දිඹුලාගලට අහසින් වැටුණේ පිටසක්වලින් ආ දෙයක් ද?


අරුම පුදුම සිදුවීම් වෙන දිඹුලාගල කන්ද   

 

 

විශ්වයේ ජීවත්වන මිනිසුන් මෙන්ම විශේෂයෙන් අප රටේ ජීවත්වන ජනතාව අතිමහත් පුදුමයට ලක් කරන සිදුවීම් ඈත අතීතයේ සිටම සිදුවුණි.   


බුදුන් තුන් වරක් වැඩිය මේ පින්බිමේ ද විවිධ කාලවලදී පළාත් කිහිපයකින් අපට අසන්නට දකින්නට වූයේ සියලු සිත් සතන් අතිශයින් මවිතයට ලක් කරන අරුම පුදුම සිද්ධීන්ය. 

 
ඒ අතරින් මේ රටේ වැඩිම පුදුම සහගත සිදුවීම් වාර්තාවෙන්නට වූයේ පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල කඳු වළල්ල හෙවත් ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙන ප්‍රදේශයේ සහ අවට පරිසරයෙන්ය.   


කලින් කල පෙළින් පෙළ වරින් වර අප දෑස් සිත් සතන් මවිතයට හාස්‍යයට පත්කරන දිඹුලාගල අවට අභ්‍යවකාශයේ මෙන්ම අවට සිදුවන මේ විපර්යාස කුමක් ද යන්න විද්‍යාඥයන් පර් යේෂකයන් නිශ්චිත වශයෙන් පරීක්ෂණ පවත්වා නොමැති තරම්ය. 

 
ඉකුත් 26 වැනිදා සෙනසුරාදා දිනයේ උදෑසනම අධි වප් පුර පසළොස්වක පොහොයට දින හයකට එපිට දිඹුලාගල කඳු වළල්ල අද්දර දළුකාන ගම්මානයෙන් ද අසන්නට දකින්නට වූයේ අරුම පුදුම සිද්ධියකි.   


දිඹුලාගල දළුකාන ගම්මානය පමණක් නොව ඒ අවට නාමල්පොකුණ, මනම්පිටිය, සොරිවිල, කුඩාවැව, මැදගම, මලියදේවපුර හා අවට ගම්මානවල ජනතාව ද එකී සිදුවීම් දෑසින් දැක තිබේ.   
ඒ අහසේ සිට සුදු පැහැයෙන් යුක්ත මකුළු දැල් හෝ පුළුං රැළි සේ දිගැටි කැබැලි පාවී පොළොවට පතිත වන අයුරුත් ප්‍රදේශයේ ශාක පත්‍ර මතත් විදුලි රැහැන්වලත් දැවටී තිබීමත්ය.   
එලෙස වැටෙමින් පැවැති සුදු කැබැලි දෑතට ගත් පසු දියවී යන ස්වරූපයක් ද දුටු බව ප්‍රදේශයේ ඇසින් දුටු සංඝරත්නය මෙන්ම ගොවි ජනතාව පැවැසූහ.   
දිඹුලාගල ආරණ්‍ය සේනාසනය හෙවත් එය පිහිටා ඇති මනරම් කඳු වැටිය එක එක කාලයට අරුම පුදුම දේවල් ලෝකයට ප්‍රසිද්ධ කරන හාස්කම් රැසක් ඇති කන්දක් බව ප්‍රකටය.      
වරෙක දිඹුලාගල ප්‍රදේශයට රතු වැසි පතිත විය. ඒ 2001 වසරේදී මනම්පිටිය ගම්මානය හා අවට ප්‍රදේශයටය.   
ඉන් අනතුරුව 2012 දෙසැම්බර් 29 වැනිදා දිඹුලාගල කුඩා වැව කෙත් යායට හා අවට ගම්මානවලට උල්කාපාත වර්ෂාවක් ඇදහැළිණි. එය ලොව පුරා සිටින විද්වතුන්ගේ අවධානය ශ්‍රී ලංකාවට යොමු කරන්නට සමත් වූවක් විය.   

