තෙ​ෙල් බලෙන් ලොව නටවන ෂෙල් සමාගම


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • අවුරුදු 192ක් පැරැණි සමාගමක්
  • මුලින්ම අලෙවි කළේ පෞරාණික භාණ්ඩ හෙවත් ඇන්ටික් බඩු
  • රෝයල් ඩච් ෂෙල් නමින් ඒකාබද්ධ ගමනකට අවතීර්ණ වූවේ 1907 දී විතර

 

“ෂෙල්” (Shell) යන නාමය ශ්‍රී ලාංකීය ජනතාව අතර වඩා ප්‍රකටව ඇත්තේ එදිනෙද‌ා භාවිතයට ගන්නා ගෘහස්ථ ගෑස් නිසාය. එහෙත් ෂෙල් යන නාමය ලෝකයේ වඩාත් ප්‍රකටව ඇත්තේ ඉන්ධන ඇතුළු බලශක්ති නිෂ්පාදිත ක්‍රියාවලියෙහි නිරතව සිටින ලොව දැවැන්ත සමාගමක් ලෙසය. ෂෙල් අද මෙලෙසින් ලෝකයේ වඩාත් ප්‍රචලිතව ඇත්තේ බලශක්ති නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධව වුව ද ඔවුන් එද‌ා ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ සිප්පි කටු වෙළෙඳ‌ාමකින් යැයි කිවහොත් ඔබ මවිතයට පත්වේවි. නමුත් කතාව අැත්තය. සිප්පි කටුවෙන් අැරැඹි ගමන ඉන්ධන දක්වා දුර දිග ගොස් ෂෙල් ලෝකය අල්ලා ගත්තේ කොහොම ද? ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙනුවෙන් අද අප දිග හරින්නේ මෙම “ෂෙල්” සමාගමේ කතාව හෙවත්, රෝයල් ඩච් ෂෙල් සමාගමේ (Royal Dutch Shell) කතාවය.  


මීට වසර 192කට පෙර දී සිදු වූයේ කුමක් ද?  


මාකස් සැමුවෙල් උපත ලැබුවේ 1953 ලන්ඩනයේ වයිට්චැපල්හිදීය. ඉරාක සහ යුදෙව් ජාතික පවුල් සම්භවයක් ඇති පවුලකට අයත්ව උපත ලැබූ ඔහුගේ පරපුර පැවත එන්නේ මෙසපොතේමියාව හෙවත් වත්මනෙහි ‘ඉරාකය’ ලෙස හැඳින්වෙන රාජ්‍යයේ සිටය. ඔහුගේ පියා​ගේ නාමය වූයේ ද මාකස් සැමුවෙල්ය. පියා එවකට කටයුතු කළේ ආනයන - අපනයන වෙළෙඳ‌ාමකි. එය ඉතා සාර්ථක වූ ව්‍යාපාරයක් විය. අපේ කතාවේ නියමුවා හෙවත් ෂෙල් කතාවේ නියමුවා වන්නේ 1853 දී උපත ලද මාකස් සැමුවෙල්ය. නැතහොත් සර් මාකස් සැමුවෙල්ය.  


මාකස් තම සහෝදරයා වූ සැමුවෙල් සැමුවෙල් සමග ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අතර සැමුවෙල් සහ සමාගම ලන්ඩනයේ ප්‍රකට ව්‍යාපාරයක් බවට පත්ව තිබිණි. ජපානයේ ගල් අඟුරු වෙළෙඳ‌ාම ප්‍රචලිත කිරීම කෙරෙහි එවකට වැඩි අවධානයක් යොමු කළේ ලන්ඩනයේදී ප්‍රථම වරට නිකුත් කළ ණය මුදල් සහන ක්‍රමය සමගය. මාකස් සැමුවෙල් එඩ්මන්ටන් සහ බ්‍රසල්ස් සරසවියෙන් උසස් අධ්‍යාපනය හද‌ාරා සිටියේය. ඉනික්බිතිව, ව්‍යාපාරික කටයුතු දියත් කිරීමට පෙර ආසියානු කලාපයේ පුළුල් සංචාරයක නිරත විය. එවකට ආසියානු කලාපයේ බොහොමයක් රටවල් පැවැතියේ බ්‍රිතාන්‍ය කිරීටයට නතුවය. එනම් බ්‍රිතාන්‍යයේ යටත් විජිත රාජ්‍යයන් ලෙසය. මාකස් සැමුවෙල් ජපානය, චීනය, සියම සහ ඒවාට අමතරව බ්‍රිතාන්‍ය යටත් විජිත වහල්භාවයට නතුව තිබූ ශ්‍රී ලංකාව (එවකට සිලෝන්) ඇතුළු රටවලට ආයේය.  


