පුරාණ සිත්තරුන් බළල් රැවුලෙන් නිර්මාණය කළ පින්සල්


 

 

පුරාණ ලාංකේය සිතුවම් ශිල්පියා තම නිර්මාණයන් සිදුකිරීමේදී අවශ්‍ය වූ පසුතලය, වර්ණ, වලිත්තිය (සිතුවම මත ආලේප කරන ආරක්ෂිත වැස්ම) සකසාගෙන ඇත්තේ ස්වභාවික අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන බව පෙනේ. එසේම සිතුවම් වර්ණ ගැන්වීම සඳහා අවශ්‍ය වූ පින්සල් එනම් තෙලිකූරු සකසාගෙන ඇත්තේද ස්වභාවික පරිසරයෙන් සපයාගත් විවිධ අමුද්‍රව්‍යවලිනි. එහිදී බළලාගේ රැවුල්ගස්වලින්ද පින්සල් සාදාගෙන ඇති බව පැවසුවහොත් ඔබ පුදුමයට පත්වෙනවා ඇත. නමුත් එය සත්‍යයකි. එපමණක් නොව තවත් බොහෝ සත්වයින්ගේ ලොම් ද, ශාකවල කෙඳි ද පින්සල් තනාගැනීම සඳහා මෙසේ උපයෝගී කරගෙන ඇත. 


මෙරට සිතුවම් කලාවේ නිරතවූ පැරැණි සිත්තරුන්ගේ පින්සල් එනම් තෙලිකූරු නිෂ්පාදන තාක්ෂණය හැදෑරීමේදී ඒ පිළිබඳව පුරාවිද්‍යාත්මක සාධක නොලැබෙන බව පෙනේ. එයට හේතුව ඒවා ඉක්මනින් විනාශවන කාබනික ද්‍රව්‍යවලින් නිපදවා තිබීමය. අනුරාධපුර සමයට අයත් සීගිරි සිතුවම් නිර්මාණයේ දී සිත්තරා භාවිතා කරන ලද තෙලිකූරු පිළිබඳව කිසිදු සාධකයක් නොලැබෙන නමුත් වර්ණ භාවිතා කිරීම හා රේඛා අධ්‍යයනයේදී විවිධ ප්‍රමාණයේ තෙලිකූරු භාවිත කර ඇති බව සනාථ වේ. ඇතැම් ස්ථානවලදී ඉතා සිහින් වැඩ කර ඇති බවත් ශිල්පියා තෙලිතුඩ ඔහුට අවනත කරගෙන ඉතා ශීඝ්‍රව-ඉක්මනට සිතුවම් නිමවා ඇති බවත් පාරම්පරික චිත්‍ර ශිල්පී එස්.පී. චාල්ස් මහතා සඳහන් කරයි. එහිදී සිහින් තෙලිකූරු භාවිතා කර ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත. 


දිඹුලාගල ලෙනේ සිතුවම් අතර ඇති සස ජාතකය දැක්වෙන සිතුවමෙන් එකල භාවිතා වූ තෙලිකූරු පිළිබඳව යම් දළ අවබෝධයක් ද ලබාගත හැකිය. එහි සක්දෙව් රජු හාවාගේ රුව හඳෙහි අඳින අයුරු දක්නට ලැබෙන අතර එහි නිර්මිත තෙලිකූර සිහින් ද්‍රව්‍යයකි. පොළොන්නරු සම්ප්‍රදායේ රේඛා භාවිතයක් මෙම සිතුවම් කලාවෙන් යම්තාක් දුරකට විද්‍යමානවීමෙන් තිවංක පිළිමගෙයි සිතුවම් ඇඳි සිත්තර පරපුරේ ආරම්භකයින් මෙම සිතුවම් නිර්මාණයෙහිලා දායකවෙන්න ඇති බවට අනුමාන කළ හැකිය. 
පොළොන්නරු යුගයේ දී පාරම්පරික සිත්තරා යොදාගත් තෙලිකූරු පිළිබඳ අධ්‍යයනයේ දී තිවංක පිළිමගෙයි සිතුවම් නිමවූ සිත්තරා භාවිතා කළ තෙලිකූරු පිළිබඳව යම් හෝඩුවාවක් අපට ලබාගත හැකි අපූර්වතම සිතුවමක් වේ. එනම් සස ජාතකයේ හඳේ භාවාගේ රුව සිතුවම් කරන අවස්ථාවයි. මෙම විහාරයේ සිතුවම් නිර්මාණයේදී චිත්‍රවල පිට වටය රතු කිරීමේදී කුඩා තෙලිකූරු ඒ සඳහා භාවිතා කර ඇති අතර විශාල ප්‍රදේශ ලොකු තෙලිකූරුවලින් පුරවනු වෙනුවට එම ස්ථාන වර්ණ ගැන්වීමද කුඩා තෙලිකූරු මඟින් සිදුකර තිබේ. මෙම සිතුවම් නිර්මාණයේ දී ටෙම්පරා ක්‍රමය උපයෝගී කරගත් බව චාර්ල්ස් මහතා සඳහන් කළත් අග්‍රවාල් මහතා පෙන්වා දෙන්නේ මෙහිදී ෆෙස්කො ලස්ට්‍රො (Fresco Lustro) ක්‍රමය භාවිත වී ඇති බවයි. සීගිරි සිතුවම් නිර්මාණ ශිල්පියා ද යොදාගෙන තිබුණේ මෙම ක්‍රමයම වේ. දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ  යන අවධීන්වලදී අපේ පැරැණි සිත්තරුන් යොදා ගත් තෙලිකූරු පිළිබඳව කිසිදු සාධකයක් නොලැබේ. 


මහනුවර යුගයේ සිත්තරුන් සිතුවම් නිර්මාණය කිරීමේ දී තමන්ට අවශ්‍ය පින්සල් හෙවත් තෙලිකූරුද තමන් විසින්ම නිර්මාණය කරගෙන තිබේ. එහිදී සත්ව ලෝම සහ ශාක කෙඳි උපයෝගී කරගැනීමට එම ශිල්පීන් යුහුසුලුවී තිබේ. ප්‍රමාණයෙන් කුඩා එනම් සිහින් පින්සල් සෑදීම සඳහා බළල් ලොම් සහ ලේන ලොම් භාවිතා කළ බවට මත පවතී. නමුත් පී. උල්ලුවිස්හේවා මහතා සඳහන් කරන්නේ එම සත්ත්ව ලොම් භාවිතයෙන් සාදාගත්තේ මධ්‍යම ප්‍රමාණයේ පින්සල් බවය. තෘණ වර්ග, මල්රේණු හා මුල්වර්ග ආදියද තෙලිකූරු සාදාගැනීමේදී උපයුක්ත කොටගත් බවට සාධක ලැබෙන අතර ඇත් තුත්තිරි කෙඳි, නාමල් රේණු මෙන්ම වැටකෙයියා මුල්ද මේ සඳහා යොදාගෙන තිබේ. එහිදී මධ්‍යම ප්‍රමාණයේ තෙලිකූරු කෝමල ළපටි වැටකේ අරළුවලින් තනාගෙන ඇත. පැතලියට වර්ණ යෙදීම අවශ්‍ය වූ විට සිත්තරුන් ඒ සඳහා භාවිතා කර ඇත්තේ නියන් තෙල්ලය. චිත්‍රයට යටින් අකුරින් චිත්‍රයේ පාඨ ලිවීම හා සිතුවමේ කවි ලිවීම ආදිය කරන ලද්දේ අකුරු තෙල්ල මඟිනි. මෙහිදී ඉතා සියුම් රේඛා ඇඳීමට අවශ්‍ය තෙලිකූරු සාදාගෙන ඇත්තේ තෙලිතණ තන්තුවලින් වන අතර තෙලි තණ යොදාගැනීිම නිසා මේවා තෙලිකූරු නමින් හැඳින්විණැයි ද මතයක් වෙයි. තෙලිකූරු සාදාගැනීම සඳහා භාවිත කළ තෙලි තණ මෙරට බහුලව පැතිරී තිබී ඇති අතර විශේෂයෙන් සත් කෝරලේ බහුලව පැවතුණු බවට සඳහන් වෙයි. එහිදී තෙලිතණ ගස ගෙන ඇඟිලි තුඩු දෙකෙන් අල්ලා මැද පොඩිකර එකට බැදුණු කෙඳි ස්වල්පය හීන් මිටක බැඳ තෙලිකූර සාදාගෙන තිබේ. තෙලියාගේ හොටට සමාන නිසාම එයට තෙලිකූරු යන නම භාවිත කළ බවටද මත ඇත. එසේම තෙලිකූරට තුලිකාව යන නමද භාවිතා වී ඇත. විශේෂයෙන් නේත්‍රා තැබීම සඳහා රන්තුලිකාව ගෙන ඇත. දඹුලු විහාරයේ නේත්‍රා මංගල්‍යයේදී රජු විසින් දෙන ලද රන්තුලිකාව රන්ගිරි දඹුලුවිහාර සිත්තර පරපුරේ නිලගම ආභරණ අප්පු සිත්තරා ළඟ තිබී ඇත. එම මහතා වසර 89 ක් ජීවත් වී 1976 දී මියගොස් තිබේ. රටේ නොයෙක් තැන්වල තෙලිතණ තිබුණද ඒවා හඳුනන අය අවම වන අතර පාරම්පරික චිත්‍ර ශිල්පී චාර්ල්ස් මහතාද තෙලිතණ සොයාගෙන ඇත්තේ පොළොන්නරුවේ තිවංක පිළිමගෙයි සමීපයේ වෙද මහතකුගේ මාර්ගයෙනි. කුණ්ඩසාලයේ නරේන්ද්‍රසිංහ මාලිගය අසල ද එකල තෙලි තණ පැවැති බව සඳහන් වේ. 

