බැද්දේගම සිළිඳුගේ මුනුපුරා සොයා ගිය ගමන


බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ හම්බන්තොට උපදිසාපති වශයෙන් පැමිණි ලෙනාඩ් වූල්ෆ් මහතා පරිපාලන නිලධාරියකුට එහා ගිය අප ජන සමාජයේ හද ගැස්ම හොඳින් හඳුනාගත් පරිපාලන නිලධාරියෙකි. ලෙනාඩ් වූල්ෆ් හම්බන්තොටට පැමිණියේ 1908 අගොස්තු මස 28 දිනය. වසර තුනක පමණ සේවයෙන් පසු යටත් විජිත සේවයෙන් ඉල්ලා අස්වී 1911 මැයි මස 02 දින හම්බන්තොටින් සමුගෙන බ්‍රිතාන්‍යය බලා පිටත්ව ගියේය.  


ඔහු හම්බන්තොට උප දිසාපති වශයෙන් සිටි කාලය තුළ ලැබූ අත්දැකීම් පදනම් කරගෙන රචිත The Village in the Jungle කෘතිය “බැද්දේගම” නමින් සිංහලට පරිවර්තනය විය.  


බැද්දේගම නවකථාවේ එන සිළිඳුහාමි, බබේහාමි විදානේ ආරච්චිලා සහ පුංචි මැණිකෙලාගේ පරම්පරාවේ අය සොයා අප ගියේ ​ෙලනාඩ් වූල්ෆ් හම්බන්තොට සේවයට පැමිණ පසුගිය අගොස්තු 28 දිනට හරියටම වසර 109ක් වන බැවින්ය.  


මේ ගමන සඳහා මගේ මිත්‍ර ඩී.එස්. ජයවික්‍රම විශ්‍රාමික නිලධාරියාද සහභාගී විය. අපි මෝටර් සයිකලයෙන් අම්බලන්තොට සිට හම්බන්තොට ගුවන් පාලම මතට ගොස් මංතීරු 4ක් ඇති හම්බන්තොට මීගහජදුර කාපට් පාර දිගේ ගොන්නොරුවට ගියෙමු.  


බැද්දේගම නව කථාවේ බැද්දේගම යනු ගොන්නොරුව යැයි ඇතැම් අය කියන්නට විය. එහෙත් ගොන්නොරු වැසියන් පවසන්නේ බැද්දේගම නව කථාවට පාදක වූයේ, උඩමත්තල බවය. පසුව අපි කාපට් පාර දිගේ මත්තල ගුවන්තොටුපළ හංදියට ගියෙමු. ගුවන් තොටුපළ හංදිය සොයා ගැනීමට නොහැකි තරම් වූ​ෙය් ගුවන් තොටුපළ දක්වා යන අධිවේගී මාර්ගයේ පාලමක් එහි ඉදිවන බැවින්ය.  


පසුව අප මත්තල ගුවන් තොටුපළ හරහා කිලෝ මීටර් තුනක් පමණ ගොස් පහළ මත්තලට පිවිසුණෙමු.   


පහළ මත්තල සංවර්ධන වී, මිනිසුන් වී වගා කරන්නට වූයේ 1983 සිටය. ඒ පහළ මත්තල වැව සැදීමත් සමඟය. පහළ මත්තල වැවට ජලය ලැබෙන්නේ මල් ආරෙන්ය. දැන් පහළ මත්තල ගොවියෝ යල මහ දෙකන්නයේම වී වගා කරති.  
උඩ මත්තලට අප යායුතු වුවත් පහළ මත්තල වැසියන් පැවසුවේ බැද්දේගම සිළිඳුගේ පරම්පරාවේ මුණුපුරකු ඉඩම් ලැබී පහළ මත්තල ජීවත් වන බවය. ගම්මුන් ඔහු හැඳින්වූයේ බේබි මහත්තයා යනුවෙන්ය.  


