත්වන සාමකාමී අයට කරදරයක්ව සිටි මෙම අධමයා එක්තරා දිනක කඩුවලින් කොටා හිස වෙන්කර කාණුවක දමා සිටියදී ගම්මුන්ව දැක ගත හැකිවිය. මරණය සිදුකළ අය ගැන යම් යම් දූෂමාන ආරංචි පැතිර ගියත්, ඒ සම්බන්ධයෙන් සොයා බලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය උනන්දු වූ බවක් නො​ෙපනිනි. ඔහුගේ මරණයෙන් පසුව ඔහු වටා සිටි ගෝලබාලයන්ද චණ්ඩිකම් අත්හැර නිහඩ වූහ.   


ඒ කාලයේ මගේ වයස අවුරුදු 17 ක් පමණ විය. මම ඔහු මරා දමා තිබූ රබර් වත්තට ගොස් මිනිය දුටුවෙමි. ඇඟ හැම තැනම කැපුම් තුවාලය. රාත‍්‍රී කාලයේදී මිනීමැරුම සිදුකර තිබුණි. තම බලය අසරණයින්ට පෙන්වමින් රජකම් කළ මේ අධමයාගේ අවසානය මේ ආකාරයට සිදු වූයේ අදමිටුකම් එම ආත්මයේම පලදෙන ආකාරය අපට පෙන්වා දෙමිනි.  

 



බිංගිරිය, කොස්වත්ත ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

ඩී.එස්. වැලිතල , කනන්හේන , හොරණ   

පණපිටින් ගවයින් හමගසා මැරෑ ‘පරිදූට’ අත්වූ ඉරණම  

 
එක්තරා පිටිසර ගමක ජීවත් වූ ඔහු අපි ‘‘පරීදු’’ යන නමින් හඳුන්වමු. ගම්වල ඇවිද ඉතා අඩු මිලකට ගවයින් ගන්නා ‘‘පරීදු’’ ඔවුන්ව දක්කාගෙන කෙළින්ම යන්නේ ඉහත කී ප‍්‍රදේශයේ පිහිටි තම ගව ඝාතකාගාරය වෙතය. ඔහු සතුව තිබූ මෙම ගව ඝාතකාගාරයේ ගවයින් මරන්නේද ඔහු විසින්මය. මෙම සතුන් මැරීමේදී ‘‘පරීදු’’ හැසිරෙන්නේ සිත් පිත් නැති අයකු විලසින් ඔවුනට දස වද දෙමිනි.   


මිලදී ගන්නා ගවයින් දක්කාගෙන ගොස් තම වත්තේ එකිනෙක ගස්වල බඳින මොහු එක එක ගවයා බැගින් වරින්වර ගව ඝාතකාගාරය තුළට දක්කා ගෙන ගොස් ඒ තුළ කොන්ක‍්‍රීට් දමා සාදා ඇති විශාල යකඩ බටයක් ගෙලට දමා ඇති දම්වැල දිගට සිටින සේ ගැට ගසයි. ගවයින් බඳිනා මෙම කොන්ක‍්‍රීට් කණුව සිටුවා ඇත්තේ කණුව වටා සතර පැත්තටම බෑවුම්ව සිටින සේය. කණුව වටේටම සිමෙන්ති දමා ඇති මෙම යකඩ බටයේ බඳින ගොනා කණුව වටා වේගයෙන් දක්කද්දී ලිස්සා ඇද වැටීමෙන් පණපිටින්ම ගවයාගේ හම ගැලවෙයි. මෙය ගවයින් මැරීමට පෙර ඔවුන්ගේ හම ගැලවීමේ පහසු ක්‍රියාවලියකි. මෙලෙස ගවයාගේ හම පණපිටින්ම ගැලවීමෙන් පසු පොරොවක් උපයෝගී කොටගෙන ගවයාගේ ගෙලට පහරවල් කිහිපයක් ගැසීමෙන් පසු මරුමුවට පත්වන ගවයා මස් කරයි.   


මෙලෙස වර්ෂ ගණනාවක් ඉතා කෲර ලෙස ගවයින් මරණයට පත් කළ සංඛ්‍යාවද දහස් ගණනකි. ගවයින් මැරීමට පෙර පණපිටින්ම මෙලෙස ගවයින් හම ගැසූ ‘‘පරීදුට’’ දරුණු රෝගයක් වැළදිණ. ඒ ඔහුගේ මුළු ශරීරයේම හම ගැලවී යාමට පටන් ගැනීමය. මේ සඳහා දේශීය හා බටහිර වෛද්‍ය ප‍්‍රතිකාර කොතෙක් ගත්තද ‘‘පරීදු’’ගේ ශරීරයේ හම ගැලවී යාම නතර නොවීය. මේ නිසා ඔහු සුදු පැහැගැන්විණ.   


හිස සිට දෙපතුළ දක්වා සුදු පැහැ ගැන්වූ ‘‘පරීදු’’ කෙසඟ වූ ශරීරයකින් යුක්තව අවසාන කාලයේදී කෑමට බීමට පවා අඟහිඟව අකාලයේ මිය ගියේ මෙලෙස ගවයින් ඉතාමත් කෲර ලෙස මරණයට පත් කිරීම පඩිසන් දීමෙනි. මෙය කෲර මිනිසකු ජීවත් සිටියදීම කළකම් පලදීමකි.   

 

 

 

 

 

 

 

 

 

සාමවිනිසුරු   
ඩී.එන්. දිසානායක