නිධානයක් මත සිට හිඟාකන මොංගෝලියාව


වළපල්ලට
ගිය රටවල්

 

 

 

මහජන දේපොළ යටි මඩි ගැසූ පාලකයින් මහ උළුගෙදරට ගාල් නොකිරීම වළපල්ලට ගිය රටවලට සිදුවූ වින්නැහියයි. ඒ දේශයන්හි මඩ තවරා නොගත් ගුණ වපුරාගත් දේශපාලකයින්ට තැනක් නැත. 


අද හඳුන්වා දෙන්නේ ආසියාවේ තවත් අරාජික රාජ්‍යයක පැටිකිරියයි. 


ඒ රට මොන්ගෝලියාවය. මේ රට පිහිටා ඇත්තේ නැගෙනහිර ආසියාවේය. මෙහි මුළු ජනගහනයෙන් සියයට 55 ක් පමණ බෞද්ධයන්ය. උතුරෙන් රුසියාවටද දකුණෙන් චීනයටද මායිම්වී ඇත. විශාලත්වය ව.කි.මී. 1,56,6000 ක් හෙවත් ව.සැ. 605000 කි. ජනගහනය 32,56,172 කි. විශාලත්වය අතින් ලෝකයේ 18 වැනි ස්ථානය හිමිවී ඇත්තේ මේ රටට ය. රටෙන් වැඩි කොටසක් ගෝබි කාන්තාරය. (GOBI DESERT). ඝන වනාන්තර හා කඳුයායවල්වලින් යුක්තය. 


ආසියාවේ තවත් හිඟා කන රටක්


ජනාධිපති කාල්ට්මාගින් බටුල්ගා ය. අගමැති උක්නාගින් කුරෙල්සුක් ය. ආසියාවේ අසමත් හා දිළිඳු රටවලින් එකකි. රත්රන්, තඹ, ගල් අඟුරු හා යුරේනියම් ආදිය ඇති සරු පොළවක් ඇති රටක් වූ මොන්ගෝලියාව අද හිඟාකන තත්ත්වයට පත්ව ඇත්තේ කෙසේද? 2017 ඔක්. 19 දා චීනයේ “ෂින්හුවා” මාධ්‍යය සඳහන් කර තිබුණේ මෙහි මුළු ජනගහණයෙන් 1/3 ක් අන්ත දුගී අසරණ ජීවිත ගත කරන බවයි. මෙය ආර්ථීකය කඩා වැටුණ, දේශපාලකයින්ගේ හොර මැරකම් දෙගුණ තෙගුණ වී ඇති රාජ්‍යයක් බව ලෝක බැංකුව ප්‍රමුඛ ජාත්‍යන්තර ආයතන රාශියක දත්ත අනුසාරයෙන් යථෝක්ත මාධ්‍යය මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත. 


මෙයත් මහා නිධානයක් උඩ හිඳගෙන හිඟාකන තවත් රටකි. මෙහි දරිද්‍රතාව ජනගහනයෙන් සියයට 29.6 කි. රැකියා විරහිත තරුණ තරුණියන් දස දහස් ගණනින් ඉමහත් පීඩාවට පත්ව සිටී. නිවාස නැති අයගේ සංඛ්‍යාව මුළු ජනගහණයෙන් සියයට 30 කට වැඩිය. පරිසරය දූෂණයවීම රටේ තවත් දැවෙන ප්‍රශ්නයකි. කසළ බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති නිසා රටපුරා සීඝ්‍රයෙන් ලෙඩ රෝග පැතිරී යයි. නිසි සෞඛ්‍ය පහසුකම් නැති නිසා විවිධ ලෙඩ රෝගවලින් මියයන සංඛ්‍යාව අතිවිශාලය. 


රට සූරා කන හොරු 


සෞඛ්‍ය පහසුකම් සඳහා අයවැයෙන් වෙන් කරනුයේ සියයට 5 ක පමණ මුදලකි. බොහෝ කඳුකර ප්‍රදේශවලට සෞඛ්‍ය පහසුකම් සපයා නැත. රට පුරා කුණු කඳු ගොඩ ගැසී ඇත. ෂව්කන්, කාන්ගායි, ඔර්කෝන්, උවුර්කන්ගයි වැනි ප්‍රදේශයන්හි පවතින්නේ ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. මේ ප්‍රදේශවල දරිද්‍රතාවයෙන් පෙළෙන පුරවැසියන්ගේ සංඛ්‍යාව සියයට 70 කට වැඩිය. 


