පරිහානියට ගිය යුරෝපයේ තවත් රටක් රුමේනියාව


වළපල්ලට
ගිය රටවල්

 

රුමේනියාවෙන් කොමියුනිස්ට් වාදය තුරන් වී වසර 28කි. මෙය යුරෝපා සංගමයට අයත් තවත් අසමත් රටකි. මෙහි මුළු ජනගහණයෙන් සියයට 40ක් පමණ ඉතා දිළිඳු ජීවිත ගෙවන පුරවැසියන්ය. මෙහි අද නිවාස ප්‍රශ්නය ඉතා උග්‍රවී ඇත. ජනගහනයෙන් සියයට 30කට වැඩි පිරිසකට නිවාස නැත. විශේෂයෙන්ම ශීත සමයෙහි මෙහි ජනතාව ගෙවනුයේ ඉතාමත් කටුක දුක්ඛිත දිවියකි. සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් නොමැති නිසා ළමා ජනගහණයෙන් 1/3ක් පමණ අසරණ අඩියකට පත්ව සිටී. 


ඇති  නැති පරතරය වැඩි වූ රටක් 


මෙහි සිදුවන ළදරු මරණ සංඛ්‍යාව ඉතා අධිකය. 2008 දී සිදුවූ ආර්ථිකය කඩා වැටීම හේතු කොටගෙන ඊළඟ වසර කීපය තුළ රට තව තවත් අගාදයට ඇද වැටුණේය. වසර 28ක කොමියුනිස්ට් පාලන ක්‍රමය අහෝසි වී මෙහි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වුවත් යුරෝපා සංගමයට අයත් රටවල් 28න් මේ කියන රුමේනියාව ක්‍රම ක්‍රමයෙන් වළ පල්ලට ගියේ කෙසේ ද? 


2018 නොවැම්බර් 22 “බිස්නස් රිවීව්” පුවත්පතේ පළවූ වාර්තාවක සඳහන් වූයේ මෙහි රට වැසියෙකුගේ වාර්ෂික ආදායම යුරෝ 974ක් පමණ බවයි. ඒ අනුව පුද්ගලයෙකුගේ දෛනික ආද‌ායම යුරෝ තුනක් පමණ වේ. බුඩාරෙස්ට් අගනුවර සිට සැතපුම් 40ක් පමණ දුර ගිය විට මේ රටේ ජනතාව දිවි ගෙවන දුක්ඛිත ආකාරය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකි බව එම මාධ්‍ය වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වේ. 


අද ග්‍රීසියේ මෙන්ම මේ රටේ ද ඇති නැති පරතරය වඩාත් පිළිබිඹු වෙන බව 2018 මැයි 12 ද‌ා “ද ගාඩියන්” මාධ්‍ය වාර්තාවක සඳහන් වී තිබිණි. රුමේනියාවෙන් පලාගිය ලක්ෂ 4ක පමණ රට වැසියන් සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ ජීවත්වෙන බව එම මාධ්‍ය වාර්තාව වැඩිදුරටත් දක්වයි. මෙහි සිටින ළදරුවන්ගෙන් 2,25,000ක් පමණ කුසට ආහාර වේලක් නොමැතිව මන්ද පෝෂණයෙන් පෙළෙති. 


කළු මුහුදට බිලිවෙන මිනිස් ජීවිත 


රුමේනියාව නගා සිටුවීම සඳහා වැඩිපුරම ආධාර ලබා දෙන්නේ නෝර්වේ රාජ්‍යයි. නෝර්වේ රාජ්‍යය ලබාදෙන ආධාර මුදල් දිළිඳු බහුතර පොදු ජනතාවගේ අභිවෘද්ධිය තකා වැය නොකොට එම ආධාර මුදල් යටි මඩි ගසා ගන්නා දේශපාලකයන්ගෙන් පිරුණ මේ රට තුළින් ඇසෙන්නේ පීඩිතයන්ගේ ශෝකාලාපයයි. 


යුරෝපයේ 12 වැනි විශාලතම රට මෙයයි. බල්ගේරියාව, යුක්‍රේනය, හන්ගේරියාව, සර්බියාව, මෝල්ඩෝවා යන රටවලට ද කළු මුහුදට මැදිව පිහිටා ඇති මේ කියන රුමේනියාව දේශපාලකයන්ගේ කෙළි බිමක් බවට පත් වී තිබේ. විශාලත්වය ව.කී.මී. 2,38,397ක් හෙවත් ව.සැ. 92,046 කි. අගනුවර බුඩාරෙස්ට් ය. ජනගහනය කෝටි 2කට ආසන්නය (19,40,1658). යුරෝපයේ දෙවැනි දිගම ගඟ වූ ඩැනියුබ් ගංගාව ගලා යන්නේ මේ රට හරහාය. එහි දිග සැ. 1755කි. මෙම ගඟේ ජලයෙන් නිසි ප්‍රයෝජන ගැනීමට නොදන්නා පාලකයන් සිටින රටකි. කිලෝමීටර් 2857ක් දිග මේ ඩැනියුබ් ගඟේ මහා ජල කඳ කළු මුහුදට එක්වෙන්නේ අදූරදර්ශී දේශපාලකයන්ගේ කෙරුවාව ලොවට පෙන්වමිනි. විශාලත්වය අතින් ලෝකයේ 81 වැනි ස්ථානය හිමිවී ඇත්තේ මේ රටටය. මෙහි මිනිස් ජීවිත කළු මුහුදට බිලිවන අයුරු සංවේගජනකය. 


මෙහි වත්මන් ජනාධිපති ක්ලෝස් ජොහානිස්ය. අගමැතිනිය විසෝරිකා ඩැන්සිලාය. ලංකාව මෙන්ම මේ කියන රුමේනියාවේ ද ජනපති හා අගමැති දෙපැත්තට අදිමින් ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන බව පෙනේ. රට එක තැනම ලොප් වී ඇත්තේ මේ ජනපති අගමැති ගේ පොර කුකුළු සෙල්ලම නිසා බව උදාහරණ සහිතව 2019 ජුලි 10 ද‌ා ඒ.පී. වාර්තාවක සඳහන් වී තිබේ. “යුරෝ නිව්ස්” මාධ්‍යය ද මේ ජනපති අගමැතිගේ හබය විදහා දක්වා තිබූ අයුරු දුටුවෙමි. 


රුමේනියාවෙන් ගිගුම් දෙන ශෝකාලාපය 


රොක් වූල් ෆවුන්ඩේෂන් (Rock Wool Foundation) කියන පරිදි මේ රටේ පාරවල් දිගේ ඉබාගාතේ යමින් දුක් විඳින දරු දැරියන් දස දහස් ගණනකගේ දර්ශන පාලකයන්ගේ ඇස්වලට නොපෙනේ. මෙහි ලිංගික අතවරවලට ගොදුරුවෙන දැරියන්ගේ සංඛ්‍යාව ද අති විශාලය. එසේ අතවරවලට ගොදුරුවෙන දැරියන් අතුරුදන් වීම් විශාල වශයෙන් සිදු වේ. බොහෝ ප්‍රදේශ පාලනය කරනුයේ දූෂිත පොලිස් නිලධාරීන් විසිනි. මේ දූෂිත පොලිස්කාරයින්ට දේශාපලන රැකවරණය ලැබී තිබේ. 


“රුමේනියා ඉන්සයිඩර් (Romania Insider) මාධ්‍ය ජාලය මගින් මෙ රටේ ඇතුළු පැත්ත මනාව ලොව හමුවෙහි විදහා දක්වනු ලැබීය. 2016 වර්ෂයේ දී මෙහි දරිද්‍රතාවයෙන් පෙළුන පුරවැසියන්ගේ ප්‍රතිශතය සියයට 37.8ක් පමණ වූ බව ද මේ වෙනවිට එය සියයට 40 දක්වා වැඩිවී ඇති බව ද එම මාධ්‍යය කියයි. රටකින් සෞභාග්‍යය පලා යන විට එම රටේ තරුණ පිරිස් රට අතහැර යාම සීග්‍රයෙන් වැඩිවී යයි. හැම කෙනෙකුම බලනුයේ කුමන ආකාරයකින් හෝ වෙනත් දියුණු රටකට ගොස් අපායෙන් ගැලවීමටයි. ලංකාව ද එපාවී එම රට අතහැර නව දිවියක් සඳහා එතෙර යන්නන්ගේ සංඛ්‍යාව දැවැන්ත අයුරින් වැඩි වී ඇති බව කිය යුතුය. 


රට වැනසූ ජනපති අගමැති බල පොරය 


මෙහි දෙමව්පියන් අතහැර දමා ගොස් ඇති දරු දැරියන් 1,50,000ක් පමණ සිටින අනාථ කඳවුරුවල තත්ත්වය ඉතා ශෝකජනකය. මේ රටේ වත්මන් තත්ත්වය කියාපෑමට මෙය වඩාත් සුදුසුය. දේශපාලන හොරු රට උලාකද්දී මේ අසරණ ළමයි දුක් විඳිති. ගමනාගමන සෞඛ්‍ය විදුලිය අධ්‍යාපන ජල සම්පාදන ආදී පොදු පහසුකම් නැති ගම්මාන රාශියකි. යුරෝපා සංගමයට ද මේවා නොපෙනේ. 2015 දෙසැම්බර් 2 දා ලෝක බැංකුව මගින් නිකුත් කළ වාර්තාවක සඳහන් වී තිබුණේ. මෙහි ළමා ජනගහණයෙන් සියයට 51කට වැඩි සංඛ්‍යාවක් පාසල් නොයන ළමයින් බවය. 


ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කියන පරිදි යුරෝපයේ 4 වැනි දූෂිතම රාජ්‍යය රුමේනියාවය. 2012 වර්ෂයේ දී ජනපති ට්‍රලාන් බසේකු සහ අගමැති වික්ටර් පොන්ටා අතර පැවති බල අරගලය නිසා රට තව තවත් ප්‍රපාතයට ඇද වැටුණේය. 


2015 වර්ෂයේ දී අගමැති වික්ටර් පොන්ටා සහ ඇමතිවරුන් 5 දෙනෙකුට ද මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට ද දූෂණ චෝදනා එල්ල විය. ඔවුහු සොරකම් කළ ජාතික ධනය පවුම් මිලියන 194කට වැඩි වූ බව අනාවරණය විය. මෙම දේශපාලකයින් ප්‍රමුඛ රජයේ ඉහළ පරිපාලන නිලධාරීන් හමුදා නිලධාරීන් රාශියකට නඩු පවරන ලදී. මුලදී මෙසේ පවරනු ලැබූ නඩු සංඛ්‍යාව 970කි. 2016 වර්ෂයේ දී දේශපාලකයින් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් 1270 දෙනකුට නඩු පවරන ලදී. 2016 දී නඩු පැවරූ පිරිසට ඇමැතිවරුන් 3 දෙනෙක් ද මන්ත්‍රීවරු 17ක් ද නගරාධිපතිවරුන් 47ක් ද නඩුකාරයින් 16 දෙනෙක් ද ව්‍යාපාරිකයින් 21 දෙනෙක් ද ඇතුළත් වූහ. මේ පිරිස සොරකම් කළ ජාතික ධනය පවුම් මිලියන 226කට වැඩිය. 
2017 වර්ෂයේ දී 997 දෙනෙකුට දූෂණ චෝදනා එල්ල විය. ඔවුන් අතර මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ද ඇමතිවරු 3 දෙනෙකු ද නඩුකාරයින් 11 දෙනෙකු ද සිටියහ. 2017 දී මොවුහු මහජන දේපළවලින් සොරකම් කළ මුදල් ප්‍රමාණය පවුම් මිලියන 159.5ක් බව වාර්තා විය. ජනතාව රජයට ගෙවන අයබදු සාක්කුවට දමාගත් මේ දේශපාලකයින්ට රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම හොරා පොලිස් සෙල්ලමෙහි නිරත වූ නඩු වාෂ්ප කළ නඩුකාරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීය. 


ආරක්ෂක ලේකම් සිරභාරයට ගිය හැටි 


2000 සිට 2004 දක්වා රුමේනියාවේ අගමැති ධුරය දැරුවේ ඇඩ්රියන් නසාටෙස්ය. අල්ලස් ගැනීම රාජ්‍ය දේපොළ හිතවතුන්ට විකිණීම. එසේ විකුණා කෝටි ගණනින් මුදල් ඉපයීම ආදී චෝදනාවලට වැරදිකරු බවට පත්වූ ඔහුට හිමිවූයේ වසර 2ක සිරදඬුවමක් පමණකි. නීති විරෝධී අයුරින් ඔහු සහ පවුලේ ඥ‌ාතීන් උපයාගත් අතිවිශාල ධනස්කන්දය රජයට පවරා ගැනීමක් සිදු නොවීය. රුමේනියාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා වික්ටර් බබ්වික්ය. (Victor Babvic). ඔහුටත් හමුදා ප්‍රධානී ජනරාල් දුමිත්රු සියෝනිනාටත් හිටපු අධිකරණ ඇමති ටියුඩර් චිවාරික් (Tudor Chivaric) අවුරුදු 2 බැගින් වූ සිර දඬුවම් නියම විය. ආරක්ෂක ලේකම් ආරක්ෂක කටයුතු සඳහා රජය වෙන් කළ මුදලින් වැඩි කොටසක් සාක්කුවේ දමා ගත් අයුරු නඩු විභාගයේ දී හෙළි විය. ඔහුට ඒ සඳහා ආධාර කර ඇත්තේ හමුදා ප්‍රධානියාය. එමෙන්ම අධිකරණ ඇමැතිවරයා නඩුකාරයින් මෙහෙයවමින් විරුද්ධවාදීන් මර්දනය කළ අයුරු උසාවියේ දී අනාවරණය විය. මෙවැනි රටක් වළ පල්ලට යාම අරුමයක් ද? 

 

 


රුමේනියාවේ දේශපාලන මගඩි 


රුමේනියාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයා මෙන්ම එහි හිටපු නියෝජ්‍ය අගමැති තනතුර දැරූ ලිවියු ඩ්‍රැග්නියා (Liviu Dragnea) සිදු කළ වංචා පිළිබඳ 2019 මැයි 27 දා “නිව් යෝර්ක් ටයිම්ස්” පත්‍රයේ දීර්ඝ විස්තරයක් පළවිය. පවුම් බිලියන ගණනින් රාජ්‍ය මුදල් අවභාවිත කිරීම නිසා ඔහුට වසර 3 1/2ක සිරදඬුවමක් නියම වූයේ 2019 මැයි මුල් භාගයේ දී රටේ අගමැති මෙන්ම ජනාධිපති ද අල්ලේ නැටවූ පුද්ගලයාය. ඔහු තම පක්ෂ මූලස්ථානයේ සේවය කළ අයට ද රජයෙන් වැටුප් ගෙවූ බව උසාවියේ දී අනාවරණය විය. ඔහු සොරකම් කළ මුදල් සම්භාරය රුමේනියාවේ මුදල් එ්කක (ලෙයි) මිලියන 800කට අධිකය. ඔහු නීති විරෝධී අයුරින් ඉපැයූ මුදල් බ්‍රසීලයේ බැංකු ගිණුම්වල තැන්පත් කර තිබුණි. මේ දූෂිත වංචාකාරී දේශපාළුවා දැන් රහෝවා (Rahova) හිරගෙදර කම්බි කූරු ගණන් කරමින් සිටී. 2019 ජුලි 23 දා “ද ගාඩියන්” පුවත්පතේ ද ඔහු සිදු කළ දූෂණ ක්‍රියා පිළිබඳ දීර්ඝ වාර්තාවක් පළවිය. 


අල්ලස් හා දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා වශයෙන් ක්‍රියා කළේ ලෝරා කොඩ්රුවාක නමැති නීතිඥවරියයි. ඇයගේ කාර්යාංශය රුමේනියාවේ මෑත කාලයේ සිදුවූ රාජ්‍ය දූෂණ වංචා සිදුවීම් 42,000ක් පිළිබඳ විමර්ශන සිදු කළේය. විවිධ පුද්ගලයින් 13,300කට එරෙහිව නඩු පැවරුවේය. දූෂිත ඇමැතිවරුන් 23 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළාය. ඇය මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේ බොහෝ අවිචාරවත් දූෂිත දේශපාලකයින් වලසෙකුට මී පැණි හැළියක් ලැබුණාක් මෙන් ක්‍රියා කරන බවය. රජය සිදු කළේ මේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සේවයෙන් නෙරපා හැරීමයි. ඇයට රටින් පිටව යෑම තහනම් කළා පමණක් නොව ඇය සතු විදේශ ගමන් බලපත්‍රය ද (Passport) උසාවිය භාරයට ගනු ලැබීය. රුමේනියාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමය. මා මේ ඉදිරිපත් කළේ රුමේනියාවේ රාජ්‍ය තන්ත්‍රයෙහි ඇතුළු පැත්තෙන් බිඳක් පමණකි. 

 

 

 සිරී හීන්පැල්ල
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි