ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වන තාප්පයේ රූප


 

 

ශ්‍රී ලංකාවේ මහාමාර්ග දෙපස ඇති තාප්පවල තරුණ කණ්ඩායම් විසින් වර්ණවත් චිත්‍ර ඇඳීම රට පුරා ව්‍යාප්ත වෙන සුබවාදී ලක්ෂණයන් ලෙස විවිධ මාධ්‍ය ආයතන විසින් විග්‍රහ කොට පෙන්වා දෙන ලදී.   


​දේශපාලන ප්‍රචාර කලාවක් ලෙසත් දැන්වීම් දීමේ ක්‍රමයක් ලෙසත් ප්‍රචලිත වූ තාප්ප සැරසීම මෑතකදී වර්ධනය වූ ජන සන්නිවේදන ප්‍රවණතා හේතු කොටගෙන මහජනතාවගේ අදහස්, මහජනතාවගේ මතය හෝ ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීමේ මාර්ගයක් ලෙස වර්ධනය වූ බව සත්‍ය කරුණකි.   


ඉතා ඈත අතීතයේ යුප්‍රටීස් ටයිග්‍රීට් ගංගා නිම්නයේ නැතහොත් දෞම්මැදි රාජ්‍යයේ පදිංචිකරුවන් තම ගෘහ නිර්මාණ ශිල්පය අනුව පාරට මුහුණලා පිහිටි බිත්තිය දැන්වීම් පුවරුවක් ලෙස භාවිත කළහ.   


මහජනතාව පැපිරන් පත්‍රවල ලියන ලද අදහස් බිත්තියෙහි එල්ලා තැබූහ. නැතහොත් තාප්පයෙහි ලියන ලදී. එය පරීක්ෂා කරන හෝ නරඹන පුද්ගලයෝ තම අදහස ද එහි ලියා තැබූහ. සීගිරියේ ගීවලද මෙය දැකගත හැකිය. මෙයින් සංවාදශීලී ජනසන්නිවේදන රටාවක් ඈත අතීතයේ ද බිහිව තිබුණු බව පෙන්වා දෙනු ලැබේ.   
එතරම් ඈත අතීතයට ගමන් කිරීම අවශ්‍ය නොවුණ ද 70 දශකයේදී තාප්පවල පෝස්ටර් ඇලවීම සහ රතු පාට අකුරෙන් ලිවීම ජනතා විමුක්ති පෙරමුණ විසින් නොනවත්වාම සිදුකරන ලදී. මෙම සන්නිවේදන රටාව එක් රැයක් තුළ මුළු ලංකාව පුරා සිදු කිරීම සංවිධානාත්මක ශක්තිය ප්‍රදර්ශනය කිරීමක් වුවද ජනතාව අතරට අදහස් ව්‍යාප්තවීමට එය ඉතා ඉක්මන් පියවරක් විය. මුද්‍රිත පෝස්ටර් රටාව මිල අධික වූ හෙයින් පොල් ගසකින් වැටෙන ඇට්ටි ගෙඩියෙහි කබොල්ල ගලවා තාප්පයේ ලියූ විට මකා දැමීම බොරුය. ඉතා ලොකු අකුරින් ‘විජේවීර නිදහස් කරව්’ යනු තාප්ප සැරසූ ඉතා ප්‍රචලිත වාක්‍යයක් විය. එහෙත් ඊට යටින් ලියා තිබුණේ ‘එවැනි අයකු මෙහි නැත’ යන්නය. මෙය අතීතයේ පැපිරන් පත්‍රවල පළ කරන ලෙස අදහස් දැක්වීමකට සමාන විය. මෙය අත්දුරකතනයේ කමෙන්ට් කිරීමට සමාන සන්නිවේදන රටාවකි.   
රටක දේශපාලන ස්ථාවරත්වය ලබාගැනීම සඳහා පෝස්ටර් බැනර් කටවුට් වැනි ප්‍රකාශන උපකරණ උපයෝගී කර ගත් ප්‍රබලම නායකයා වූයේ චීනයේ සිටි සභාපති මාඕ සේතුංය. 

 

 

 


ඔහු ඈත කුඹුරුවල පවා සිය ඡායාරූපය එල්ලා ප්‍රදර්ශනය කළේය. තාප්පවල අලවා තැබූ අතින් ලියන ලද පෝස්ටර් චීනයේ සංස්කෘතිය විප්ලවයට මංපෙත් පාදා දුන්නේය. සංස්කෘතිය විප්ලවයෙන් කළ වෙනස ජයග්‍රාහී මාවත කරා ගෙන ගියේ ද පෝස්ටර් මගින් කරන ලද කැඳවීම් සහ ජනඋද්ඝෝෂණ විසිනි.   
ඉන්දියාව, බංගලාදේශය හා නේපාලය ද පෝස්ටර් මගින් සිදුකරන තාප්ප පිරවීම මගින් ජනතාව දැනුම්වත් කිරීම සිදුකරනු ලැබේ.   
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ අපේක්ෂකයින් දෙදෙනෙකු අතර ඇති වූ තරගයක් විය.   


එහි මනාප තරගයක් නොවීය. එහෙත් පාර්ලිමේන්තු හා පළාත් සභා මනාප තරගයකදී මෙම තත්ත්වය එසේ පවතින්නේ නැති බව සත්‍ය කරුණකි. මනාප තරගයකදී සෑම අපේක්ෂකයෙකුම තම අංකය ප්‍රදර්ශනය කිරීමත්, අංකයට ප්‍රසිද්ධියක් ලබාදීමටත් අත්‍යාවශ්‍ය වේ. මෙහිදී තම ඡායාරූපයත්, නමත්, අංකයත් ප්‍රදර්ශනය කිරීමේ වගකීම පාර දෙපස ඇති තාප්ප විසින් භාර ගත යුතුය.   
මෙය කොතරම් භයානක ද යත් මේ නිසා කෝලාහාල වෙඩි තබාගැනීම්, සිරගත වීම් සහ මිනිමැරුම් ද සිදුවූ බව අතීතය සාක්ෂි දරයි. එක් අපේක්ෂකයකු තාප්පයක් තම රූපයෙන් වසා දමා පැය කීපයක් ගතවීමට පෙර වෑන් රථයකින් පැමිණෙන තවත් කණ්ඩාමක් ඒ සියල්ල වසා දමමින් තම අපේක්ෂකයාගේ අංකයත් රූපයත් අලවා සරසා යනු ලැබේ.   
මෙය ඉතා මිල අධික ව්‍යායාමයකි.   


මුද්‍රණයට යන වියදම, ඇලවීමට යන කුලියට වඩා වැදගත් වන්නේ ඒවා ආරක්ෂා කිරීමට යොදවන මුරකරුට දෙන වැටුප හා මත්පැන්වලට යන වියදමය.   
මැතිවරණ කොමසාරිස්වරයාට ද විශාල වැය බරක් දැරීමට පෝස්ටර් නිසා සිදු වුවද මෙම මැතිවරණයේදී ඔහු විසින් එම මුදල ඉතිරි කර ගත්තේය. මැතිවරණයකදී පොලිසියට ද රාත්‍රී නිදිවරා ගෙන කම්කරුවන් ඉනිමං වතුර බට රැ​ගෙන ගොස් තාප්ප පිරිසිදු කිරීම මුදල් ලැබෙන කාර්යයක් විය. එම වැටුප මැතිවරණ කොමිසම විසින් පොලිස් දෙපාර්තමේන්තුවට වෙන් කොට දිය යුතුය.   


ලයිට් කණු වලට ද උස ස්ථාන වලට ද අනතුරු භාරගෙන ගොස් පෝස්ටර් ඉරා දැමීම රාත්‍රිය පුරා සිදුකළේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා යයි ප්‍රකාශ කළහ.   
මූල්‍යමය හැකියාව සහ පිරිස් බලය ඇති අපේක්ෂකයකුට ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී දිස්ත්‍රික්කය පුරා අංකය ප්‍රදර්ශනය කිරීමට පෝස්ටර් ගැසිය හැකිය. එහෙත් දුප්පත් අපේක්ෂකයකුට ඉරන ඉරන වරක් පාසා පෝස්ටර් ගැස්සවීමටත් ඇලවීමටත් ශක්තිය නැත. පෝස්ටර් ඉරන කෙනාට වෙඩි තබන්නට සිතෙන්නේ එවිටය.   
ශ්‍රී ලංකාවේ ජනතාව ගෙවල් වටකොට තාප්ප බඳින්නේ ආරක්ෂාව සඳහාය.   
හොරු පැනීම වළක්වා ගැනීම සඳහාය. තාප්පයෙන් පනින හොරා පනින හඬ ඇසේ. බල්ලා තාප්පය ඇතුළට වී ආරක්ෂාව සපයයි. එහෙත් තාප්පයේ පෝස්ටර් අලවන්නේ පිළිවෙළක් නැති හැඩයක් නැති ගොරහැඬි පිළිවෙළකටය. එය නිවසේම අලංකාරය ද ගෙහිමියාගේ මනස ද විකෘති කරයි.   

 

 


​පෝස්ටර් කලාව එක්තරා වටිනා කලා අංශයකි. පෝස්ටර් කලාව හැදෑරිය යුතු අධ්‍යාපනික අංශයකින් සමන්විතය. එහෙත් ලංකාවේ පෝස්ටර් කලාව තුළ ජනසන්නිවේදන ආර හෝ කලාත්මක ගුණයෙන් යුතු අක්ෂර හෝ ඡායාරූප උපයෝගී කර ගැනීම ඉතාම දුර්වලය. පෝස්ටර් කලාවේ කලාත්මක ගුණය, සිත් ඇඳගන්නා සුළු බව හෝ මූල්‍යමය හෝ වාණිජ වටිනාකම කෙරෙහි දැඩි අවධානය ගිලිහී ගොස් තිබේ.   
​මෙම තාප්පවල වටිනා චිත්‍ර හා අර්ථවත් චිත්‍ර ද හැඟීම් ප්‍රකාශනය හා ජනතාව දැනුම්වත් කිරීම ද ඉතා උසස් මට්ටමක පවතින බව මෙම දින කීපය තුළ ශ්‍රී ලංකාවේ තරුණ පරපුර විසින් පෙන්වා දී තිබේ.   


සමාජ මාධ්‍යවල හොඳ පැත්තක් හෝ හොඳ විවේචනයක් මෑත කාලයේ අසන්නට ලැබුණේ නැත. සමාජ මාධ්‍ය උපයෝගී කරගත්තේ මත්ද්‍රව්‍ය බෙදාහරින ෆේස්බුක් සාද සඳහාය. එහෙත් තාප්පවල චිත්‍ර ඇදීමේ සංවිධානය ගොඩනැගුණේ ද චිත්‍රවල අනුරූප සහ වාසි පිළිබඳ විවේචන ගලා ගියේ ද එහි උචිත අනුචිත බව සාකච්ඡා කළේද සමාජ මාධ්‍ය හරහා වීම ඉතා විශිෂ්ට සේවයක් බව අමතක කළ යුතු නැත. එබැවින්ම සමාජ මාධ්‍ය සමාජයේම යහපතට යොදා ගන්නේ නම් එය ක්ෂණික විහිදුම් බලකායක් සේ ක්ෂණිකව සංවිධාන ව්‍යුහය ශක්තිමත් කළ හැකි ආයුධයක් බවට පත් වනු නියතය.   


​මෙහිදී ප්‍රශංසා කටයුතු සහ අගය කළ යුතු කරුණක් නම් තාප්පවල චිත්‍ර ඇඳීම සඳහා අට්ටාලවල නැගගෙන සිටින තරුණ කාන්තා සහභාගීත්වයයි. ශ්‍රී ලංකාවේ ඉතා දක්ෂ චිත්‍ර ශිල්පිනියන් පිරිසක් සිටින බව අතීතයේ තහවුරු කළ සාක්ෂි තිබේ. මෙම තරුණියගේ චිත්‍ර ශිල්පීය හැකියාව අගය කළ යුතුය.   


තාප්පයක අඳින චිත්‍රය දොනෝදාහක් නරඹති. එමෙන්ම එය දීර්ඝ කාලයක් පවතී. එබැවින් තාප්පයක අඳින චිත්‍රය තුළ ප්‍රාදේශීය ගුණය, ඓතිහාසික පසුබිම සහ අර්ථවත් බව තිබිය යුතුය. චිත්‍රයෙන් ප්‍රකාශ කරනු ලබන ශිල්පියාගේ වටිනා ප්‍රකාශය ගැඹුරින් අවබෝධ කර ගත හැකි වෙන්නේ වර්ණයෙහි ඇති සංයෝග ගුණය නිසාය. ඔහේ පාට පාට තාප්පයෙහි අතුල්ලනවා වෙනුවට අර්ථවත් ප්‍රකාශනයක් ජනතාවට දීමට චිත්‍ර ශිල්පී තරුණ ජන කොටස්වලට ආත්ම ශක්තිය දීමට තාප්පය සූදානම්ව සිටී.   


කොග්ගල වෙල්ලාල බන්දුල