නටබුන් අතරින් මතුවූ හඟුරන්කෙත රාජකීය මාලිගාව


 

මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත පුරවරය වූ කලී අනුරාධපුරය රාජධානිය කරගත් හෙළයන්ගේ පළමු රජතුමන් වූ පණ්ඩුකාභය රජතුමාගේ මාමාවරු හත්දෙනාගෙන් හය දෙනෙක්ම රජතුමාට සතුරුව සිටිය දී සතුරෙක් නොවූ එකම මාමණ්ඩිය පදිංචිව සිටි ප්‍රදේශය වෙන අතර රාජකීය කුමරා තරුණ වියට පා තබන තුරු සතුරු උපද්‍රවයන්ගෙන් බේරා ගැනීමට කුමරු සඟවා සිටි පෙදෙසක් බවට ඔප්පු කළ හැකි මූලාශ්‍ර නැතත් අද වෙනතුරුත් නොනැසී පවත්නා ජනවහරේ පවතින හෙයින් සනාථ වෙන්නක්ය. 
පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් බණ්ඩාර දිසානායක මහතාගේ පිළිගැනීම අනුව හඟුරන්කෙත රාජධානිය සීතාවක රාජසිංහ රාජ්‍ය සමය දක්වා දිවයන බව මන්දාරම්පුර පුවත කාව්‍ය අනුසාරයෙන් පෙන්වා දෙන්නකි. ක්‍රි.ව. 1554-1593 දක්වා කාලයේ සිටි සීතාවක රාජසිංහ රජුගේ මර්දනකාරී ක්‍රියා පිළිවෙත නිසා කනස්සල්ලට පත්ව සිටි රටවැසියන් සුන්දර බණ්ඩාර සිහසුනට පත්කිරීමට කටයුතු යොදමින් සිටි අතරතුර මෙය සැලවූ රාජසිංහ රජු සුන්දර බණ්ඩාර ජීවිතක්ෂයට පත්කළ බවත් ඉන්පසු සුන්දර බණ්ඩාරගේ ළදරු පුත් කොනප්පු බණ්ඩාර සඟවා සිටියේ හඟුරන්කෙත බවත් පෙන්වා දෙයි. පසුව කෝපයට පත් රාජසිංහ රජතුමා හඟුරන්කෙත නගරය වටලා කොනප්පු බණ්ඩාර නොදුනහොත් නගරය වනසන බවට තර්ජනය කරමින් ඒ හා සමාන දරුවෙක් රජුට ලබා දී රජතුමා රැවටූ නිසාවෙන් එයට පළිගැනීමක් ලෙසින් මහා සංඝයා වහන්සේ 181 ක් නමක් පරලොව යවා නගරයට ගිනි තබා විහාරවලටත් ගිනි තබා ඇති බව මන්දාරම්පුර පුවතේ සඳහන්ව ඇති බව කොමසාරිස්තුමා පෙන්වා දෙයි. 


එසේම දෙවැනි විමලධර්මසූරිය රාජ්‍ය සමය 1687-1707 කාලවකවානුවේ විදේශිකයන් දිගිලිය නුවර ලෙසින් හඳුන්වා ඇත්තේ දියතිලක නුවරම නමුත් ජනප්‍රවාදය අනුව මහා සංඝයා සතු කුඹුරක වී වෙනුවට මුතු ඇට පැසීම නිසා දිගිලිය නුවර සඟරුවන්කෙත නමින් භාවිතව පසුව එය හඟුරන්කෙත ලෙසින් භාවිතයට ගෙන ඇති බව ද පෙන්වා දෙයි. 


ඓතිහාසික රාජධානියේ ප්‍රථම ඉදිකිරීමක් ගැන රාජාවලිය අනුව සෙනරත් රජු දියතිලක නුවර ඉදිකිරීම් කොට පදිංචිව සිට ඇති බව සඳහන් නිසා රජු වෙනුවෙන් රජ මාලිගයක් තිබෙන්නට ඇතැයි කීම මුසාවක් නොවේ. සීමන් කුරේ රාල හත් වතාවක් ගොඩනැගිලි ගිනි තබා විනාශ කළත් යළි ප්‍රතිසංස්කරණය කරමින් රජු පදිංචිය වෙනස් කොට නැති බව සඳහන්ව තිබීමෙන් රජමාලිගයටත් එම හානියත් සිදුවෙන්නට ඉඩ ඇත. 
හඟුරන්කෙත මාලිගය පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කරන පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් බණ්ඩාර මහතාගේ නිගමනය වෙන්නේ රොබට් නොක්ස් පවසන පරිදි දෙවැනි රාජසිංහ රජතුමා සුවිසල් වූත් අත්‍යාලංකාර වූත් රජමාලිගාවක් හඟුරන්කෙත ඉදිකොට ඇති බවත් මෙය පල්ලේමළුව වැව අද්දර උස් බිමේ පිහිටා තිබූ බවත් මෙම මාලිගාවට අතිරේකව පිළිසඳර මණ්ඩපයක් සහ මඟුල් මඩුවක් ඉදිකොට ඇති බවත් පෙන්වා දෙයි. පවන නම් වූ පුස්කොළ පොත අනුව 1668 දී දියතිලක නුවර වැව බඳවන ලදී. එකල නම්ව ඇත්තේ උඩමළුව ලෙසිනි. 
1808 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සොයා පැමිණි මේජර් ඩේවිඩ්ගේ හමුදාව විසින් හඟුරන්කෙත රජමාලිගාව විනාශ කර රජමාලිගයේ ශේෂව තිබූ ශෛලමය වාහල්කඩ, පංච මකරගල්, උළුවස්ස, සඳකඩපහණ, ලිය කැටයම් සහිත ගල්කණු, ගල්පඩි ආදිය දොරටියාවේ අත්ථදස්සී ස්වාමීන් වහන්සේ විසින් රැගෙන විත් හඟුරන්කෙත විහාරය කරවූ බවත් එහෙයින් එම විහාරය පොත්ගුල් මාලිගා විහාරය ලෙසින් නම ලත් බවත් පවසා සිටින්නකි. එමෙන්ම හඟුරන්කෙත සී.සී. විද්‍යාලයට ආසන්නව ඇති ක්‍රිස්තියානි පල්ලියේ ද රජ මාලිගයේ තිබූ සඳකඩපහණක් අදටත් එහි දකින්නට තිබෙන්නකි. 

 


හඟුරන්කෙත රජ මාලිගයේ වැඩවසමින් හඟුරන්කෙත ඇසළ පෙරහරේ රජවරුන් ගමන් කර ඇති බවක් ද අනාවරණය වෙන්නකි. එහෙයින් හඟුරන්කෙත ගැන සඳහන් කිරීමේදී ඇසළ පෙරහර ගැන ද සඳහන් කළ යුත්තකි. විෂ්ණු දෙවියන් මූල්කර ගනිමින් පවත්වනු ලබන මෙම ඇසළ පෙරහර 1896 ලෝරිගේ වාර්තාව අනුව රජුගේ පෙරහර නිලපංගු පිළිබඳව සඳහන් හෙයින් ඇසළ පෙරහරේ ආරම්භයත් දෙවැනි රාජසිංහ රජ සමය දක්වා දිව යන්නක්ය. 


මහනුවර යුගයේ උඩරට පාලනය කළ රජවරුන්ට සතුරන්ගෙන් පීඩා වෙත්ම සටන් අතහැර රජුගේ ආරක්ෂාව පතා පැමිණ ඇත්තේ හඟුරන්කෙතට බව සාක්ෂි එමට පවතී. මහනුවර හරහා නිල්ලඹ පසුකොට මහඔයෙන් එගොඩව හඟුරන්කෙතට පහසුවෙන් පැමිණීමට හැකි මංමාවත් මෑතක් වෙනතුරු පැවතිණ. එසේම වෙල් විදානේවරයෙකු ලෙසින් වීදිපැලැල්ලේ රාල හෙවත් හඟුරන්කෙත සිටි රජවරුන්ගේ සමීපතමයෙක් බවත් 1848 නිදහස් අරගලයේ නිර්මාතෘ ලෙසින් සත්කෝරලයේ රජු ලෙසින් සටන් වැදුනේ ඔහු බවත් පදිංචිය රිකිල්ලගස්කඩට ආසන්නව වලලවෙල බවත් මෑත ඉතිහාසයෙන් සොයා ගත්තකි. ඔහුගේ සහෝදරයන් දෙදෙනාම හඟුරන්කෙත රජ මාලිගයේ ආරක්ෂකයන් ලෙසින් සේවය කොට තිබේ. හඟුරන්කෙත රජ මාලිගයට සිදුවූ විනාශයන් හිදී වඩාත් කම්පනයට පත්ව ඇත්තේ වීර ඩිංගිරාල ය. අධිරාජ්‍ය විරෝධී සටනේ ප්‍රමුඛයා වූයේ එහෙයිනි. 


වැනසී යමින් පැවැති ඓතිහාසික හඟුරන්කෙත උරුමයන් ආරක්ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපත් වෙන විටත් එහි වටිනා අගනා බොහෝ දේ අතුරුදන්ව ඇති බව තතු දන්නෝ පවසති. ඓතිහාසික වටිනාකම් සොයාගනු වස් කැණීම් කටයුතු කරමින් ඉතිහාසයට පණ පෙවීමේ කටයුතුවල නිරතව ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවය. 


මධ්‍යම පළාත් පුරාවිද්‍යා කොමසාරිස් බන්දුල දිසානායක මහතා, 


“පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හඟුරන්කෙත ඓතිහාසික වටිනාකමකින් යුත් රජ මාලිගා බිම් ප්‍රදේශය 1996 වසරේ දී ගැසට් මගින් ප්‍රකාශයට පත් කළා. වසර 700 ක පැරැණි ඉතිහාසයක් ඇති මෙම බිම මෙතෙක් නිසි පරීක්ෂණයක් නොකළේ ජනතාව පදිංචිවීම නිසාවෙන්. මෙහි පදිංචි පුද්ගලයන් අතරත් පුරාවිද්‍යා නිලධාරීන් අතරත් දිගු කාලීනව මත ගැටුම් ඇති වුණා. හේතුව ප්‍රදේශවාසීන්ට තම තමන් කැමැති අයුරින් ඉඩම සංවර්ධනයට නීතියෙන් බාධා වීමයි. ජලය ලබාගැනීමට නැත්නම් වැසිකිළි වළක් කැණීමකට අපට ඉදිකිරීමේ දී නීතිය අනුව අවසර දෙන්න බැහැ. අවසානයේ දී වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් බණ්ඩාර දිසානායක මහතා තීරණය කළා මෙම වකවානුවේ මෙම භූමියේ කැණීම් සිදුකොට පැහැදිලි සාක්ෂි සොයාගත යුතුයි කියලා. 


අපි සිදුකළ 2020 කැණීම්වල දී ඉතා වටිනා පෞරාණික මාලිගයක නටඹුන් රැසක්ම ඇස් පනාපිට සොයාගත්තා. මට පෞද්ගලිකව කියන්න පුළුවනි මෙම බිම අපේ කැණීම්වලින් පසුව අපි ගොඩනැගිලි ටිකත් තිබූ අයුරින්ම සංරක්ෂණය කළාම මෙම පෙදෙස සංචාරක පුරවරයක් වෙන බව. අනෙක මහනුවරටත් ආසන්නයි. රජය මැදිහත්ව මෙම ඉඩම්වල පදිංචි ජනතාවට ඉඩම්, නිවාස හෝ වන්දි ලබාදෙමින් ඉවත් කළොත් අපේ වැඩවලට ඉතා පහසුවෙනවා. සන්තෝෂයි කියන්න ප්‍රාදේශීය ලේකම්තුමා මෙහි පදිංචි අයට විකල්ප ඉඩම් ලබාදෙනවා කියලා දැනගත්තාම. දේශපාලන අධිකාරියේ සම්බන්ධතාව අත්‍යාවශ්‍ය වෙනවා එම කටයුතුවල දී” ඒ මහතා පැවසීය. 


පුරාවිද්‍යා පර්​ෙ‌ය්ෂණ නිලධාරී අත්තනායක මහතා, 


“දැනටම පැරැණි සාධක බොහොමයක් අපිට හමුවුණා. මෙම රජ මාලිගාව මහනුවර මුල් යුගයේ සිටම පැවැති බවට සාධක තියෙනවා. ඓතිහාසික තොරතුරු අනුව සෙනරත් රජුගේ මාලිගාවක් තිබූ බවට සහ දෙවැනි රාජසිංහ රජුගේ කාලයේ සැලසුමක් අනුව ගොඩනැගිලි ඉදිකොට ඇති බවටත් පොත්පත්වල දක්නට තියෙනවා. 


අපට කියන්න පුළුවනි පසුකාලීනව රජවරු බොහොමයක්ම මෙහි නවාතැන් ගෙන ඇති බවටත් ඉංග්‍රීසි යුගයේ 1815 දීත් මාලිගයට හානි කරලා තියෙනවා කියලත්. 1818 වසරේ දී රජ මාලිගාව පැවැති බවට ඩේව් සඳහන් කර තියෙනවා. ඕලන්දකාරයොත් මෙම මාලිගය විනාශ කළ බවට තොරතුරු පවතිනවා. අන්තිමටම ස්වදේශිකයන් අතිනුත් මෙම මාලිගාව විනාශයට පත්කර තියෙනවා.” 

 

 

“ගවේෂණයේ දී දැනගත්තා තලාතුඔය පැත්තේ දක්නට ඇති පාෂාණ වර්ගයක්. මතුපිට බැමිවලට මේ ප්‍රදේශයේ ග්‍රනයිට් පාෂාණ බහුලව භාවිතා වී තියෙනවා. කාලීන සාධක අනුව හුනු බදාම උපයෝගී කරගෙන තිබෙනවා. දැනට තිබෙන සාධක අනුව අපිට සම්පූර්ණ ගොඩනැගිල්ල ඉදිකරවන්න පුළුවනි. තවදුරටත් අධ්‍යයනය කරනවා. එමගින් ප්‍රෞඪ ඉතිහාසයක් අනාවරණය කර ගන්නත් පුළුවනි. අපේ සියලු කැණීම් පුරාවිද්‍යා දත්තයන්ට අනුකූලවයි කරන්නේ. කිසිත් හානිදායක දෙයක් අපෙන් ඉටුවන්නේම නැහැ. මෙතන ස්මාරකයටත් හානි වෙන්නේ නැහැ. පසුගිය කාලවල අත්දැකීම් මෙහිදී ප්‍රයෝජනයට ගන්නවා. මෙම ස්ථානය වගේම තව හතර පොළක කැණීම් කළ යුතු වෙනවා.” 


හිටපු ප්‍රාදේශීය සභා සභාපති ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.බී. ඉලංගන්තිලක මහතා, 


“පල්ලේඔය මායිමේ තියෙන මෙම ඉඩම්වල ජීවත්වෙලා ඉන්න අයට ප්‍රායෝගික ගැටලු රැසක්ම තිබෙනවා. ගෙයක් හදාගන්ට වැසිකිළි වළක් කපාගන්ට ළිඳක් හාරා ගන්ට පාරක් හදාගන්ට ගියාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර දෙන්නෑ. දැන් අපිට තේරෙනවා එය සාධාරණයි කියලා. මෙහි පදිංචි ජනතාව ප්‍රදේශයේ ජනතා නියෝජිතයා හැටියට එස්.බී. දිසානායක මහතාගෙන් නිතර ඉල්ලීම් කරමින් සිටිනවා මෙවන් ගැටලු මම දැකලා තියෙනවා. එයට විසඳුමක් වශයෙන් පුරාවිද්‍යා කොමසාරිස්තුමාට කතා කරලා මෙයට විසඳුමක් ලබාදෙන්න කියා ඇමතිතුමා ඉල්ලීමක් කළා. ඒ අනුව දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැණීමේ කටයුතු සිදුකරමින් පවතිනවා වගේම දැන් ඔප්පුවෙලා තියෙනවා මෙය පැරැණි රජ මාලිගාවක් බවට සාක්ෂි සහිතව. එහෙයින් පුරාවිද්‍යා සියලුම නිලධාරීන් සමඟ එස්.බී. දිසානායක මහතා ඉදිරි කටයුතු පිළිබඳව නුදුරු දිනයක දී සාකච්ඡාවක් පවත්වලා නිසි තීන්දුවක් ගන්නවා. ඉදිරියේ දී රජ මාලිගය ජනතාවට දැකගන්න හැකිවේවි.” ඒ මහතා පැවසීය. 

 

රිකිල්ලගස්කඩ ටී.ඇම්. සෝමපාල