දරුවන් පැහැරගන්න ආ කොටි එයට විරුද්ධවූ මව්පියන්ට වෙඩි තිබ්බා


කොටින්ගෙන් බේරී පලාඑන දමිළ ජනතාව

 

 

කොටි පාලන සමයේ තමා ඔවුන්ට උපකාර කළ අයුරු ක්‍රිෂ්ණසිංහම්ට සිහිපත් විය. සමුපකාර සේවකයකු වූ ඔහු ඉන් ලද වැටුප ප්‍රමාණවත් නොවූ බැවින් වෙනත් රැකියාවක් සොයා ගැනීම මැනැවැයි සිතා, ඉස්සන් ඇල්ලීමට ගියේය. ඉන් හොඳ ආදායමක් ඔහුට ලැබිණි. එම ප්‍රදේශයේ කොටි නායකයකු වූ පුහනේස්චන්ද්‍රන්, ක්‍රිෂ්ණසිංහම් සොයා පැමිණියේ මේ අතරය. “අයියා අපිට උදව් කරන්න. අපේ කඬේ බලා ගන්න. අපිට අයියා විශ්වාස නිසයි කියන්නේ” ඔහුගේ ඉල්ලීම අනුව ක්‍රිෂ්ණසිංහම් කොටින්ගේ සිල්ලර වෙළෙඳ ව්‍යාපාරය බලා ගත්තේය. ඒ සඳහා ඔහුට කිසිදු වැටුපක් නොලැබිණි. කොටින්ගේ පාලනය යටතේ ඔවුන් කියන දේ කළ යුතුය. එහෙයින් උදය කාලයේ සිල්ලර කඩය බලා ගත් ඔහු සවස් යාමයේ ඉස්සන් ඇල්ලීමට ගියේය. බංකර් කැපීමට පිරිස මදි වූ කල කොටි, ක්‍රිෂ්ණසිංහම් සොයා එති. “අයියා අපිට ගමෙන් 10 විතර හොයල දෙන්න අද බංකර් කපන්න කට්ටිය මදි” 
යනුවෙන් පවසති. 


කිසියම් ලෙසකින් එම පුද්ගලයන් ෂෙල් ප්‍රහාරයකට හෝ වෙඩි ප්‍රහාරයකට හෝ ලක් වූයේ නම් එයට වගකිව යුතු වන්නේ තමන් බැවින් ඔහු එයට අකමැති විය. එහෙයින් ඔහු එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කරන්නට විය. එයට කොටින්ගේ ප්‍රසාදයක් නොවිණි. කොටි ඔහුගේ දියණිය බලහත්කාරයෙන් රැගෙන ගියේ ඒ අතරය. දින පහකට පසු කොටින්ගෙන් මිදී පළා ගොස් සැඟවෙන්නට ඇය සමත් වූවාය. තරුණිය සොයාගැනීමට නොහැකි වූ එල්.ටී.ටී.ඊ.ය ඇයගේ පියා අත්අඩංගුවට ගත්හ. “කොතරම් ගුණ කළත් - දුදනෝ නොවෙති යහපත්” යන කියමන සනාථ කරමින් එල්.ටී.ටී.ඊ.ය තමන්ට බෙහෙවින් උපකාර කළ ක්‍රිෂ්ණසිංහම්ට දඬුවම් පමුණුවමින් බලහත්කාරයෙන් බංකර් කැපීමට යෙදවීය. බංකර් කපද්දී ක්‍රිෂ්ණසිංහම්හට මේ සියල්ල මැවී පෙනිණි. කෙසේ හෝ මේ ජීවිතයෙන් ගැලවී යෑම ඔහුගේ එකම අරමුණ විය.


මහලු පුද්ගලයන් හැර එක් පවුලකින් සාමාජිකයකු හෝ දෙදෙනකු හෝ බංකර් කැපීම සඳහා දිනපතා සහභාගී විය යුතු විය. කොටින්ගේ අණ ඉටු නොකළ හෝ ඔවුන් විසින් ලබා දෙනු ලැබූ කාලය ඇතුළත කිසියම් සේවයක් ඉටු නොකළ හෝ මිනිසුන් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිරගත කරනු ලැබීම සුලබ දසුනක් විය. එමෙන්ම සංවිධානයේ සාමාජිකයකු පළා ගිය විට ඔවුන්ගේ මව්පියන් අල්ලාගෙන විත් මෙම සිරගෙවල්වල දැමූහ. එවැනි පුද්ගලයන්ට ඔවුන් ලබා දුන්නේ අපූරු දඬුවමකි. සටන් ඇවිළෙන විට මෙම නිරායුධ පුද්ගලයන් සටන් පෙරමුණට යැවූ කොටි, ඔවුන් මිනිස් පලිහක් වශයෙන් යොදා ගත්හ. තමන් පසුබසින අවස්ථාවල සිවිල් ජනයා සටන් පෙරමුණේ නවතා පසු බැසීමට කටයුතු කළහ. හමුදා වෙඩි ප්‍රහාරවලින් මුලින්ම මරණයට පත්වූවෝ මේ නිරායුධ සිවිල් වැසියෝය. දර්මපුරම් ගම්මානයේ වැසියන් 1000කට අධික පිරිසක් මේ අයුරින් මරණයට පත් වූ බැව් එහි වැසියෝ අපට පැවැසූහ. සිරගෙවල්වල රඳවා සිටි මිනිසුනට නිතර පහර දීමට හෝ ඇතැම් විට වෙඩි තබා මරා දැමීමට හෝ කොටි පසුබට නොවූහ. කාන්තාවන්ට පහර දුන්නේ කොටි සෙබළියන්ය. ඔවුහු බංකර් කැපීම සඳහා ද කාන්තාවන් ද යොදා ගත්හ.


බංකර් කැපිය යුතු දිනවල තම ව්‍යාපාරික ස්ථාන වසා දමා එහි යාමට ව්‍යාපාරිකයන්ට සිදුවිය. එසේ නොගියහොත් ඔවුන්ගේ ව්‍යාපාර කොටින් විසින් අත්පත් කර ගැනිණි. ඇතැම් පිරිස් තම ව්‍යාපාරික ස්ථාන වසා දමා කිසිවක් නොකර සිටින්නට උත්සාහ කළේ කොටින්ගේ පීඩාවෙන් ගැලවී සිටීමටය. එලෙස සිටින්නට ඔවුනට අවසර නොලැබිණි. කොටි ඔවුන් සොයා පැමිණියහ. බංකර් කැපීමට පැමිණිය නොහැකි නම් ඔහු දිනකට රුපියල් 6000ක් පමණ මුදලක් එල්.ටී.ටී.ඊ.යට ගෙවිය යුතු විය.

විශ්වමඩු

 


මුල් කාලයේ වයස අවුරුදු 18 ඉක්මවූවන් පමණක් සටන් කිරීම සඳහා සංවිධානයට බඳවා ගත් එල්.ටී.ටී.ඊ.ය පුදුමාතලන්හි සටන් පැවැති සමයේ කුඩා ළමුන් පවා බලහත්කාරයෙන් බඳවා ගැනීමට කටයුතු කළහ. ඔවුනට වැදගත් වූයේ වැඩි පිරිසක් සටන් බිමට යැවීමට විනා ඔවුන් කුමන වයස් සීමාවක පසුවනවා ද යන්න නොවේ. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ළමුන් පැහැර ගැනිණි. පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටියදී එහි පැමිණෙන කොටි සාමාජිකයෝ දරුවන් පැහැර ගත්හ. නිවෙස්වලට පැමිණ දරුවන් රැගෙන යනවිට තම දරුවන් බාලවයස්කරුවන් බැවින් රැගෙන නොයැන්නැයි මව්පියන් අයැද සිටි අවස්ථාවන්හි ඊට පිළිතුරු දුන්නේ ඔවුනට පහර දීමෙනි. ඇතැම් අවස්ථාවල වෙඩි තැබූහ. වරක් බාලවයස්කාර දැරියක එල්.ටී.ටී.ඊ. පොලිසිය මගින් පැහැර ගැනීමට පැමිණි අවස්ථාවක ඇයගේ මව එයට විරෝධය දැක්වූවාය. එවිට ඇයට වෙඩි තැබූ කොටි, දැරිය ඇදගෙන ගොස් තම සංවිධානයේ අණට විරුද්ධ වූවායැයි පවසා ඔවුන්ගේ රියට යටකොට මරා දැමීමට තරම් කෲර වූහ. එලෙස පැහැර ගන්නා ලද ඇතැම් දරුවන් වයස අවුරුදු 13 නොඉක්මවූවෝය. එක් ප්‍රදේශයකින් සංවිධානයට බඳවා ගත් තරුණ පිරිස් එම ප්‍රදේශයේම අනුයුක්ත නොකිරීමට කොටි වගබලා ගත්හ. ඔවුන් වෙනත් ප්‍රදේශයක සටන් පෙරමුණුවලට හෝ කඳවුරුවලට හෝ යොමු කෙරිණි.


විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි නඩරාසා සෙල්වරාණි 60 හැවිරිදි කාන්තාවකි. යාපනයේ උපත ලද ඇය මින් වසර 30කට ඉහත විශ්වමඩු ප්‍රදේශයේ පදිංචියට පැමිණියේ විවාහය හේතුවෙනි. යුද්ධය ඇතිවීමට පෙර ඔවුන් ලද ආදායමෙන් සතුටින් ජීවත් වූ පවුලකි. ඇයගේ සැමියා වෙළෙඳසලක බිල් ලියන්නකු වූ අතර ඔවුහු පුතුන් තිදෙනකුගේ මාපියෝ වූහ. එල්.ටි.ටී.ඊ.ය විශ්වමඩු ප්‍රදේශයට පැමිණියේ 1993 වැනි කාලයේය. ඔවුන්ගේ අවාසනාවන්ත සමය උදා වූයේ ඉන් අනතුරුවයැයි සෙල්වරාණි පැවැසුවාය. හමුදාව සහ එල්.ටි.ටී.ඊ.ය අතර සටන් ඇවිළීමත් සමග ජීවිතය දුෂ්කර විය. එල්.ටි.ටී.ඊ.ය ඉලක්ක කර අහසින් වැටෙන බෝම්බවලින් කොටි පමණක් නොව සිවිල් ජනයා ද මරණයට පත් වූහ.

 

වට්ටුවාකල් පාලම

 


සෙල්වරාණිගේ වැඩිමහලු පුත්‍රයා එල්.ටී.ටී.ඊ. විරෝධියකු වූ අතර ඔහුට අවශ්‍ය වූයේ උසස් අධ්‍යාපනය ලබා සමාජයට වැඩදායී පුද්ගලයකු වීමය. එවක ඔහු උසස් පෙළ හදාරමින් සිටි සිසුවකු වූ අතර, තම දරුවා විදේශයක සිටින ඥාතියකු වෙත යැවීමට සෙල්වරාණි හා ඇයගේ සැමියා උත්සාහ කළේ ඔහු එල්.ටී.ටී.ඊ.යෙන් ගලවා ගැනීමේ අරමුණිනි. එහෙත් එල්.ටී.ටී.ඊ.ය ඔහුට අවසර පත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය. තරුණයන්ගේ මනස වෙනස් කිරීම සඳහා එල්.ටී.ටී.ඊ.ය මඟතොටදී පන්ති පැවැත්වූහ. පාසල්වල දේශන පැවැත්වූහ. එල්.ටී.ටී.ඊ.ය ඊළාම් සිහිනය සැබෑ කර ගනු පිණිස එක් පවුලකින් එක් දරුවකු සංවිධානයට ලබා දිය යුතු බවට නියෝග කරනු ලැබුවේ මේ අතරය. ඔවුහු සෙල්වරාණිගේ වැඩිමහලු පුත්‍රයා බලහත්කාරයෙන් රැගෙන ගොස් පුහුණුව ලබා දී සටන් පෙරමුණට යැවූහ.


අලිමංකඩ ප්‍රහාරයෙන් එල්.ටී.ටී.ඊ.යට ජය හිමිවිය. එය සැමරීමට විශාල උත්සවයක් ද සංවිධානය කෙරිණි. ඉන් දෙදිනකට පසු තම පුත්‍රයා සටනින් මියගිය බවට වන තොරතුරු සෙල්වරාණිට ලැබිණි.


“පුතාගේ මිනිය ගෙන ආවේ සීල් තැබූ පෙට්ටියක. මට එයාගෙ මුහුණ බලන්න ලැබුණේ නැහැ. සටනින් මිය ගිය අයගේ නරක් වෙමින් තිබුණු සිරරු එල්.ටී.ටී.ඊ.ය රැගෙන ආවේ සීල් තියලා. සමහර පෙට්ටිවල මළ සිරුරු වෙනුවට 
තිබුණේ කෙසෙල්කොට. මගේ පුතාගේ සිරුර කියලා ගෙනාපු පෙට්ටියේ කාගෙ හරි සිරුරක් තිබුණ බව දන්නේ ඉන් දුඟදක් හැමූ නිසයි. එහි තිබුණේ මගේ පුතාගෙ සිරුර ද වෙනත් අයකුගෙ සිරුර ද කියා මා දන්නේ නැහැ. කොටි ඔවුන්ගේ මහා වීරයෝ සැතපෙන භූමිය ලෙසින් හැඳින්වෙන සොහොන් බිමේ මගේ පුතා වෙනුවෙන් සොහොනක් හදලා තිබුණා. අපි එතැනට ගිහින් පහන් පත්තු කළා. යුද ජයග්‍රහණයෙන් පසු රජය එම සොහොන් ඩෝසර් කර දැමුවා.

ජනතාව අත්හැර දමා ගිය වාහන

 


යුද්ධය අවසන් කාලයේ ඉතා දරුණු මුහුණුවරක් ගත්තා. කොටි කුඩා දරුවන් පවා අල්ලාගෙන ගොස් සටන් පෙරමුණට දැම්මා. මගේ අනිත් පුතුන් දෙදෙනාට එතකොට වයස 11ක් සහ 13ක් පමණ වුණා. ඔවුන් වයසේ තරමට වැඩී සිටියේ නැහැ. එම වයසේ හොඳින් වැඩී සිටි දරුවන් කොටි අල්ලාගෙන ගියා. මගේ දරුවන් දෙදෙනා අල්ලාගෙන යාවි කියන බියට මම ඔවුන් යන යන තැන ගියා. නිකම් නෙමෙයි භූමිතෙල් බෝතලේකුයි ගිනිපෙට්ටියකුයි අරගෙනයි ගියේ. යම් හෙයකින් මගේ දරුවන් කොටි අල්ලාගෙන ගියානම් මම එතනම ගිනි තියා ගන්න සූදානම් වෙලා හිටියේ. වාසනාවකට ඔවුන් කොටින්ට හසු වූයේ නැහැ.”


ඒ සෙල්වරාණිගේ වදන්ය.


“පුතා නැතිවුණ එක ගැන මොනවද හිතෙන්නෙ?” මම 


ඇයගෙන් ඇසුවෙමි. 


“මම පුතාගෙ 


සිරුර දැක්කෙ නැහැ. මට වෙලාවකට හිතෙනවා එයා කොහේ හරි ඇති කියලා. ඒත් එහෙම ඉන්නව නම් අපි ළඟට එන්න ඕන තරම් කල් තිබුණා. එයා ජීවතුන් අතර නැතත් කොහේහරි ඉඳන් අපි දිහා බලාගෙන ඇතැයි හිතෙනවා.”


සැමවිටම යුද්ධයෙන් බැට කන්නේ සටන් වදින දෙපාර්ශ්වය නොව නිරායුධ සාමාන්‍ය වැසියන්ය. 65 හැවිරිදි වේලන් 
නඩරාසා ද එවැනි ඉරණමකට ගොදුරු වූවෙකි. විශ්වමඩු ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු එක්තරා දිනෙක සේවය අවසන් කොට 
නිවෙසට පැමිණ අසල වූ ළිඳට ගියේ දිය නා ගැනීමට සඳහාය. වේලාව රාත්‍රී 7ට පමණ ඇත. එල්.ටී.ටී.ඊ.ය ඉලක්ක කර ගුවනින් හෙළන ලද බෝම්බයක් පිපිරී ගියේ ඔහු අසලින්මය. ඔහුට කිසිවක් සිතා ගත නොහැකි විය. දැඩි වේදනාවක් සමඟ ඔහු බිම ඇද වැටිණි. 


ඉන්පසු සිදුවූ දෑ අපට පැවැසුවේ ඔහුගේ බිරිඳය.


“ගුවන් යානාවලින් බෝම්බ හෙළද්දී අපි බංකරයක් ඇතුළේ හැංගුණා. පැය කිහිපයකට පස්සේ එතැනින් එළියට ඇවිත් මම 
සැමියව හෙව්වා. ඔහු ළිඳ අසල වැටී සිටියා. ඔහුගේ සිරුරින් ලේ වහනය වෙමින් තිබුණා. ළං වෙලා බලද්දි ඔහුගේ බඩවැල් සියල්ල එළියට ඇවිත්. මම අතින් ඒවා ඇතුළට දැම්මා. අපේ නිවෙස අසල එල්.ටී.ටී.ඊ. බංකරයක් තිබුණා. මම එතනට දිව්වා. තුවාල වුණු 
මිනිස්සු වේදනාවෙන් කෑ ගසන හඬ මට ඇහුණා. මිනිස්සු ආරක්ෂක ස්ථාන වෙත දිවයමින් සිටියා. මගේ සැමියව රෝහලට ගෙනගියේ බංකරයේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්.”


මාස කිහිපයක් රෝහලේ සිටි නඩරාසා යළි නිවෙසට පැමිණියේ සදාකාලික රෝගියකු ලෙසිනි. ඔහුගේ එක ඇසක පෙනීම නොමැති වූ අතර කනක්ද බිහිරි වී තිබිණි. ස්නායු විනාශ වීම හේතුවෙන් ඔහුට ගඳ, සුවඳ දැනෙන්නේ නැත. 


වෙහෙස වී රැකියාවක් කළ නොහැකිය. මේ යුද්ධයේ අතුරු ඵලය.

 

 


යුද්ධය අවසාන අදියරයට ළඟා වෙමින් පැවැතියේය. හමුදා කිලිනොච්චියේ සිට කල්ලාරු, දර්මපුරම්, විශ්වමඩු, නාදන්කුඩිඉරිප්පු, පුන්නෙයිනිරාවි, කුමාරසාමිපුරම් වැනි ප්‍රදේශ පසුකරමින් ඉදිරියටම ඇදෙන්නට වූ අතර එම ප්‍රදේශවල සිටි ජනයා එල්.ටී.ටී.ඊ.ය සිටි ප්‍රදේශ වෙතට තල්ලු වන්නට වූහ. ජනතාවට ආහාර හිඟ විය. ඔවුහු දර්මපුරම් සමුපකාරය කඩා එහි තිබූ ආහාර ද්‍රව්‍ය පැහැර ගත්හ.


ක්‍රිෂ්ණසිංහම් ද හාල් මිටියක්, සීනි මිටියක් හා පිටි මිටියක් ද පොල්තෙල් කෑන් කිහිපයක් ද සමුපකාරයෙන් ගත්තේය. ඒවා බයිසිකලයේ බැඳගත් ඔහු තම පවුලේ සාමාජිකයන් සමඟ උඩයාර්කට්ටු මංසන්ධිය තෙක් ගමන් කළේය. බොහෝ ජනයා ගස් යට නැවතී සිටිනු ඔහුට පෙනිණි. ඔවුන්ගේ බොහෝ දෙනකුට දින කිහිපයකින් හරිහමන් ආහාරයක් ලැබී නොතිබිණි. ක්‍රිෂ්ණසිංහම් තමා සතු ආහාරවලින් කොටසක් ඔවුනට බෙදා දුන්නේය. හමුදාව ඔවුන් සිටි පෙදෙසට ළඟාවෙමින් සිටියහ.


හමුදාව සිවිල් වැසියන් මරා දමන බවට කොටි අසත්‍ය ප්‍රචාර පතුරුවා තිබිණි. එහෙයින් බියපත් ජනයා හමුදාවට බියෙන් කොටි සිටි ප්‍රදේශ වෙත පළා යන්නට වූහ. ඒ වනවිට කොටි රැඳී සිටියේ පුදුමාතලන් ප්‍රදේශයේය. එහෙත් ඕනෑම දෙයකට මුහුණ දෙන්නෙමැයි සිතූ ක්‍රිෂ්ණසිංහම් ඇතුළු පිරිසක් හමුදාව එම ප්‍රදේශය වෙත පැමිණෙන තෙක් එහිම නැවතී සිටියහ. හමුදාව උඩයාර්කට්ටු මංසන්ධියට සමීප වූ කල එහි රැඳී සිටි පිරිස හමුදාවට බාර වූහ.


ක්‍රිෂ්ණසිංහම් එම සිදුවීම අපට පැවැසුවේ මේ අයුරිනි. 


“හමුදාව අපිව ඔවුන්ගේ බාරයට ගත්තා. සියලු දෙනාට ඉතා හොඳින් සැලකුවා. අපිත් එක්ක එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙන්නෙකුත් සාමාන්‍ය මිනිස්සු වගේ හමුදාවට බාර වුණා. ජනතාව අතර සිටියවුන් ඔවුන් කොටි යැයි හමුදාවට පැවැසිය යුතුයැයි කියා සිටියා. එතකොට මම කිව්වා දැන් ඒක කිව්වොත් අපි සියලු දෙනාවම පරීක්ෂා කරාවි. අපිට කරදර ඇති වේවි. ඒ නිසා මෙතනින් ආරක්ෂිත ස්ථානයකට ගියාට පස්සේ ඒක කියමු කියලා. අපිව හමුදාව චලෙයිවලට ගෙනත් එහි තිබුණ කඳවුරක නතර කළා. එහිදී කොටි සාමාජිකයන් දෙදෙනා තමන් කොටි සංවිධානයට සම්බන්ධව සිටි බවත් සංවිධානය පිළිබඳ කළකිරීමෙන් සිටි හෙයින් මෙලෙස පළා ආ බවත් හමුදාවට කිව්වා. ඔවුන් පසුව පුනරුත්ථාපනය වෙලා දැන් කිලිනොච්චියේ ජීවත් වෙනවා. අපිත් එක්ක එදා 6000කට ආසන්න පිරිසක් හමුදාවට බාර වුණා. ඒ නිසා අද අපි හොඳින් ජීවත් වෙනවා. දරුවො හොඳින් ඉගෙනගෙන 
රැකියා කරනවා. මම අක්කර 15ක් විතර වගා කරනවා.” ක්‍රිෂ්ණසිංහම් පැවැසීය.


ක්‍රිෂ්ණසිංහම් ඇතුළු පිරිස එලෙස හමුදාවට බාර වුව ද හමුදාව තමන් මරා දමනු ඇතැයි සිතා එල්.ටී.ටී.ඊ.ය සමඟ ගිය පිරිස මුහුණ පෑවේ මීට වඩා වෙනස් ඉරණමකටය. එල්.ටී.ටී.ඊ.ය පුදුමාතලන් තෙක් පසුබසින විට බොහෝ පිරිසක් ඔවුන් සමඟ එම ප්‍රදේශයට පළා ගියහ. ඒ අතර උලවනූර් ගමේ තනබාලසිංහම් තනකුලසිංහම්ගේ පවුල ද විය. ඔවුනට උලවනූර් සිට පුදුමාතලන් දක්වා යෑමට දින 15ක් පමණ ගතවිය. එම ගමනේදී අහසින් වැටෙන බෝම්බවලින් හා ෂෙල් ප්‍රහාරවලින් දිවි ගැලවුණේ අනූනවයෙනි. එහෙත් තවත් පිරිසකට එම වාසනාව නොතිබිණි. වෙඩි ප්‍රහාරවලට ගොදුරුවී ජීවිතයෙන් සමුදෙන්නට ඔවුනට සිදු විය.


සෙල්වරාණි ඇතුළු පිරිස තම ආරක්ෂාව සඳහා උඩයාර්කට්ටු ප්‍රදේශය කරා ගියහ. එහි සතියක පමණ කාලයක් ගතකරනවිට හමුදාව ඒ දෙසට පැමිණෙන බැව් ඔවුනට අසන්නට ලැබිණි. දිනක් උයාපිහාගත් බත්පතවත් කෑමට නොඉඳ පළා යෑමට ඔවුනට සිදුවූයේ හමුදාව සමීපයටම පැමිණ ඇතැයි සැලවීමත් සමඟිනි. ඔවුහු වල්ලිපුරම් ගම්මානය ඔස්සේ ආචිතෝට්ටම් ප්‍රදේශයට පැමිණියහ. අක්කර 100ක් පමණ වූ එම භූමි ප්‍රදේශයේ විශාල පිරිසක් රැඳී සිටිනු දකින්නට ලැබිණි. එහිදී ෂෙල් ප්‍රහාරවලට ගොදුරුවීමෙන් හා ලෙඩ රෝගවලට ගොදුරුවීමෙන් විශාල පිරිසක් මරණයට පත් වූහ. එම සිරුරු යාන්තමින් වළ දමා එම ස්ථානයෙන් පළා යෑමට ඔවුනට සිදුවිය. එතැනින් පොක්කානෙයි ප්‍රදේශයට ළඟා වූ ඔවුහු යළි මුල්ලිවෙයික්කාල් ප්‍රදේශයට ළඟා වූ අතර හමුදා බාරයට පත්වූහ.


එල්.ටී.ටී.ඊ. සමඟ ගිය තවත් පිරිසක් රැඳී සිටියේ පුදුමාතලන් වෙරළාසන්නයේ පිහිටි රෝහල් භූමියේය. හමුදාව නන්දිකඩාල් කලපුවේ ඔවුන් සිටි දෙසට විරුද්ධ දෙසින් රැඳී සිටියහ. 


අවසන් සටන පැවැති දිනවල එල්.ටී.ටී.ඊයේ සහ හමුදාවේ බර අවි ප්‍රහාරවලින් එහි සිටි තවත් පිරිසක් මරණයට පත් වූහ. මියගිය සිවිල් වැසියන්ගේ සිරුරු රෝහල් භූමියේම ගොඩගසා ගිනි තැබීමට එහි සිටි පිරිසට සිදුවිය. තනකුලසිංහම්ට අනුව දිනකට 75ක් 80ක් පමණ පිරිසක් ඒ අයුරින් මරණයට පත් වූහ.


බොහෝ දෙනෙක් සිටියේ කුසගින්නේය. තනකුලසිංහම් ඇතුළු පවුලේ සාමාජිකයන් ද දින ගණන් කුසගින්නේ පසුවූහ. ඔවුන් රැගෙන එන ලද ආහාර සියල්ල අවසන් වී තිබූ අතර පොල් තෙල් දර හා පොල් වැනි කිසිවක් සොයාගත නොහැකි විය. ඇතැමෙක් ඉතිරිව තිබූ පිටි ස්වල්පයක් වතුරින් අනා අමුවෙන්ම ආහාරයට ගන්නා අයුරු තනකුලසිංහම් දුටුවේය. සහනාධාර වශයෙන් සිවිල් ජනතාවට ලැබුණු ආහාර සියල්ල එල්.ටී.ටී.ඊ. සංවිධානය කොල්ලකෑහ. ඔවුහු ඒවා අසරණ වැසියන්ට අධික මිල ගණන්වලට අලෙවි කළහ. එල්.ටී.ටී.ඊ. වෙළෙඳසලේ වියළි මිරිස් කිලෝවක් රුපියල් 25,000ක් වූ අතර කිරිපිටි පැකට්ටුව ඔවුන් විසින් අලෙවි කරන ලද්දේ රුපියල් 2000 බැගිනි. 2009 මාර්තු මාසය වනවිට තත්ත්වය බොහෝ දරුණු අතට හැරෙමින් තිබූ අතර අතමිට කීයක් හෝ තිබූ අය ගිනි ගණන් දී කුසගිනි නිවා ගැනීමට උත්සාහ දැරූහ. එහෙත් එහි සිටි අඩකට වැඩි පිරිසක් සිටියේ අධික කුසගින්නේය.


තවදුරටත් එල්.ටී.ටී.ඊ.ය සමඟ සිටීමෙන් තම ජීවිත ආරක්ෂා නොවන බැව් පිරිසට වැටහී තිබිණි. එල්.ටී.ටී.ඊ.ය පරාජය කරා සමීප වෙමින් තිබූ බැව් ජනතාවට වැටහිණි. ප්‍රභාකරන් චාල්ස් ඇන්තනීට බොහෝ බලතල පැවරීම සම්බන්ධයෙන් වසර 20ක් 25ක් වැනි කාලයක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධව සිටි කාඩර්වරුන් අතර අසන්තෝෂයක් පැවැති බැව් ඔවුන්ගේ කතාබහෙන් තහවුරු විය. ඔවුනට ද අවශ්‍ය වූයේ සංවිධානය අතහැර යෑමටය. එවැනි තත්ත්වයක් මත තවදුරටත් පුදුමාතලන්හි රැඳී සිටීම තම මරණයට අතවැනීමක් බැව් ජනතාව වටහා ගත්හ.


“මට දරුවො හතර දෙනෙක් ඉන්නවා. අපේ ජීවිත විනාශ වුණත් දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරගත යුතුයැයි මම හිතුවා. ඒ නිසා කොටින්ගෙන් බේරිලා හමුදාව ඉන්න පැත්තට යන්න තීරණය කළා” යනුවෙන් පැවැසූ තනකුලසිංහම් “මම ලොකු ළමයි දෙන්න කරට ගත්තා. බිරිඳ පොඩි අය වඩා ගත්තා. ඊට පස්සේ කලපුවට බැහැල හමුදාව සිටි පැත්තට යන්න පටන් ගත්තා. අපි කලපුවට බැස්සේ හවස 3.30ට විතර. මිනිස්සු විශාල පිරිසක් කලපුව තරණය කරන්න පටන් ගත්තා. අඩුම ගාණේ දහදාහක්වත් එදා එහෙම කලපුවට බැහැලා හමුදාව පැත්තට ආවා.” 


ඔවුහු කලපුව තරණය කරන්නට වූහ. එය සැතපුමක් දෙකක් නොව සැතපුම් හයක දුරකි. පිරිස පළා යනු දුටු එල්.ටි.ටී.ඊ.ය ඔවුනට වෙඩි තබන්නට වූහ. වෙඩි වැදුණු මිනිසුන්ගේ සිරුරු කලපුව පුරා පාවෙන්නට විය. මහා ජනගංගාව මළ සිරුරු අතින් තල්ලුකර 
දමමින් එහි ඉවුර කරා සමීප වන්නට වැර දැරූහ. තුවාලකරුවන් පිළිබඳ සෙවීමට 
හැකියාවක් ඔවුනට නොමැත. ඔවුනට තිබුණේ තමන් හා පවුලේ සාමාජිකයන්ගේ දිවි ගලවා ගැනීමේ අරමුණ පමණකි. තමන් කරා 
පැමිණෙන ජනයාට එල්.ටී.ටී.ඊ.ය වෙඩි තබනු දුටු හමුදාව ඔවුනට ෂෙල් ප්‍රහාර එල්ල කරන්නට වූහ. එවිට කොටින්ගේ වෙඩි තැබීම නතර කෙරිණි.


“හමුදාව අපට ආහාරපාන ලබාදී ආරක්ෂක ස්ථානවලට යොමු කළා. ඔවුන් අපෙන් ඇහැව්වෙ එක ප්‍රශ්නයයි. ‘එල්.ටී.ටී.ඊ.ය ඉන්නෙ කොහෙද? කොච්චර පිරිසක් එහි ඉන්නවා ද?’ යන්න පමණයි. ඒ වනවිට එල්.ටී.ටී.ඊ.ය අක්කර 20 පමණ භූමි ප්‍රදේශයක කොටු වී සිටියා. ඔවුන් සටන් විරාමයක් ඉල්ලා සිටියත් එය නොලැබුණු බව අපට දැනගන්න ලැබුණා. අවසානයේ කොහොම හරි අපේ ජීවිත ගැලවුණා” තනකුලසිංහම් අපට පැවැසීය.


2009 මැයි මස 19 වැනි දින එල්.ටී.ටී.ඊ.ය යුදමය වශයෙන් පරාජය කරමින් දසක තුනකට ආසන්න කාලයක් පැවැති සිවිල් 
යුද්ධය අවසන් විය. යුද්ධය නිම වී වසර 8කට ආසන්න කාලයක් ගතවී තිබුණ ද යුද ගැටුම්වලට මැදිවී අහිමි වූ තම සැමියන්, 
දරුවන්, මව්පියන්, හිතවතුන් පිළිබඳව හා නැතිවී ගිය දේපළ පිළිබඳ වේදනාත්මක කැළැල් ඔවුන්ගේ මතකයෙන් ගිලිහී ගොස් නොමැත. තිස් වසරක් මුළුල්ලේ තමන්ගෙන් උදුරාගත් ජීවිතය යළි ලබා දෙන්නට කිසිවකුට නොහැකි බැව් ඔවුහු දනිති. ඔවුනට අවශ්‍ය එකම දෙයකි. ඒ යළි යුද්ධයක් ඇති නොවී සාමය සදාකාලිකවම පැවතීම පමණි.


විශේෂ ස්තුතිය : කිලිනොච්චි ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා සහ දර්මපුරම් පොලිස් ස්ථානාධිපති චතුරංග මුරමුදලි මහතා වෙත.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
ඡායාරූප ඇලෙක්සැන්ඩර් බාලසූරිය