නැන්දම්මාට දොර පොල්ලෙන් ගසා දුක් වින්ද ලේලිය


ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යය වේ. මේ විශේෂාංගය ඒ ​ෙවනුවෙනි.   

 


 

අලව්වේ රාගල ජී.එම්. සේනාරත්න මහතා ලියු එවු කතාවක් මෙසේය.  

 
නැන්දම්මාට දොර පොල්ලෙන් පහරදුන් ලේලියට අත්වූ ඉරණම

 

හේතුහාමි පිටිසර ගමක මැදිවිය ඉක්ම වු යහපත් දිවි පෙවෙතක් ගත කළ ගැමියෙකි. කුඩා කුඹුරක් ගොවිතැන් බත් කර ගනිමින් හා පදිංචි කුඩා ඉඩමේ අල බතල හා කෙසෙල් පඳුරු කීපයක් ද වගා කර ගනිමින් ජීවිකාව ගෙන ගියේය. නොදියුණු ගමක් වු මෙහි ඉතා කුඩා පංසලක් ද, පොල් අතු සෙවිළි කළ කුඩා පාසලක් ද පිහිටා තිබුණි. මුල් ගුරුතුමා සෙසු ගුරුවරුන් කීපදෙනා සමග පාසල පවත්වා ගෙන ගියහ.   


හේතුහාමිට පුතකු හා දුවකු සිටි අතර එම දරු දෙදෙනා මේ කුඩා පාසලේ පස්වැනි කැලෑසිය (පංතිය) දක්වා අකුරු කළහ. මොවුන් හේතුහාමි හා බිරිය සේම නිවුණු සිත් ඇති දඩබ්බර ගති නැත්තෝ වූහ.   


පාසල හැර යාමෙන් පසු පුතා, පියා සමඟ ගොවිතැනෙහි ද දියණිය මව සමඟ ගෙදර දොරේ වැඩ වලද නිතර වුහ.   


​ෙම් දරු දෙදෙනා ලොකු මහත් වු පසු පළමුවෙන්ම දියණිය විවාහ කර දීමට තීරණය කර සොයා බලා හේතුහාමි සිත් ගත් තැනකට කැමති විය. මෙකල මෙන් ප්‍රවාහන පහසුකම් එකල නොවු හෙයින් පයින් වුවත් පැයකින් භාගයකින් යා හැකි ළඟපාත තැනකට දියණිය දුන්නේය.   


ඉන් ටික කලකට පසු වැඩිමහල් වියේ සිටි පුතාට වයස යමින් තිබු හෙයින් හේතුහාමි හා බිරිඳ කථා බස් කර ඉක්මණින් කටයුත්තක් කිරීමට තීරණය කළහ. තනතුරු රැකියා යාන වාහන ඇති පවුල් සෙවීමට උනන්දුවක් නොවු කාලවකවානුවක් වු හෙයින් තමන්ගේ වත්කමේ හැටියට හා පුතාගේ ඉගෙනීම හැටියට සාමාන්‍ය ගැමි පවුලකින් දියණියක් ගෙන ඒමට සිතා කපු මහතකුගේ සහය ලබා ගත්තේය.   


​ෙහ්තුහාමි තමාගේ මස්සිනාත්, කපු මහතාත් සමඟ කීපතැනකටම ගොස් සොයා බලා එක්තරා තැනකට කැමති ව පසු දිනෙක පුතා කපු මහතා සමඟ එතැනට යවා ඔහුගේ අකමැත්තක් පෙනෙන්නට නොවු හෙයින් දිනයක් නියම කර නැකත් ප්‍රකාරව විවාහය සිදු කර දුන්නේය.  

 
මනාළියගේ මව කට්ට කයිරාටිකය. ඒ ඇසුරේ හැදුණු දුවට මඟුල කෙරෙන්නට යද්දී මව ආශිර්වාද ක​ෙළ් ගිහින් ඉන්ට පුළුවන් නම් ඉන්න බැරි නම් ගෙදර එන්න. කියාය. මංගල්‍යය සිදුකර මනාළයාගේ නිවෙසට පැමිණිදාම මනාළිය කුස්සියේ බඩු මුට්ටු වෙනස් කළාය. ඉන් පසු මුළු ගෙදර බඩු මුට්ටු ඇයට උවමනා තැන්වලට දැමීය.

හේතුහාමිට හා බිරිඳට හිමි වුයේ කුස්සිය පැත්තේ කාමරයකි. දිනෙන් දින ඇය මුළු ගෙදරම ආධිපත්‍යය පැතිර වූවාය. ටිකෙන් ටික ලේළිය නැන්දම්මාව නුරුස්සන්නට වූවාය. පුතා නිහඬය.   


දිනක් කුස්සියේදී ලේලිය හා නැන්දම්මා අතර ඇති වු බහින් බස් වීමකින් නැන්දම්මාගේ දත් දෙකක් කැඩී ගියේ ලේලියගේ පහර දීමෙනි. පසු දින ලේලිය සිය මව්පියන් වෙත ගියාය. දින කීපයකින් පුතා ගොස් ඇය කැඳවාගෙන ආවේය.   


දැන් ලේලිය නැන්දම්මා සමඟ කථා නැත. කෙනෙකු නැතිව නිතර බැණ වදින්නීය.  

 
ලේලිය තවත් දිනෙක දොර පොල්ලකින් ගැසීම නිසා නැන්දම්මාගේ කැඩුණු කකුලට ප්‍රතිකාර කළත් සදහටම කොර විය. මහලු දෙදෙනා වෙනම උයා පිහා ගෙන කෑහ.

  
පව්කාර ලේළිය නිසා මේ සියලු දුක් විඳි හේතුහාමිත්, බිරිඳත් මෙලොව හැරගියේ අපමණ සිත් තැවුලෙනි.

පව්කාරකමේ තරමටම දරුවන් නොලැබුණු ලේළිය කළ පව් පළදීමේ කාලය උදා විය. එහෙත් එය දැක ගැනීමට හේතුහාමිත් බිරිඳත් ජීවතුන් අතර නොවූහ.  

 
කෑම සැපීමට හා ගිලීමට නොහැකිව කටේ සහ උගුරේ දරුණු රෝගාබාධයකින් ලේලිය රෝහලක නතර වූවාය. වෛද්‍යවරු පරීක්ෂණ කළහ. ඔවුහු රෝගය අනුමාන කළත් රෝගියාට ​ෙනාකීහ. ඇය රෝගීව සිටියදී දෙපා පණ නැතිවීමේ රෝගය ද සෑදී දිගු කලක් ​අපමණ දුක් වින්ඳාය. ගම්මු කිසිවෙක් අනුකම්පා නොකළහ. ලේලිය අකාලයේ මිය පරලොව ගියේ නැන්දම්මාට කළ අමානුෂික තාඩන පීඩන නිසා මේ ජීවිතයේදීම පලදීමෙන් යැයි ගම්මු අදටත් කියති.  

 


 

සාලියපුර සාහියන් කඩවල රොබට් මුතුනායක මහතා ලියා එවු කතාවක් මෙසේය.   


මස් වැද්දකුගේ නිදි නැති රාත්‍රිය
(සත්‍ය කතා පුවතකි.)  


දකුණේ සිට වැව් බැඳි රජරටට සංක්‍රමණය වු මොහු ජලය පිරි අමුණක් අසල කටු මැටි ගැසු නිවෙසක් ඉදි කර ගනිමින් සිය අඹු දරුවන් සමඟ ජීවත් වීම ආරම්භ කළේය.   


මොහුට ස්ථිර රැකියාවක් නොවු අතර කුලියට පොල් ගස් නැග පොල් කැඩීම හෝ එදිනෙදා ලැබෙන කුලී වැඩක නිරත වීමෙන් තම දරු පවුල ජිවත් කරමින් සිටී.   


මොහුගේ දින චරියාවේ ප්‍රධානම කොටස වුයේ ඉඩ ලද සෑමවිටකම නිවෙස අසල ඇති ජලාශයේ බිලී බාමින් මාළු ඇල්ලීමය.   


පොළොව කොටා ලබා ගන්නා පනුවන් ඇම වශයෙන් බිලී කොකු වල ඇමිණීම සඳහා කල් ඇතිවම සූදානම් කර ගනී.   
දිය කොරහට බිලි කටු දැම්මත් ජෙමාට, මාළු වරදින්නේ නැතැයි කියන්නට තරම් මොහු මාළු බෑමෙහි ජගතෙක් විය.   
දිනක් මොහු සුනඛ පැටවුන් දෙදෙනෙකු නිවෙසට ගෙන ආවේය.   


මුලින්ම මෙම සුනඛ පැටවුන්​ෙග් අණ්ඩකෝෂය ඉවත් කර සුව වීමෙන් පසු දඩයමට පුහුණු කෙරිණි.

  
සිය හාම් පුතා පොරෝ කෙටිය අතට ගෙන හා යමන් යැයි අණ කරණවාත් සමඟ සුනඛයෝ දෙදෙනා ගම​ෙන් පෙරමුණ ගනිති.   


සාවුන් මීමින්නන් ඌරන් මුවන් ඉත්තෑවන් තලගොයින් වැනි සතුන් ඉව අල්ලා හඹා ගොස් ඇල්ලීමට දක්වන්නේ සහජ දක්ෂතාවයකි.  


මස් මාළු වලට ඇති ඉල්ලුම අනුව විකුණා දැමීම එතරම්ම අපහසු නොවන අතර කුස්සියේ ළිප් ගල් තුනට ඉහළින් ඇති මැස්ස ඉතිරි වන මස් මාළු බාර ගැනීමට සූදානමින් සිටී.   


මොහුගේ මෙම ක්‍රියා කලාපය ප්‍ර​ෙද්ශවාසීන්ගේ අප්‍රසාදයට මෙන්ම පිළිකුලට ලක් වී ඇතත් කිසිවකු මොහු සමඟ දොඩමළු වීමට නොයෑමට වගා බලා ගත්හ.   


දිනක් මොහු තම සුනඛයන් සමඟ වන වැදී දඩයමක් සොයමින් යන අතර ඉළුක් පඳුරු අතරේ සිට සෙබඩකු පියඹා යන අයුරු දැක විපරමින් යුතුව සොයා බැලීය. සෙබඩා සිටි ස්ථානයේ මොනර බිජු තුනක් තිබෙන අයුරු දැක එය නොදැක්කා සේ මඟ හැර යෑමට තරම් ඔහු උපයාශීලී විය.

  
දිනක් රාත්‍රියේ නිසොල්මන්ම පැමිණ ​ෙසබඩ අල්ලා ගත් මොහු මොනර බිජුද ගෙන තම ඇඳි සරම් පොටෙහි ඔතා ගෙන නිවෙසට පැමිණෙද්දී තැතිගැස්මට හා බියට පත් සෙබඩ ළතෝනි දී හඬ නගන්නට විය.   


සෙබඩා ගේ පාදයකට ලණුවක් දමා මිදුලෙහි ඇති ගසක බැඳ දැමු ඔහු විසින් දින තුනක්ම තම ආහාරවේල සඳහා මොනර බිජු සකස් කර ගන්නා ලදී.   


දෙවනුව​ සෙබඩ ගේ වාරය මෙම තිරිසන් මිනිසාගේ මන දොළ පිරවීමට හේතුවිය.  


කාලය මෙසේ ගෙවි යද්දී මොහුගේ ගත දුබල වී දෙපා අප්‍රාණිකව ඇවිදීමට නොහැකිව නිවෙස ඉදිරියේ ඇති ලණු ඇඳට පමණක් සීමා විය.   


පෙර ​ෙමන් මස් මාළු නැති ආහාර වේල් තම බිරිඳ සහ දරුවන් ලබා දෙතත් වියරුවෙන් මෙන් ඔවුනට බැණ වැඳී ආහාර බඳුන මිදුලට විසිකර දමා නිරාහාරව සිටී.   


දිවා කල මෙන්ම රාත්‍රී කාලයේද වියරු​ෙවන් මහ හඬින් කෑ ගසයි.   


නිසල රාත්‍රී කාලයේ දී මොහුගේ හඬ ගම පුරාව පැතිරී යෑම නිරත නිතර ම සිදු වේ.   


කල්යත්ම මොහුගේ දසුන දැකීම පවා පිළිකුල් සහගත විය. රාත්‍රී කාලයේ නිද්දේදී දකින සිහින පාප ක්‍රියා සිහියට නන්වන දසුන් පෙළක් මෙන් දැකීම බිය වී කෑ ගැසීමට හේතු විය.   


වෙනදා මෙන් ඔහුගේ අඳෝනා හඬ මෙදින රාත්‍රියේ ද ගම පුරා නැගිණ.  

 
වටින් ගොඩින් හිරු නැග එද්දී ගම පුරා ප්‍රචාරය වී ගියේ සත්ව ඝාතනයෙහි කෙළ පැමිණියකුගේ පණ නල සිසිල් වාතලයේ මුසුව ගොස් ඇති බවයි.

 


 

මතුගම පියසේන දොඩන්ගොඩ මහතා විසින් ලියා එවන ලද කතාවක් මෙසේය.   


පස් පවේ ගිලුන “ජෙමා”  

 
කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි​ෙවයි ගිනි සේ ලෝ වැඩ සඟරා කතුවරයා පවසා ඇත්තේ විහිළුවට නොවේ. මේ ආත්මයේදී තමා විසින් කරන ලද කුසල අකුසල කර්ම වල ප්‍රතිඵල ගොනා පසු පස කරත්තය එන්නාක් සේ වන බව පැහැදිලි කරුණකි. ගමේ ජීවත් වු ජෙමා ද එලොවක් නැත. පරලොවක් ද නැත. මරණින් මතු ඉපදීමත් නැත. ජීවත්ව සිටින කාලයේ දී හැම දෙයක්ම කළ යුතුය යන හැඟීමෙන් පස් පව් දස අකුසල් කරමින් ජීවත් වු අයෙකි. සතුන් මැරීම, හොරකම් කිරීම, බොරු කීම කාමයේ වැරදි ලෙස හැසිරීම හා මත් වතුර පානය කිරීම ආදී පාප කර්ම වල යෙදෙමින් ජීවිතය ගෙන ගිය ජෙමා මුළු ගමටම කොඩි විණයක් වු බව නොරහසකි. එළුවන් කකුලන් ආදී සතුන්ට ජීවය ලබා දී ඇත්තේ එම සතුන්ගේ මස් නරක් නොවෙන ලෙසටයි පැවසු ජෙමා දිනපතාම පාහේ මස් මාළු කෑම ප්‍රිය කළ අයෙකි. කට ගොන්නක් බීගෙන මහ රෑ ගම පුරා කෑකෝ ගසමින් අමු තිත්ත කණු හරුප කියමින් ඇවිදීම ගම්වාසීන්ගේ සතා සීපාවා ඇතුළු එළි පෙහළියේ වනා ඇති රෙදිපිළි පවා හොරා ගැනීම ආදී සියලු නොපණක් කම් කළ ජෙමා තවමත් නිදුක් නිරෝගීව ඉහෙන් බහින රෝගයක් පවා නොමැතිව සිටීම ගම්වාසීන්ට මහත් ප්‍රහේළිකාවක් වුවත් “ජෙමාට” කිසිදු බාධාවක් සිදුවුණේ නැත. ගමේ හොරකමක් සල්ලාල වැඩක් ඔහු සිදු කළ විටකදී ගම් වැසියන් කොපමණ දෙස් දෙවොල් තැබුවත් හොරාට විපතක් නොවුණත් ගම්මුන් එම කාර්ය කරගෙන ගියේ හොරාට වැඩි කලක් යහතින් සිටීමට නොහැකි බව හොදාකාරව දන්නා බැවිනි.   


ගමේ කෙරෙන ඕනෑම නොසංඩාල වැඩක් හෝ හොරකමක් හෝ සිදු කරන්නේ ජෙමා බව ගම්මුන් පැහැදිලිව දන්නා නමුත් ඇසින් දුටු සාක්කි නොමැති කමෙන් හා මොහුට ඇති බිය නිසා කිසිවෙකු නීතියේ පිළිසරණ පැතුවේ ද නැත. ඕකා ඔය කරන අපරාධ වලට උඩ ඉන්න දෙවියන් දඬුවම් දේවි. අපරාධ හැමදාම කරන්න බැහැ. යනුවෙන් පවසා ඔහුගෙන් කරදර වු හැම දෙනාම පාහේ කරබා ගෙන සිට නමුත් ජෙමා සමඟ දබරයට ගියේ නැත. මේ අතර දිනක් ඔහු මහ දවාලේ තම ගෙවත්තේ ඇති කොස් ගසක තිබු ඉදුණු වරකා සුවඳ දැනී ගසට නැග්ගේ වරකා ගෙඩියක් කඩා ගැනීම සඳහාය. පෙර දින හැන්දෑවේ පානය කළ කසිප්පු වල වෙරි මත තවමත් හරි හැටි පහ වී නොගිය ජෙමා වරකාගෙඩිය ළඟටම ​ගොස් පය තබා තිබුණේ වියළි කොස් අත්තකටය. ගත වුයේ නිමේෂයකි. කොස්අත්ත සමඟ ජෙමා අැද වැටුණේ කොස් ගස අසල වු ගල් තලාව මතටය. බුදු අම්මෝ මං ඉවරයි යනුවෙන් මරලතෝනි දුන් ජෙමාගේ හඬට අහළ පහළ උදවිය පැමිණෙන විටත් සියල්ල සිදු වී හමාරය. ගම බිය වැද්දු ජෙමාගේ උකුල් ඇටය බිඳුණ බැවින් මේ වන විට ඔහු ජීවිතය ගෙවන්නේ රෝද පුටුවේය.   

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්