 

අහසින් වැටුණු සුදු කැබැලි විදුලි රැහැන් මත   

 

සුදු කැබැලි අත්වලට ගෙන   

 

 


මීට අමතරව ලා නිල් පාටට වගේම රෝස පැහැයෙන් යුක්ත ආලෝක ධාරාවක් දිඹුලාගල කන්දේ අහස් මාලිගාව අසලට කඩා වැටුණේය. ඒ 2017 වර්ෂයේ මාර්තු 8 වැනිදාය.   
මේ අයුරින් කලකදී බුද්ධිමත් පිටසක්වල ජීවී යානාවන්, විවිධ ආලෝක ධාරාවන් විහිදුවන එළි, අද්භූත එළි රාත්‍රී මෙන්ම අලුයම් කාලයේ දිඹුලාගල කන්දේ අහස් මාලිගාව දෙසට ගමන් කරන අයුරු ප්‍රදේශයේ පැල් රැකීමට යන ගොවීන් අනන්ත අප්‍රමාණවත් දැක තිබේ.   
විශේෂයෙන් බදාදා, සෙනසුරාදා දිනවල රාත්‍රී මෙන්ම අලුයම් කාලවලදීත් පොහෝ දින රාත්‍රී කාලයේදීත් දිඹුලාගල කඳු වළල්ලට මෙන්ම අහස් මාලිගාව පිහිටි ස්ථානයට කඩා වැටෙන නේක වර්ණ ආලෝක කදම්බයන් නිශ්චිත වශයෙන් කුමන හේතුන් නිසා පාත්වෙන්නක් ද යන්න විද්වතුන් හරියටම අර්ථකථන කර නොමැත.   
ඓතිහාසික කන්දේගම ධනංජය රජමහා විහාරස්ථානය පිහිටා ඇති දානිගල පර්වතයට ද මෙලෙසින් විවිධ කාලවලදී ආලෝක ධාරාවන් විහිදුවා විවිධ එළි පතිත වන බව එම පිරිවෙනේ ස්වාමින් වහන්සේලා මෙන්ම අවට ගොවි ජනතාව සියැසින් දැක තිබේ.   
මේ අයුරින් විවිධ කාලවලදී දිවා මෙන්ම රාත්‍රී කාලයේදී දිඹුලාගල කන්ද කේන්ද්‍ර කරගනිමින් සිදුවන අරුම පුදුම සිද්ධීන් අතරින් පසුගිය 26 වැනිදා අහසේ ගුවනේ සිට මහ පොළොවට පතිත වූ පුළුං, මකුළු දැල් මෙන් සුදු පැහැති කැබැලි දෑසින් දුටු දිඹුලාගල ආරණ්‍යවාසී හේනානිගල චුල්ලපත්තකාලංකාර හිමියන් ඒ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි.   