අන්තර්ජාතිකව වෙළෙඳාම පුළුල් කිරීම පිළිබඳව බොහෝ අත්දැකීම් එම සංචාර වෙතින් ඔහු උකහා ගත්තේය. තවත් විදියකට කිවහොත්, මෙම මාකස් සැමුවෙල් යනු ශූර දුර දක්නා නුවණකින් හෙබි වූ අයෙක් විය. ඔහු තම ව්‍යාපාර ගැන විශ්වාසය තැබුවේ කෙටි කාලීන වූ කාල පරාසයක් සඳහා නම් නොවීය. ශත වර්ෂ ගණනාවක් පවතින සහ විකාශය වන ව්‍යාපාර ජාලයක් බිහි කිරීම ඔහුගේ අභිප්‍රාය වන්නට ඇත.  


මුල්ම ආරම්භය  


ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේදී මාකස් සැමුවෙල් අවතීර්ණ වූයේ පෞරාණික භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරයකිනි. එනම් ‘ඇන්ටික් බඩු’ විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. එය 1933 දී පමණ තවත් අංශ කෙරෙහි ව්‍යාප්ත කිරීම ඔහුගේ අරමුණ විය. පැරැණි භාණ්ඩ සමග කටයුතු කරන අතරේ සිප්පි කටු (මුහුදු බෙලි කටු) කෙරෙහි ඔහුට සිත ගියේ නිරායාශයෙනි. සිප්පි කටු උපයෝගී කරගෙන ලස්සන ලස්සන මෝස්තර නිර්මාණ කිරීමට පෙළැඹි ඔහුගේ ව්‍යාපාරය තවත් අංශයකින් පුළුල් වූවේ, මාල වළලු වැනි සිප්පි කටුවලින් තනන ලද නිර්මාණ සමගය. ඒවාට එද‌ා ලැබුණේ ඉහළ වටිනාකමකි.  


එම ව්‍යාපාරය කොතරම් ජනප්‍රිය වී ද යත්, ඈත පෙරදිග රාජ්‍යයන් වෙතින් සිප්පි කටු (බෙලි කට්ට) ආනයනය කිරීම පවා සිදුවිණි. එනම් සිප්පි හෙවත් “Shells” ගෙන ඒම සිදු කළේය. එද‌ා ආනයන - අපනයන වෙළෙඳ‌ාමක් ලෙස එලෙසින් පටන්ගත් “Shells” (සිප්පි කටු) වෙළෙඳ‌ාම අවසන ලෝකයේ විශාලතම තෙල් නොහොත් ඉන්ධන නිෂ්පාදනය කරන, පිරිපහදු කරවන සමාගමක් බවට පරිවර්තනය වුණි.  


සිප්පි කටුව කළ විප්ලවීය වෙනස   


එතෙක් ​පවත්වාගෙන ආ ව්‍යාපාරය ෂෙල් ට්‍රාන්ස්පෝට් සහ ට්‍රේඩින් සමාගම බවට 1987 දී පරිවර්තනය කිරීමට මාකස් උනන්දු වූවේය.   


සිප්පි කටුව කළ විප්ලවීය වෙනසින් ඔබ්බට යාමට පෙර, අපට මාකස් සැමුවෙල්ගේ සහෝදරයා ගැනත් කතා කළ යුතුම වේ. මක්නිසා ද යත්, මාකස් ව්‍යාපාරය පවත්වාගෙන ගියේ ඔහුගේ එ් සහෝදරයා සමග වීම නිසාය. ඔහු උපත ලැබුවේ 1855 දීය. සැමුවෙල් සහ සැමුවෙල් සමාගම පටන්ගෙන පසුව ඔහු අයියා වූ මාකස් සමග ව්‍යාපාර ක්ෂේත්‍රයේ අත්වැල් බැඳි ගමනක් එමින් සිටියේය. ජපානයේ යොකෝහාමා හිදී ස්ථාපිත කර තිබූ එම සමාගම වෙතින් සිදු වූයේ ගල් අඟුරු නිෂ්පාදන ක්‍රියාවලිය වේ. ෂෙල් ට්‍රාන්ස්පෝට් සහ ට්‍රේඩින් සමාගම බිහි කිරීමට සහෝදරයා සමග අත්වැල් බැඳගත් සැමුවෙල් එතැන් සිට එය දියුණු කිරීමට ප්‍රයත්න ගත්තේය.  


