පිළිකා රෝහලටත් පිළිකාවක්


 

 බෙහෙත් හිඟය

 සේවක ප්‍රශ්න

 

මේ මොහොත වන විට මහරගම පිළිකා රෝහල සම්බන්ධව අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී ඇත. ඒ රෝහල පිළිබඳව ප්‍රචාරය වෙන එකිනෙකට වෙනස් මත දෙකක් සම්බන්ධයෙනි. ඉන් එක් මතයක් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායකයන් ප්‍රකාශ කරන අතර අනෙක් මතය රෝහල් වෘත්තීය සමිති නියෝජිතයෝ ප්‍රකාශ කර සිටිති.   


 රෝහල් අධ්‍යක්ෂ දිසානායකයන්ගේ මතය අනුව මෙතෙක් රෝහල තුළ පැවැති අත්‍යවශ්‍ය ඖෂධ වර්ග තිස්පහක හිඟය මේ මොහොත වෙන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග දහයක් (10) දක්වා අඩු වී ඇත. එසේම එම ඖෂධ වර්ග දහයේ හිඟය ද ලබන පෙබරවාරි මාසයේ සිට සම්පූර්ණයෙන්ම අවසන් වෙනු ඇත.   


 වෛද්‍ය දිසානායකයන්ගේ මෙම මතයට අභියෝග කරන රෝහල් වෘත්තීය සංගම් නියෝජිතයෝ සිය අනන්‍යතාව සඟවමින් මෙසේ කරුණු ප්‍රකාශ කර සිටිති.   
‘ඔය කතාව සම්පූර්ණ බොරුවක්. මේ ඔෟෂධ හිඟය හැම අවුරුද්දකම එනවා. ඒක එහෙම වෙන්නේ ඖෂධ සම්බන්ධව රෝහලට ප්‍රතිපත්තියක් නැති නිසා. ඒ වගේම ඖෂධ සම්බන්ධව සැලසුමකුත් නෑ. මේ රෝහල් සැපයුම් අංශයේ තිබෙන දුර්වලතාවක්. සැපයුම් කමිටුව හිතාගෙන ඉන්නේ, වැඩ කරන්නේ කඩේට ගිහිල්ලා බෙහෙත් පෙත්තක් ගන්නවා වගේ රෝහලකට ඖෂධ ගන්න පුළුවන් කියලා.   


මේ ඖෂධ ගැනීම කියන්නේ නිෂ්පාදනය කරන රටකින් ඖෂධ ගෙන්වීම. ඒක සංකීර්ණ සැලැස්මක්. ඒක ආවට ගියාට හදන්න බැහැ වගේම, ඖෂධ හිඟයක් ආවාම හදන්නත් බැහැ. මේ ඖෂධ ගෙන්වීමේ බරපතළම කාරණය තමයි ඖෂධ ගෙන්වීමට යන කාලය. ඒක දීර්ඝ කාලයක්. පහුගිය අවුරුදුවල ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියේ වාර්තා දිහා බැලුවහම පේන දේ තමයි ඒකට මාස තුනක අවම කාලයක් යනවා කියලා.’   
රෝහල් අධ්‍යක්ෂ කියන විදියට පෙබරවාරි මාසයේදී ඖෂධ හිඟය මඟහැරනෙව නම් ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසෙදි ඖෂධ ගෙන්වීමේ ඇණවුම ලබා දෙන්න ඕනෑ. ඒ වුණාට මේ දක්වා එහෙම ඇණවුමක් ලබා දීලා නෑ. රෝහල් අධ්‍යක්ෂ කරලා තියෙන්නේ එක දෙයයි.ඒ හිඟ ඖෂධ වර්ග තුන රෝහල් සැපයුම් අංශයට ලිපියකින් දැනුම් දීම. මේ දැනුම් දීමයි, ඇණවුම් කිරීමට අතර ප්‍රශ්නයක් දැන් තියෙනවා. ඒ ඇණවුමයි, දැනුම්දීමයි අතර වෙනස නොදන්නා එක. මේක තමයි රෝහල් අධ්‍යක්ෂකගෙ කතාවලින් තේරෙන්නේ.   
රෝහලේ වෘත්තිය සමිති නියෝජනය කරන හෙද කාර්ය මණ්ඩලය ඖෂධ හිඟය සම්බන්ධයෙන් උද‌ාහරණ දක්වමින් මෙසේ ප්‍රකාශ කර සිටිති. එම ප්‍රකාශයට අනුව ඔවුන් පෙන්වා දෙන ඖෂධ වර්ග කිහිපයක තොරතුරු මෙසේ දැක්විය හැකිය.   