“මටත් කිහිපදෙනෙක් දුරකතනයෙන් කතා කරලා කිව්වා අහසින් සුදු පාටට කෑලි වගයක් පොළොවට වැටෙනවා කියලා. පස්සේ මම ඒ කෑලි වැඩියෙන් වැටෙන දිඹුලාගල කන්ද අසල දළුකාන ගමට තවත් කිහිපදෙනෙක් එක්ක ගියා. ටික වේලාවක් උඩ බලා ඉද්දි ගුවනේ සිට සුදු පාට නූල් වගේ තවත් විටෙක පුළුං මකුළු දැල් වගේ දිග කෑලි පොළොවට වැටෙනවා දැක්කා. ඒ වැටෙන කෑලි ගස්වැල්වලත් දැවැටෙනවා. විදුලි රැහැන්වලත් පැටැලෙනවා. හැබැයි ඒ ගොරෝසු කෑලි මම අතට අරන් පොඩි කරලා බැලුවා, ඒවා පිටි වගේ අතේම ගෑවිලා දියවෙලා ගියා. ඉතින් මේක කාලගුණික, අභ්‍යවකාශයේ විපර්යාසයක් ද? අප රටට හොඳක් ද නරකක් ද කියලා නිශ්චිත පරීක්ෂණයක් කෙරුවා නම් හොඳයි කියලා තමා මගේ අදහස. පොළොන්නරුවේ මහා පරිමාණ කර්මාන්තශාලා එකක්වත් නැතුව ඒ වගේ සුදු කෑලි අහසට, ගුවනට ගොස් වැටෙන්න විදිහකුත් නැහැ. සමහර බර කැබැලි පොළොවට එක පාරට කඩා වැටෙනවාත් මම දැක්කා. දිඹුලාගල කියන්නේ මේ විශ්වයට අලුත් ප්‍රවෘත්ති මවන ප්‍රදේශයක් හැටියටයි මම දකින්නේ” යැයි චුල්ලපත්තකාලංකාර හිමියන් සඳහන් කළහ.   


දිඹුලාගල මහා කාශ්‍යප පිරිවෙනේ හිටපු පරිවේණාධිපති උතුරු මැද පළාත් උප ප්‍රධාන සංඝනායක පැලෑටියාව රජමහා විහාරාධිපති මාදුරුඔය විජිතාලංකාර නාහිමියන් ද දිඹුලාගල කන්ද හා අවට පරිසරයේ සිදුවන අරුම පුදුම සිද්ධීන් කලෙක සිට අධ්‍යයනය කරන හිමිනමකි. ඒ පිළිබඳව විජිතාලංකාර නාහිමියන් අපට පැවැසුවේ මෙවන් අදහසකි.   
“දිඹුලාගල කන්ද මේ ලෝකයටම දවසින් දවස අලුත් ප්‍රවෘත්ති සපයනවා. ඒවා මහ අරුම පුදුම විශ්මය ජනක සිද්ධීන්. දිඹුලාගල අහස් මාලිගාව පිහිටලා තියෙන මහා ගල යට පස් බුදු ලෙනක් තියෙන බවත් ඒ ලෙනේ දඹ රනින් හදපු බුදුවරු පස් නමකගේ පිළිරුව පහක් තියෙනවා කියලා ජනප්‍රවාදවල කියැවෙනවා. ඉදිරියේදී බුදුවීමට නියමිත බුදුන් වහන්සේලාගේ පිළිරුව පහ කියලා තමා ජනවහරේ කියැවෙන්නේ. අන්න ඒ බුදු රුව පහ දැක බලා ගන්න දෙවි දේවතාවන් ආලෝකය විහිදුවමින් වඩිනවා කියලා කතාවකුත් ජනවහරේ තියෙනවා.


පිටසක්වල ජීවීන්ගේ කියලා සැක කරන අද්භූත සලකුණු අහස් මාලිගාව යට ගල්ලෙනක තිබෙන බවත් වාර්තා වෙනවා. මමත් ඔය එන එළි ධාරාවන් දැකලා තියෙනවා. රාත්‍රී කාලයේ, පෝය දිනවල, කෙම්මුර දිනවල දිඹුලාගල කන්දේ ඉහළ අහසේ විවිධ ආලෝක ධාරාවන් විහිදුවන සිද්ධීන් මීට පෙරත් කිහිපදෙනකු දැකලා තියෙනවා. ප්‍රදේශයේ කුඹුරු රකින්න ගිහින් පැල්වල සිටින ගොවීන්ට ඒ එළි හොඳින් නිරීක්ෂණය වෙලා තියෙනවා” යැයි ද මාදුරුඔය විජිතාලංකාර නාහිමියෝ පෙන්වා දුන්හ.   
කෙසේ වෙතත් මේ සම්බන්ධව දිඹුලාගල ප්‍රදේශීය ලේකම් පී.ටී.එම්. ඉර්ෆාන් මහතා අප සමඟ පැවැසුවේ දිඹුලාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඇතුළු අදාළ බලධාරීන්, අහසින් වැටුණ එම සුදු පැහැති ද්‍රව්‍ය ගැන පරීක්ෂණ කිරීමට දැනුවත් කර තිබෙන බවයි.   
දිඹුලාගල කඳුවැටියේ මහ පොළොව යටින් ගලාගෙන කියාගෙන යන තවත් අමුතු විශ්මිත කතාවක් අප මතු කර දෙන්නේ මෙරටේ වගකිව යුතු බලධාරීන්ට එයින්වත් රටට යමක් ලබාගනීවි යැයි යන්න විශ්වාසයෙනි.   