 

 


පුරාණ සිත්තරු බළලුන්ගේ හා ලේනුන්ගේ රෝමවලින් පමණක් නොව බළලාගේ රැවුලේ මයිල්ද ගෙන තෙලිකූරු සාදාගෙන ඇත. එහිදී බළලාගේ රැවුලේ රෝම ගස් පහක් එකට බැඳගෙන හීන් රේඛා ඇදීමට භාවිත කළ බව එල්.ටී.පී. මංජු ශ්‍රී මහතා සඳහන් කර තිබේ. රෝම ගොඩක් ඇඟිලි දෙකට නොගෙන අතට ගත හැකි තරමක් ගෙන ඕනෑ ප්‍රමාණයකට ස්වල්පය ස්වල්පය බැගින් එකතුකර ඕනෑම ප්‍රමාණයක තෙලිකූරක් සාදාගත හැකි විය. එම රෝම ගැටගැසීමේදී පැණි මුලේ ගැටේ හෝ හවරි ගැටේ ගසා සම්බන්ධ කරගන්නා ලදී. එසේම මුවන්ගේ, ගෝනුන්ගේ, අශ්වයන්ගේ බඩයට රෝමද තෙලිකූරු සඳහා බොහෝ සෙයින් යොදාගෙන තිබේ. ඔටුවාගේ ලෝමද තෙලිකූරුවලට සුදුසු විය. උගුඩුවාගේ රෝමවලින් තැනූ තෙල්ල “උගුඩු ලෝම් තෙල්ල” යනුවෙන් හඳුන්වන අතර ලෝම එකට එකතුකර බැඳ බට පුරුකක් ඇතුළෙන් යවා තද කරගන්නා තෙල්ලට “බටතෙල්ල” යයිද කියනු ලැබේ. මෙම රෝම දිගැටි ප්‍රමාණයේ ආකාරයට එකින් එක අල්ලා තබා බැඳ මිටක සවිකරගෙන ඇත. ඇතැම් අවස්ථාවලදී කෙඳි වෙනම බැඳ කුඩා බටයක රඳවා තබාගෙන අවශ්‍ය වූ විටක තමාට පුරුදු පින්සල් මිටක සවිකරගන්නා ලදී. විශාල පදාස වර්ණ ගැන්වීම සඳහා තෙලිකූරු සාදාගෙන ඇත්තේ වැටකෙයියා මුල්වලින් වන අතර එහිදී මුලෙහි පොතුහැර හැඩයට හීන් කර පැත්තක් තලාගනු ලැබේ. එසේම මෙවන් විශාල පින්සල් සාදාගැනීම සඳහා පොල් හනස්සද භාවිතා කර ඇත. දැහැටි සාදාගන්නා බොහෝ දැව වර්ගවලින්ද තෙලිකූරු තනාගෙන ඇති බව චාර්ල්ස් මහතාගේ අදහසයි. තෙලිතණවලින් පින්සල් සාදා ගැනීමේදී එය ගුරුවරයෙකුගෙන් ඉගෙනගත යුතුවන්නට ඇත. මෙහිදී තරමක් මෝරා එන තෙලිතණ ජලයෙන් තම්බාගත යුතු අතර ඉන්පසුව වේළාගනු ලැබේ. තෙලිකූරු වඩාත් මෝරා තිබුණහොත් ඒවා දීර්ඝ කාලයක් භාවිතා කිරීමට අපහසුවේ. කුරුණෑගල රිදී විහාරයේ බද්ධ පර්යංකයෙන් වැඩ සිටින පිළිමයේ ආසන්නයේ ඇඳ ඇති හේවායන්ගේ රූප තෙලිකූරෙන් ඇඳි විශිෂ්ට කෘති ලෙස විද්වතුන් පෙන්වාදෙයි. කෙසේ නමුත් භාවිතයේදී ක්ෂයවී යන බැවින් මෙම යුගයේ භාවිතා කරන ලද තෙලිකූරු පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක නොමැති තරම්ය. 