රත්රන් කන, තඹ ගිලින මොන්ගෝලියාවේ දේශපාලකයෝ 


මා ඉහතින් සඳහන් කළ ගම්බද පළාත් හතරේ ජනතාව විඳින දුක මොන්ගෝලියාවේ පාලකයින්ට නොපෙනෙන බව පෙනේ. අවුරුද්දේ වැඩි කාලසීමාවක් ඉතා දැඩි ශීත දේශගුණයක් පවතින රටක් වුවත්, එහි ජනතාවගේ දුක් ගින්දර මේ සීතල අභිබවා යයි. රටට ආදායම් උපයන ප්‍රධාන ආදායම් මාර්ගය විවිධ ඛණිජ ද්‍රව්‍ය අපනයන කිරීමය. සියයට 87 ක් පමණ වූ විදේශ විනිමයක් මින් උපයන නමුත් දේශපාලකයින්ගේ හොරකම් නිසා ඉන් ජනතාවට ප්‍රතිලාභයක් නොලැබේ. රට එක තැනම පල්වෙන්නේ මේ නිසාය. 
තඹ, රත්රන්, යුරේනියම්, ගල් අඟුරු ඉල්ලුම් හා පතල් වැඩි වශයෙන්ම ඇත්තේ ඔයු ටොල්ගෝ (OYU TOLGOI) ප්‍රදේශයේය. මෙම ඉල්ලම් රටේ දේශපාලකයින්ගේ ආයතනවලට හා විදේශ සමාගම්වලට විකුණා දැමීම හා බදුදීම තුළින් ඉන් රටට ලැබෙන ආදායම හොර පාරෙන් රටට නැතිවෙන ආකාරයට රජය මගින් ක්‍රමවේදයන් ක්‍රියාත්මක කර ඇත. රට පරිහානියට පත්වීමට ප්‍රධාන හේතුව මෙයයි. වසරකට මින් රටට ලැබුණු ඩොලර් බිලියන 4.2 කට වැඩි ආදායම දැන් අහිමිවී ඇත්තේ මේ නිසාය. දැනට මොන්ගෝලියාව ණය කන්දක යටවී අවසානය. ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ 13 හැවිරිදි බැරෝන් පුතාට පෝනි පැටවෙකු තෑගි දීමට සැරසුන කරාටේ ශූරයෙකු වුණ වත්මන් මොන්ගෝලියා ජනපතිද රට ගොඩ ගන්නා බවක් පෙනෙන්නට නැත. 


මම මෙම තීරුවෙන් මීට පෙර යුරෝපයේ පිහිටි ස්ලෝවේනියාව සහ ස්ලෝවෙකියාව පිළිබඳ විස්තර ඉදිරිපත් කළෙමි. එම විස්තර ඉදිරිපත් කිරීමේදී ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුනිසෙෆ්, එක්සත් ජාතීන් හා ඇමිනස්ට් ඉන්ටර්නැෂනල් වැනි රාජ්‍ය නොවන ආයතන නිකුත් කර තිබූ සමීක්‍ෂණ වාර්තා පාදක කොට ගතිමි. එමෙන්ම කලකට පෙර හා මෑතකදීද ජාත්‍යන්තර පුවත්පත් හා මාධ්‍ය ආයතනවල පළවූ වාර්තාද උපුටා ගන්නා ලදී. එම පුවත් වාර්තා පළවූ දිනය හා මාධ්‍යයේ නමද ලිපියට ඇතුළත් කළෙමි. 
විකිපීඩියා දත්ත වාර්තා අභිබවමින් බොහෝ දේශයන් අරාජික තත්ත්වයට පත්වෙන අයුරු මෙම ලිපි මඟින් පෙන්වා දුනිමි. අප්‍රිකා මහද්වීපයෙන් නොනැවතී ලතින් ඇමෙරිකාවේ මෙන්ම යුරෝපයේද කළ සංචාරයන්හිදී, මෙම තීරුවට තවත් රාජ්‍යයන් කීපයක් ඇතුළත් විය. බොහෝ රාජ්‍යයන්හි අගනුවර පවතින සෞභාග්‍යය රට අභ්‍යන්තරයෙහි දක්නට නොලැබේ. ඉහත කී රටවල මා මුලින්ම ගියේ 1979 දී. එනම් මීට වසර 40 කට පෙරය. 


මොන්ගෝලියාවේද දිළිඳුකම පිටුදැකීමේ විවිධ ව්‍යාපෘති අරඹා තිබෙන නමුත් ඒවා නමට පමණකි. බොරු ප්‍රචාරය පමණකි. මේවා ජනතාව රවටන දේශපාලකයින්ගේ උප්පරවැට්ටිය. මෙම කරුණු උපුටු ගන්නේ 2017 ඔක්. 2 “ද නිව්යෝර්ක් ටයිම්ස්” පත්‍රයේ පළවූ වාර්තාවකිනි. 