 මෙම හිඟ ඖෂධ වර්ග මූලිකවම පිළිකා රෝගීන්ට ලබාදෙන ප්‍රධාන ඖෂධ අතරට අයත් වේ. ඒ එම ඖෂධ වර්ග ආමාශගත පිළිකා, රුධිර පිළිකා, පෙනහලු පිළිකා ප්‍රධාන කරගත් පිළිකාවන්ට ලබා දෙන ඖෂධ වර්ග හේතුවෙනි. මෙම ඖෂධ වර්ග නැතුවම බැරි ඖෂධ’ ගනයට අයත් වේ. මේ වෙන විට එම ඖෂධ ද මාස පහක කාලයක සිට හිඟව පවතී. ඖෂධ ගෙන්වීමේදී ගතවෙන ඉදිරි තුන්මාසයක කාලය ද සමග මාස අටක් දක්වා මේ අනුව දීර්ඝ වෙනු ඇත. පිළිකා රෝගීන්ට ‘නැතුවම බැරි ඖෂධ’ ලෙස හඳුන්වන මෙම ඖෂධ මූලික වෛද්‍ය නියමයකට ඇතුළත්ව පවතී. ඒ නොකඩවා එක දිගට, නියමිත කාලයක් දක්වා, සකස් කළ බෙහෙත් වට්ටෝරුවකට අනුව ගත යුතු බවට නිර්දේශ කළ ඖෂධ වර්ග යනුවෙනි.   


 මිලි ලීටර් 100 ක ප්‍රමාණයෙන් නිපදවෙන Docetaxol Injection සහ Palitaxol Injection ඖෂධ වර්ග යුගලය ශරීරයට එන්නත් කරනු ලබන ඖෂධයකි. මෙය තනිව ලබාදෙන ඖෂධයක් නොව, සහායක බොන බෙහෙතක් සමග ලබාදෙන ඖෂධයකි. සුවපත් භාවය හෝ රෝගය යම් තරමකට හෝ පාලනය කරගැනීමට මෙම ඖෂධ වර්ග යුගලයම එකට ගත යුතුය. මාස හයක කාලයක් සඳහා වෙන ප්‍රතිකාර ක්‍රමයක් වෙන මෙහි මේ මොහොත වෙන විට ඉහතින් දක්වා තිබෙන එන්නත් වර්ග දෙක මාස පහක කාලයක සිට රෝහලේ දක්නට නැත. මෙහි එකක මිල රුපියල් හත්දහසකි. ​ඖෂධ හිඟය පැවැති මාස පහක කාලය පුරාවට මෙම ඖෂධය බාහිරින් මිලට ගෙන රෝහලට ගොස් එන්නත් කරගැනීමට රෝගීයාට සිදු වී ඇත. මේ අනුව රෝගියාට මාස හයක කාලයක් නොකඩවා ප්‍රතිකාර ගැනීමට රුපියල් 85,000 ක අමතර මුදලක් වියදම් කිරීමට සිදුව ඇත.   
 VCR Injection සහ Arac Injection නම් එන්නත් වර්ග දෙක ද මාස පහක කාලයක සිට රෝහලේ හිඟ ඖෂධ ලේඛනයට ඇතුළත්ව පවතී. මිලි ලීටර් 100 සහ 200 කුප්පි වශයෙන් නිෂ්පාදනය කෙරෙන මෙම එන්නත් වර්ග දෙක පිළිකා රෝගයේ එක් විශේෂ රෝගි අවස්ථාවක් වෙනුවෙන් දෙනු ලබන ඖෂධයකි. ලියුකේමියා රෝගීන් සඳහා දෙනු ලබන එන්නතක් වෙන මෙම ඖෂධයේ වෛද්‍ය නිර්දේශය නොකඩවා, එකදිගට මාස හයක කාලයක් ලබා දිය යුතුය යන්නයි. දින 14 න් 14 ක කාලයකින් ලබා දෙන මෙම එන්නත් වර්ගය රෝහල තුළ නොමැතිවීම මත රුපියල් පහළොස් දහසක මුදලක් වැයකර බාහිරින් මිලයට ගෙන අපේක්ෂා රෝහලෙන් එන්නත් කරගැනීමට රෝගීන්ට සිදුව ඇත.   
Anastyazolo tablet නම් ඖෂධ වර්ගය බොන බෙහෙතකි. අඩු මිලකින් අලෙවි වෙන මෙම බෙහෙත මාස තුනකට වරක් යටත්ව ගත යුතුය. යම් හේතුවක් මත, ඖෂධ වට්ටෝරුව නියමිත කාලයට පෙර සම්පූර්ණ කිරීමට නොහැකි වූ අවස්ථාවක මෙම ප්‍රතිකාර නැවැත්වූ තැන් සිට යළි ඇරඹිය නොහැකිය. එහිදී නැවතත් ප්‍රතිකාර ක්‍රමයේ මුල සිට යා යුතුය.   
 Aranidex Oral tablet නම් ඔෟෂධ වර්ගය කාන්තාවන්ගේ රෝගී තත්ත්වයන්ට අතිශය වැදගත් වේ. මෙම ඖෂධ වර්ගය පියයුරු පිළිකා සඳහා දෙනු ලබන එකම සහ වඩාත් සුදුසු ඖෂධ වර්ගය ලෙස වෛද්‍යවරු නිර්දේශ කරති. මාස තුනක ඖෂධ වට්ටෝරුවක් වෙන මෙය ද එක දිගට භාවිතා කළ යුතුය.   
 by calutamide tablet නම් ඖෂධය දින 14 කට  ලබාදෙන ඖෂධයකි. මෙම ඖෂධ වර්ගයේ එක් විශේෂත්වයක් ඇත. ඒ ඇණවුම් කළ විගස ගෙන්වාගත නොහැකි වීමයි.   
පිළිකා රෝහල තුළ මාස පහක කාලයක සිට පවතින ඖෂධ හිඟයේ උග්‍රම අවාසනාවන්ත අවස්ථාවක් ද මෙවර උද‌ා වී ඇත. ඒ එම මාස පහක කාලය පුරා පිළිකා රෝගීන්ට අනිවාර්යයෙන්ම ලබාදිය යුතු අයඩීන් ප්‍රතිකාරය නැවතී තිබීමයි. මෙම අයඩීන් ප්‍රතිකාර ක්‍රමය යනු තයිරොක්සින් පිළිකාව වෙනුවෙන් කරන ප්‍රතිකාර ක්‍රමයකි. මෙම ප්‍රතිකාර ක්‍රමයේ මාත්‍රාව හඳුන්වනුයේ ‘මිලි සී වන්’ යන කෙටි නිල නාමයෙනි. මිලි සී වන් මාත්‍රාවෙන් මිලි පනහ, මිලි සියය, මිලි දෙසීයට යටත්ව රෝගියාට ප්‍රතිකාර කෙරෙනු ඇත. තයිරොක්සින් පිළිකාවට ගොදුරුව සිටින රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. ගණනින් හයසීයක් ඉක්මවන අගයක් ගන්නා මෙම රෝගීහු දැනටමත් පොරොත්තු ලේඛනයට ඇතුළත්ව ඉදිරි ප්‍රතිකාර ලැබීමේ අපේක්ෂාවෙන් පසුවෙති.   


 මෙම වර්ගයේ රෝගීන් වෙන්කළ කාමර තුළ පමණක් රැඳවිය යුතුය. ඒ සඳහා සුදුසු කාමර හයක් මේ වෙන විට සකස්කර අවසන් කර තිබේ. එහෙත් එම කාමරවල රෝගීන් රැඳවිය නොහැකි ආකාරයට කටයුතු සිදු වී ඇත. ඒ එම රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය අයඩීන් ලැබී නොමැති බැවිනි.   
 අයඩීන් ප්‍රතිකාරය තුළ නේවාසික රෝගියකු රැඳවීම සම්බන්ධව වෛද්‍ය මතය මෙසේ දක්වා ඇත. ‘‘ඒ යටතේ ප්‍රතිකාර අරඹන ලද රෝගියකු දින හතක් රඳවා ගැනීම අනිවාර්ය කරුණකි. ඒ ප්‍රතිකාරයෙන් දින හතක් ගතවෙන තුරු රෝගියා පරීක්ෂා කළ යුතුය’’ යන නියමය මතය.   
 අපේක්ෂා රෝහලේ රුධිර සාම්පල් අංශය තුළ ද බොහෝ ගැටලු පැන නැගී ඇත. ඒ බව කණිෂ්ඨ නිලධාරීහු පවසති. ඒ අනුව පෙරවරු එකොළහෙන් පසු බාරගන්නා රුධිර සාම්පල පරීක්ෂා කර වාර්තා සැකසීම පස්වරු තුනෙන් පසුව සිදුකරන බව අනාවරණය වී තිබිණ. එම වේලාවෙන් පසු පරීක්ෂා කරන රුධිර සාම්පල් කෑලි පදනමින් ගෙවීමකට ලක්වීම නිසා එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වෙන බව එහිදී හෙළිදරව් වූ තවත් කරුණකි.   


​රෝහලේ කිසිදු වෘත්තීය සමිතියකට සම්බන්ධ නොවූ ස්වාධීන කාර්ය මණ්ඩල සාමාජිකයෝ  අනන්‍යතාව සුරකිමින් වෙනස්ම ආකාරයේ කතාවක් කියති. ඒ ඖෂධ හිඟය ස්වභාවික තත්ත්ව යටතේ හටගත් එකක් නොවන බවය. එයට හේතු දක්වන ඔවුහු එම හේතු මෙසේ පෙළ ගස්වති.  
මේ රෝහලේ සිටින හැමෝම ගොඩක් පළපුරුදු අය. ඒ අය දන්නවා අවශ්‍ය ඖෂධවල ප්‍රමාණයන්. මේ ඖෂධ හිඟය හැම අවුරුද්දකම එන බව නොදැන සිටීම විශ්වාස කරන්න අමාරුයි. ඇයි ඒ අයට බැරි ගිය අවුරුද්දෙ හිඟවුණු ඖෂධ බලලා, සකස් කරන ඖෂධ ඇණවුමේ ඖෂධ ප්‍රමාණයන් ඉහළ දමන්න.  
මේ කාරණය හොඳටම ඇති මේක පැහැදිලි කරගන්න. ඖෂධ හිඟවුණාම ඒකෙ වාසිය එන්නෙ රෝහල අවට ෆාමසි වලට. ඒ රෝහලේ නැති ඖෂධ ෆාමසිවලින් ගැනීමට රෝගීන් පුරුදුව සිටින නිසා. ඉතිං සමහරුන්ට මේක හොඳ ඉල්ලමක්. මේක දීර්ඝ කාලයක ඉඳන් කරන දෙයක්.  
මේ පිළිබඳ කළ සොයාබැලීමකදී අනාවරණය වූයේ පිළිකා රෝහලට පැමිණෙන රෝගීන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද එම කතාව පිළිගන්න බවය. එය සත්‍යයක් බවත් තමන් එම අත්දැකීමට මුහුණ දුන් බවත් නම, ගම සඳහන් නොකළ හැත්තෑ හැවිරිදි පිළිකා රෝගියකු ප්‍රකාශ කළේ මෙලෙසිනි.  
‘මට දෙන්නෙ Docetaxol එන්නතයි Palitaxol කියන එන්නතයි. මේ දෙක ඉස්පිරිතාලේ නැති හින්ද‌ා මම ගන්නෙ. ..... ෆාමසියෙන්. ඒක ගණන් වැඩියි. එකක් රුපියල් අටද‌ාහක් වෙනවා. අපේ පවුලට ටිකක් සල්ලි තියෙන හින්ද‌ා හොඳයි. මේ බෙහෙත දිගටම ගන්න හින්දා. එතැනදී තමයි මට කිව්වේ ෆාමසියෙන්ම ඉස්පිරිතාලෙ ඉන්න සමහර අය මේ බෙහෙත් නෑ කියලා කරන්නේ ජාවාරමක් කියලා. ඒවා ඇත්ත කියලා දැනගෙනත් අපිට කිසිම දෙයක් කරන්න බැ.  


රෝහල් කාර්ය මණ්ඩලය එකතුව වරක් රෝහලේ අඩුපාඩු පිළිබඳ කෙටි වාර්තාවක් සකසා තිබිණ. ඒ වෛද්‍යවරුන් සහ වෛද්‍ය පර්යේෂණ සම්බන්ධයෙනි. සකසන ලද එම වාර්තාවේ මෙසේ සඳහන් වී තිබිණ.  
 රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් බෙහෙත් වර්ග හඳුන්වා දීමට පැමිණෙන වෛද්‍ය සේල්ස්රෙප්ලාගේ ගොදුරු බවට පත් වී අවසානය. එම වෛද්‍යවරු මාසිකව ලබන වැටුපට වඩා වැඩි මුදලක් මෙම සේල්ස්මන්වරුන් හා එක්ව වැඩකිරීමෙන් උපයා ගනිති.  
ඒ සඳහා වෛද්‍යවරුන් කළ යුතුව තිබෙනුයේ එකම එක දෙයකි. ඒ සෙල්ස්මන්ලා හඳුන්වා දෙන ඖෂධ වර්ග වැඩි වැඩියෙන් රෝගීන්ට නියම කිරීමය. එය වෛද්‍යවරයා සඳහන් කරන වෙළඳ නමින්ම මිලට ගත යුතු බව වෛද්‍යවරයා බෙහෙත් තුණ්ඩුවේ සඳහන් කළ යුතුය. මෙම සේල්ස්මන්වරුනට අවශ්‍ය තොරතුරු සහ දත්ත ලබා දෙනුයේ වෛද්‍යවරුන් විසිනි. ඒ මත පිහිටා සේල්ස්මන් තම ඖෂධ අලෙවිකර ගැනීමට විවිධ වෙළෙඳ උපක්‍රම භාවිත කරයි.  
මෙම ජාවාරමට ඇතැම පෞද්ගලික රසායනාගාර හවුල් වී සිටිති. ඒ මගින් කෙරෙනුයේ රෝගියාට අද‌ාළ නොවන වෛද්‍ය වාර්තා අසවල් රසායනාගාරයෙන් ලබාගෙන එන ලෙස කරන දැන්වීමයි.  
රෝහලේ බෙහෙත් හිඟයක් ඇතිවෙන දින වකවානු රෝහල් බලධාරීන්ට පෙර ෆාමසිකරුවෝ දැන සිටිති. රෝහලේ ඖෂධ හිඟවෙන විටම ෆාමසිවල ඖෂධ පිරී තිබෙන්නේ මේ හේතුව මතය.  


රෝහලේ සේවය කරන ඇතැම් වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ද එම වාර්තාවේ කරුණු ඇතුළත්ව තිබේ. එම කරුණු අතර ප්‍රමුඛතාවක් හිමිව තිබෙනුයේ වාට්ටුවල සිටින වෛද්‍යවරුන් සම්බන්ධවය. ඒ යටතේ වාර්තාවේ මෙසේ සටහන්ව තිබේ.  
‘මෙය රෝහලේ පවතින බරපතළ ප්‍රශ්නයක් වී අවසානය. සාමාන්‍ය සම්ප්‍රද‌ායට අනුව සහ සාමාන්‍ය පිළිගැනීමට අනුව රෝහලේ වාට්ටු යම් ක්‍රමයකට අනුව බෙද‌‌ා වෙන්කර තිබේ. ඒ ‘කොටසක්’ යන නමිනි. මෙම එක් කොටසකට රෝහල් වාට්ටු හතරක් හෝ පහක් ඇතුළත් කර ඇත. වාට්ටු කොටස් වලට බෙදන ලැබුවත්, එම සෑම වාට්ටුවකටම එක් වෛද්‍යවරයෙක් බැගින් සිටීම සාමාන්‍ය පිළිගත් සම්ප්‍රද‌ායකි. මේ යටතේ එය එසේ සිදුනොවීම අතිශයින්ම කනගාටුද‌ායක සිදුවීමකි. වාට්ටුවට එක් වෛද්‍යවරයකු සිටිය යුතුය යන නියමය බැහැර කරමින් වාට්ටු හතරක් හෝ පහක් ඇතුළත් එක් කොටසකට එක් වෛද්‍යවරයකු බැගින් සිටීම වත්මන් සාමාන්‍ය සම්ප්‍රදාය වී තිබේ. මෙය අතිශයින් හානියාදායක වෙනුයේ වාට්ටු දෙකක සිටින රෝගීන් දෙදෙනකුට එකවර හදිසි තත්ත්වයක් ඇති වූ අවස්ථාවකදීය.  
 අනෙක් කාරණය වෛද්‍යවරුන්ගේ රෝස්ටර් ක්‍රමය සමග සම්බන්ධව පවතී. මෙම රෝස්ටර් ක්‍රමය යටතේ ‘ඔන් කෝල්’ හි සිටිය යුතු ඇතැම් වෛද්‍යවරුන් අද‌ාළ සේවා ස්ථානයෙන් බැහැරව සිටින බවට තොරතුරු වාර්තා වී තිබේ. තවත් වෛද්‍යවරුන් රෝහලෙන් බැහැරව සිටින බව ද හෙළිදරව් වී තිබේ. මෙය රෝස්ටර් ක්‍රමය තමන්ට පහසුවෙන ලෙස ​වෛද්‍යවරුන්ම සකස් කරගෙන තිබීම හේතුවෙන් සිදුවූවක් බව එම වාර්තාව දක්වා සිටී.  


හෙද කාර්ය මණ්ඩලය සකස් කළ වාර්තාව තවත් විශේෂ කරුණක් පිළිබඳ වාර්තා කර තිබේ. ඒ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙනි. ඒ යටතේ මෙසේ කරුණු දක්වා තිබේ.  
‘රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලිකයන් දීර්ඝ කාලයක් එක වාට්ටුවක සේවය කිරීම, කාර්ය මණ්ඩලය නිසි ක්‍රමවත් ආකාරයකට ලේඛනගත නොවීම, නිල ඇඳුම් නොගැළපීම, බීමත්ව රාජකාරියේ නිරතවීම, රාජකාරි වේලාවන්හිදී විශේෂයෙන් රාත්‍රී කාලයේදී මුදලට බූරුවා ගැසීම, ඒ යටතේ විශේෂිතව සටහන් වී ඇත.  
 මේ යටතේ තවත් විශේෂ කරුණක් දක්වා තිබේ. රෝහල තුළ සිදුවෙන දූෂණ, වංචා, අක්‍රමිකතා පරීක්ෂා කිරීම සඳහා පැමිණෙන ‘ඔඩිට්’ අංශයේ පරීක්ෂකයන් පැමිණෙන දිනයන් සහ වේලාවන් කල් ඇතුව දැනුම් දීමේ ක්‍රමයක් ක්‍රියාත්මකව පැවතීමයි. මෙම හේතුව මත බොහෝ වංචා, දූෂණ හෙළිදරවු නොවී සැඟව පවතින බව වාර්තාවෙන් දක්වා සිටී.  
එම වාර්තාව රෝගීන් සම්බන්ධව විශේෂ කරුණක් අනාවරණය කර තිබේ. එම අනාවරණය අනුව, රෝගියකුට නියමිත ඖෂධ වර්ග සියල්ල යම් හේතුවක් මත ලබා දීමට නොහැකි වෙන තත්ත්වයක් තුළ ලබා දුන් ඖෂධවලින් කිසිදු ප්‍රයෝජනයක් අත්නොවනු ඇත. එයට හේතුව වෙනුයේ එම ඖෂධ අතරමග නැවතීම හේතුවෙන් එතෙක් ලබමින් සිටි සුවයට හානිදායක තත්ත්වයක් ඇතිකරන බැවිනි. එම තත්ත්වය ඉතා අනතුරුද‌ායක බව පවසන වාර්තාව රෝගයට ඖෂධ නොගෙන සිටීමට වඩා එම තත්ත්වය භයානක බව පෙන්වා දෙයි. එසේම, රෝගයට ප්‍රතිකාර අරඹන අවස්ථාවේ පැවැති තත්ත්වයට වඩා වෙනස් ආකාරයට යළි ඔඩු දිවිය හැකි බව ද වාර්තාව වැඩිදුරටත් කියා සිටී.  
අපේක්ෂා රෝහලට ගෙන්වනු ලබන ඇතැම් ඖෂධ වර්ගවල ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය සම්බන්ධව ද වාර්තාව කරුණු අනාවරණය කර තිබේ.  


බොහෝ විට ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය වැනි රටවලින් ගෙන්වන ඖෂධ වර්ගවල ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ. එයට හේතුව වනුයේ නිෂ්පාදන ක්‍රියාවලියේ සහ ඖෂධ සඳහා යොද‌ාගන්නා අමුද්‍රව්‍ය වල ගුණාත්මක භාවය සහ නිෂ්පාදන ක්‍රියාවලියයි.  
ඖෂධ නිෂ්පාදනය සඳහා එකම වර්ගයේ අමුද්‍රව්‍ය යොද‌ාගනු ලැබුව ද ඒ සඳහා භාවිතා කරන තාක්ෂණික ක්‍රමයේ යම් යම් ගැටලු මත අවසාන ප්‍රතිඵලයේ වෙනස්කම් ඇතිවීමට ඉඩකඩ තිබේ. මෙය තවදුරටත් මතයක් නොව ප්‍රායෝගිකව සිදුවිය හැකි සිදුවෙමින් පවතින ක්‍රියාවලියක් බව ද එම වාර්තාව දක්වයි.  
ඔෟෂධ ගෙන්වීම තුළ සිදුකරන තවත් දූෂණයක් පිළිබඳව වාර්තාවේ කරුණු සඳහන්ව ඇත. ඒ අඩු මිල ඖෂධ වැඩි මිලක් යටතේ ගෙන්වීම, බාල ඖෂධ ඉහළ මිලක් යටතේ ගෙන්වීම යන කරුණු ප්‍රධාන කරගනිමිනි.  


 පවත්නා ඖෂධ හිඟය මෙම සියලු තත්ත්වයන්ට වාසිද‌ායක ආකාරයට නිර්මාණය කර තිබෙන බව වාර්තාව අවසන් වශයෙන් සඳහන් කර සිටී. ඒ ඖෂධ හිඟ වූ විට සිදුකරන හදිසි ඖෂධ ගෙන්වීම් හරහා දූෂණ, වංචා බෙහෙවින් කළ හැකිය යන්නය.  
ඖෂධ වර්ග නිපදවන වෙනත් රටවල් වන ඇමෙරිකාව, එංගලන්තය, ජර්මනිය වැනි රටවල නිපදවන ඖෂධ සමග සසඳ‌ා බැලීමෙන් මෙම තත්ත්වය සැබෑවක් බව සහ ඒ පිළිබඳ යම් ඉඟියක් ලබාගත හැකි බව රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සකස් කළ කෙටි වාර්තාවේ දක්වා ඇත.  
මහරගම අපේක්ෂා රෝහලේ පවත්නා ඖෂධ හිඟය සහ අනෙකුත් ගැටලු සම්බන්ධව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය වසන්ත දිසානායක මහතාගේ මතයට අනුව ඔහු මෙම ප්‍රශ්නය දෙස ඉතා සුබවාදී ආකාරයට බලමින් සිටියි. ඒ පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායකයන් පිළිතුරු දුන්නේ මෙසේය.  
‘අපේක්ෂා රෝහල තුළ තිබෙන්නේ බෙහෙත් වර්ග දහයක හිඟයක්. ඒ හිඟයත් ලබන පෙබරවාරි මාසය වෙන විට සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ බෙහෙත් හිඟයක් ඇතිවෙන්නෙ නෑ කවද‌ාවත්. මේ රෝහලට මම පත්වෙලා එනකොට තිබුණා ප්‍රශ්න ගොඩක්. මම ඒ ප්‍රශ්න විසඳුවා. වත්මන් සෞඛ්‍ය ඇමැතිනිය මෙම රෝහල දියුණු කිරීමට සහාය ලබාදෙන බව කීවා.’  


