තාත්තාගෙන් පුතාට බලය ගිය ටෝගෝ දේශය


වළ පල්ලට ගිය රටවල්  

 

රටවල් නැති වන්නේ දේශපාලන සුනාමි තුළිනි. මිහිකත කම්පා වී මහ සයුර දෙබෑ වී සිදුවන සුනාමිවලින් සිදු කරන විනාශයකට වැඩි හානියක් දේශපාලන සුනාමි තුළින් රටකට සිදු කරනු ලබයි.   ලොව පුරා මා සංචාරය කළ සියලුම අසමත් රාජ්‍යයන්හි ප්‍රධාන බලමණ්ඩල තුන අතර පවතින කඹ ඇදිල්ල නිරීක්ෂණය කළෙමි. මේ කඹ ඇදිල්ලට මැදි වූ පුරවැසියන් තැළෙන පෙළෙන පොඩිවන අයුරු දුටුවෙමි.   


පණ අදින රටක්   


මම අද හඳුන්වා දෙන්නේ බටහිර අප්‍රිකාවේ පිහිටි ටෝගෝ (TOGO) නමැති රටයි. මේ රටත් පණ අදින රාජ්‍ය්‍යකි. දරිද්‍රතාවයේ පත්ලටම කිඳා බැස්ස රටකි. ආහාර පෝලිම්, රැකියා පෝලිම්, යාචකයින්ගෙන් පිරුණු වීදි, මහමඟ යන ඇවිදින අැටසැකිලි, මන්දපෝෂණයෙන් පෙළුන කිරි කැටි ළදරුවන්, හඬා වැලපෙන අවීචි මහා නරකාදියකි. මට කිව හැක්කේ මේ ටොගෝ රටට මේ තත්ත්වය අත්කර දුන් පාලකයන්ට දේශපාළුවන්ට ශාප වේවා යන්නයි.   


ගානා, බෙනින්, බර්කි​නෝ, ෆාසෝ යන රටවලට මැදිව පිහිටි මේ රටේ විශාලත්වය ව.කි.මී. 56,785ක් හෙවත් ව.සැ. 21,925 කි. ජනගහණය අසූලක්ෂයකට මඳක් වැඩිය (79,65,055). ප්‍රංශයෙන් නිදහස ලබාගත්තේ 1960 අප්‍රේල් 27 දාය. මෙය නිදහස ලබා ගෙන වසර 58ක් තිස්සේ ආපස්සට ගිය රටකි. වළ පල්ලටම වැටුණු ලොව තවත් අවාසනාවන්ත රාජ්‍යයකි.   
නිදහස ලබා ගැනීමෙන් පසු මෙහි බලයට පත් මුල්ම පාලකයා සිල්වානුස් ඔලිම්පියෝය. ඒ 1960 දීය. 1963 දී ඔහු ඝාතනය කරන ලදී. 1963 ජනවාරි 13 දා මෙහි ජනපති වූ එයඩේමා (EYADEMA) වසර 38ක්ම ටෝගෝ රට පාලනය කළේය. ඔහු රටේ සම්පත් කොල්ලකෑවේය. පවුල් බලය තරකර ගත්තේය. රට නැත්තටම නැති වුණේ එම කාල සීමාව තුළදීය. ඔහු තම පවුලේ ඥාතීන් පාලනයට හවුල් කර ගත්තේය. විරුද්ධවාදීන්ට ඔළුව එසවීමට ඉඩ දුන්නේ නැත. විරුද්ධවාදීන් ඝාතනය කිරීම තුළින් බලය තහවුරු කර ගත්තේය. රටේ සම්පත් කුණු කොල්ලයට විදේශ සමාගම්වලට විකිණීමට පටන් ගත්තේය.   


අහසේ දී දෙනෙත් පියාගත් ජනපති   


2005 පෙබරවාරි 5 දා ටියුනීසියාව බලා යමින් තිබූ ගුවන් යානයක් තුළදී ඔහු සදහටම දෙනෙත් පියා ගත්තේ රටට ජාතියට කළ විපතට දඬුවම් ලැබීමක් වශයෙනි. පො​ෙළාවේ පය නොගැසූ ඔහු අහසේ සිට පොළොව දෙස බලමින් දෙනෙත් පියාගත් නමුත් ටෝගෝ රටේ කරුමය අවසන් වූයේ නැත. මා මේ ලියන්නේ මෙහි ඉතිහාසයෙන් බිඳක් පමණකි.   
ඔහු වසර 38ක් තිස්සේ සිදු කළ මහා වංචා, හොරකම්, දූෂණ ක්‍රියා, ඝාතන සියල්ල අනාවරණය වෙන්නට පටන් ගත්තේ ඔහු මියගිය පසුවය. අප්‍රිකා රටවල දීර්ඝ කාලයක් පාලන බලයේ සිටි අයකු වූ ඔහු ප්‍රංශය ප්‍රමුඛ විදේශ බැංකුවල තැන්පත් කර තිබූ මුදල් සම්භාරය පිළිබඳ පුවත් රට පුරා ප්‍රචාරය වෙන්නට පටන් ගත්තේය.   


ඔහුගේ පුතකු වූ ෆවුරේ (Faure) ඔහුගේ මරණයෙන් පසු රටේ ඊළඟ ජනපති බවට පත් කිරීම සඳහා සිදු වූ ක්‍රියාදාමය තුළින් 2005 වර්ෂයේ ටෝගෝ රාජ්‍ය​යේ සිදු වූ දේශපාලන පෙරළිය ඉතිහාසගත වී තිබේ. ජනපති පියා මිය යන විටත් ෆවුරේ ගිනසින්බි (Faure Gnassingbe) එම කැබිනට් මණ්ඩලයේ ප්‍රබල අමාත්‍ය ධුර කිහිපයක්ම දැරුවේය. පියා මිය ගිය පසු ජනපති පදවිය භාර ගත් ඔහු රට කණපිට හැරවූ පාලකයකු විය. ඔහුට මුල් වරට එම පදවිය දැරීමට හැකි වූයේ දින 20ක් පමණකි (2005 ​පෙබ. 5 සිට 2005 පෙබ. 25).   

 


ජනපතිකම තාත්තාගෙන් පුතාට   


රට පුරා ඔහුට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර ඇරඹුණි. ඔහු හමුදාව යොදවා උද්ඝෝෂණකරුවන් 1000කට වැඩි පිරිසක් මරා දැමීය. මුළු රටම අස්ථාවර විය. 40,000කට වැඩි පිරිසක් බෙනින් හා ගානා යන රටවලට පලා ගියහ. මෙම උද්ඝෝෂණ හමුවෙහි ඔහුට ජනපති පදවියෙන් ඉල්ලා අස්වීමට සිදු විය. ඉන් පසු පැවැත්වූ ජනපතිවරණයෙන් ජය ගත් ඔහු ටෝගෝ රාජ්‍යයේ ජනපති බවට පත් වූයේය. 2005 මැයි 4 දා සිට එහි මුල් පුටුව හොබවන්නේ ඔහුය. ඔහු ජනපති පදවියට පත්වීම සඳහා පැවැත්වූ ඡන්දය ඉතා දූෂිත බව හෙළි වුවත් ඉන් ඵලක් නොවීය. තාත්තාගෙන් පුතාට රටක පාලන බලය මාරු වුණේ මෙහෙමයි.

   
තාත්තාගෙන් පුතාට රටේ පාලන බලය මාරු වුණත් රට තිබුණ තැනින් සෙන්ටි මීටර්යක්වත් ඉදිරියට ගියේ නැත. ඔහුගේ පියා අප්‍රිකාවේ මෙතෙක් සිය දීර්ඝතම කාලයක් බලය රැකගත් ඒකාධිපතියා වශයෙන් ප්‍රචලිතය. පුතා ද තාත්තාගේ අඩි පාරේ යමින් ටෝගෝ රටේ ගෙන යනු ලබන්නේ පවුල් පාලනයකි. මේ ජනපති අවුරුදු 13කුත් දින 220ක් රටේ සුක්කානම කරකවන නමුත් රටට සිදු වී ඇති සුගතියක් නැත. ටෝගෝ රටේ ජනතාව ද ඈත අතීතයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදය තකා සටන් වදී (Fight For Democracy). තවම මේ සටන සාර්ථක වී නැත.   