නුවරඑළියේ එක්තරා කඳු වැටියක් යටින් ඇරැඹි නහරයක් දිගේ ගමන් කරන රුධිර ධාරාවක් සේ ඉතා වේගයෙන් මහ පොළොවේ සියුම් උමගක් ඔස්සේ දිඹුලාගල කඳුවැටිය යටින් ගලා යන ජල පහර වැලිකන්ද නෙළුම් වැවෙන් මතුව අප සතුව පවතින ලංකාවේ වැඩිම උෂ්ණත්වයකින් හෙබි උණු වතුර ළිංවලට ද අද අත්ව ඇති ඉරණම කනගාටුදායකය.   
2008 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධර්ම ගුණරත්න මහතා පවසන පරිදි නෙළුම්වැව උණුදිය උල්පත් සෙන්ටි ග්‍රේට් අංශක 67ක් ලෙස පවතින බවයි. ඔහු කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, මෙම උණු දිය රේඛාව නුවරඑළිය එක්තරා කඳු පන්තියක් යටින් ගලා ගොස් දිඹුලාගල කන්ද යටින් ගමන් කර නෙළුම්වැව මැදින් මතුවෙන පීඩනයට එවැනි උෂ්ණත්වයක් ඇතිවන බවයි.   


දිඹුලාගල කන්ද හා අවට අභ්‍යවකාශයේත් වාතලයේ මෙන්ම භූ තලය මතත් හාත්පසින් සිදුවන මෙම විපර්යාස කුමක් ද යන්න අදට ද ප්‍රහේලිකාවකි.   
ආතර් සී. ක්ලාක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර් යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා පවසන අන්දමට දිඹුලාගල අවට විහිදෙන ආලෝක කදම්බ පිළිබඳව විවිධ මත සමාජයේ පවතින බවත් ඒ පිළිබඳව කිව හැක්කේ විශ්වයේ අප නොදන්නා බොහෝ දේ පැවැතිය හැකි බවත්ය.   


මේ සම්බන්ධව පර් යේෂණ කරන බොහෝ විද්වතුන් අභ්‍යවකාශ විද්‍යාඥයන් මෙන්ම පර් යේෂකයන් පවසන්නේ දිඹුලාගල පුණ්‍ය භූමිය වූ කඳු ශිඛරයේ සිදුවන සිද්ධීන් හා අද්භූත යානා ආලෝක ධාරා කඩා හැලීම සම්බන්ධව තවමත් නිශ්චිත තීරණයකට පැමිණිය නොහැකි බවයි.   
ඈත අතීතයේ අනාදිමත් කාලයක සිට බොහෝ දෙවිවරුන් මෙන්ම රජවරුන් වාසය කළා යැයි කියන දිඹුලාගල පර්වතයේ ඕනෑම ඖෂධ වර්ගත්, පලතුරු උයනක් ද වර්තමානයේ පවතින බවට ආදිවාසී ජනතාවගේ ද අදහසයි.

 

සටහන හා ඡායාරූප: 
මනම්පිටිය - නිමල් ජයරත්න