‘පළවෙනි කාරණය මම එනකොට රෝහලේ බෙහෙත් ලොකු ප්‍රමාණයක් අඩුවෙලා තිබුණා. ඒ වෙලාවෙ මම ප්‍රසිද්ධියේ කතා කළා. හැම සුමානෙම සඳුඳ‌ාට මම ලියුමක් යවනවා වෛද්‍ය සභාවට. ඒ ලියුමෙ තියෙන්නේ මෙච්චර බෙහෙත් ප්‍රමාණයක් අඩුයි කියලා. එක වෙලාවක තිබුණා බෙහෙත් වර්ග තිස්පහක අඩුවක්. මේ ආණ්ඩුව ආවට පස්සෙ සල්ලි වෙන්කළා කෝටි සීයක් බෙහෙත් වලට. ඒක දුන්නේ සැපයුම් අංශයට. තිබුණු පරණ ණය ගෙවන්න ඒ මුදල් වියදම් වුණා. ඊළඟට ආපහු ණයට බේත් දුන්නා. එහෙම අරගෙන තමයි බෙහෙත්වල හිඟය මැඩ පවත්වන්න කටයුතු කළේ.  


 බෙහෙත් හිඟය උග්‍රවෙලාවෙ අපි දුන්නා දුප්පත්ම මිනිසුන්ට බෙහෙත් පුළුවන් විදියට. එහෙම කළේ අපිට ලැබුණු පරිත්‍යාගවලින්. ලැබුණු මහජන සුබසාධන අරමුදල් වලින්. බෙහෙත් ගන්න අයගේ ආර්ථික තත්ත්වය බලලයි අපි ආධාර කළේ. බෙහෙත් නෑ කියලා අඩුවක් වෙන්න ඇරියෙ නැහැ කවද‌ාවත්.  


‘මේ දෙවෙනි කාරණය. විකිරණ මැෂින් තුනක් තියෙනවා. ඒ 2014 දී පටන් ගත්තු ප්‍රොජෙක්ට් එකක්. එ්ක පහුගිය කාලයේ නවත්තලා තිබුණේ. ඒ හින්දා දැන් විකිරණ ප්‍රතිකාර පෝලිමක් තියෙනවා. මම එ්ක නැති කරන්න වැඩ කළා. පහුගිය කාලයේ නවත්තලා තිබුණු ව්‍යාපෘතිය හදලා ආයිමත් පටන් ගත්තා. දැන් පුළුවන් විකිරණ මැෂින්වලින් අප්‍රේල් මාසෙට කලින් වැඩ කරන්න. එතකොට පුළුවන් දවසකට 150 කට විකිරණ ප්‍රතිකාර කරන්න. දැනට විකිරණ ප්‍රතිකාර කරන්නේ රෝගීන් හැටකට විතරයි. දවසකට 150 ක් කළොත් පෝලිම් ඉවරයි.  


 ඇත්තටම මේක අපරාධයක්. මහින්ද රාජපක්ෂ ගෙනාවා කියලා කියන මැෂින් එක්ක තිබුණා ලොකු තරහක්. ඒක විවෘත නොකර හිටියා. කාටද පාඩු වුණේ? මට ද? මහින්ද රාජපක්ෂ මහත්තයට ද? නෑ. මිනිසුන්ට. රෝගීන්ට.  


 අපිට සම්පත්වලින් හිඟයක් නෑ. අවශ්‍ය වෛද්‍යවරු ඉන්නවා. අවශ්‍ය කාර්ය මණ්ඩලය ඉන්නවා. ඉතිං ... ලෙඩ්ඩු නෑ.   

 

 

අරුණඩේල් විජේරත්න