ටෝ​ෙගා් රටේ කරුමය   


මෙහි පාර්ලිමේන්තු​වේ ඇති ආසන සංඛ්‍යාව 91 කි. ර​ෙට් ඇති දේශපාලන පක්ෂ සංඛ්‍යාව 33කට අධිකය. අලුතින් දේශපාලන පක්ෂ බිහි වෙමින් පවතී. හරියට ලංකාවේ වගේය. දේශප්‍රේමීන් ජාත්‍යාලය ඔදවැඩුණු පුරවැසියන් වැහි වැහැලාය. සටන් පාඨ වචනවලට පමණක් සීමා වෙලාය. මුළු ජනගහණයෙන් සියයට 58ක් පමණ දරිද්‍රතාවයෙන් පෙළෙති. රටේ සාරය උරා බොන්නේ පාර්ලිමේන්තුවට තේරී පත්වන දේශපාලකයින්ය. ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ය. ඔවුන්ට උදව් දෙන ව්‍යාපාරිකයින්ය. නීති විරෝධී ක්‍රියාවලට අනුබල දෙන රජයේ ඉහළ නිලධාරීන්ය. වසර 70ක් තිස්සේ ලංකාවේ ද සිදු වුණේ මේ ක්‍රියාදාමය නේද?   


මේ රටේ ද කුඩා දරු දැරියන් ගොවි බිම්වල දහඩිය වගුරුවමින් ශ්‍රමය වැය කරන අයුරු දකින්නට ලැබෙන සුලබ දසුනකි. සෞඛ්‍ය, අධ්‍යාපන, ගමනාගමන, විදුලිය, පානීය ජලය ආදී පහසුකම් නැති ගම්මාන දහස් ගණනකි. මුළු ජනගහණයෙන් සියයට 49.5ක්ම අවුරුදු 18ට අඩු ළමයින්ය. වැඩිහිටියන් දරිද්‍රතාව හා විවිධ ලෙඩ රෝගවලින් මියගොස්ය. ඒඩ්ස් නමැති ලිංගාශ්‍රිත වෛරසයෙන් පෙළෙන ළමයින්ගේ සංඛ්‍යාව 1,20,000කට වැඩිය. 2017 වසරේ පමණක් එච්.අයි.වී. වෛරසය සහිතව උපන් ළදරුවන්ගේ සංඛ්‍යාව 66,000ක් පමණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.   


මව්පියන් අතහැර ගිය ළමයින් 68,000කට වැඩි පිරිසක් රට පුරා මංමාවත්වල සැරිසරන අයුරු කොතරම් ඛේදජනක ද?   

 


රට කරවන අමනයෝ   


සෑම ළමයින් 1000කටම 108 දෙනකු ඔවුන්ගේ 5 වැනි උපන් දිනයට පෙර මිය යන තවත් අවාසනාවන්ත රටකි මේ කියන ටෝගෝ රාජ්‍යය. රටේ තත්ත්වය මෙසේ වුවත් ජනපති ප්‍රමුඛ පාලකයින් සුර සැප විඳිමින් සිටින අයුරු විස්තරාත්මකව දක්වන්නේ විදේශ ජනමාධ්‍යයන්ය. අඩු වයසේ ළදැරියන් ලිංගික අතවරවලට වැඩි වශයෙන් ගොදුරු වන අප්‍රිකානු රටේ ඇතුළු පැත්තෙන් අංශු මාත්‍රයක් පමණකි මේ.   


තවමත් මැලේරියාව පවතින දේශයකි. කොළරාවෙන් හා නිව්මෝනියාවෙන් මිය යන අයගේ සංඛ්‍යාව අධිකය. මිය යන ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව දස දහස් ගණනකි. ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා දීමට නොහැකි රජයකින් එම රටට වැඩක් තිබේ ද? පොස්පේට් ටොන් ලක්ෂ ගණනක් ඇති පොළොවකි. කෝපි, කොකෝවා, කපු සරුවට වැඩේ. රට කරවන අමනයින් රටේ කිසිවක් නිපදවන්නේ නැතිව විදේශ ආධාර හා විදේශ ණය මතම යැපීම මේ රට ද වළ පල්ලට යාමට මූලික හේතුවයි.   

 

 

 

සිරී හීන්පැල්ල නිව්‌යෝර්ක් නුවර සිට ලියයි