අනතුරුව අපි බේබි මහත්තයාගේ නිවස සොයා ගියෙමු. නිවස උළු සෙවිලි කළ සාමාන්‍ය නිවසකි. එහි තුළ සිට පැමිණ අපව පිළිගත්තේ ඔහුගේ බිරිඳය.  


“වාඩි වෙන්න මහත්තයෝ” යනුවෙන් පවසා ස්තෝප්පුවේ ඇති පුටු පෙන්වූවාය.  


“කෝ! බේබි මහත්තයා?” මා විමසූ විට බේබි මහත්තයා තිස්සමහරාමයේ ගියා. බඩු වගයක් ​ෙග්න්න” ඇය පැවසුවාය.  

 

 

ඉන් නොනැවතුණ ඇය ජංගම දුරකථනයක් ගෙන තම ස්වාමියාට කථා කළාය. “මහත්තයා ඉක්මනට එනවලු! එතෙක් මහත්තයලට වාඩි වෙලා ඉන්නලු”  


“ඇත්තද? බේබි මහත්තයා සිළිඳුගේ පරම්පරාවේ කියන්නේ?” මම විමසීමි.

 
“ඔව් මහත්තයෝ. සිළිඳුගේ මුනුපුරෙක්. අපේ එක්කෙනාගේ තාත්තාගේ තාත්තා සිළිඳු” යැයි අැය පැවසුවාය.  
මඳ වෙලාවකින් අඩි 6ටත් වඩා උස පැහැපත් පුද්ගලයෙක් නිවසට පැමිණියේ සිනාමුසු මුහු​ෙණන්ය. ඔහු නිවසට ඇතුළු වන විට ප්‍රධාන උළුවස්සේ ගැවෙන නොගැවෙන තරම්ය.  


“බේබි මහත්තයා වෙන්නැ ඇති.” මම කීමි.  


“ඔව්! තිස්සමහරාම ගියා. මඟුල් ගෙදර යන්න ඇඳුමක් ගන්න”

 
“බේබි මහත්තයා කොපමණ උසද?” මා විමසූ විට

 
“අඩි 6ත් වැඩියි. මෙහෙ මෙපමණ හොඳ දේවල් කාලා හේනේ කුඹුරේ වැඩ කළත් මටත් දියවැඩියාව ඒකයි කෙට්ටු” යනුවෙන් ඔහු පැවසීය.   


ඉන්පසු ඔහු අප ඉදිරියේ පුටුවක වාඩිවී කථාවට මුල පුරන්නට විය. “මා රත්නායක ආරියදාස (60) පහළ මත්තල පදිංචිය. බැද්දේගම කථාවේ සිළිදුගේ පරම්පරාවේ අපි. අපේ තාත්තාගේ තාත්තා සිළිඳු. අප උඩමතත්තල හිටියේ 1983 පහළ මත්තල වැව හදල ඉඩම් දුන්නා. ඉඩම් ලැබිලා පහළ මත්තලට ආවා”  


“මල් අස්න ගල් වැවේ තමා විදාන ආරච්චියි විදානආරච්චිගේ පුතා පොලිස් ඔපිසර ඉඳලා තියෙන්නේ. මේ ​ෙදන්නා හරි නපුරුයි. දුප්පත් මිනිහෙකුට හේනක් කරගන්න දෙන්නේ නැහැ. නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේත් නැහැ. අවනීතියයි ති​ෙයන්නේ”  


සිළිඳු හාමි සීයා දඩයක්කාරයෙක් ඒ කාලේ හේන් හදන හැම කෙනාටම වගේ තුවක්කු තියෙනවා.  


“සිළිඳුගේ මස්සිනා (නෝනගේ අයියා) ගම්මුලාදෑනියෙක් එයා අපේ සිළිඳු සීයට කියලා තියෙනවා විදානආරච්චියි තාත්තයි ගම්මුලාදෑනි පුතයි දෙන්නම මරපං. මම උඹ ​බේර ගන්නං කියලා. එසේ මරන්නේ විදානාරච්චිකම ගන්න හිතාගෙනයි.  


මේ දෙන්නා (තාත්තයි පුතයි) මරණ විදියක් සිළිඳුගේ මස්සිනා ගම්මුලාදෑනියා සිළිඳුට කියා දුන්නා.   


දවසක් සිළිඳු විදානාරච්චිලාගේ ගෙදර ගිහිං කිව්වා පොලිස් ඔපිසර පුතාට “මගේ හේන හරක් කාලා. මං හරක් බැන්දා අලාභය තක්සේරු කරන්න හේනට යමුයි කියලා”  


“එහෙනම් යමං” පොලිස් ඔපිසර කිව්වා. දැන් පොලිස් ඔපිසර පිටුපසින් එනවා. සිළිඳු ඉස්සරයින් යනවා. කැලේ මැදින් ටික දුරක් ගියාම සිළිඳු කිව්වා මට මුත්‍රා බරයි. මං පොඩ්ඩක් මුත්‍රා කරලා එන්නං කියලා පහු වුණා. දැන් පොලිස් ඔපිසර ඉස්සරහිං යනවා. සිළිඳු පස්සෙන් යනවා. ටික දුරක් ​ඔහොම ගියා. එක පාරටම සිළිඳු පොලිස් ඔපිසරගේ පිටුපසට කිට්ටු කරලා කොකා ගැස්සුවා. පොලිස් ඔපිසර එතෙනම මැරුණා.  


සිළිඳු නැවත විදානාරචිචිලගේ ගෙදරට දුව ගියා. ගෙදර කඩුල්ල ළඟට ​ගොස් විදානාරච්චි, විදානාරච්චි කියලා කෑ ගැහුවා. විදානාරච්චි සිළිඳු යන කොට වැසිකිළියට යන පාරේ බැද්ද සුද්ද කරමිනුයි ඉඳලා තියෙන්නේ. සිළිඳු දැක්ක ගමන් විදානාරච්චි ඇහුවා මොකදැයි කියා ගෙන කඩුල්ල ළඟට ආවා.

 
අපි යනකොට මුවෙක් හිටිය මං වෙඩිල්ලක් පත්තු කළා. උෟ වෙඩිපාර කාගෙන මුකලානට වැදුණා. ඊයම් බරුවක් ඉල්ලගන්නයි ආවේ. තව වෙඩිල්ලක් කොටා ගන්න කියලා සිළිඳු කිව්වා.  


“කෝ අපේ ඔපිසර” විදානාරච්චි ඇසුවා.   


“මුවා වෙඩි තිබ්බ තැන ඉද්දියි මං ආවේ”  


විදානාආරච්චි ඊයම් බරුවක් ගෙන්න ගෙට යන්න හැරණ විතරයි සිළිඳු විදානාආරච්චිටත් වෙඩිල්ලක් පත්තු කළා. විදානාරච්චි මිදුලේම මැරිලා වැටුණා.  


ඉන්පසු සිළිඳු ගෙදර ඇවිත් කෙලිම්ම ගියේ සිළිඳුගෙ මස්සිනා ජයලස්සන විජේනායක ගම්මුලාදෑනිය​ෙග් ගෙදර. මං නයයි පොළඟයි දෙන්නා මැරුවා. කියලා ගම්මුලාදෑනියා බොහෝම සතුටු වුණා.   


උඹ දැන් හම්බන්තොට ගිහිං මුදලිට මේ සියල්ල කියාපන් කියලා ජයලස්සන විජේනායක කිව්වා. ඊට පස්සේ දවසෙ නඩුකාරයයි. පොලිසිය මරණ පරීක්ෂණය කරලා සිළිඳු නැවත එක්ක ගෙන ගියා. සිළිඳු සීයා ගෙදර ගෙන එනවිට අපේ තාත්තාගේ වයස අවු. 1 1/2ක් ලු. තාත්තට සහෝදරයන් 2ක් හා සහෝදරියන් එක් අයෙක් හිටියා.  

 
සිළිඳු සීයා හිරේ ගියා. කිසිම කෙනෙක් බලන්ට ගිහිං නැහැ. මිනිස්සු යන්න දන්නෙත් නැහැ.

  
බ්‍රිතාන්‍ය රැජින ලංකාවට ගොඩ බැස්සම සිරකරුවෝ සමහරක් නිදහස් කරනවා. ජයලස්සන විජේනායක මස්සිනාට ලිපියක් ඇවිත් තියෙනවා සිළිඳුගේ ගේ දොර වතුපිටි බිරිඳ දරුවන් ගැන විස්තර අහලා. සිළිඳු නැවත සිරෙන් ආවෝත් තමන්ටත් මැරුම් කන්නවේවි කියලා ගේ දොරත් නැහැ. බිරිඳ දරුවොත් නැහැ කියලා ලිපියක් යවලා. මේ අය ජීවත්ව ඉඳල තියෙනවා.  


“පසුව සිළිඳු සියා බ්‍රිතාන්‍ය යටත් විජිතවල වහල් සේවයට ගෙන ගියාලු. එහෙදී සීයා මැරෙන්න ඇති යැයි” රත්නායක ආරියදාස මුනුපුරා අප සමඟ කීය.  


ඉන්පසු අප ගියේ උඩ මත්තල විදාන ආරච්චිලාගේ පරම්පරාව සොයා ගෙනය. එහිදී අපට දැනගන්නට ලැබුණේ විදානාරච්චිලාගේ මිනිපිරියක් උඩමත්තල ජීවත් වන බවය. ඇය නමින් ලීලාවතී සිරිවර්ධනය (අවු. 60) ඇගේ ස්වාමිපුරුෂයා ලොකු ගමගේ සෙනවිරත්න. කරුණු රැස් කිරීමේදී ඔහුගෙන් සිදු වූ සේවය අපමණය.  


ලීලාවතී සිරිවර්ධන කටහඩ අවදි කළේ මෙලෙසින්ය.’’ අපි විදාන ආරච්චිලගේ පරම්පරාවේ අය.

 
1818 නැටොල්පිටිය සිට පැමිණි මුල්පිටවැව බැඳගෙන පවුල් තුනක් වැව ආශ්‍රිතව ජීවත් වුණා. මෙ අය ජීවත් වූයේ හේන් හදාගෙනයි.  


මුලින්ම ආවේ පවුල් තුන තමා දොන් හෙන්ද්‍රිස් සිරිවර්ධන, දොන් අන්ද්‍රිස් සිරිවර්ධන සහ දොන් ජාලන් සිරිවර්ධන යන අයයි. ඉන්පසුව සියඹලාකටුව වැව හදාගෙන එතැනට මාරු වුණා. එතැන ටික කලක් ඉඳලා මල් අස්න ගල්වැව ළඟට පදිංචියට ආවා. හේන් කුඹුරු පිටිහදාගෙන ජීවත් වුණා. දැන් ඉන්නේ පස්වන පරම්පරාවයි.  


අපේ තාත්තාගේ ලොකු අප්පච්චි තමා දොන් පේද්‍රිස් සිරිවර්ධන විදානාච්චි. එයාගේ පුතා දොන් කුසුමන් සිරිවර්ධන පොලිස් ඔපිසර. මේ දෙන්නා මරපු කථාව තමා හම්බන්තොට හිටපු උප ඒජන්ත බැදදේගම කියලා ලිව්වේ. මේ අය ජීවත් වූයේ මල් අස්න ගල්වැවේ. පසුකාලීනව මත්තලට එම පරම්පරාව ආවා.  


මල් අස්න ගල්වැව ළඟ හම්බන්තොට ඒජන්ත නඩු ඇසූ සූරිය ගහ තාම තියෙනවා.   


උඩ මත්තල ගම්වැසියන් මල්අස්න ගල් වැව අසල නඩු ඇසූ බව කීවත් අදටත් ලෙනාඩ් වූල්ෆ් නඩු ඇසූබව ප්‍රකටව ඇත්තේ මිගහජදුර හංදිය අසල ඇති දැවැන්ත සියඹලා ගස යටයි.

 
අනතුරුව අපි මත්තල ගුවන්තොටුපළ හරහා හම්බන්තොට - මිගහජදුර කාපට් පාරට වැටී මීගහජදුර සියඹලා ගස බැලීමට ගියෙමු.  


එහි ගිය විට අපට දැක ගත හැකි වූයේ ඉතා පෞරාණික දැවැන්ත සියඹලා ගසකි. එහි අසල ඇති නාමපුවරුවක ගසක ඇත්තේ “ලෙනාඩ් වූල්ෆ් මහතා ප්‍රථම ජංගම උසාවිය පවත්වන ලද ස්ථානය” යනුවෙනි. මෙම ඓතිහාසික සියඹලා ගස මධ්‍යම පරිසර අධිකාරිය මගින් සංරක්ෂණය කරනු ලබයි. සියඹලා ගස ළග පොත් සහ පත්තර කඩය පවත්වාගෙන යන මීගහජදුර මහා විද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පති එස්.එ්. මුණසිංහ මහතා (අවු. 82) පවසන්නේ අපූරු කථාවකි.  


මා මාතර මාකඳුරෙන් මහගල් වැව කනිෂ්ඨ විද්‍යාලයට ආවේ උපගුරුවරයකු වශයෙන් 1970දී මිගහජදුර විද්‍යාලයේ වැඩබලන විදුහල්පති වශයෙන් පත්ව ආවා 1995 සිට මිගහජදුර විද්‍යාලයේ විදුහල්පති වශයෙන් පත්ව සේවය කර විශ්‍රාම ගියා. දැන් මා මීගහජදුරෙන්ම විවාහ වී මෙහේ නතර වුණා.  


සියඹලා ගස ගැන හොඳින් දැන සිටියේ ගමේ ජීවත් වූ මල්හාමි මුත්තාය. මුත්තාට අවු. 10ක පමණ කොල්ලා කාලයේ සුදු මහත්මයෙක් අශ්වයා පිටින් අවුත් ගමේ මිනිස්සුත් සමඟ කථා කරමින් ඉන්නවා. පසු කාලයක ගමේ මිනිස්සුන්ගේ නඩු සුදු මහත්තය සියඹලාගස යට නඩු ඇසුව බවත් මල්හාමි මුත්තා කියා තිබෙනවා.  


මීගහජදුර නල්ලපෙරුම දිසානායක විදානාරච්චි මහත්තයටත් ලෙනාඩ් වූල්ෆ් උපඒජන්ත වරයා කියා තිබෙනවලු ගමේ මිනිසුන්ට සියඹලා ගස යටට එන්න කියන්න කියලා. පසුව මේසය හා පුටුවක් ගෙනත් තබා ගමේ නඩු ඇසූ බවට ගමේ පැරන්නන් කියනවා.  


සියඹලා ගස යට අසා තිබෙන්නේ හේන් විවාහ, කමත් විවාහ, බදු නොගෙවීම් සහ ලැයිසන් නැති තුවක්තුවක් පිළිබඳ නඩුය.  


මල්හාමි මුත්තා කියන දේ සහ ජනතාවගේ කටින් කට එන කතාත් අනුව මීගහජඳුර සියඹලාගස යට ප්‍රදේශවාසීන් ගේ නඩු ලෙනාඩ් වුල්ෆ් දිසාපති විසින් අසන ලද බව සනාථ වේ. 

 

 

 

සටහන හා ඡායාරූප අම්බලන්තොට විශේෂ 
ඩී.ජී. ජයසුන්දර