පුරාණයේ සිතුවම් කලාවේදී පමණක් නොව වෙනත් කලා නිර්මාණවලදීද පින්සල් භාවිතාවී ඇති අතර බලි සිතුවම්කරණයේදී ප්‍රයෝජනයට ගනු ලබන පින්සල් හෙවත් තෙලිකූරු හඳුන්වනු ලබන්නේ “චෛත්‍ය” යන නමිනි. මේවා කුඩා චෛත්‍ය හා මහ චෛත්‍ය යනුවෙන් වර්ග දෙකකි. කුඩා චෛත්‍ය සකස්කරගෙන ඇත්තේ බළලුන්ගේ සහ ලේනුන්ගේ ලෝම් උපයෝගී කරගෙන වන අතර එසේම එළුවන් හා ඕළු මුවන්ගේ රෝමද මේ සඳහා භාවිතා කර තිබේ. මීට අමතරව ඇතැම් පැළෑටි වර්ගවල කෙඳිවලින් සහ වැටකෙයියා වැනි ශාක මුල්වලින් පිළියෙල කරගනු ලැබූ චෛත්‍යයද භාවිතයට ගෙන ඇත. ලොම්වලින් සකස්කරගන්නා කුඩා චෛත්‍ය ප්‍රයෝජනවත් වී ඇත්තේ බලි රූපවල සියුම් ඉරි සහ සියුම් තැන් චිත්‍රණය කිරීමටය. ග්‍රහරූප සිත්තම් කිරීමටද එය උපයෝගී කරගෙන තිබේ. ඒ සඳහා වඩාත් යෝග්‍යවී ඇත්තේ ගවයින්ගේ කර්ණ රෝම උපයෝගී කරගෙන සකසාගත් කුඩා වෛත්‍යය. මහ චෛත්‍ය සකසා ගැනීමට යොදාගෙන ඇත්තේ වඳුරු රෝම හෙවත් වඳුරන්ගේ ලොම්ය. පැරැණි බලි සිත්තරුන් විසින් ප්‍රයෝජනයට ගන්නා ලද තෙලිකූරුවලින් ඇතැම් ඒවා වර්තමානයේදී ද දැකගත හැකි අතර දැනට ශේෂව පවතින එම උපකරණ ඔවුන්ගේ පරම්පරාවල පුද්ගලයන් සතුව පවතී. මෙහිදී කුඩා චෛත්‍ය සාදාගැනීම සඳහා බළලාගේ රෝම ලබාගෙන ඇත්තේ අපූරු අන්දමකටය. එහිදී හොඳින් වැඩුණු හීලෑ බළලෙක් සුරතල් කරමින් දින කිහිපයක් නහවා ඇත. එසේ කිරීමෙන් බළලා ජලයට ඇති බිය පහකරවීමක් අපේක්ෂා කෙරේ. මෙසේ දින ගණනක් ගත වීමෙන් පසු හොඳින් ඉරපායා ඇති වෙලාවක බළලාගේ ඉදිරිපස පාද දෙක සහ මුහුණ අත බර නොකොට අල්වාගෙන උගේ බඩවතට ජලය ඉසිමින් බඩවතේ රෝම ගලවාගෙන ඇත. එසේ ගලවාගන්නා ලද රෝම එකතුකර ගැනීමේදී වෙනත් අයෙකු විසින් චෛත්‍ය සකස් කරගනු ලැබේ. 
මේ අනුව පැහැදිලි වන්නේ පුරාණ ලක්දිව සිත්තරා තම සිතුවම් නිර්මාණයට අවශ්‍ය පින්සල් සකසා ගැනීමේදී ස්වභාවික පරිසරයේ ඇති අපූර්වතම අමුද්‍රව්‍ය රාශියක් උපයෝගී කරගෙන ඇති බව ය. 

 

 

කේ. උදේනි අරුණසිරි   
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව - රත්නපුර