මෙහි වැඩිපුරම සිටින්නේ නිවාස නැති දිළිඳු ජනතාවය. දැඩි ශීතල ඉවසා ගත නොහැකිව පොළව හාරා බංකර සාදාගෙන ඒවායෙහි පවුල් පිටින් ජීවත්වෙන රට වැසියන්ද බොහෝය. මං මාවත් හා පොදු ප්‍රවාහන සේවාවන් නොමැති නිසා පෝනියන් හා ඔටුවන් පිට කඳුකර ගම්මානවල දුකසේ ගමන් යන පිරිස්ද මෙහි බහුල වශයෙන් දක්නට ලැබෙන දසුනකි. බොහෝ නගරවල යාචකයින් දහස් ගණනින් සිටිති. වැරහැලි හැඳගත් දරු දැරියන් වීදිවල විඳින දුක පාලකයින්ට නොපෙනේ.  


සිරභාරයට ගිය හිටපු ජනපති සහ අගමැති 


මෙය අල්ලස, දූෂණය ඉහවහා ගිය දේශයකි. 2019 ජනවාරි 19 දා “ද ඉකොනොමිස්ට්” වාර්තාවක සිරස්තලය ‘දූෂණයට එරෙහිව කෝපයට පත් මොන්ගෝලියාවේ ජනතාව’ යන්නයි. 


මොන්ගෝලියා හිටපු ජනපතිවරයා මෙන්ම හිටපු අගමැතිවරයාද වන්නේ නම්බරින් එන්කබ්රින්ය. ඔහු වසර 12 ක් එම තනතුරු හෙබවූවේය. තම පාලන කාල සීමාව තුළදී සිදුකළ හොර මැර වංචා පිළිබඳ අධිකරණයේ වැරදිකරු බවට පත්වී ඔහුට 2012 වසරේ වසර 10 ක සිර දඬුවමක් නියම විය. ඔහු සිර භාරයේ සිටියේ වසරකටත් අඩු කාලයකි. ඊළඟට පත්වූ රජය ඔහුට සමාව දී සිරෙන් නිදහස් කළේය. මේවාට කියන්නේ දේශපාලන “ඩීල්” ය. නැතහොත් ගිවිසුම්ය. වළපල්ලට ගිය රටවල බොහෝ විට දේශපාලකයින් අතර සිදුවන්නේ මෙවැනි ඩීල් ය. 


සිරභාරයෙන් එළියට පැමිණි මේ දූෂිත හිටපු පාලකයා යළිත් දේශපාලනයට පිවිසියේය. මොන්ගෝලියා ජනතා විප්ලවකාරී පක්‍ෂය නමින් නව පක්‍ෂයක් පිහිටුවාගෙන යළිත් රටපුරා දේශපාලන සංවිධාන කටයුතු ඇරඹුවේය. අඥාන ජනතාවගේ කර මතින් ඔහු යළිත් මොන්ගෝලියාවේ පාලන බලය සියතට ගතහොත් එය පුදුම විය යුතු කරුණක් නොවේ. 


දූෂිත ඇමතිවරුන්ගේ පැටිකිරිය


මොන්ගෝලියා රජය රටේ කර්මාන්තය හා ව්‍යාපාර නඟා සිටුවීම සඳහා රජය මගින් ආධාර හා පොලී රහිත ණය ලබාදීමේ අලුත් වැඩපිළිවෙලක් මෑතකදී ආරම්භ කරන ලදී. මේ සඳහා මුල් වටයේදී ව්‍යාපාර ආයතන 134 කට ආධාර හා ණය මුදල් ලබා දුන්නේය. පසුව අනාවරණය වූයේ මෙම ව්‍යාපාර ආයතන 134 න් 124 ක්ම රජයේ මැති ඇමතිවරුන්ගේ ඥාතීන්ට අයත් වෙළෙඳ ආයතන බවය. උදාහරණයක් වශයෙන් ප්‍රවාහන ඇමතිවරයාගේ බිරිඳගේ වෙළෙඳ ව්‍යාපාරයකට පමණක් ඩොලර් 3,71,000 ක මුදලක් ලබාදී ඇති බව හෙළිවිය. 


මේ පිළිබඳව මාධ්‍ය මගින් හෙළිදරව් කිරීම් රාශියක් ඉදිරිපත් කෙරිණි. මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වද්දී කෘෂිකර්ම ඇමති බටි ජර්ගාල් බට් ෂොරිග් ස්වකීය ඇමති තනතුරෙන් ඉල්ලා අස්වූයේ ඔහුට අයත් පෞද්ගලික ප්‍රවාහන සමාගමකට රජයෙන් අතිවිශාල ආධාර මුදලක්ද, ණය මුදලක්ද ලබාගැනීමේ සිද්ධිය හෙළිවීම නිසාය. 2017 වර්ෂයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැපයූ ඩොලර් බිලියන 5.5 ක ආධාර මුදල අනුසාරයෙන් රටේ දුක් විඳින ජනතාවට විවිධ සහනයන් ලබා නොදී ඉන් විශාල කොටසක් ගසා කෑ දේශපාලකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොමැති බව මාධ්‍ය වාර්තා දක්වයි. රාජ්‍ය සම්පත් පෞද්ගලික ආයතනවලට විකිණීමේදී මහා පරිමාණයේ වංචා සිදුවී ඇති බවද යථෝක්ත මාධ්‍ය වාර්තා කියයි. 


2018 සැප්තැම්බර් 18 දා ප්‍රකාශයට පත් “ආසියා පදනම” ආයතනයේ වාර්තාවෙහි මොන්ගෝලියාවේ දේශපාලකයින් සිදුකළ විවිධාකාරයෙහි වංචා, දූෂණ පිළිබඳ විස්තරයක් අන්තර්ගතය. එම වාර්තාව නිකුත් කර ඇත්තේ මොන්ගෝලියාවේ දූෂණය යන සිරස්තලයෙනි. 2019 අප්‍රේල් 3 දා “ද වොෂින්ටන් පෝස්ට්” පුවත්පත මොන්ගෝලියාවේ පාලකයින් අත්තනෝමතික අයුරින් රට කාබාසිනියා කළ අයුරු උදාහරණ සහිතව ඉදිරිපත් කර තිබුණි. ලෝකයේ අගාධයට ඇද වැටෙන්නේ සවිමත් ආර්ථිකයක් තුළින් සංවර්ධන කටයුතු නගා සිටුවීමට නොදන්නා පාලකයින් සිටින රටවල්ය. මා කාලයක් තිස්සේ ලියන්නේ එවැනි රටවල් ගැන ය. 


දූෂිත කථානායක ඉල්ලා අස්වූ හැටි


මොන්ගෝලියා පාර්ලිමේන්තුවේ කතානායක මියෙගොම්බින් එන්ක්බෝල්ඩ් (MIYEGOMBYN ENKHBOLD) පාලකයින්ට අල්ලස් දූෂණ වංචා සිදු කිරීමට අනුග්‍රහය දක්වමින්, ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සමඟ ඩීල් හෙවත් ගිවිසුම් ඇති කරගෙන, දූෂණ ක්‍රියාවන්හි නිරතවෙන බව විවිධ මාධ්‍යයන්හි චෝදනාවට ලක්විය. රටේ අපක්‍ෂපාතී ජනතා සංවිධාන හා වෘත්තීය සමිතිවලින්ද ඔහුට විරෝධය එල්ලවිය. ඔහුට ඉල්ලා අස්වෙන ලෙසට බල කරනු ලැබීය. ජනතාව දස දහස් ගණනින් පාර්ලිමේන්තුව වැටලූහ. මේ කතානායකවරයා රටේ ප්‍රධානම දේශපාලන පක්‍ෂය වූ මොන්ගෝලියා ජනතා විපක්‍ෂයේ නායකයා ය. අවසානයේදී ඔහුට ජනතා උද්ඝෝෂණ මධ්‍යයේ කතානායක තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. ද ඩිප්ලොමැටික් පත්‍රය 2019 ජනවාරි 31 දා මේ පිළිබඳ විශේෂ ලිපියක් පළ කළේය. “ද ග්ලෝබ් පෝස්ට්” (THE GLOBE POST) පත්‍රය 2019 පෙබරවාරි 13 දා මේ පිළිබඳව පලකළ විශේෂ ලිපියේ සිරස්තලය වූයේ “ඊළඟට මොන්ගෝලියාවේ සිදුවන්නේ කුමක්ද?” යන්නයි. 


මොන්ගෝලියාවද රාජ්‍ය දූෂණයට එරෙහිව මහජන පිබිදීමක් හටගත් තවත් දේශයකි. කතායකවරයාට එරෙහිව 60,000 කට අධික ජනසමූහයක් මොන්ගෝලියා පාර්ලිමේන්තුව වැටලීමෙන් මේ බව සනාථ වේ. දැන් දැන් ලොව බොහෝ අරාජික රාජ්‍යයන්හි මෙවැනි ජනතා පිබිදීම් හටගෙන ඇත්තේ ඔවුන්ට පීඩනය තවත් විඳදරා ගැනීමට නොහැකිවීම නිසා ය. එවැනි රටවල් ගොඩගත හැක්කේ මෙවැනි ජනතා පිබිදීම් තුළිනි.

 

 

 සිරී හීන්පැල්ල
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි