දේශපාලන කොල්ලකාරයන්ගෙන් පිරුණු ටියුනීසියාව


වළ පල්ලට ගිය රටවල්

 

අල්ලස, දූෂණය, හොරකම, වංචාව මේ මොන වචනය පාවිච්චි කළත් සිදුවන්නේ එකම දේ නොවේද? ලොව බොහෝ අසමත් රාජ්‍යයන් හි රාජ්‍ය දේහය පුරා ඔඩුදුවා තිබෙන්නේ මේ කියන දූෂණයයි. මෙය විනාශකාරී පිළිකාවකි. එම රටවල දිළිඳුභාවය, අහේනිය, ණයගැතිභාවය සහ නොදියුණුකමට බලපා ඇති සාධකයකි මේ.


බොහෝ රටවල සුක්කානම කරකවන පාලකයින් දූෂණයේ පෙරගමන්කරුවන් වී තිබීම කොතරම් අභාග්‍ය සම්පන්නද? අයථා ලෙස මුදල් ඉපයූ දේශපාළුවන් වළපල්ලට යැවීමේ නීති රීති ක්‍රියාත්මක නොවීම දූෂණයට මඟපාද‌ා දීමකි.


දූෂිත පාලකයින් සිටින අගාධයට ගිය බොහෝ රටවල ඉක්මනින් වළපල්ලට යන්නේ දුක, දොම්නස, නැති බැරිකම හා දරිද්‍රතාව කරපින්නා ගත් මහජනතාවයි. එම ​ෙද්ශයන්හි දේශපාලන හොරදෙටුවන්ට රැකවරණය ලබාදෙන්නේ උත්තරීතරයයි අපක්ෂපාතීයි යනුවෙන් හඳුන්වන අධිකරණයයි. අද මෙම තීරයෙන් හඳුන්වා දෙනු ලබන්නේ දූෂණයෙන් අගතැන්පත් අප්‍රිකාවේ තවත් රාජ්‍යයකි.


හොරුන් එළවා කම්බ හොරු බලයට ඒම


මා හඳුන්වා දෙන මෙම රාජ්‍යය ටියුනීසියාවයි. මෙය උතුරු අප්‍රිකාවේ පිහිටි ​ෙද්ශපාලන මංකොල්ලකරුවන්ගෙන් පිරුණු ජනරජයකි. මෙය ජනතාවගේ රාජ්‍යයක් නොවේ. ජනතා නාශකයින්ගේ ක්ෂේම භූමියකි. රජදහනකි. මෙය ද වත්කම් බැරකම් ප්‍රසිද්ධියට පත් නොකරන පාලකයින් සිටින රටකි. හොරුන් එළවා යළි යළිත් කම්බ හොරුන් බලයට එන දේශයකි.


ටියුනීසියාව පිහිටා ඇත්තේ ඇල්ජීරියාව සහ ලිබියාවට මැදිවය. සහරා කාන්තාරය මේ රටේ ජනතාවගේ පීඩනය දෙගුණ තෙගුණ කරනු ලබයි. අද ටියුනීසියාවේ මුදල් ඒකකය වන ටියුනීසියන් දිනාරය ඩොලරය හමුවෙහි තඹ දොයිතුවක් වත් වටිනාකමක් නැති තත්ත්වයට පත්වී තිබෙන්නේ මේ රටේ හිටපු සහ හිටින පාලකයින්ගේ පරාක්‍රමය මුළු ලොවටම කියාපාමිනි.


ටියුනීසියාවේ විශාලත්වය ව. කි.මී. 163610 ක් හෙවත් ව.සැ. 63170 කි. දැන් ජනගහනය එක්කෝටි පහළොස් ලක්ෂය ඉක්මවා තිබේ. (1,14,34994). පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් සංඛ්‍යාව 217 කි. ඉන් 68 දෙනෙකුම කාන්තාවන්ය. අරාබියේ මෙන්ම අප්‍රිකාවේ රටවලින් පාර්ලිමේන්තු තුළ වැඩිම කාන්තා නියෝජනයක් පවතින රට මෙයයි. මේ රට ප්‍රංශයෙන් නිදහස ලබා ගත්තේ 1956 මාර්තු 15 ද‌ා ය. වසර 63 ක් තිස්සේ ටියුනීසියාව ද පෙරට ගොස් ඇත්තේ ඉබිගමනිනි. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 31 ක් පමණ වුවත් මෙය කාන්තා හිංසනය වැඩි වශයෙන් සිදුවන රාජ්‍යයකි.


ටියුනීසියාවේ තරුණ අසහනය


කාන්තාවන් අපයෝජනයට ලක් කිරීම විශාල වශයෙන් රට පුරා සිදුවේ. යම් අයෙකු කාන්තාවක දූෂණය කළ බවට සනාථ වුවහොත් ඔහු ඇය නිත්‍යානුකූලව විවාහ කරගත යුතු බවට නීති සම්පාදනය කර ඇති රටකි. මෙහි තරුණ අසහනය එන්න එන්නම වැඩිවෙමින් පවතී. විරැකියාව උග්‍ර වී ඇත. තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හා මංකොල්ලකෑම්වලට සම්බන්ධවීම හේතුකොට ගෙන රට තවත් අරාජික වී ඇත. මේ රටේ ජනතාව දීර්ඝ කාලයක් සිවිල් යුද්ධයෙන් බැට කෑහ.


වැඩිම ​ෙද්ශපාලන පක්ෂ සංඛ්‍යාවක් ඇති අප්‍රිකානු රට ද ටියුනීසියාවයි. මේ දේශපාලන පක්ෂ බලය ලබා ගැනීම සඳහා සිදුකරන සටන තුළින් ජනතාව භේදබින්න වී ගහ මරා ගනිති. මින් සිදුවන්නේ රට ආපස්සට යාමයි. බොහෝ ප්‍රදේශවල ගමනාගමන, සෞඛ්‍යය, අධ්‍යාපන, විදුලිය ආදී පොදු පහසුකම් නැත. මුළු ජනගහනයෙන් සියයට 38 ක් දරිද්‍රතාවයෙන් පෙළෙති. මන්දපෝෂණයෙන් පෙළෙන දරු දැරියන්ගේ සංඛ්‍යාව ලක්ෂ ගණනින් වැඩි වී ඇත. අධ්‍යාපනය සඳහා රජය වෙන්කරනුයේ සොච්චම් මුදලකි.


යකඩ කර්මාන්තය කා දැමූ යකඩ යක්කු


ඈත අතීතයේ ටියුනීසියාව ලොවට මුලින්ම ඔලිව් තෙල් (Olive Oil) අපනයනය කළ රටයි. ලොව විවිධ රටවලට රටඉඳි සැපයූ ප්‍රධානතම රටකි. යකඩ නිෂ්පාදනය අතින් ලොව 39 වැනි ස්ථානය හිමි වී තිබුණේ ටියුනීසියාවටයි.


ලුණු නිෂ්පාදනය කරන රටවලින් 30 වැනි ස්ථානය හිමි වී තිබුණේ ද මේ රටටයි. කලකට පෙර මේ රටේ දිනකට බොර තෙල් බැරල් 97,600 ක් නිපදවන ලදී. ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව, බ්‍රසීලය, චීනය. ඉන්දියාව, රුසියාව, යුක්‍රේනය, කැනඩාව, ඉරානය සහ දකුණු අප්‍රිකාව වැනි විශාල වශයෙන් යකඩ නිෂ්පාදනය කරන රටවල් අබිබවා යකඩ නිෂ්පාදන කර්මාන්තය නංවා සිටුවීමට මේ රටට හැකියාව තිබුණත් හදවත් නැති දේශපාලන යකඩ යක්කුන් එක් වී යකඩ කර්මාන්තය ද කා දමා ඇත. ඒ දේශපාලන යක්කු දැන් රට කති.
අතීතයේදී රට පුරා දැවැන්ත තෙල් නිෂ්පාදනාගාර 12 ක් තිබුණි. අද ඉන් බො​ෙහා්මයක් දේශපාලකයින් කොමිස් ලබාගෙන විදේශ ආයතනවලට විකුණා අවසන්ය. එල් බෝර්මා (EL Bourma) තෙල් නිෂ්පාදන සංකීර්ණය ද කුණු කොල්ලයට විකිණීම පාලකයින්ගේ අරමුණ වී තිබේ.


ස්ට්‍රෝ​ෙබරි, ඇපල්, නිමි ඇඳුම්, විවිධ විදුලි උපකරණ, මෝටර් රථ අමතර කොටස්, පොස්පේට්, යකඩ ප්‍රමුඛ ලෝහ වර්ග කීපයක් පිටරට පටවමින් එද‌ා විශාල ආද‌ායමක් ලබා ගත් ටියුනීසියාව අද මුළුමනින්ම විදේශ ණය බරින් යුක්ත දිළිඳු රටකි. බොහෝ කර්මාන්ත විදේශ සමාගම් විසින් අත්පත් කරගෙනය.


ඉකුත් කාලයේ ලොව රටවල් කීපයකම රජය කෙරෙහි පවතින ජනතා විරෝධය උග්‍රවීම හේතුකොට ගෙන අරාබි වසන්තය නමැති ජනතා උද්ඝෝෂණ ව්‍යාපාර ඇරඹිනි. මෙසේ එම විරෝධතා ව්‍යාපාර පටන්ගනු ලැබුවේ මොරොක්කෝව, සිරියාව, ඊජිප්තුව, ලිබියාව සහ බහරේන් යන රටවලයි.


ෆේස්බුක් ප්‍රමුඛ සමාජ මාධ්‍යයන් උපයෝගි කරගනිමින් විශේෂයෙන්ම තරුණ පරපුර ඇරඹූ මෙම විරෝධතා ව්‍යාපාර දැවැන්ත අයුරින් සිදුවන රටකි ටියුනීසියාව. මෙම විරෝධතා ව්‍යාපාර එම රටවල ඇරඹුණේ 2011 වසරේ දී ය.

 

 


ටියුනීසියාව වැනසූ බෙන් අලි


ටියුනීසියාව විනාශයට පත්වූයේ එහි පාලකයා වූ බෙන් අලි ගේ පාලන සමයේදීය. ඔහු 1987 සිට 2011 දක්වා වසර 24 ක් ජනාධිපති හස්තයෙන් රට පාලනය කළේය. ඔහු තම බිරිඳ ලයිලා සහ ළමයින් තිදෙනා ඇතුළු පවුලේ ඥ‌ාතීන් සියලු දෙනා සමග එක් වී රටේ ප්‍රධානතම වෙ​ෙළඳ ව්‍යාපාර සියතට ගෙන රට පාලනය කළේ විරුද්ධවාදීන් මර්දනය කරමිනි. බෙන් අලි ටියුනීසියාවේ දෙවැනි ජනාධිපතිවරයා ය.


ඔහුගේ පියා පෞද්ගලික ආයතනයක මුරකරුවෙකි. මේ මුරකරුවාගේ පුතා රටේ ජනපති වී ඉන් සුළු කලකින් ටියුනීසියාවේ අංක එකේ පොහොසතා බවට පත්වුණේ දූෂිත දේශපාලනයේ හපන්කම නිසාය.


බිරිඳ වූ ලයිලා,ළමයින් තිදෙනා, සහෝදර සහෝදරියන්, බෑනනුවන්, ප්‍රමුඛ පවුලේ විශාල ඥ‌ාති සමූහයා රජයේ ඉහළම තනතුරුවලට පත්කර ටියුනීසියාව සින්නක්කර බූදලයක් බවට පත්කරගත් මේ ඒකාධිපතියා ජනතා හඬට කන් දුන්නේ නැත. ඔව්හු සිත් සේ රටේ සාරය උරා බී මහා භාණ්ඩාගාරය හිස් කළහ. විදේශ ණය හා ආධාර ලබාගෙන එම මුදල් යටි මඩි ගසා ගත්හ.


පිලිපීනයේ එමිල්ඩා ටියුනීසියාවේ ලයිලා


රටපුරා අරාබි වසන්තය නමැති උද්ඝෝෂණ ව්‍යාපාරය වඩ වඩාත් උග්‍රවීම හේතුකොට ගෙන ජනතා මතය හමුවෙහි කැණහිලෙකුගේ තත්ත්වයට පත්වූ බෙන් අලි 2011 ජනවාරි 14 ද‌ා බිරිඳ හා ළමයින් තිදෙනා සමග පැදුරටත් නොකියා ටියුනීසියාවෙන් පැන ගියේය.


අරාබි වසන්තය ඇරඹුණේ 2010 දෙසැ. 18 ද‌ාය. ලිබියාවේ කර්නල් ගඩාපි මෙන් බෙන් අලි ද පලා ගියේ සවුදි අරාබියාවටයි. ලෝකයම දන්නා දූෂිතම ජනාධිපතිවරයෙකු වූ බෙන් අලිට ද රැකවරණය ලබා දුන්නේ සවුදි අරාබියේ රජ පවුලයි. බෙන් අලිගේ පවුලේ තවත් ඩොලර් මිලියන ගණනක මුදලක් සහ රත්රන් ටොන් 1.5 ක් බෙන් අලි හා බිරිඳ ලයිලා සවුදි අරාබියට ගෙන ගිය බව වාර්තා විය.


ලොව ඕනෑම හොරදෙටුවෙකු ඩොලර් බිලියන ගණනක් සහ රත්රන් ටොන් ගණනින් ගෙන ගිය විට දේශපාලන රැකවරණය ලබා දීම සවුදි අරාබියේ පාලකයින් සිදුකරන නින්ද‌ා සහගත ලෝකය පිළිකුල් කරන ක්‍රියාවක් නොවන්නේද?