ව්‍යාපාර සමග බැඳී සිටින අතරේ දේශපාලන ක්ෂේත්‍රයට “සැමුවෙල් - සැමුවෙල්” අවතීර්ණ වූයේ මධ්‍යස්ථ මතධාරියකු ලෙස බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමිනි. දේශපාලනයට අවතීර්ණ වූ මුල් අවධියේදී ව්‍යාපාර වෙතින් ලැබූ ජයග්‍රහණ මෙන් ජය ලැබීමට නම් ඔහුට නොහැකි විණි. මැතිවරණ දෙකකදීම පරාජයට පත්විය. එහෙත් උත්සාහය අන්නොහැරි හේ නැවත මැතිවරණයකදී තරග කොට ජයග්‍රහණය ලබාගත්තේය. ඉනික්බිතිව ලද ජය මියෙනතුරු ඔහුට පාර්ලිමේන්තු අසුනක හිමිකාරිත්වය ලබාදුන්නේය. “රෝයල් ඩච් ෂෙල්” සමාගම ලෝක ව්‍යාප්ත කිරීම වෙනුවෙන් මාකස්ගේ මලණුවන් වූ සැමුවෙල් සැමුවෙල්ගෙන් ලැබුණේ සුවිශාල අත්වැලකි.  

 


ලෝකය ජය ගැනීමේ ඒකාබද්ධ “ෂෙල්” ගමන  


මාකස් සැමුවෙල් ඉන්ධන ව්‍යාපාරය කෙරෙහි ටිකෙන් ටික උනන්දු වූයේ 1880 දශකයේදී පමණය. එවකට ඉන්ධන ප්‍රවාහනය සඳහා දියුණු ප්‍රවාහන පද්ධතියක් නොපැවැතිණි. තෙල් ප්‍රවාහන කටයුතු සිදු වූයේ බැරල්වලිනි. ඒවා නැව් මගින් ප්‍රවාහනය කිරීමේදී කාන්දු වීම බහුලව සිදු වූ බැවින් එය මහත් ගැටලුවක් විණි. කෙසේ වෙතත් ශූර දැක්මක් තිබූ මාකස් හට සූවස් ඇළ ආශ්‍රිතව තම ප්‍රථම තෙල් පටවන නැව හෙවත් ‘Tanker’ ස්ථාපනය කළ හැකි විය. එසේ ආ තෙල් ගමන හැරැවුම් ලක්ෂ්‍යයක් බවට පත්වූයේ 1907 වසරේදීය.  
යුරෝපයේ තෙල් බලඅරගලයේ එවකට ව්‍යාපාරික සටන්කරුවන් වූයේ, රාජකීය ලන්දේසි තෙල් සමාගම සහ බ්‍රිතාන්‍යයේ ෂෙල් ට්‍රාන්ස්පෝට් සමාගමය. ව්‍යවසායකත්ව ක්‍ෂේත්‍රයේ ප්‍රතිවාදීන් වූ මේ සමාගම් ද්විත්වය ඒකාබද්ධ ගමනකට මුල පිරීමට එද‌ා කටයුතු යෙදුවේ ඒ වනවිට ලෝක තෙල් බලය ඇමෙරිකාවේ ස්ටෑන්ඩර්ඩ් ඔයිල් (තෙල්) සමාගම නතු වූ බැවිනි. ඊට තරගයක් දීමට නම්, අප එකතු විය යුතුය යන අදහස පෙරදැරිව බ්‍රිතාන්‍යයේ ෂෙල් සහ ඕලන්දයේ හෙවත් නෙදර්ලන්තයේ රෝයල් ඩච් පෙට්‍රෝලියම් සමාගම මෙලෙසින් අත්වැල් බැඳගත් පසුව, රාජකීය ඕලන්ද ෂෙල් සමූහය නොහොත් රෝයල් ඩච් ෂෙල් ගෲප් ලෙස ඒකාබද්ධ සමාගමක් බවට පත්විණි. එතැන් සිට මේ නාමය ලෝකයේ කෙටියෙන් ප්‍රචලිත වූයේ “Shell” නමිනි.  
“Shell Line” ලෙස ද එය හැඳින්විණි. එම ‘ෂෙල් තෙල්’ මාවත හෙවත් නළ මාර්ගය බිහිකළ බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත පුරෝගාමීන් වන්නේ මාකස් සැමුවෙල්, සැමුවෙල් සැමුවෙල් (මේ දෙපළ Shell Line ලෙස ද), ජීන් බී.ඒ. කෙස්ලර්, හෙන්රි ඩිටර්ඩීන්, හියුගෝ ලව්ඩන් (Royal Dutch Line) යන යුරෝපීයයන්ය.   


පළමු ලෝක යුද්ධයෙන් පසුව ලෝක ජනතාව රථවාහන භාවිතයට බහුලව අවතීර්ණ වූ නිසා, ඉන්ධන වෙනුවෙන් ලැබුණේ ද ඉහළ ඉල්ලුමකි. “ෂෙල්” සමාගම යුරෝපයට වඩාත් වටිනාම සමාගමක් බවට පත්වූයේ ඉනික්බිතිවය. “Take no risk - take shell” ආදී තේමා පාඨ රැගත් දැන්වීම් ප්‍රචාරය කරවීමට ෂෙල් පෙළැඹියේ ඒ සමගය. “අවද‌ානමක් නොගන්න - ෂෙල් භාවිත කරන්න” මෙකී වෙළෙඳ දැන්වීම් සහ විකුණුම් පාඨ සමග ඉදිරි ගමනක් ගිය “ෂෙල්” 1920 දී ලොව ඉන්ධන හෙවත් තෙල් නිෂ්පාදනය කරන ලොව ලොකුම සමාගම බවට පත්විණි.  


තෙල් බල අරගලයේ ව්‍යවසායික ජයග්‍රහණ සහ ශක්තිමත් ප්‍රාග්ධන ව්‍යුහයක් ඇතිව පෙරට ආ ෂෙල් සමාගම හට දෙවැනි ලෝක යුද සමයේදී එක්තරා ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවිණි. දෙවැනි ලෝක යුද සමයේදී ෂෙල් ලන්ඩන් ශාඛාව තීන්දු කළේ යුද්ධය වෙනුවෙන් රජයට වඩාත් කැප වූ සේවයක් සැපැයීම සඳහාය. ඒ අනුව තෙල් පිරිපහදු සහ බෙද‌ාහරින ගබඩා (Oil Tankers) රජය සතුවිණි. ලෝක යුද සමයෙන් පසුව නැවතත් ඒවා ෂෙල් සමූහය සතු වූ අතර, තෙලේ බලය රැඳි සියලුම කලාපවල තෙල් නිෂ්පාදන බලය නතු කරගත්තේ මෙම ෂෙල් සමූහයයි. ෂෙල්හි විශේෂත්වය වන්නේ තෙල් නිෂ්පාදන, පිරිපහදු කටයුතු කිරීම පමණක්ම නොවේ. තෙල් ඇති තැන් සොයා කැණීම් පවා සිදු කරන සමාගමක් බවට පත්ව තිබේ.  


ෂෙල් බලය 

 
ෂෙල් සමූහය කොතරම් බලවත් වී ද යත්, ලොව විශාලතම තෙල් නිෂ්පාදන සමාගමක් වන “Raizen” හි සියයට 50ක හිමිකාරිත්වය දරන්නේ ‘ෂෙල්’ලාය. එම සමාගම ෂෙල් විසින්ම බ්‍රසීලයේ ස්ථාපිත කරවූයේ 2010 දී පමණය. Shell Chemicals (ෂෙල් රසායන ද්‍රව්‍ය) සහ Shell Gas & Power ලෙස අංශ ද්විත්වයකට විහිදී ගිය සමාගම ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, කැනඩාව, හොංකොං, ඉන්දියාව, ඕමානය, නයිජීරියාව, පිලිපීනය, පාකිස්ථානය, ඊජිප්තුව යන රටවල ඒ ඒ රටවල නිෂ්පාදන ලෙස ‘ෂෙල්’ නාමය යටතේ ව්‍යාප්ත වී තිබේ.  
2019 වනවිට ලෝකයේ රටවල් 70කට වඩා ස්ථානයන්හි සිට ෂෙල් ව්‍යාපාරික කටයුතු පැතිරී ඇති බව සඳහන් විය. 2019 වනවිට ෂෙල් සමූහය සතු සේවක සංඛ්‍යාව අසූපන්දහසකට ආසන්න වුණි. 2019 වනවිට ද්‍රව ස්වභාවික ගෑස් ටොන් මිලියන 75ක් පමණ අලෙවි කළ බව වාර්තා විය.  


දිනකදී නිෂ්පාදනය කරන තෙල් බැරල ප්‍රමාණය ලෙස සඳහන් වූයේ මිලියන 3.7ක ප්‍රමාණයකි. තෙල් පිරිපහදු 15කට වඩා වැඩි ප්‍රමාණයක් ෂෙල් සතුය. 2019 දී ඩොලර් බිලියන 345ක පමණ ආද‌ායම් ඉපයූ ෂෙල් සමාගමේ ශුද්ධ ආද‌ායම ලෙස සඳහන් වූයේ බිලියන 16.4ක පමණ අගයකි. සංවර්ධන කටයුතු, පර්යේෂණ කටයුතු සඳහා ඩොලර් මිලියන 962ක් පමණ වෙන් කර තිබිණි.  

 


“2050 වනවිට අපගේ අභිලාෂය වන්නේ, ශුන්‍ය විමෝචන බලශක්ති ව්‍යාපාරයක් බවට පත්වීමයි”  


එසේ පවසන ෂෙල්හි අනාගත අභිලාෂයන් වන්නේ ලෝකයට වඩාත් හිතකර ලෙස, එනම් පරිසර හිතකාමීත්වයට වඩා සමීප වූ නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වීමය.  


1907 දී ඒකාබද්ධ ගමනක් ආ රාජකීය - ඕලන්ද ෂෙල් සමාගම 2005 දක්වා පැවැතියේ ද්විත්ව ලයිස්තුගත සමාගමක් ලෙසය. එනම් තනි ව්‍යාපාරයක් වූ නමුත්, වෙන් වෙන්ව අනන්‍යතාව ඇති පරිදි ආයතනිකව ලයිස්තුගත කර තිබීමය. ඒ අනුව කොටස් බෙදී යාම ද සිදු වේ. අද වනවිට ෂෙල් සමූහය යනු මහජන කොටස් නිකුතුවෙන් යුතු සුවිශාල සමාගමකි.  


ෂෙල් ප්‍රධාන මූලස්ථාන පිහිටුවා ඇත්තේ ලන්ඩනයේ සහ හේග් නුවරය.  


එකත් අතකට ෂෙල් යනු ලෝක තෙල් බලය සියතට ගත් බලසම්පන්න ආයතනයකි. ෂෙල් නිසා නෙදර්ලන්ත දළ ජාතික නිෂ්පාදන අගයට ගෙන දී ඇත්​තේ විශාල අගයකි. බ්‍රිතාන්‍යයටත් එසේමය.  


අපි නැවතත් පටන්ගත් තැනට යමු. ෂෙල් මෙතරම් දුර ගමනක් ගෙන ඒමට එද‌ා මූලික වූ මාකස් සැමුවෙල් පසු කලෙක හැඳින්වූයේ ‘සර් මාකස් සැමුවෙල්’ ලෙසය. බ්‍රිතාන්‍යයේ සුවිශේෂී ගරු නම්බුනාම ලද චරිතයක් විය. ලන්ඩන් නගරයේ නගරාධිපති වීම යනු ලෙහෙසි පහසු දෙයක් නොවූව ද මාකස්ගේ ජීවන දර්ශනය නිසාම ඔහු ලන්ඩනයේ නගරාධිපති ලෙස වැජඹුණේය. 1881 දී ඔහු විවාහ වූයේ ලන්ඩනයේ කීර්තිමත් පවුලක දියණියකව සිටි ෆනී එලිසබත් බෙන්ජමින් සමගය. සැඳෑ සමය ගත කිරීමට මාකස් සැමුවෙල් කෙන්ට්හි ‘ද මෝට්’ (The Mote) නමැති ස්ථානය වෙන් කරගෙන තිබිණි. එය අක්කර 500කින් සමන්විත වූ රමණීය භූමියකි. ​මෝට් නමින් හැඳින්වූයේ එනිසාමය. වයස අවුරුදු 73 දී පමණ සර් මාකස් සැමුවෙල් මියගියේය. මිය යනතෙක් ඔහුගේ විනෝද‌ාංශය වූයේ සෑම උදෑසනකම ලන්ඩනයේ ‘හයිඩ්පාක්’හි ඇවිදීම සහ රථය පදවාගෙන යාමය. සර් මාකස් සැමුවෙල් යනු අතීතයේ රසය විඳිමින් අනාගත දැක්මක් ඇතිව ජීවත් වූ මිනිසකු විය.

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