පොලිස් පොතේ ලියැවුණු අකල් මරණ


මිනිස් ඝාතන දිවි නසා ගැනීම්  වැඩි වූ වසරක්

උතුරු - නැගෙනහිර සන්නද්ධ ගැටුම් ඇති වීමටත් 71 අප්‍රේල් කැරැල්ලටත් 88-89 යේ කළු ජූලිය හා භීෂණ සමයටත් පෙර නිතර නිතර මනුෂ්‍ය ඝාතන අසන්නට දකින්නට නොවූ සමාජ ක්‍රමයක් අපේ රට තුළ පැවතිණි.   


වියපත් ව ජීවිතයේ කෙළවරට පැමිණි අයකුගේ මරණයක් හැර හෘදයාබාධයකින්, සර්ප දෂ්ටයකින් හෝ එවැනි උවදුරකින් මිය යන අයෙකු ගැන මිස හදිසි මනුෂ්‍ය ඝාතන සිදු වූයේ අල්ප වශයෙනි. කල් යත්ම සංකීර්ණ වූ සමාජයේ අපරාධ වර්ධනය විය. 1951 වසරේ සිදු වූ රෙජිනා සතාසිවම් ඝාතනය, වංගෙඩියේ මිනීමැරුම නමින් මාධ්‍යයෙන් ප්‍රකට විය. ඉන් අනතුරුව කැලැත්තෑවේ ඝාතනය, ගෝඨාභය කිරඹකන්ද මිනීමැරුම තිස්මඩ මිනීමැරුම ජීවිතයක් බිලි ගත් හාර ලක්ෂයේ මංකොල්ලය හෝකන්දර සමූහ මිනීමැරීම් ආදිය අනේ! අපොයි! කියා කම්මුලේ අත තබා ගැනීමට සිතෙන ඝාතන පුවත් මවන්නට සමත් විය.


70-80 දශකයේ ප්‍රේමවතී මනම්පේරි, මතුගම සමන්කුමාර වැනි ඝාතන කවි කොළ හා ගීත මගින් වඩාත් ප්‍රකට වූයේය. එම සමාජ වාතාවරණය අද වන විට බෙහෙවින් වෙනස් අතට හැරී ඇත. පොලිස් දෙපාර්තමේන්තුව සපයන වාර්තාවලට අනුව 2018 ජනවාරි සිට 2018 නොවැම්බර් තිහ දක්වා මිනී මැරීම් හාරසිය පනස්තුනක් සිදු වී තිබේ. එයින් හාරසිය එකක අපරාධ විමර්ශන සිදු කොට නඩු පැවරීම් සිදු කොට ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් හෙළිදරව් කරයි. එම මනුෂ්‍ය ඝාතන අතරින් වැඩිම ප්‍රමාණයක් සිදු වී ඇත්තේ බස්නාහිර පළාතේ වන අතර දෙවැනි වැඩිම මනුෂ්‍ය ඝාතන ප්‍රමාණයක් සිදු වී ඇත්තේ දකුණු පළාතේය. ඉකුත් වසරේ 2017 වස​ෙර් සිදු වූ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 2018 වසරේ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව හා සැසඳීමේදී සංඛ්‍යාත්මකව වැඩි අගයක් ගනී.   


2017 වසරේ සිදු වූ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 412 කි. 2018 වස​ෙර් මරණ සංඛ්‍යාව 453 කි. 2018 වසරේ සිදු වූ මනුෂ්‍ය ඝාතනවලදී වෙඩි තැබීම් හතළිස් පහක් සිදු වී ඇත. ඉන් සිදු වූ මරණ සංඛ්‍යාව 47 කි. 

 
පහරදීම්, පිහි ඇනුම්, ආයුධවලින් කපා කොටා දැමීම්, පොලු පහර දීම් වැනි විවිධ ස්වභාවයන්ගෙන් එම මරණ සිදු වී ඇත. පොලිස් වාර්තා අනුව වසර ආරම්භයේ සිට නොවැම්බර් මස අවසානය දක්වා දියේ ගිලීම් හේතුවෙන් 688 දෙනෙක් මිය ගියහ. ඒ අතර පිරිමි 565 ක් හා ගැහැනු 123 ක් ද වූහ.   


සිය දිවි හානිකර ගැනීම් හේතුවෙන් මෙම වසර තුළ 3070 දෙනෙක් මිය ගිය අතර එයින් 617 දෙනෙක් කාන්තාවන්ය.   


සිය දිවි හානිකර ගැනීම් හේතුවෙන් මිය ගොස් ඇති පිරිමි සංඛ්‍යාව 2453 කි.   


මෙහි සඳහන් එකිනෙක දත්ත සමාජ ගැටලු රැසක් පිළිබිඹු කරන්නකි. සංකීර්ණ සමාජ පසුබිමක් තුළ ඉස්මතු වන ගැටුම් පිළිබඳ හඳුනා ගැනීමට එම තොරතුරු බෙහෙවින් ඉවහල් ය.   


ජීවත් වීමේ අයිතිය අප සැමට හිමි පරම අයිතියකි. ගෙවී ගිය වසරේ සිදු වූ මනුෂ්‍ය ඝාතන අතර වඩාත් අවධානයට ලක් වූ පුවත් කිහිපයක් සාරාංශ කොට අපි මෙලෙස දක්වන්නෙමු.   


ගෙවී ගිය වසරේ ජුලි මස ගම්පොළ ප්‍ර​ෙද්ශයේ මවක් තම ආබාධිත දියණිය පොල්ලකින් ගසා මරා දැමීමෙන් පසුව සිරුරට ගිනි තැබීමේ පුවතක් වාර්තා විය. 67 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක අැය සිය සැමියාගේ ආධාර උපකාරයකින් ද තොරව අාබාධිත දියණිය දිගු කලක් රැක බලාගෙන තිබේ.   