බෙන් අලිගේ පවුලේ ඥ‌ාතීන් රාශියක් පළා ගියේ ෂීසෙල්ස් රටටය. ජෙඩා නගරයේ සියලු සැප පහසුකම් වලින් යුත් මාලිගා තනාගෙන බෙන් අලිගේ පවුල තවමත් සවුදි අරාබියේ රජ සැප ලබති. ටියුනීසියාවේ බෙන් අලි උගන්ඩාවේ ඉඩි අමින්ට සමාන කළ හැක. බෙන් අලිගේ බිරිඳ වූ ලයිලා සමාන කළ හැක්කේ පිලිපීනයේ හිටපු ජනාධිපති මාකෝස්ගේ බිරිඳ වූ එමිල්ඩාට ය.


බලයට පත් වූ පවුලක් රටක් කා දැමූ හැටි


බෙන් අලිගේ පවුලේ ඥ‌ාතීන් 33 දෙනෙකු මුදල් විශුද්ධි කිරීමේ චෝදනා සහ විවිධ වංචා හා දූෂණ යටතේ ටියුනීසියාව තුළදීම අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන්ට නියම කළ දඩය ටියුනීසියා ඩිනාර් මිලියන 91 කි. ඔවුන්​ෙග් දේපොළ රාජසන්තක කරන ලදී.


ජාත්‍යන්තර පොලිසිය මගින් බෙන් අලි බිරිඳ ඇතුළු පවුලේ 6 දෙනෙකුට දුටු තැන ඇල්ලීමේ වරෙන්තුවක් (Warrant) නිකුත් කළේය. 2012 වසරේදී බෙන් අලිට ටියුනීසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම කළේය. සවුදියේ දිවි ගෙවන බෙන් අලිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තවමත් හැකි වී නැත.


රටේ සම්පත් කොල්ල කෑ බොහෝ පාලකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ එවැනි පාලකයින් රටින් පලා ගිය පසුව හෝ ඔවුන් මියගිය පසුවය. බෙන් අලිගේ මල්ලී වූ ෂංකර් එල් මටෙර් ප්‍රංශයෙන් යෝධ නැව් 2 ක් මිලට ගැනීම, බෙන් අලි ටියුනීසියාවේ විශාල වශයෙන් මුදල් උපයන ව්‍යාපාර 220 ක හිමිකරුවා වීම, යුද ගුවන්යානා මිලට ගැනීමේදී බිරිඳ ලයිලා සිදුකළ ඩොලර් මිලියන 98 ක වංචා ආදිය තුළින් පවුල් පාලනය රටක් වැනසූ අයුරු කියා පෑමට හැකි හොඳම උද‌ාහරණයයි.

 


 

කඹ අදින ජනපති හා අගමැති


බොහෝ වළපල්ලට ගිය රටවල දේශපාලකයින් ස්විස් බැංකුවල, පැනමා බැංකුවල මෙන්ම ෂීසෙල්ස් වැනි රටවල ද මුදල් තැන්පත් කරති. ස්විස් බැංකු බෙන් අලිට ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර අනාවරණය කළේ ඔහු රටින් පැනගිය පසුවය. බොහෝ රටවල දැන් සිදුවන්නේ හිටපු දේශපාලන හොරු ගෙදර යද්දී අලුත්ම හොර රංචු පාලනය සියතට ගෙන රටේ සම්පත් සූරාකෑමයි. එවැනි රටවල සිදුවන්නේ ​ෙද්ශපාලන සුනාමිය.


ටියුනීසියාවේ දැන් ජනපති එසෙබ්සි ය. අගමැති යුසුෆ් චහෙඩ් ය. (Yousef Chahed) මේ දෙදෙනා අතර දැන් සිදුවන්නේ කඹ ඇදීමේ තරගයකි. ගිය වසරේ පමණක් මෙහි නව පාලකයින් සොරකම් කළ මහජන සම්පත් ප්‍රමාණය ඩොලර් බිලියන 1.16 ක් බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි. 2018 නොවැ. 14 ද‌ා මෙහි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවිය. මෙම සංශෝධනයේදී බලශක්ති හා විදුලිබල ඇමැතිවරයා ප්‍රමුඛ ඇමැතිවරුන් 4 ක් දූෂණ ක්‍රියා නිසා ජනපති විසින් නෙරපා හරින ලදි. ජනපති හා අගමැති පාලන තන්ත්‍රය දෙපැත්තට අදිද්දී රට තව තවත් ප්‍රපාතයට ඇද වැටී අවසන් ය.

 

 

සිරි හීන්පැල්ල
නිව්​ෙයා්ර්ක් නුවර සිට ලියයි