මාතර නගරයම බිය ගන්වමින් දකුණේ පාතාලයේ බිය යළි සමාජ ගත වූයේ ඉකුත් ජුලි මාසයේදීය. කොස්ගොඩ තාරක හෙවත් තාරක පෙරේරා ඇතුළු පාතාල සාමාජිකයෝ මාතර පිහිටි ප්‍රසිද්ධ ස්වර්ණභාරණ වෙළෙඳසලක් කොල්ලකෑමට ආ විට සිදු වූ මෙම ගැටුමෙන් පොලිස් විශේෂ කාර්යය බළකායේ පොලිස් කොස්තාපල්වරයෙක් මිය ගියේය. මෙම සිදුවීමට සම්බන්ධ පාතාල සාමාජික චාමර ඉන්ද්‍රජිත් නමැත්තා අත් බෝම්බයකින් පොලිසියට පහර දීමට උත්සහ කළ බවත් ඒ අනුව පොලිසිය සිදු කළ වෙඩි තැබී​ෙමන් ඔහු මිය ගිය බවද අනාවරණය විය. 


සිංහල හින්දු වසර ආරම්භයේදී ගම්පහ අත්තනගල්ල ව්‍යාපාරික සංගමය හා තරුණ පිරිස එක්ව සංවිධානය කර තිබූ සංගීත සංදර්ශනයක් අතර තුර හෙයියන්තුඩුවේ ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කෙරිණ. මාතර සිදු වීමට සම්බන්ධ පාතාල සාමාජිකයන් මෙම සිදු වීමට ද සම්බන්ධ බව පසුව අනාවරණය විය.   


රත්නපුර වෙරළුප ශ්‍රී සම්බුද්ධාරාම විහාරස්ථානයේ විසූ හිමිනමකට අදාළ නඩුවක් විභාග කිරීම සඳහා නියමිත දිනයේ අධිකරණයේ පෙනී නොසිටීම නිසා සොයා බැලීමට ගිය රත්නපුර පොලිස් ස්ථානායේ පැමිණිලි අංශයේ පොලිස් සැරයන්වරයා භික්ෂුව විසින් ගෙල මිරිකා මරා දැමීම පිළිබඳ පුවතද ආන්දෝලනයට ලක් විණ. මාතර සිට ආම්පාර දක්වා ගමන් ගත් බස් රථයක ගමන් ගත් අයෙක් ඔහුට ආසන්නයේ සිටි තවත් මගියකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කරමින් මරා දමන ලද පුවතක් ද වාර්තා විය.   


නඩු විභාගයකට පෙනී සිට ආපසු පැමිණෙන අතර අදාළ පුද්ගලයා ඝාතනය කර තිබුණි.   


​ෙපම්වතා විසින් තම පෙම්වතිය මහ මඟ දී ප්‍රසිද්ධියේ ගෙල සිරකර මරා දමන පුවතක් රූපගත කර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමක් නිසා මහත් සමාජ කැලඹීමක් ඇති විය. මොණරාගල ප්‍රදේශයේ සිදු වූ මෙම ඝාතනය පටිගත කළ තරුණ පිරිස එම ඝාතනය වළක්වා නොගෙන දර්ශන පටිගත කිරීම දැඩි දෝෂදර්ශනයට ලක් විය. 

 
ජීවවිද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ සිසුවෙක් උපකාරක පන්ති සඳහා සහභාගි වෙමින් සිටින අතර තුර සම වයස් සිසුවකු අතින් සිදු වූ පිහි පහර කෑමකින් මිය ගියේය. අදාළ සිසුවා මිය යන දර්ශන එම ප්‍රදේශය ආශ්‍රිතව සවි කොට තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන් වී තිබුණි. ප්‍රසිද්ධියේ සිදු වූ මෙම මිනී මැරීම් දෙකම අවට සිටි පිරිස් දුටු නොදුටු ආකාරයට කටයුතු කිරීම අද සමාජ ඛේදවාචකයේම පැතිකඩකි.   

 

 

කොළඹ මෝදර මුතුවැල්ල මාවතේ දී අගෝස්තු මස දහවල් තරුණයෙක් ඝාතනය විය. ඉන් දින කිහිපයකට පසුව කොළඹ ජම්පටා වීදියේ දී අඹු සැමි යුවළක් ද ඝාතනය වූහ. ඊට සම්බන්ධ පාතාල සාමාජිකයෝ ද පොලිස් අත්අඩංගුවට පත් වූහ.   


තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ දෙසැම්බර් 25 දා (නත්තල් දින) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් සිව් දෙනෙක් මිය ගියහ. නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි තැබීමකින් අදාළ මරණ සිදු වූ බව පොලිසිය නිවේදනය කළේය. පානදුර විසූ ප්‍රසිද්ධ ගායන ශිල්පිනී ප්‍රියාණි ජයසිංහ සිය සැමියා එල්ල කරන ලද ආයුධ පහර දීමකින් මිය ගියාය.   


ඇය මිය යන විට 51 වියේ පසු වූවාය. එම පුවත කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් අතර ද කතා බහට ලක් වූවකි. එළඹෙන නව වසරේ මෙවැනි දුක්ඛිත පුවත් අසන්නට දකින්නට නොලැබේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි. එහෙත් ඒ සඳහා යහපත් සමාජ ආර්ථික මෙන්ම දේශපාලන පසුබිමක් ද ගොඩනගා ගැනීම අවශ්‍යයි. එවැනි ස්ථාවර භාවයක් තුළ රටේ අපරාධ රැල්ල ද මර්දනය වනු ඇත.

 

 

 

සටහන : සමන්තිකා මාධවී